සාරාංශයඡායාරූප
Mervin Jayathunga
මර්වින් ජයතුංග
1940 - 1993
57.15248525695
57% |   1187  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Mervin Jayathunga මර්වින් ජයතුංග
Mervin Jayathunga
  • උපන්දිනය : 1940 March 09
  • විපත : 1993 November 01
  • සම්මාන

    1Merit Award
    6වන ජනාධිපති සම්මාන උළෙල 1984
    පසමිතුරෝ
    2Best Supporting Actor
    13 වැනි සරසවිය සම්මාන උළෙල - 1985
    හිතවතිය
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1චන්ඩි පුතා
    නළුවා
    1974
    2පෙම්බර මදූ
    නළුවා
    1977
    3විශ්මය
    නළුවා
    1978
    4සෙලීනාගේ වලව්ව
    නළුවා
    1978
    5සීතා දේවි
    නළුවා
    1978
    6අනුපමා
    නළුවා
    1978
    7ජීවන කඳුළු
    නළුවා
    1979
    8අමල් බිසෝ
    නළුවා
    1979
    9චුඩා මානික්‍ය
    නළුවා
    1979
    10අක්කේ මට අවසර
    නළුවා
    1979
    11රක්තා
    නළුවා
    1980
    12සන්කපාලි
    නළුවා
    1980
    13මයුරිගේ කතාව
    නළුවා
    1980
    14කිඳුරු කුමාරි
    නළුවා
    1980
    15තවලම
    නළුවා
    1981
    16වජිරා
    නළුවා
    1981
    17සූරියකාන්ත
    නළුවා
    1981
    18අම්මේ මට සමාවෙන්න
    නළුවා
    1981
    19සාගරයක් මැද
    නළුවා
    1981
    20රිදී තැල්ල
    නළුවා
    1981
    21සුද්දා
    ප්‍රධාන නළුවා
    1981
    22සක්විති සුවය
    නළුවා
    1982
    23තනි තරුව
    නළුවා
    1982
    24පෙති ගෝමර
    නළුවා
    1982
    25අනුරාධා
    නළුවා
    1982
    26මිහිදුම් සිහින
    නළුවා
    1982
    27පියා සහ දරුවෝ
    නළුවා
    1982
    28රන් මිනි මුතු
    නළුවා
    1983
    29චන්දිරා
    නළුවා
    1983
    30සුමිතුරෝ
    නළුවා
    1983
    31චුට්ටේ
    නළුවා
    1983
    32හස්ති වියරුව
    නළුවා
    1983
    33සෙනෙහසක කඳුළු
    නළුවා
    1983
    34පසමිතුරෝ
    ප්‍රධාන නළුවා
    1983
    35මැණික් මාලිගා
    නළුවා
    1983
    36රතු මකරා
    නළුවා
    1983
    37බෝනික්කා
    නළුවා
    1983
    38මාල ගිරව්
    නළුවා
    1984
    39පරසතුරෝ
    නළුවා
    1984
    40නිවන් දකිනා ජාති දක්වා
    නළුවා
    1984
    41හිත හොඳ කොල්ලෙක්
    නළුවා
    1984
    42බඹර පැටික්කී
    නළුවා
    1984
    43හිතවතිය
    නළුවා
    1984
    44හදවතක වේදනා
    නළුවා
    1984
    45බිරිඳ
    නළුවා
    1984
    46ජය සිකුරුයි
    නළුවා
    1984
    47මව්බිම නැත්නම් මරණය
    නළුවා
    1985
    48රැජින
    නළුවා
    1985
    49රැජින
    නළුවා
    1985
    50පුතුනි මට සමාවෙන්න
    නළුවා
    1985
    51ඇය වැරදිද ඔබ කියන්න
    නළුවා
    1985
    52දූ දරුවෝ
    නළුවා
    1985
    53කිරි මදු වැල්
    නළුවා
    1985
    54ප්‍රාර්ථනා
    නළුවා
    1986
    55අතුරු මිතුරු
    නළුවා
    1986
    56දුෂ්‍යන්ති
    නළුවා
    1986
    57ජය අපටයි
    නළුවා
    1986
    58කොටි වලිගය
    නළුවා
    1986
    59සූර සරදියෙල්
    නළුවා
    1986
    60දිනුම
    නළුවා
    1986
    61යුගයෙන් යුගයට
    නළුවා
    1987
    62හිත හොඳ චන්ඩියා
    නළුවා
    1987
    63පොඩි විජේ
    නළුවා
    1987
    64යුක්තියද ශක්තියද
    නළුවා
    1987
    65කැලැ කෙල්ල
    නළුවා
    1987
    66නොම්මර එකයි
    නළුවා
    1987
    67රන්දම්වැල්
    නළුවා
    1987
    68ඔබටයි ප්‍රියේ ආදරේ
    නළුවා
    1987
    69අහිංසා
    නළුවා
    1987
    70චන්ඩින්ගේත් චන්ඩියා
    නළුවා
    1988
    71අම්මේ ඔබ නිසා
    නළුවා
    1988
    72අංගුලිමාල
    නළුවා
    1988
    73දුර්ගා
    නළුවා
    1988
    74සටන
    නළුවා
    1988
    75කෝ හතුරෝ
    නළුවා
    1988
    76නැවත අපි එක්වෙමු
    නළුවා
    1988
    77නොම්මර 17
    නළුවා
    1989
    78ඔබට රහසක් කියන්නම්
    නළුවා
    1989
    79ශක්තිය ඔබයි අම්මේ
    නළුවා
    1989
    80සිනාසෙන්න රත්තරන්
    නළුවා
    1989
    81වරදට දඬුවම්
    නළුවා
    1989
    82රන්දෙනිගල සිංහයා
    නළුවා
    1989
    83යුක්තියට වැඩ
    නළුවා
    1990
    84දේදුන්නෙන් සමනලියක්
    නළුවා
    1990
    85වීර උදාර
    නළුවා
    1990
    86හොඳින් නැත්නම් නරකින්
    නළුවා
    1990
    87පෙම් රජදහන
    නළුවා
    1990
    88පාලම යට
    නළුවා
    1990
    89චන්ඩි රජා
    නළුවා
    1990
    90ක්‍රිස්තු චරිතය
    නළුවා
    1990
    91හොඳ හොඳ සෙල්ලම්
    නළුවා
    1990
    92කෙළිමඩල
    නළුවා
    1991
    93ඔබට පමණයි ආදරේ
    නළුවා
    1991
    94හිතට දුකක් නැති මිනිහා
    නළුවා
    1991
    95රජ කෙල්ලෝ
    නළුවා
    1991
    96රජ සෙල්ලම්
    නළුවා
    1991
    97ඇසළ සඳ
    නළුවා
    1991
    98ලව් ඉන් බැංකොක්
    නළුවා
    1991
    99රන් හදවත
    නළුවා
    1991
    100චෙරියෝ ඩොක්ටර්
    නළුවා
    1991
    101අලි බබා සහ හොරු හතලිහ
    නළුවා
    1991
    102රණබිමේ වීරයා
    නළුවා
    1992
    103ජය ශ්‍රී වේ කුමරියේ
    නළුවා
    1992
    104බජාර් එකේ චන්ඩියා
    නළුවා
    1992
    105වියරු මිනිසා
    නළුවා
    1992
    106සක්විති රජ
    නළුවා
    1992
    107සක්කර සූත්තර
    නළුවා
    1992
    108මල්සර දෝනි
    නළුවා
    1992
    109චන්ඩි රැජින
    නළුවා
    1992
    110සිංහ රජා
    නළුවා
    1992
    111කියල වැඩක් නැ
    නළුවා
    1992
    112මේ වාරේ මගේ
    නළුවා
    1992
    113ඔක්කොම කණපිට
    නළුවා
    1992
    114රූමතියයි නීතියයි
    නළුවා
    1992
    115සුරනිමල
    නළුවා
    1992
    116සත්‍යා
    නළුවා
    1992
    117සිංහයන්ගෙත් සිංහයා
    නළුවා
    1992
    118රජෙක් වගේ පුතෙක්
    නළුවා
    1992
    119චායා
    නළුවා
    1993
    120සසර සැරිසරනතෙක් ඔබ මගේ
    නළුවා
    1993
    121වැලි සුළඟ
    නළුවා
    1993
    122මැවිලා පෙනේවි රූපේ
    නළුවා
    1993
    123කම් ඕ ගෝ චිකාගෝ
    නළුවා
    1993
    124යසස
    නළුවා
    1993
    125සඳරේඛා
    නළුවා
    1993
    126ලස්සනයි බලන්න
    නළුවා
    1993
    127ලඟින් ගියොත් ඇහැක් නෑ
    නළුවා
    1993
    128ජූරිය මමයි
    නළුවා
    1993
    129සූර වීර චන්ඩියෝ
    නළුවා
    1993
    130නොහඩන් කුමරියේ
    නළුවා
    1994
    131ජයග්‍රහණය
    නළුවා
    1994
    132අභියෝගය
    නළුවා
    1994
    133ආත්මා
    නළුවා
    1994
    134විජය ගීතා
    නළුවා
    1994
    135ශක්ති
    නළුවා
    1994
    136හලෝ මයි ඩාලින්
    නළුවා
    1994
    137ඉන්ස්පෙක්ටර් ගීතා
    නළුවා
    1995
    138වාසනා වේවා
    නළුවා
    1995
    139ඉර හඳ ඉල්ලා
    නළුවා
    1995
    140පුදුමයි ඒත් ඇත්තයි
    නළුවා
    1995
    141දෙවියනේ සත්‍ය සුරකින්න
    නළුවා
    1995
    142දෙමෝදර පාලම
    නළුවා
    1995
    143මාරුතය
    නළුවා
    1995
    144චන්ඩියාගේ පුතා
    නළුවා
    1995
    145ඇගේ වෛරය 1
    නළුවා
    1995
    146හිත හොඳ සූරයෝ
    නළුවා
    1995
    147සුදු වලස්සු
    නළුවා
    1995
    148දළුලන ගිනි
    නළුවා
    1995
    149භව සසර
    නළුවා
    1996
    150අපි බය නැ
    නළුවා
    1996
    151බොඩි ගාර්ඩ්
    නළුවා
    1996
    152රත්තරන් මල්ලි
    නළුවා
    1996
    153ඔබටයි මේ ආරාධනා
    නළුවා
    1996
    154නරලොව හොල්මන්
    නළුවා
    1996
    155හිත හොඳනම් වරදින්නේ නැ
    නළුවා
    1996
    156සිහින විමානේ රාජ කුමාරි
    නළුවා
    1996
    157යසෝමා
    නළුවා
    1997
    158රඹා සහ මධු
    නළුවා
    1997
    159විජයග්‍රහණය
    නළුවා
    1997
    160අපායේ තත්පර අසුහාරදාහක්
    නළුවා
    1997
    161ගුඩ් බායි ටෝකියෝ
    නළුවා
    1997
    162ගර්ල් ෆ්‍රෙන්ඩ්
    නළුවා
    1998
    163රාගිනි
    නළුවා
    1998
    164අකුණු පහර
    නළුවා
    1999
    165දිනුම කාගේද
    නළුවා
    2001
    166දිනුම කාගේද
    නළුවා
    2001
    ජීවදත්ත

    1968 වසරේ එක් දිනයක කොළඹ හැව්ලොක් ටවුමේ ජ්‍යෙෂ්ඨ විද්‍යාල ශාලාවේදී (අද ලුම්බිණි රඟහල) හෙන්රි ජයසේනගේ 'හුණුවටයේ කතාව' නැරඹීමට ගිය පාසල් ශිෂ්‍යයකු වූ මට නාට්‍ය අවසානයේ පාසල් කොරිඩෝවේදී අපූරු ජවනිකාවක් දැකගන්නට ලැබිණ. ලුම්බිණි රඟහලේ සිසිල් බීම විකුණන වයෝවෘධ අන්කල්ගේ හිස මේසයකට ඔබාගෙන තරුණයන් දෙදෙනකු පහර දෙන පිළිකුල් දර්ශනයකි. කාලයක් තිස්සේ මේ රඟහලේ සිසිල් බීම විකුණන මේ අන්කල්ට මේ පහරදීම අවට බලා සිටි අයගේ අප්‍රසාදයට ලක් වුවත් එය නවතාලීමට කිසිවකු ඉදිරිපත් නොවීය.
     
    'හුණුවටයේ' හේවායකු ලෙස රඟපෑ උස නළුවකු තම ඇඳුම් පිටින්ම එතැනට පැමිණියේ විදුලි වේගයෙනි. ඔහු අන්කල්ට පහර දෙන එක තරුණයකු ඉවතට ඇද ඔහුට විදුලි සැරයෙන් පහරක් දුන්නේය. ඔහු පහර කා ශාලාවේ ඈත කෙළවරට ඇදී ගියේය. දෙවැනි තරුණයා තවමත් අන්කල්ට පහර දෙයි. ඉවතට ඇද ගත් ඔහුට ද අත් වූයේ අර ඉරණමය. මේ දර්ශනය බටහිර චිත්‍රපටයක චාල්ස් බ්‍රොන්සන්ගේ සටන් දර්ශනයක් සිහි ගන්වන අවස්ථාවකි.
     
    මර්වින් ජයතුංග නම් වේදිකා නළුවා මා දුටු මුල් අවස්ථාව මෙය විය. ඔහු හා මුල්වරට කතා කිරීමට අවස්ථාව ලැබුණේ 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ ඔහු ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා සමඟ ද්වන්ද සටනකට සැරසී සිටි අවස්ථාවකය. ඒකකාරී චිත්‍රපට සටන් කලාවෙන් මිදී නවතාවයකින් එදා ගාමිණී සමඟ මර්වින් කළ සටන් දර්ශනයෙන් පසු ගාමිණී ඔහුට සුබ පැතුවේය. මම මර්වින් ජයතුංග හඳුන්වා දෙමින් විශේෂාංගයක් මුල්වරට 1976 වසරේ 'සරසවිය' පත්‍රයට ලීවෙමි.
     
    1940 මාර්තු 09 වෙනිදා පිටියගේ මර්වින් පියදාස ජයතුංග උපන්නේ මොරටුවේ කොරලවැල්ලේය. ඔහුගේ පියා වූ ජේම්ස් ජයතුංග වෝකර්ස් සමාගමේ සේවය කොට පසුව පූර්ණකාලීනව ලී වැඩ කර්මාන්තයේ යෙදී ඇත. මර්වින්ගේ මවගේ නම මර්ලින් ෆ්ලෝරිඩා ප්‍රනාන්දුය. පවුලේ වැඩිමලා වූ මර්වින්ට පිරිමි සහෝදරයන් තිදෙනෙකු සිටි බව මට කියා ඇත. ලොකු මල්ලි සුමනදාස කැප්ටන් මුද්‍රණාලයේ සේවය කළ බවත් ඊළඟ මල්ලී ලින්කන් කරුණාදාස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ද, මිලින්ටන් ජිනදාස මල්ලි ලංකා විදුලි බල මණ්ඩලයේ ද, බාල මල්ලී ජයන්ත විමලදාස නාට්‍ය වේදිකා සැරසිලි නිර්මාණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ බවත් පැවසූ මර්වින් තමාට මානෙල් චන්ද්‍රවතී, පද්මා කුසුමාවතී, අශෝකා ඉන්දුවතී හා භද්‍රා කාන්ති නම් බාල සොහොයුරියන් සිටි බව කීවේය..
     
    'මම මුලින්ම ඉගෙන ගත්තේ හොරේතුඩුවේ ශී‍්‍ර චන්ද්‍රශේකර විද්‍යාලයේ. හතරවන පන්තියෙන් පසු මම මොරටු විද්‍යාලයට ගියා. අපි මේ ඉස්කෝලෙට යන කාලයේ එහි තිබුණා විශාල නා ගහක්. නා ගස යටදී මුලින්ම ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු කියන ගුරු මහතා අපට ස-රි-ග-ම-ප-ධ-නි-ස හඬ නඟා කියා දුන්නා. අපි බොහෝම ආසාවෙන් ඒවා ඇහුම්කන් දීලා ඉගෙන ගත්තා. මට ගායනය ගැන ඇල්මක් ඇති වුණේ ඊට පස්සේ. පුංචි කාලේ මොරටුවේ ජස්ටින් අයියාගේ වෙසක් කැරොල් සන්දර්ශනවල මා ගීත ගයමින් ගමේ හැම තැනම ගියා.
     
    ළමා කාලයේ මට අමතක නොවන සිද්ධියක් තියෙනවා. දවසක් මගේ මල්ලී (කරුණාදාස) මොරටු ගඟේ ගිලෙන්න ගියා. මම එයාව ගලවා ගන්න ගඟට පැන බේරා ගත්තා. මගේ මුල්්වරට පීනපු දවස එදා. මට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. හිතේ හයියට ගඟට පැන්නේ. ඒ වගේ පුංචි සන්දියේ මම මගේ වයසේ ළමුන් එක්ක ගහ ගත්තා. දබර කර ගත්තා. මාව 'චණ්ඩියෙක්' හැටියටයි මොරටු විද්‍යාලයේ ප්‍රසිද්ධ වී තිබුණේ. පුංචි කාලේ ඉඳලම ප්‍රසිද්ධ වේදිකාවල පෙනී සිටීමට මම අකමැතියි. දවසක් සාහිත්‍ය සංගමයේ සභාපති ගාමිණී විජේසූරිය කතාවක් පවත්වන්න මටත් නොකියා න්‍යාය පත්‍රයට මගේ නම ඇතුළත් කර තිබුණා. මේ බව දැකපු මට හොඳටම කේන්ති ගිහින් ශිෂ්‍ය සභාපතිට පහර දුන් දවස මට කිසිදා අමතක වෙන්නේ නැහැ. එදා මර්වින් තමාගේ කුඩා අවදිය සිහිපත් කළේය.
     
    එහෙත් මර්වින් පාසලේදී මුලින්ම නාට්‍යයක රඟපා ඇත්තේ මොරටු විදුහල්පතිව සිටි ඒ. එම්. ද සිල්වා මහතා නිසාලු. හොඳ කලාකරුවකු වූ ඒ මහතා රුක්මණී දේවි සමඟ එකට රඟපා ඇති අතර පාසලේදී වේදිකා ගත කළ ශේක්ස්පියර් නාට්‍යයක් ඇසුරෙන් පාසලේ රඟදැක් වූ නාට්‍යයේ රඟපෑමට මර්වින්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. මර්වින්ගේ පියා ටවර් නාට්‍ය බැලීමේ රසිකත්වය තිබූ ගමේ කැපී පෙනෙන කලාකරුවකු ලෙස ප්‍රකටව සිට ඇත. ඒ නාට්‍ය ගමේ රඟපෑ මිතුරන් රස ගැන් වූ ඔහුට හොඳට ගීත ගැයීමටත් හැකියාව තිබී ඇත. තාත්තාගේ උරුමය මර්වින්ටත් බාල මල්ලී වූ ජයන්තටත් කලා උරුමය ලැබී ඇත.
     
    මොරටු විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ මර්වින් පවුලේ වැඩිමලා වීම නිසා ඉක්මනින් රැකියාවක් සොයා ගැනීමට සිතුවේය. 'පුතේ උඹ තවදුරටත් ඉගෙන ගන්න බලපං. අපට ඇහැක් විදියට ගෙදර වැඩ බලා ගන්නං' අම්මා ඔහුට කීව ද ගෙදරට හොරෙන් කොළඹ රැකීරක්ෂා කාර්යාලයේ ලියා පදිංචි වී ඇත. 1959 මැයි 14 වෙනිදා ඔහුට විදුලි පණිවුඩයක් ලැබුණේ කොටුවේ කාර්ගෝ කෝපරේෂන් හි රැකියාවක් සඳහාය. එතැනින් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳී දුම්රිය රියදුරෙකු ලෙස පුහුණුව ලබා ඇත. ඉන් පසු ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියකු ලෙස සේවයට බැඳෙයි. ඒ පිළිබඳව ඉන්දියාවේ හයිඩ්රාබාද් නුවර පුහුණුවක් ලබා ගෙන ඇත. එදා මර්වින් කලාවට යොමු වුණේ රජයේ සේවයට බැඳීමෙන් පසුවය. ඒ පිළිබඳ ඔහු අපට මෙසේ කීවේය.
     
    'ඉස්සර තිබුණා රජයේ සේවා නිලධාරීන්ගේ කලා කවයක්. 1961 ජේ. එන්. එස්. වර්ණකුලසූරිය කියන පෝස්ට් මාස්ටර් කෙනෙක් නාට්‍යයක් පුහුණු කළා. 'සුමුදු භාර්යා' කියන මේ නාට්‍යයේ මම මුලින්ම සුළු චරිතයක් රඟපෑවා. ඊට පස්සේ මම හෙන්රි ජයසේනගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. මා සමඟ මිනුම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මිතුරන් දෙදෙනකු සැන්ටින් ගුණවර්ධන සහ පිට්ස්රෝයි ද මෙල් (ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවෙක්) මාව නාට්‍ය රංගනයට දිරිමත් කළා. මම කාර්යාලයේ සිටින අයගේ ඉරියව් අනුගමනය කරලා රඟපාලා පෙන්නුවා. මේ නිසා සැන්ටින් හා පිට්ස්රෝයි කිව්වා 'අයිසේ මර්වින් අපි තමුසෙට නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්නම්' කියලා. සැන්ටින් හා පිට්ස්රෝයි මාව යොමු කළ නිසා හෙන්රි ජයසේන මහතාගේ 'හුණුවටයේ කතාවක', 'දිරිය මව', 'අපට පුතේ මඟක් නැතේ' වගේ නාට්‍යවල රඟපෑවා. මේ අතර හෙන්රි ජයසේන මහතාගේ රෙකමදාරුව මත මට 'එලිෆන්ට් බෝයි' නම් රූපවාහිනී චිත්‍රපටයේ මම දඩයක්කාරයෙක් හැටියට රඟපෑවා එස්රම් ද සේරම් සමඟ'.
     
    මර්වින් තමාට වේදිකා නාට්‍යවලට රඟපෑමට අවස්ථාව ලබා දුන් හෙන්රි ජයසේන මහතාටත් සැන්ටින් හා ද මෙල් යන මිතුරන්ට කෘතඥතාවය පළ කළා. හෙන්රිගේ නාට්‍යවල වේදිකා සැරසිලි අංශයත් භාරව සිටි මර්වින් නැගෙනහිර ජර්මනියට ගොස් වේදිකා නාට්‍ය කලාව ගැන අධ්‍යයනයක් කිරීමට අවස්ථාව ලැබී ඇත. පෙරළා පැමිණි ඔහු ගමනක් සහ මිනිහෙක් - ඒකාධිපති - ස්ත්‍රී - රන් සලකුණ - ඒකාධිපති - කඩදාසි කොටි නාට්‍යවල රඟපෑවේය. ඔහු සිනමාවට හඳුන්වා දි ඇත්තේ වේහැල්ලේ පියතිලක බව ද කියා ඇත.
     
    'මම මුලින්ම රඟපෑවේ චාල්ස් පෙරේරාගේ 'විස්මය' චිත්‍රපටයේ. එහි රඟපෑවේ සංගීත උපදේශකවරයෙක් ලෙස. ඊට පස්සේ 'පෙම්බර මධූ' චිත්‍රපටයේ සටන් නළුවෙකු ලෙස ද රඟපෑ මම 'චණ්ඩි පුතා' චිත්‍රපටයේ දඩබ්බර සමාජ ශාලා හිමියා. එකම වර්ෂයේ චිත්‍රපට තුනක එකවර රඟපෑම මගේ චිත්‍රපට නළු ජීවිතයේ හැරවුම් ලක්ෂය 'චණ්ඩි පුතා'. මාව චරිතාංග නළුවකු කිරිමට අත හිත දුන් සෝමපාල ලීලානන්ද, ආරියරත්න පෙරේරාට කෘතඥ වෙනවා. ගාමිණී ෆොන්සේකා සමඟ සටන් දර්ශන කිරීමේදී මට අවවාද කිහිපයක් දුන්නා. එකක් තමා සමඟ සටන් කරන සහාය නළුවාට තුවාල නොකොට රඟපාන හැටි.
     
    'චණ්ඩි පුතා චිත්‍රපටයේ එක් දර්ශනයකදී ගාමිණීගේ පහරක් ලබා ජනේලයක වීදුරු කඩාගෙන ඉවතට විසි වුණා. ඒත් කැමරාවේ කාර්මික දෝෂයක් නිසා මේ දර්ශනය රූපගත වුණේ නැහැ.'
     
    තම ජිවිතයේ ලස්සනම දවස ලෙස මර්වින් සලකන්නේ විවාහ වූ දවසය. අනික් දවස එස්. එස්. සී. විභාගය එකවරින්ම සමත් වූ දවස බව මට කියා තිබුණි. මගේ බිරිඳ නාලිනී හේමලතා මොරගල්ල. ඇය උපන්නේ ගල්කිස්සේ. මොරටු විද්‍යාලයේ මලල ක්‍රීඩා උත්සවය බලන්න නාලිනී ඇවිත් සිටියේ ඇගේ යෙහෙළියක් සමඟ. මම පාසල් යන කාලයේ ක්‍රීඩාවලට හරිම දක්ෂයි. බටහිර කොට්ඨාසයේ හොඳම ක්‍රීඩකයකු ලෙස මම තේරුණා. මීටර් 400 දිවීමේ තරඟය, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම වැනි තරගවලිනුත් ජය ගත්තා. මලල ක්‍රීඩා උලෙළ අවසානයේ නාලිනීටත්, ඇගේ සොහොයුරියටත්, අපේ පාසලේ ළමයි විහිළු කරනවා මට ඇහුණා. ඇය නිල් ඉරි වැටුණු ගවුමක් ඇඳ සිටින බව මම දුටුවා. ඒ කලේ පාසලේ ළමුන්ට මම සැරෙන් මොනව හරි කිව්වම ළමයි අහන ගතියක් තිබුණා.
     
    'ළමයි සද්ද කරන්න එපා. නිශ්ශබ්ද වෙන්න'
     
    මම කීවාම ළමයි විහිළු තහළු කිරීම නවත්වන්න කියලා ළමයි විහිළු කිරීම නවත්වල නිශ්ශබ්ද වුණා. ඇය මා දෙස කෘතඥතා පූර්වකව බැල්මක් හෙළුවා. ඇය තුළින් මම අහිංසක සුන්දරත්වයක් දුුටුවා. නාලිනී ඉගෙන ගත්තේ ගල්කිස්ස ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයේ. අපි හමු වෙලා කතා කළා. අපි එකිනෙකා හඳුනා ගත්තා. වසර 3 කට පස්සේ විවාහ වුණේ.'
     
    මර්වින් සටන් ක්‍රම ඉගෙන ගෙන ඇත්තේ නැසීගිය කරාටේ උපදේශක ඩී. ඒ. වෙල්ගම මහතාගෙන් බව කෘතඥතා පූර්වකව මතක් කළේය. ඔහු සංගීතය ප්‍රිය කළ අතර විශාරද ඩබ්ලිව්. එෆ්. විමලසිරි මහතාගෙන් ඔහු සංගීතය ඉගෙන ගෙන ඇත. සිතාර් වාදනයට මර්වින් දක්ෂයෙක්ව සිටියේය.
     
    මර්වින්ගේ ලොකු දුවගේ නම ප්‍රියදර්ශනී හේමාලි ජයතුංග. පුතා සංජය ප්‍රභාත් ජයතුංගය.
     
    මර්වින් රඟපෑ චිත්‍රපට අතර 'රක්තා' චිත්‍රපටයේ ගෝරාසිං ගේ චරිතයට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. 'පස මිතුරෝ' චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට ජනාධිපති කුසලතා සම්මානයෙන් පුද ලැබීය. 'පෙති ගෝමර' චිත්‍රපටයේ වන්නකු වු ඔහු සෙනෙහසක කඳුළු චිත්‍රපටයේ දාබරේ ඇත්තෝ ලෙස ද 'අමල් බිසෝ' හි සාදිරිස් ලෙස ද, 'වජිරා' හි ෂෙල්ටන් ලෙස ද, සාගරයක් මැද' හි හිර ගෙදර හයිකාරයා ලෙසද, 'රිදී තැල්ලේ' චාරා ලෙස ද, 'සටන' හි කාල් ලෙස ද සුවිශේෂ රංගනයක යෙදුණේය. 1992 වසරේ ඔහු රඟපෑ චිත්‍රපට 17 ක් තිරගතවීම සිනමා ඉතිහාසයේ වාර්තාවකි. ඒ චිත්‍රපට නම් රණබිමේ වීරයා - ජය ශ්‍රී වේ කුමරියේ - බජාර් එකේ චණ්ඩියා - වියරු මිනිසා - සක්විති රජ - සක්කර සූත්තර - මල්සර දෝණි - චණ්ඩි රැජින - සිංහ රජා - කියල වැඩක් නැහැ - මේ වාරේ මගේ - ඔක්කොම කණපිට - රූමතියයි නීතියයි - සුරනිමල - සත්‍යා - සිංහයන්ගෙත් සිංහයා - රජෙක් වගේ පුතෙක් යන චිත්‍රපටය.
     
    මර්වින් සරසවිය, ජනාධිපති සම්මානලාභී නළුවෙකි. ප්‍රතිපත්ති ගරුක නළුවෙකි. මියගියදාත් ඔහු 'ෆෙලෝ මී' ඉංග්‍රිසි රූපවාහිනි චිත්‍රපටයේ රඟපෑවේය. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකු ලෙස රඟපෑමට ඔහු හිස මුඩු කරගෙන සිටියේය. මර්වින් මිය යන විට චිත්‍රපට 75 ක පමණ රඟපා තිබුණි.
     
    චිත්‍රපට රංගනයේ කාර්යබහුල අවිවේකී ජීවිතයක් ගත කළ ද ඔහු වේදිකාව අමතක නොකළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ තුන් වන වැදි රජු ඔහු විය.
     
    ඔහු සහෝදර නළු නිළියන්ගේ අවංක මිතුරෙක් විය. කෝපය ඔහු තුළ දක්නට ලැබුණේ නම් ඒ ඔහු තුළ තිබූ සංවේදිතාවය නිසාමය. දුකට පිහිට වීම, අසරණයන්ට පිහිට වීම, සරණ වීම, බිරිඳට ගෞරව කිරීම, දරුවන්ගේ දරුවන්ට දැඩි ලෙස ආදරය කිරීම ඔහුගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයන් විය. ඔහුගේ මානව දයා ගුණය දුටු එක් සිද්ධියක් මගේ මතකයට එයි. ඒ එක්තරා නළු නිළි ක්‍රිකට් තරගයකදීය මර්වින් තම බිරිඳ සමඟ මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. දිවා භෝජන වේලාවේදී මර්වින්ට කෑම පාර්සල් දෙකක් ලැබිණ. ඔහු තම බිරිඳ සමඟ කෑම පාර්සල් දෙක ලෙහා ගත්තා පමණි. තම මිතුරකුගේ බිරිඳක් හා කුඩා පුංචි පුතා සමඟ සිටිනු ඔහු දුටුුවේය. ඔවුන්ට බත් පාර්සල් ලැබී නොතිබුණි. කුඩා දරුවා මර්වින්ලා කෑම අනුභව කරන දෙස බලා සිටියේ බඩගින්න නිසාය. වේලාව තුනට පමණ ඇති. තමා කෑමට සිටි පාර්සලය කුඩා දරුවාට කතා කොට පරිත්‍යාග කළ මර්වින් තම බිරිඳගේ කෑම පාර්සලයෙන් කටවල් දෙක තුනක් කා ඉතාමත් තෘප්තියකින් නැඟී සිටියේය. ඒ මර්වින්ගේ හැටිය. ඔහු පදවන ජීප් රථය හැමෝගේම වාහනය විය. එය කාටත් ප්‍රයෝජනවත් වන පොදු වාහනයක් විය. ඉහවහා ගිය මානව ගුණාංගවලින් පිරුණු මර්වින් චිත්‍රපට 200 ක පමණ රඟපා 1993 නොවැම්බර් 01 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ අභාවයෙන් වසර 25 ක් ගත වී ඇත. ඔහු කලා ලොවට හඳුන්වා දුන් හෙන්රි ජයසේනයන් ලියා මට දුන් කාව්‍ය සංකල්පයකි මේ. මම එය 1993. 11. 18 වෙනිදා 'සරසවිය' පත්‍රයේ පළ කළෙමි. 'යෝධයෙක් . . . දරුවෙක්' නම් ඒ කාව්‍ය සංකල්පනාව මෙසේ යළිත් ඉදිරිපත් කරමින් මේ ලිපිය අවසන් කරමි.
     
    ඒ. ඩී. රන්ජිත් කුමාර
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS