Allapu Gedara

Allapu Gedara

අල්ලපු ගෙදර

Black & White 35mm

Film No: 120  ·  Released: 17 Sep 1965

59.28% · 2,795 votes
Rate this film
Special Message

"අඩුත වීඩු පෙන්" ද්‍රවිඩ චිත්‍රපටය ඇසුරිනි

Summary

NameAllapu Gedara / අල්ලපු ගෙදර
Film No120
Released Date17 Sep 1965
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCinamas
Main Actor: Joe Abeywickrama Main Actress: Clarice De Silva Producer: K. Gunaratnam Director: M. Masthan

Trailer

National Awards

For The Film

1 Favourite Film [1st] 3rd Sarasaviya Awards - 1966 - 1966

For Artists

1 Best Singer - Male 3rd Sarasaviya Awards - 1966 - 1966 Mohideen Baig

Description

1960 පෙබරවාරි 11වන දින, අංජලි දේවි, කේ.ඒ.තංගවේලු, ටී.ආර් රාමචන්ද්‍රන් රගපෑ වෙඩක්කම් රාගමයියා, අධ්‍යක්ෂනය කල, "අඩුත්තු වේට්ටු පෙන්" දමිල චිත්‍රපටය දකුණු ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කලේය.

1965 සැප්තැම්බර් 17 වන දින, ක්ලැරිස් ද සිල්වා, ජෝ අබේවික්‍රම, ඇන්තනි සී පෙරේරා රගපෑ එම් මස්තාන් අධ්‍යක්ෂනය කල "අල්ලපු ගෙදර" සිංහල චිත්‍රපටය ලංකාව පුරා ප්‍රදර්ශනය කළේය.

1968 නොවැම්බර් 29 වන දින, සයිරා භානු, සුනිල් දත්, කිශෝර් කුමාර් රගපෑ ජෝති ස්වරූප්

අධ්‍යක්ෂණය කළ "පදෝසන්" හින්දි චිත්‍රපටය, උතුරු ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කළේය.

මෙම චිත්‍රපට 3නේම තිබුණේ එකම කථා වස්තුවකි. නමුත් මෙම චිත්‍රපට 3නෙන්ම, සාර්ථකම මෙන්ම ජනප්‍රියම චිත්‍රපටය වූයේ එම් මස්තාන් අධ්‍යක්ෂනය කල "අල්ලපු ගෙදර"ය.

සේපාලිකා, කපිල, චන්ද්‍රා, නිර්මලා, හා සංගීත මාස්ටර්,ගේ සංගීතමය ගැටුමකි මෙයට ඇතුළත් වුයේ.

සේපාලිකාත්, නිර්මලාත් හොදම මිතුරියන් දෙදෙනෙකි. චිත්‍රපටය මුලින්ම පටන් ගන්නෙ ඔවුන් දෙදෙනා ස්කූටරයක නැගී ගීතයක් ගයමින් නගරයේ යන දර්ශනයකි. එකල "හෙල්මට්" නොතිබුණු නිසා, ගීතය නම් පැහැදිලිව අපට ඇසුනි.

"සාගර රැජිණීට ආදරෙ කියා

සීතල මද නල ගී ගයා ගියා

අප තරුණ ජීවිතේ, මධුර මී විතේ

රස උරාලා බොමු ලෝකයේ පුරා"

ගීතය නිමවන විටම ඇතිවෙන්නේ නම් මාර ජංජාලයකි. ඒ කපිල මල්කිරන නම් තරුණයා, සේපාලිකා හා නිර්මලා ගිය ස්කූටරයේ හැප්පිමය. එයින් ස්කූටරය පෙරලි මේ තරුණියන් දෙදෙනාම "ජබොක්ය". කපිල ෂේප් නියායෙන් මාරුවන්නට ගියද, තරුණියන් දෙදෙනා පලු යන්නට බනින්නට විය.

එම මුල් සිදුවීමෙන් පසු, හොදම යෙහෙලියන් දෙදෙනා නැවත මුණ ගැසෙන්නෙ චිත්‍රපටයේ අවසන් ජවනිකාවේදීය. ඒක නම් මාර යාලු කමකි. එහෙත්,මස්තාන්ට ඒවා වැඩක් නැත. මස්තාන්ට තිබූ ප්‍රශ්නය නම් "අඩත්තු වේට්ටු පෙන්" චිත්‍රපටයට වඩා හොද චිත්‍රපටයක් කිරීමය.

කපිල මල්කිරනත්, සේපාලිකාත් එක ලග මුහුණට මුහුණ ලා උඩ තට්ටුවකින් සමන්විත නිවෙස් දෙකක වෙසෙන බව ඔවුන් දැනගන්නෙ, සේපාලිකා තමන්ගේ නිවසේ උඩ තට්ටුවේ සිට ගීතයක් ගයන විටය.

"සුවබර සුන්දර දෙපසේ

සුසිනිදු සුව දුන් ගැවසේ" හා

"සැතපෙන කල හිද නිදි සුවේ

දුටු සුබ සිහිනය යලි මැවේ

සියොලග යහනක ඉම තියා

මගෙ සිත ටික ටික දුර ගියා'

කපිල එම ගීත ඇසුණු පසු, හොල්මන් විය. සේපාලිකාට කෙතරම් වශී වුනාද කිව හොත් එතැන් පටන් තමාගේ මුලු කාලයම යොදවන්නේ, සේපාලිකාව තමා නතු කරගැන්මට උප්පරවැට්ටි දැමීමය.

මස්තාන්, එකී චරිත වල සම්බන්ධතාවයන් එකිනෙකට අපූරුවට ගළපායි. සේපාලිකා සංගීත මාස්ටර් කෙනෙක්ව ගෙදරට ගෙන්වා ගන්නේ ඇයට සංගීතය හා ගායනය ඉගෙන ගන්නටය. නමුත් මාස්ටර් සේපාලිකා ට සංගීතය උගන්වන නියායෙන්, ඇයට ආදරය කරන්නට පටන් ගනී.

"පියා සලන ඉගිල්ලී

රත්තරනේ ,ඔබයි මගේ පරෙවි කිරිල්ලි."

මේ මාස්ටර් සේපාලිකාට දාන "ගුන්ඩුය" .එහෙත් සේපාලිකාව, මාස්ටර්ට බා ගන්න හම්බ වන්නේ නැත. සේපාලිකා, කට්ට කයිරාටික, වෙට්ට පිත්තල ⁣තරුණියෙකි.

මුලින්ම කපිල සිතන්නෙ සේපාලිකා ව දිනාගැන්මට බැරි එකම බාධකය සංගීත මාස්ටර් කියාය. එහෙත් එයටත් වඩා ප්‍රබල හේතුවක් තිබෙන බවක් පසුව ඔහුට වැටහෙයි. ඒ ගී ගැයීමට ඇති හැකියාවය. මාස්ටර්ව නම් නොකවුට් කිරීම කපිලට මහදෙයක් නොව, එහෙත් ගීත ගැයීම නම්, ජීවිත කාලය පුරාම උත්සහා කලත් ,කිසි දිනෙක හැකි වන්නේ නැති බව ඔහු හොදාකාරව දැන ගති.

මස්තාන් ප්‍රේක්ෂකයන්ව, කපිල ,සේපාලිකා ,මාස්ටර් අතරම රදව ගන්නේ නැත. ඔහු තවත් අතුරු කථා කීපයක්ම ඒ අතරින් පෙන්වයි. ඒ නිර්මලා හා චන්ද්‍රාගේ ආදරය හා, බේබි, හා ඩලෝගේ පියනෝ ලව් එකය.

චන්ද්‍රාට නිර්මලාව හමුවෙන්නේ, සම්මුඛ පරික්ෂණයකට, ගිය විටය. එම ආයතනයේ "බොස්" නිර්මලාය. ගැහැනුන් පමනක් වැඩ කරන එම ආයාතනයට, චන්ද්‍රාව සම්මුඛ පරික්ෂණයට කැදවන්නෙ ඔහු ගැහැනු කෙනෙක් යයි සිතාය . ඒ චන්ද්‍ර කියන නමටය. එහෙත් සම්මුඛ පරික්ෂණයෙන් ඔහු සමත් වී ගැහැනුන් මැද වැඩ කරන එකම පිරිමියා ඔහු බවට පත් වේ.

"සතෙක්ද පිරිමියෙක්ද ගැහැනියක්ද මේ,

බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ"

"අල්ලපු ගෙදර" තුළ හාස්‍යමය තේමාවක් වටා කථාව ගොනුවූවද,එය ගලා ගියේ ආදරය පෙර දැරි කරගෙනය. කපිල ,හා මාස්ටර් සේපාලිකාට ආදරය කරයි. එලෙසම නිර්මලා, චන්ද්‍රාට ආදරය කරයි. නිර්මලා, චන්ද්‍රාව තම කාර්යාලයට රැගෙන තිබුනේ, වැඩ කර ගැනීමට වඩා, ආදරය කිරීමටය. ඔහු කාන්සිය මකා ගැන්මට ගීතයක් ගයන විට නිර්මලා ඇදී යන්නේ ඒ නිසාය.

"මහ ගන වනන්තරේ- ලොවෙ ඈත කෙළවරේ, සැළලිහිණි ගිරා මලිති බටිති රෑනක් අතරෙ".

මෙහී හොදටම ගායනා කිරීමේ හැකියාව තිබෙන්නෙ චන්ද්‍රාටය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කපිල වූවද, එය අබිබවා යන්නේ චන්ද්‍රාගෙ චරිතයයි. චන්ද්‍රාට සිංදු කීමට පුළුවන, ටයිප් ගැසීමට පුළුවන, පියානෝ ගැසීමට පුළුවන, කාර් එලවීමට පුළුවන. කෙල්ලන්ගෙ සිත් දිනා ගැන්මට පුලුවන. එහෙත් මේ කිසිවක් කපිලට බැරිය. කපිල තමාට ගීත ගායනා කිරීමට හැකි බව, සේපාලිකාට පෙන්වන්නේ චන්ද්‍රාගෙ හඩිනි. එහෙයින් මුලු චිත්‍රපටය පුරාම දැවැන්ත සෙවනැල්ලක් බවට පත්වෙන්නෙ, කපිල නොව, චන්ද්‍රාය.

1960 දශකයේ ලාංකේය සිනමාවේ හාස්‍ය උපද්දවන ක්‍රම වේද හරිම කෘතිමය. "අල්ලපු ⁣ගෙදර" පුරාවටම තිබුනේ, එම කෘතිම හාස්‍යයයි. එහෙත් ඒ දශකය හා සසදන කල, එම දශකය තුල, තිබූ ප්‍රේක්ෂක රුචිකත්වය මත, "අල්ලපු ගෙදර" හාස්‍යමය චිත්‍රපටයකි.

නමුත් මට හැගෙන අන්දමට "අල්ලපු ගෙදර "හිට්" වුණේ එහි තිබූ ගීත වලටය. ඉහත සදහන් ගීත වලට අමතරව, "මේ පිපාසිත ලෝ තලේ", "සොබා අලංකාරෙ මූහුනේ" යන ගීත අදත් නැවුම් ලෙස ඇසිය හැක.

ක්ලැරිස් ද සිල්වා සේපාලිකා ලෙසත්, සන්ධ්‍යා කුමාරි නිර්මලා ලෙසත් දකුණු ඉන්දියානු රංග විලාශයට අනුව කෘතිම රංගනයන් ඉදිරිපත් කළෝය. රගපෑම තුල එසේ වූවද, ආකාර්ශණය අතින් නම් ඔවුන් දෙදෙනා චිත්‍රපටයට ගෙන ආ ආලෝකය, සුලුපටු නොවේ. ජෝ අබේවික්‍රම කපිල ලෙසත්, ඇන්තනි සී පෙරේරා, චන්ද්‍රා ලෙසත් සම සමව තම රංගනය ඉදිරිපත් කලෝය, මෙහී මා දුටු හොදම රගපෑම, මාස්ටර් ලෙස රගපෑ හියුගෝ ප්‍රනාන්දුය. ඔහු නම් අතී විශිෂ්ටය.

මස්තාන්ගේ "අල්ලපු ගෙදර" 60දශකය හා සසදන කළ, හොද විනෝදාත්මක චිත්‍රපටයකි. එහෙත් "අල්ලපු ගෙදර" චිත්‍රපටය තුලින් මස්තාන්ටත්, එහී රංගන ශිල්පීන්ටත් වඩා කැපී පෙනුනේ නම් එහී සංගීත අධ්‍යක්ෂ ආර්.මුත්තුසාමි සහ,ගායක මිල්ටන් පෙරේරාය.

"ඇය සා දෙනෙකුව දිව යයි නම් බියවිලා

ඉමි උදුපියලිය පලස විලස වැතිරිලා

දිය පාරක් වී බැස යන කල වන පෙතේ

මම කුඹුක් ගසක් වෙමි ඉවුරේ පිය කතේ"

ශෝන් මැක්ස්මස් දිසානායක

අල්ලපු ගෙදර කතා සාරාංශය

චිත්‍රපටිය ඇරඹෙන්නේ සේපාලිකා හා නිර්මලා යන මිතුරියන් දෙදෙනා ගීතයක් ගයමින් මෝටර් සයිකලයකින් කොළඹ වටා යන දර්ශනයකිනි. මේ අවස්ථාවේ හමුදා සේවයෙන් ඉවත් වී එන කපිල මල්කිරණ නම් තරුණයා ඔවුන්ගේ මෝටර් සයිකලයෙහි ගැටීම නිසා තරුණියන් දෙදෙනා බිම ඇද වැටෙන අතර ඔවුන් මොහුට බැන වැදියි. ඔහුබැනුම් අසාගෙන යන්නට යයි.

කපිල තම මව සමග පදිංචිව සිටිනුයේ දෙමහල් නිවසකය. ඔහුගේ කාමරය එහි උඩු මහලේ පිහිටා ඇත. උඩු මහලට පිවිසෙන ඔහු දකින්නේ තම නිවස ඉදිරිපස නිවසෙහි උඩුමහලෙහි ගී ගයමින් නටන සේපාලිකාය.

ඇගේ ගීතය අවසන් වෙත්ම කපිල ඇත්පොලසන් දෙයි. එය දකින ඇය ඔහුට තදින් බැන වැදියි. එනමුත් ඔහුගේ සිතෙහි ඇය ගැන ආදරයක් ඇති වෙයි. සේපලිකාගේ ආදරය දිනා ගැනීම සඳහා කපිල තම මිතුරෙකු වන චන්ද්‍රා මුණ ගැසීමට යයි. චන්ද්‍රා හට සංගීතය ගැන මනා දැනීමක් ඇති අතර ඔහු තම මිතුරන් සමග නතර වී සංගීත කටයුතු වල යෙදෙන අයෙකි.සේපාලිකා හට සංගීතය ඉගැන්වීම පිණිසගුරුවරයෙකු යැයි කියා ගන්නා වයසක පුද්ගලයෙකු ඇගේ නිවසට නිතරම පැමිණෙයි.

ඇය ඔහු හා එක්ව ගී ගයමින් නටන අයුරු කපිල චන්ද්‍රා හට පෙන්වයි. එම වයසක සංගීත ගුරුවරයාද ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගෙන ඇති බව පෙනී යයි.

මේ අනුව සේපාලිකගේ ආදරය දිනා ගැනීම සඳහා ගීත ගායනා කරන ලෙස කපිල හට චන්ද්‍රා උපදෙස් දෙන නමුත් ඔහුට ගී ගැයීමේ හැකියාවක් නැත. මේ නිසා චන්ද්‍රා අලුත් උපක්‍රමයක් යොදයි. ඒ කපිලගේ උඩුමහලේ සිට සේපාලිකා හට පෙනෙන අයුරෙන් කපිල ගී ගයන අයුරින් කට සොලවන අතර ඇයට නොපෙනෙන පරිදි පසුපස සිට චන්ද්‍රා ගී ගැයිමය.

රැකියාවක් නොමැතිව සිටින චන්ද්‍රා හට මේ අවස්ථාවේ සේපාලිකගේ මිතුරිය වන නිර්මලා සතු සමාගමක රැකියාවක් ලැබේ.

දිනය උදාවෙයි කපිලගේ නිවසට චන්ද්‍රා හා ඔහුගේ මිතුරන් පැමිණෙති, කපිල උඩුමහලේ කාමරයේ සිට ගී ගයන අයුරින් රගපෑමක යෙදෙන අතර චන්ද්‍රා ආවරණය වී ඔහු පසු පස සිට මැනවින් ගායනයේ යෙදෙයි.

සේපාලිකා තම කාමරයේ සිට ගීතයට වශී වී කපිල ගීතය ගයනු බලා රස විදියි. ඇය සිතන්නේ ගීතය ගයනුයේ කපිල කියාය.කපිල හට ගී ගැයිමට හැකි බව පිලි ගත්තද සේපාලිකාද යටත් වීමට සුදානම් නැත. තම සංගීත ගුරුවරයා සමග විවාදයකට එන ලෙස ඇය කපිල හට අභියෝග කරයි.

මේ වන විට චන්ද්‍රා නිර්මලාගේ හිත දිනා ගනිමින් රාජකාරි කටයුතු හොදින් ඉටු කරයි. නිර්මලාගේ සිත ක්‍රමයෙන් ඔහු වෙත බැදී යන අතර දිනක් ඔහු ගීයක් ගයනු අසා සිටින ඇය ඔහුට ගී ගැයිමේ හැකියාවක් ඇති බැව් දැන ගනියි.

සේපාලිකාගේ අභියෝගය භාර ගත් කපිල චන්ද්‍රාගේ උදව්වෙන් සේපාලිකාගේ සංගීත ගුරුවරයා සමග වන ගායනා තරගයෙන් ගුරුවරයා පරාජය කරයි.

පරාජයට පත් ගුරුවරයා නැවත වරක් කපිල වෙතින් පරාජය වන්නේ උද්‍යානයකදී කපිල වෙතින් නොසෑහෙන අන්දමින් පහර කෑමෙනි. මෙසේ දෙදෙනා අතර ඇති වන ගුටි බැට හුවමාරුවකින් පසු කපිල ඔහු ඔසවා වතුරට විසි කරයි.

මෙයින් තව තවත් ප්‍රකෝපයට ඇත ගුරුවරයා කපිලගෙන් පලි ගැනිම සඳහා උපක්‍රමයක් යොදයි. ඒ සඳහා ඔහු සේපාලිකා යොදා ගන්නා අතර මේ අනුව සේපාලිකාගේ ඇරයුමින් කපිල ඇය හා උද්‍යානයට යාම පිණිස පැමිනෙයි. සේපාලිකා එහිදී ඔහුට ලෙන්ගතු අහුරින් හැසිරෙන අතර උද්‍යානයෙදී කපිල තනිවූ අවස්තාවක් බලා ගුරුවරයා සැගවී සිට මිනිසුන් කිහිප දෙනෙක් ලවා කපිලට පහර දෙයි.

කෙසේ නමුත් මෙහි බරපතලකම වටහා ගන්නා සේපාලි කපිලව මුදා ගැනීමට උත්සහ ගන්නා නමුත් එය සාර්ථක නොවෙයි. මෙහිදී කපිලහට පහර දෙනු දැක මිනිසුන් ඒ දෙසට එන විට මැර පිරිස පලා යති. ඒ අනුව සේපාලිද වහාම එතනින් ඉවත් වන්නිය.

එතනට පැමිණෙන මිනිසුන් බරපතල ලෙස තුවාල ලබා සිටින කපිලව මුදා ගෙන ඔහුගේ නිවසට රැගෙන එති. මෙහිදී කපිලගේ මවගේ විලාපය අසා සේපාලිකගේ මව හා පියාද කපිලගේ නිවසට පැමිනෙති. එහිදී කපිලට පහර දුන් ස්ථානයෙහිතරුණියකද සිට පැන දිව බැව් කපිලව මුදවා ගෙන ආ පිරිස ප්‍රකාශ කරන අතර කපිල සේපාලිගැන කිසිත් නොකියයි, තම නිවසේ සිට මෙය අසා සිටින සේපාලිගේ සිතෙහි මේ අවස්ථාවේ කපිල ගැන පැහැදීමක් ඇති වෙයි.

පසුව බලවත් සේ තුවාල ලබා සිටින කපිල හට සාත්තු කිරීම සඳහා සේපාලි ඉදිරිපත් වන අතර මේ අවස්ථාවේ දෙදෙනා අතර සබඳතාවය දැඩි වේ. කපිලට පහර දීතම උපක්‍රමය සාර්ථක වුවායැයි කියා සංගීත ගුරුවරයා සේපාලිකගේ නිවසට පැමිනෙන අතර ඇය ඔහුට බැන වැදී එළවා දමයි. මේ අතර සේපාලිගේ උපන් දිනය වෙනුවෙන් ගීයක් ගයන ලෙස ඇය කපිල හට ආරාධනා කරයි.

මෙහිදී ඔහු පවසන්නේ තමා හට තවමත් සුපුරුදු සුවය නොමැති බැවින් තමා නිවසේ උඩුමහලේ සිට ගායනා කරන බවයි. සේපාලි එයට එකඟ වෙයි.

සේපාලිකාගේ උපන් දින සාදය සඳහා නිර්මලාද ඇරයුම් ලබා සිටින්නිය. සුපුරුදු ලෙස චන්ද්‍රා ඇතුලු පිරිස මෙහිදීද කපිලගේ උදව්වට එති. චන්ද්‍රා සැගවී සිට ගයයි. කපිල ගායනා කරන අයුරින් රඟපායි. මෙහිදී සේපාලි අසල සිටින නිර්මලා තුල කිසියම් සැකයක් ඇති වන්නේ ගැයෙන්නේ සුපුරුදු හඩකින් බැවිනි.

ගීතය අවසන් වීමෙන් පසු සේපාලි තම පෙම්වතා වන කපිල වර්ණනා කරන නමුත් එය නොපිළිගන්නා නිර්මලා එය චන්ද්‍රාගේ හඬ යැයි තරයේ පවසා සිටියි . පසුව පරික්ෂා කිරීම සඳහා නැවත වරක් ගීතය ගයන ලෙස සේපාලි කපිලගෙන් ඉල්ලා සිටින අතර ඔවුන් නැවතත් ගීතය ගයයි. මෙහිදී ඉදිරියට එන නිර්මලා කපිලගේ නිවස දෙසට විදුලි පන්දමක් යොමු කරන අතර එහිදී ගීතය ගයන්නේ චන්ද්‍රා බැව් මැනවින් පෙනී යයි. ඒ සමගම කපිලගේ උපක්‍රමය සේපාලිට අවබෝධ වෙයි.

කපිල කෙරෙහි කලකිරීමට පත් සේපාලිකා මිට පෙර තම දෙමාපියන් යෝජනා කර තිබු විවාහයකට කැමැත්ත පළ කරයි. මේ අනුව ඇ ය කපිල හටද තම විවාහ මංගල්‍යට ආරාධනා කරයි. මේ වන විට කපිලගේ මිත්‍ර චන්ද්‍රා හා නිර්මලා අතර පෙම් සබඳතාව වඩාත් ස්ථිර වී ඇති අතර සියලු බලාපොරොත්තු බිඳ වැටුණු කපිල චන්ද්‍රාසොයා යයි.

සේපාලිකා තමා හට ලබා ගැනීම සඳහා කපිල, නිර්මලා හා චන්ද්‍රාගේ මිතුරන් පිරිසගේ උදව් ඉල්ලා සිටින අතර සේපාලිකාගේ විවාහ මංගල්‍ය දිනය උදා වෙයි. නෑදෑ හිතවතුන් මංගල්‍ය උත්සවය සඳහා පැමිනෙමින් සිටිති.

සේපලිකාගේ විවාහය සඳහා සියල්ල සුදානම්ය. කපිල හා මිතුරන් ඔවුන්ගේ අවසන් උපක්‍රමය අත්හද බැලීමට සුදානම් වෙති. මිතුරන් පිරිස ඔහු කාමරයේ ඇඳක් මත දිගා කරවා ඔහු දිවි හානි කර ගත් බැව් පවසමින් විලාප දෙන්නට පටන් ගනිති. මංගල උත්සවයට පැමිණි පිරිස මෙන්ම සේපාලිකාද වහාම කපිලගේ නිවසට දුව එති.

සේපාලිකා නොලැබිම මත කපිල දිවි නසා ගෙන ඇති බැව් ඔහුගේ මිතුරන් පවසති. මේ අවස්ථාවේ එමස්ථානයට පැමිණෙන මනාලයා ඇතුලු පිරිසද බිය ගන්වා හරවා යවන්නට කපිලගේ මිතුරන් සමත් වන අතර තමා නිසා කපිල මිය ගිය බැව් පවසමින් සේපාලි දුක් වන්නට වෙයි.

මේ අවස්ථාවේ මෙතෙක් බොරු රඟපෑමක යෙදී සිටි කපිල නැගිට සිටියි. අවසානයේ සියල්ලන්ගේම එකගත්වයෙන් කපිල හා සේපාලි එක් වන අතර ඔවුන්ගේ විවාහය අවස්ථාවට නිර්මලා හා චන්ද්‍රාද එක වන්නේ ඔවුන්ද විවාහ වෙමිනි.

සැකසුම - අනිල් වීරසිංහ

දුරකථන - 0716358123

Film No: 120 - Year: 1965

Cast

Crew

Other Crew