INFOPLOTPHOTOS
Sama / සාමා
[ Black & White 35mm ]
Film No : 113
Released Date : 1965-05-13
59.743119266055
60% |   545  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Sama / සාමා
Film No : 113
Released Date : 1965-05-13
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : HelaKala Sangamaya

Main Actor : Shelton Silva

Director : G.D.L. Perera

Producer : Hela Kala Sangamaya

Producer : R.A.C.Rabel

TRAILER


NATIONAL AWARDS

   FOR ARTISTS


1Special Award
3rd Sarasaviya Awards - 1966
G.D.L. Perera
 
DESCRIPTION

මීට වසර 65 කට පෙර එනම් 1954 දෙසැම්බර් මාසයේ සති අන්තයක කොටහේනේ කුමාර මහා විද්‍යාලයේ වර්ෂ අවසාන ප්‍රසංගය වූ "කුමාර රංග" යටතේ "ඔක්කොම පිස්සෝ" නමින් කෙටි නාට්‍යයක් ඉදිරිපත් කර තිබුණි. මේ නාට්‍ය ලියා නිෂ්පාදනය කළේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුවෙකු වූ ජී.ඩී.ඇල්. පෙරේරාය. සිය ගුරුවරුන්ගේ ද දෙමාපියන්ගේ ද ඉදිරිපත් කිරීමෙන් උද්දාමයට පත් ජී.ඩී. ඇල්ට කොළඹ මරදානේ පැවැත් වූ කානිවල් එකක "ටීටර්" දර්ශනයක ප්‍රධාන අමුත්තා වශයෙන් තම සොහොයුරාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණේය. එපමණක් නොව කොටහේන අවට තිබූ හැම සිනමා හලකම ප්‍රදර්ශනය වුණු දෙමළ හා හින්දි චිත්‍රපට හා ටීටර් අයියා​​ගේ අනුග්‍රහයෙන් ඔහුට නොමිලයේම නරඹන්නට අවස්ථාව ලැබිණ. තම මිත්‍රයා වූ වෝල්ටර් විමලරත්න සමඟ මේ චිත්‍රපට හා ටීටර් නැරඹූ ඔහු ඒවායෙන් වෙහෙසට පත් විය.  



 
 
"මීට වඩා හොඳ නාට්‍යයක් මට කරන්න පුළුවන්" දිනක් ටවර් රඟහලේ නාට්‍යයක් බැලූ ජී.ඩී. තම මිතුරාට කීය   "එහෙම කියන්න එපා බං, මේවා කරන එක එච්චර ලේසි නෑ" මිතුරා එයට එකඟ නොවීය.   කතාව ඇත්තය. රස්සාවක් නැති කොල්ලන්ට නාට්‍යයක් කරන්න කොහේද සල්ලි.   "කොහොම හරි කරමු."   බැරිම තැන මිත්‍රයා තොටළඟ තුංගසේන මාස්ටර් ළඟට ජී.ඩී.එල්. කැඳවා ගෙන ගියේය.   
 
"ඕවා හුඟාක් වියදම් යන වැඩ ළමයෝ! පොතට ගෙවන්නට ඕනෑ, මාස්ටර්ලාට ගෙවන්න ඕනෑ. ඇක්ටර්ස්ට ගෙවන්න ඕනෑ" තුංගසේන මාස්ටර් මිතුරන්ට විස්තර කළේය.   
 
"හොඳයි, අපිම කතාව ලියනවනං අපිම පුරුදු වෙනව නං අපිම ඇට් කරනවා නං, වෙන මොකටද ගෙවන්නේ" ජී.ඩී.ඇල් හරස් ප්‍රශ්නයක් ඇසුවේය.   
 
"ඒත් ළම​​යෝ ඇත්තටම පෙන්වන්න හෝල් එකක් එපායැ. ඒවාට සල්ලි කෝ."   
 
ජී.ඩී.එල්. එතෙන දී හිර විය.   
 
"අපි යාළුවන්ට ටිකට් විකුණනවා. අම්මලා තාත්තලට ටිකට් විකුණනවා. ඒ සල්ලිවලින් ​​හෝල් එකට බඳිනවා."   
 
"එහෙම කරනවා නං ඕනෑ කෙනෙකුට බැරි යැ ටීටර් කොරන්න" තුංගසේන මාස්ටර් කීවේ මේ තරුණයාගේ උත්සාහය ගැන පුදුමයෙන් බලමිනි.   
 
දැන් ජී.ඩී.ඇල් අභියෝගවලට මුහුණ දිය යුතුය. එදා රෑ පහන් වෙන්නට කලින් ඔහු කතාවක් ලිව්වේය. තමා දැක තිබූ චිත්‍රපටි ඔහුට තල්ලුවක් විය. සගයන් දෙතුන් දෙනෙකුට චරිත රඟපාන්නට දුන්නේය. රැකියා කළ වුන් කිහිපදෙනෙක් නාට්‍යය පෙන්වා ආපසු ගෙවන කොන්දේසිය මත මාසයකට රුපියල් පහ බැගින් ලබාගත් ණය මුදලින් රුපියල් විසිපහක් ගෙවා ශාලාව වෙන් කර ගත්තේය. ඔහු තුළ විශ්වාසයක් තිබූ හත් දෙනෙක් එක්කාසු කරගෙන 1955 සැප්තැම්බර් මස 29 වෙනි දා මරදානේ ටවර් රඟහල ඉඳිරිපිට වූ වෝල්ටර් විමලරත්නගේ කුලී කාමරයේ ජී.ඩී.ඇල් "අඟනුවර කලා පෙළ නාට්‍ය සංගමය" පිහිටුවා ගත්තේය. එහි ආරම්ක සමාජිකයෝ වූයේ අමිත මල්ලවාරච්චි, කරුණාරත්න ඩී. පිලිප්, එස්. කරුණාරත්න, වික්ටර් වික්‍රමගේය.   
 
කලා පෙළ නාට්‍ය සංගමයෙන් 1955 නොවැම්බර් 09 වැනිදා සවස 6.00ට බොරැල්ලේ වයි.එම්.බී.ඒ. ශාලාවේ දී ජී.ඩී.එල්.ගේ "කඳුළු" නාට්‍යය වේදිකා ගත කළේය. 
 
"හිත ඇත්නම් පත කුඩාද?" දිරිය මිනිසෙකුගේ ආරම්භයයි මේ. ඔවුහු කලාපෙළ වෙනුවෙන් මනමාලකම, ද "සාමා" වේදිකා නාට්‍යය ද ඉදිරිපත් කළහ. "සාමා" 1960 සැප්තැම්බර් 29 වෙනිදා බොරැල්ලේ වයි.එම්.බී.ඒ. ශාලාවේ වේදිකා ගත කළේය. මේ වෙන විට ජී.ඩී.ඇල්ට කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් ලැබී තිබුණි.   
 
"මුල් නාට්‍ය දෙකට සම්බන්ධව සිටි අය රැකියාවක් සඳහා විසිර ගියත් මුල් නාට්‍යයට සම්බන්ධ ලියෝනි වීරසිංහ (කොතලාවල), එල්සන් දිවිතුරුගම, දෙනවක හාමිනේ සමඟ සුගතපාල සෙනරත් යාපා (ජාත්‍යන්තර සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂ) එක් වුණා. 1960 වසර වෙන විට මගේ ආදරණීය අම්මාගේ අකල් වියෝවෙන්, මගේ ප්‍රථම ප්‍රේමයත් සමාජ අසාධාරණයකම් මත බිඳ වැටුණා. මේ කාල​යේ මම දැඩි ලෙස පොත් පත් කියවමින් හුදෙකලාව ගත කළේ. Chinese Literature (චීන සාහිත්‍ය) නම් සඟරාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් ලෙස පළ වී තිබුණ ශෝකාන්ත ජනකවි මාලාවක් මේ අතර අහම්බෙන් කියවන්න ලැබුණා. චීන පෙම්වතුන් දෙදෙනෙක් ප්‍රේමය වෙනු​වෙන් දිවි පුදන තේමාවක් ඇතුළත් Under the ever Geen First (අන්ඩර් ද එව ග්‍රීන් ෆර්ස්ට්) නම් ඒ ශෝකාන්තය තුළින් කියැවුණු ජීවිතයේ යථාර්ථය මගේ හදවතට දැඩිව දැනුණා. පරම්පරා අතර මත ගැටුම් සදාකාලිකව පවතිනවා. ගතානුගතිකත්වයෙන් මිදෙනවා ද නැතහොත් එහිම ගැලෙනවා ද, මේ ගැටුම "සාමා" නිර්මාණය සඳහා මම උපයෝගී කොට ගත්තා." ජී.ඩී.ඇල්. අතීත කතාව කී​වේය. අද ඔහු එංගලන්තයේ වෙසෙයි.   
 
නාට්‍ය ලෝකයේ නමක් ඇති කරගත් ජී.ඩී.එල්. සක්කර වට්ටං (1961) රතු රෝස (1962) මෙහෙව් ලෝකෙක, (1962) තොටුපළ (1964) යන නාට්‍ය නිෂ්පාදනය කළ අතර ඒවා සම්මාන හිමිකර ගත්තේය.   
 
කලා පෙළේ හත් වැනි සංවත්සරය පැවැත් වූයේ ජී.ඩී.අැල්. ගේ මහගෙදර වූ වැලිකඩ රාජගිරියේ හඳුන්ලෙන නිවසේ පිටුපස තිබූ රූස්ස කොස් ගහ යටය. සාමාජිකයන් තිස් දෙනෙක් එයට සහභාගී වූහ. ස්තූති කතාව කළ සුගතපාල සෙනරත් යාපා මෙසේ කීවේය.   
 
"අපි නාට්‍ය කළා. රාජය නාට්‍ය උළෙලවල දී තරග වැදි ජයග්‍රහණය කළා. අපි අතර දක්ෂයන් ඉන්න බව ලෝකයටම පෙන්නුවා. අපි මේ ගමන කරන්න ඕනෑ චිත්‍රපටයක්."   
සාමාජිකයන්ගේ අත්පොළසන් හ​ෙඬ් කිසිම පලුද්දක් තිබුණේ නැත. එහෙත් ජී.ඩී.එල්. පමණක් අත්පුඩි ගැසුවේ නැත. ඔහු තුළ තිබුණේ චිත්‍රපටියක් කරන්න බැරිද? යන සිතිවිල්ල පමණි. ඔහු භාණ්ඩාගාරික තිස්ස අමරකෝන් ගෙන් මෙසේ ඇසීය.   
 
"තිස්ස, ළඟ දැනට සල්ලි කීයක් විතර තියෙනවාද?"   
 
"රුපියල් 250ක් තියෙනවා."   
 
"ඉතිං එහෙනං ඒ අැති, අපි පටන් ගමු චිත්‍රපටයක් කරන වැඩේ. අපේ නාට්‍ය පෙන්නලා හම්බවෙන සල්ලි ඔක්කොම අපි දාමු චිත්‍රපටයේ වැඩවලට එක සාමාජිකයෙක් කීය.   
 
"ඔව් අපිට මීට පස්සෙ සතයක්වත් එපා ගමන් ගාස්තු හැටියටවත්, අපි වියදම් කරගෙන එන්නම්" තවත් කෙනෙක් කීය.   
 
"හරි ෂූටිං කරන දවස්වලට මං ගානෙ කෑම. පානුයි, පරිප්පුයි" ඒ තව සාමාජිකයෙක්.   
 
"රස්සාවල් කරන අපිට පුළුවන්නෙ මාසෙ මාසෙ කිය කීය හරි දාන්න ෆිල්ම් රෝල් ගන්න." සෙනරත් යාපා යෝජනා කළේය.   
 
"මගෙ යාළුවෙක් ඉන්නව රත්නායක කියලා කැමරා ඇසිස්ටන් කෙනෙක්. ඌව කියලා මට පුළුවන් කැමරා බඩු ඉල්ලා දෙන්න" ඒ ප්‍රියවර්ණගේ හඬ.   
 
"මගේ වෑන් එක දෙන්නම්ූ ෆිල්ම් එකේ වැඩට මං ගා​නෙ. හැබැයි පෙට්රල් ගහපල්ලා." ඒ බුද්ධි වික්‍රම.   
 
"හා.. හරි අපි වැඩේ පටන් ගම්මු." ජී.ඩී.එල්. නායකත්වය ගත්තේය.   
 
සාමාජිකයෝ කූඹි මෙන් කඩිසර වූහ. "සාමා" චිත්‍රපටයේ වැඩ ඇරඹුණි. සිංහල සිනමාව නව මඟකට යොමු කරමින් නව රැල්ලකට අත්තිවාරම දැම්ම බව, ඔවුහු එදා නොසිතන්නට ඇති. එහෙත් ‘ජී.ඩී.එල්. පෙරේරා’ නම ජාත්‍යන්තර සිනමාකරුවන් අතරට එක් විය. "සාමා" ශ්‍රී ලංකේය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අපේ රටට කීර්තියක් අත්පත් කර දුන්නේය.   
 
චිත්‍රපටය සඳහා තමා බෙහෙවින් ආදරය කළ "සාමා" නාට්‍යය ඇසුරෙන් ජී.ඩී.එල් තිර නාටකය සකස් කර ගත්තේය. "කලා පෙළ" සාමාජිකයන් විසිර ගිය පසු ජී.ඩී.එල්. අක්කා වෙත සමීප විය.   
 
අක්කේ, අපි චිත්‍රපටයක් කරන්න යනවා. අපිට සල්ලිවල අඩුව තමයි තියෙන්නේ..." මල්ලී තටමමින් කීවේය.   
 
ඇය කිසිවක් නොකීවාය. මල්ලී මේ දිනවල දස අතේ කල්පනා කරමින් සිටින​ හේතුව අක්කා දැන ගත්තේ එදාය.   
 
"උඹට කවද හරි වෙන්නේ ටීටර්වල පෝස්ටර් අලව අලවා ඉන්න" කලකට ඉහත තාත්තා මල්ලීට කියා ඇති බව අක්කාට මතකයට ආවාය.   
 
"ලක්ෂ්මන්, චිත්‍රපටියක් හදනවා කියන එක සෙල්ලං වැඩක් ද?" අක්කා මල්ලීගේ හිස අතගාමින් කීවාය.   
 
"හොඳයි මල්ලි, මම උදව් කරන්නම්" අක්කාගේ ඒ වචනය ජී.ඩී.ඇල්.ට මහ මෙරක් විය. ඇය කනකර උගස් කොට මුදලක් ඔහු අත තැබුවාය.   
 
"මට ඩබ්ලිව්.ඒ. රත්නායක නම් කැමරා ශිල්පියා ප්‍රියවර්ණ මිත්‍රයා හඳුන්වා දුන්නා. මේ කාල​යේ මම යාපනයේ රැකියාවක් කිරීමට යාපනයට යාමට සූදානම් වෙලා හිටියේ. මගේ මිත්‍රයාගේ හැඳින්වීමේ ලිපියක් රැගෙන මම බළපිටියේ මහ කප්පින වලව්වට ගියේ ඒ දිනවල ගම්පෙරළිය චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන නිසා. "ගම්පෙරළිය" චිත්‍රපට​ෙය් රූපගත කිරීම් නැරඹීමේ දුර්ලභ අවස්ථාව මේ නිසා මට ලබුණා. මා කලින් දැක තබුණ ශෛලියට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයට ලෙස්ටර් මහත්තයා මේ චිත්‍රපටය කළේ. හරියට සිනමා පාසලකට ගියා වගෙ. දර්ශන අතර විවේකයක දී මම ලෙස්ටර් මහතා මුණ ගැසීමට ඔහුගේ කාමරයට රැගෙන ගියේ රත්නායක. එහි දී මම මගේ සිනමාවට ඇති ආදරයත්, චිත්‍රපටයක් කිරීමට ඇති ආසාවත් කිව්වා. මම ඔහුගෙන් ඇසූ නොමේරූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු ලෙසිනි. කොළඹට ඒමට බස් නැති තරම් රෑ වෙනතුරු අපි කතා බහ කළ නිසා එදා මට එහි නවතින්න සිදු වුණා. රත්නායක බොහොම කැමැත්තෙන් "සාමා" චිත්‍රපටයේ කැමරාව මෙහෙයවීමටත්, කාර්මික උපදේශකවරයා වීමටත් භාර ගත්තා.   
 
ජී.ඩී.ඇල් එසේ විස්තර කළේ කඳුළු මැදින් උපන් "සාමා" චිත්‍රපටය ගැනය. කවදත් නවකයන්ට අත හිත දෙන "විසිතුර" පත්‍රයේ කර්තෘ ආතර් යූ, අමරසේන "සාමා" ට පටන් ගත් තැන සිටම පුළුල් ප්‍රචාරයක් දුන්නේය. චිත්‍රපටයට දළ සේයාපට රීලයක් මුලින්ම දුන්නේ ප්‍රධාන චරිතය රඟ පෑ ලියෝනිගේ පියා ඩෙන්සිල් වීරසිංහය. වීරසිංහ පවුලේ ලියෝනිගේ පියා, මව මෙන්ම අයෝනි, මොනිකා සොහොයුරියන් ද කෑම, බීම පිළියෙල කරගෙන ආවෝය. ධම්ම ජාගොඩ මාසෙ පඩියෙන් කොටසක් දීමට පොරොන්දු විය. ගායක මල්ලිකා පෙරේරා (ඉන්ද්‍රානි පෙරේරා ගායිකාවගේ අක්කා) දෙමාපියන් හැකි හැම උපකාරයක්ම කළහ. ජී.ඩී.එල්ගේ කුමාර විද්‍යාලයේ ගුරුවරයා එඩ්වින් හේවාකපුගේ හැම උපදෙසක්ම දී ඇත්තේ තම ගෝලයාගේ දස්කම් ගැන විශ්වාසය තබමිනි.   
 
ජී.ඩී.ඇල්ට තිබූ ලොකුම අඩු පාඩුව ෆිල්ම් නැගටිව් රෝලක් දෙකක් ගැනීමය. කලා පෙළේ සාමාජිකයෝ රජයේ සේවකයන් නිසා එය එතරම් දුෂ්කර නොවීය.  
 
"සාමා චිත්‍රපටය පටිගත කළ චිත්‍රාගාරය විශාල එකක්. උඩින් නිල්වන් අාකාශයටත්, යටින් නිල් තණ පියල්ලෙන් වැසුණු මහ පොළවටත් සීමා වූ මේ චිත්‍රාගාරය බැබළෙන හිරුගේ රශ්මි ධාරාවන්ගෙන් ආලෝකමත් වුණා. චිත්‍රපටයකට අවශ්‍ය සෑම ස්වභාවික සෞන්දර්යයකින්ම එය පරිපූර්ණ වී තිබුණා. මහත් ආයාසයෙන් සොයා ශබ්ද කැවිය යුතු සැලළිහිණි, කොවුල් හඬ "සාමා" චිත්‍රපටයට නිරායාසයෙන්ම ලැබුණා. එළිමහන් දර්ශනවලට අප තෝරා ගත්තේ කඩවත රන්මුතුගල ගම්මානයයි. තම ගමට පැමිණි අමුතු හැඬගැස්මක මේ චිත්‍රපටකාරයන්ට ගම්වැසියන් නොමසුරු සහයෝගය හා හැම සහායක්ම දුන්නා. ජී.ඩී.එල්. අපට කියා ඇත.  
 
චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා ගම්මානයට (කඩවත) රජයේ නිවාඩු දිනයක් එනතෙක් බලා සිටින්නට සිදු විය. වැඩට යාමට පෙර උවමනා කළේ දළ සේයා පටි රෝල් තුනක් ගැනීමට මුදල් පමණය. කණ්ඩායමට අවශ්‍ය කෑම, බීම සඳහා හාල්, පොල්, සීනි, එළවළු, කරවල ටින් මාළු එක එක සාමාජිකයන්ගේ පරිත්‍යාග විය. අමතර වියදම් තම තම විසින් දරා ගන්නා ලදී. "සාමා" චිත්‍රපටයේ වැඩ ටිකෙන් ටික කෙරීගෙන ගියේය. මේ අවස්ථාවේදී ජී.ඩී.එල්ට මුණ ගැසුණු මිතුරන් කිහිප දෙනාගෙන් මුදල් ආධාර ලැබුණි. එක් සමාජිකයෙක් තමාගේ මෝටර් රථය විකුණා අරමුදල තර කළේය. එහෙත් චිත්‍රපටයට සම්බන්ධ සාමාජිකයන් ඇවිද්ද සැතැපුම් ගණන, බස් නැවතුම්පොළවල සිට ගෙන සිටි පැය ගණන අඩු නොවීය. හැම සතයක්ම වියදම් කරන ලද්දේ ඉතා අරපරිස්සමිනි.  
 
චිත්‍රපට අංශයේ වැඩට නොමිලයේ දුන් බුද්ධි වික්‍රමගේ කාර් එක විටෙක පාරේ යනවාට වඩා එහි යන්නන්ට තල්ලු කිරීමට සිදු වී ඇත. අධ්‍යක්ෂ ජී.ඩී.එල්. රඟපාන නළුවන්ට උපදෙස් දී ඩොලිය මත ධාවනය වූ කැමරාව සහිත ඩක්කුව තල්ලු කළේය.  
 
මේ චිත්‍රපටයේ "සාමා" ලෙස ලියෝනි වීරසිංහ කොතලාවල) ද, සිරිමල් ලෙස ෂෙල්ටන් සිල්වා ද ​නොන්නෝ හාමි ලෙස දෙනවක හාමිනේ ද, සාමාගේ සොහොයුරා ආව්ස් ලෙස එල්සන් දිවිතුරුගම ද, පොඩි මහත්තයා ලෙස ගාමිණී විජේසූරිය, මුලාදෑනියා ලෙස පී.බී. මයිල්ලෑව ද සුගතපාල සෙනරත් යාපා ගාමිණී වික්‍රමසූරිය ඇතුළු පිරිසක් රඟපෑහ.  
 
අමරදේවයන්ගේ පසුබිම් සංගීතයෙන් ඔපවත්වූ මෙහි එන ගීත දෙකම අතිශයින් ජනප්‍රිය විය.  
 
"ආශා දෑසින් දකිනා සිහිනේ  
මිහිර මැකී යනවා  
එ් සිහිනේ පුතු තනිකම ඉපදී  
හද තුළ තෙරපෙනවා"  
 
ගායනය හා තනුව දේවානන්ද වෛද්‍යසේකරගේය.  
 
"වනන්තරේ ගල් අරණේ විමානෙට  
නිරන්තරේ යන ගමනේ නිමාවට  
හෙමින් සැරේ මඟ අවුරා මුවාකොට
නුවන් පුරේ ගිනි තබලා විමානෙට  
 
ගායනය - මල්ලිකා පෙරේරා, තනුව - ජයතිස්ස අලහකෝන්, මේ හතර දෙනාම සිනමාවට එක්වෙන්නේ "සාමා" ගෙනි.  
 
"සාමා" චිත්‍රපටයෙන් ලියෝනි වීරසිංහ (කොතලාවල), එල්සන් දිවිතුරුගම, දෙනවක හාමිනේ, ගාමිණී විජේසූරිය සුගතපාල සෙනරත් යාපා, පී.බී. මයිල්ලෑව සිනමාවට හඳුන්වා දෙනු ලැබීය.  
 
දෙනවක හාමිනේ නම් විශිෂ්ට චරිතාංග නිළිය බිහි වෙන්නේ "සාමා" වේදිකා නාට්‍යයෙනි. මේ ගැන ජී.ඩී.එල්. කියන්නේ මේ කතාවය.   
 
"දෙනවක ඇන්ටිට එතකොට වයස අවුරුදු පනහක් විතර අැති. "කඳුළු" නාට්‍යයේ ප්‍රධාන නිළියක ලෙස රඟපෑ පාසල් සිසුවා නාට්‍ය පුහුණු වීමට එන්නේ අම්මා එක්ක. දවසක් අම්මා වෙනුවට ඇන්ටි කෙනෙක් එක්ක ආවා. ඇගේ නම ඩී.ඇම්. පෙරේරා. පාසල් ගුරුවරියක්. ඇය අපට නිතරම උදව් කළා. සමහර දාට නාට්‍ය පෙළ කියවන්නේ ඇය. නාට්‍යයක රඟපාන හැටියටමයි ඇය උච්චාරණය කරමින් නළු නිළියන්ට දෙබස් මතක් කරන්නේ. දවසක් වැඩිහිටි නිළියක් අසනීප වෙලා ඉන්න වෙලාවක මම ඇන්ටිට කිව්වා අපිට උදව්වට ඒ චරිතය රඟපාන්න කියලා.  
 
"අප්පේ හොඳට හිටිවි, මට ගෙදරින් විසුමක් වෙන්නේ නෑ, ගුරුවරියක් ජවුසන් නටනවා කියලා"  
 
අපි ප්‍රශ්නයක මැදිව සිටින බව දැන ඇන්ටි ඇවිත් කිව්වා. "හොඳයි මං මේ ළමයින්ට උදව්වක් හැටියට රඟපාන්නම්, හැබැයි වේදිකාවේ තිරය බලාගෙන" ඔන්න ඔහොමයි දෙනවක හාමිනේ කලා ලොවට ආවේ. ඇන්ටි එදා හොඳට රඟ පෑවා. ඔයිට ඉස්සර මේ වැඩිහිටි චරිත මම රඟපෑවේ ඔළුව රෙද්දකින් වහාගෙන. ජී.ඩී.එල්. සිනාසෙමින් කීවේය.  
 
"සාමා" චිත්‍රපටය නිම කිරීමට ඔවුන්ට ගිය මුදල් රුපියල් 40,000කි. 1965 මැයි 13 චිත්‍රපටය තිරගත විය.  

ඒ.ඩී. රන්ජිත් කුමාර 
 
CAST

 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS