SUMMARYPHOTOS
Manohari Wimalathunga
59.89888776542
60% |   989  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Manohari Wimalathunga
Manohari Wimalathunga
NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CAST MEMBER

1Wathura Karaththaya
Actress
1982
2Wathura Karaththaya
Main Actress
1982
3Rail Para
Main Actress
1982
4Vasity Kella
Main Actress
1985
5Wassane Senehasa
Actress
2012
6Abinikmana
Actress
2013
BIOGRAPHY

 කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘වතුර කරත්තය’ හා ‘රේල් පාර’ චිත්‍රපට ද්විත්වය තිරගත වූයේ එකම වසරකය. ඒ 1982 දීය. ‘වතුර කරත්තය’ සිංහල සිනමා වංශයේ 515 වැනි චිත්‍රපටය වූ අතර ‘රේල් පාර’ එම නාමාවලියේ 530 වැනි චිත්‍රපටය සේ ඉතිහාසයට එක්ව තිබේ.

මේ චිත්‍රපට දෙකෙහිම කතා නායිකාව වූයේ මනෝහරී විමලතුංග නමැති නවක නිළියයි. එකම චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වීමට පෙරාතුව එකී චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන නිළිය වන්නට තරම් එදා මේ යොවුන් සුරූපිනිය සැබෑ වාසනාවන්තියක වූවාය.

ඉන් පසු ඈ ජනප්‍රිය නළු සනත් ගුණතිලක සමඟ පෙමින් වෙළී යළිත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේ කඳපොල කුමාරතුංගගේ ‘වාසිටි කෙල්ල’ චිත්‍රපටයෙනි.

80 දසකයේ අපේ සිනමාවට පිවිසි යොවුන් නිළියන් අතරින් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් මනෝහරී හිටි අඩියේම තම රංගන දිවියට සමු දුන්නේ ඈ ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ළඟා වූ අවධියකය.

ඉන් වසර කිහිපයකට පසු ඇගේ රංගන දිවියේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ බර්ට්‍රම් නිහාල් ගේ ‘ගම්පෙරළිය’ ටෙලි නාට්‍යයෙනි. ජිනදාස සිංහලේ ගොස් ජීවත් වන්නේ පුංචි මැණිකා සමඟය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නව කතාවේ නාමමාත්‍රික චරිතයක් වූ ‘පුංචි මැණිකා’ පුංචි තිරයේ අපූර්ව ලෙස ජීවමාන කළේ මනෝහරීය.

වර්තමානයේ ඈ අපේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට නැතිවම බැරි නිළියකි. මෑතකදී විකාශය වූ ‘පබා’ ටෙලි නාට්‍යයේ චිත්‍රාංගනී ලෙසින් ඈ අප මතකයට තුරුළු වූයේ මහත් සෙනෙහසිනි.

මනෝහරී, පුංචි තිරයේ ගොඩක්ම ජනප්‍රියයි මේ කාලේ?

‘පබා’ ටෙලි නාට්‍යයේ මම කළ රංගනයට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකම මම රඟපානවා. ඒවාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හරිම ඉහළයි.

මොනවද ඒ . . . අපි කතා කරමු?

‘සඳගිරි පව්ව’, ‘නිල් නෙතු’, ‘ස්වයංජාත’, ‘අහස සේ ඔබ අනන්තයි’, ‘ජීවිතයම ක්‍රිකට් වගේ’ කියන ටෙලි නාට්‍යය පහේම මම රඟපානවා. මේ සේරම ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ මවගේ් චරිතය. හැබැයි එකිනෙකට වෙනස් චරිත. ඈ මොහොතක් කල්පනාවේ නිමග්නව සිටී.

‘නිල් නෙතු’, ‘ලීනා’ වෙනස්ම ආකාරයේ මවක්. ඈ සැමියා සහ දරුවන් බලාගෙන බොහොම සුන්දර විදිහට ජීවිතේට මුහුණ දෙන තැනැත්තියක්. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කිව්වාම දැලි කුණු පෙරාගෙන කුස්සියේ ඉන්න කෙනෙක්නේ අපේ මතකයට එන්නේ. හැබැයි මේ අම්මා ගොඩක් පිරිසුදුව, ලස්සනට අඳින පළඳින කාන්තාවක්.

එතකොට ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යයේ ඔබ ජීවිතයක් එක්ක හරි හරියට ඔට්ටු වෙන දිරිය මවක්?

මිහිතලය එක්ක පොර බදන මිනිස්සු ගැනයි ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යයෙන් කතා කරන්නේ. තමන්ගේ දරුවන් වගේම වෙනත් පවුලක දරුවන්ගේත් බර උසුළා ගෙන ඉන්න දයාබර මවක් විදිහටයි මම ඒකේ රඟපාන්නේ. ඇය ජේන්. ජීවිතයේ සියලු ප්‍රශ්න, අභියෝග හමුවේ ‘සඳගිරි පව්ව’ වගේ නොසැලී ඉන්න චරිතයක් තමා ජේන් කියන්නේ. ගල්ගමුව වගේ දුෂ්කර ප්‍රදේශයක මිනිස්සු මුහුණපාන අලි කරදරය ගැනත් මේ ටෙලි නාට්‍යයේ කතා වෙනවා.

දිගටම මවගේ චරිතය රඟපාන්න සිදුවීම ගැන කනස්සල්ලක් නැද්ද?

නැහැ. මොකද මේ චරිත එකිනෙකට වෙනස් නිසා. ඒ වෙනසට මම කැමැතියි. ඒ නිසාම මම තෘප්තිමක්. විශේෂයෙන්ම ‘නිල් නෙතු’ සහ ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යය දෙකේ් චරිතවලට.

‘ගම්පෙරළිය’ හරහා පුංචි තිරයේ සිදු වූ පෙරළිය ඔස්සේ ඈ මේ වන විට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ බොහෝ දුර ගිය නිළියකි. ටෙලි නාට්‍යය සියයකට ආසන්න ප්‍රමාණයක විවිධ චරිත නිරූපණය කළ මනෝහරී මෙගා ටෙලි නාට්‍යයවලට ද නොපැකිළම සිය රංගන දායකත්වය පුද කරන්නීය.

මම මෙගාවලට විරුද්ධ නැහැ. ඒකත් වෙනම කලාවක්. ඒ වගේම කර්මාන්තයක්. අවර ගණයේ ටෙලි නාට්‍යය හදන්නේ නැතිව ගුණාත්මක ටෙලි නාට්‍යය නිර්මාණය කරනවා නම් මෙගා ටෙලි නාට්‍යය කාටවත් අභියෝගයක් වෙන්නේ නැහැ.

මොකද මේ මෙගා හින්දා අනෙක් ටෙලි නාට්‍යයවලට පහර වදිනවා කියලා මතයකුත් සමහරුන්ගේ තියෙනවානේ. මම හිතන්නේ ඕනැම කලා නිර්මාණයක සරල, ස්වභාවික, බුද්ධිමත් කියන අංශ තුන තියෙන්න ඕනෑ. එතකොටයි ඒ නිර්මාණය මිනිසුන් අතරට යන්නේ. බුද්ධිමත් කියලා මම අදහස් කළේ අර ගුණාත්මක බව.

චිත්‍රපට තුනක ප්‍රධන චරිත රඟපා, සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටියදී මනෝහරී රංගනයෙන් සමු ගත්තේ ඇයි දැයි යන්න ඇතැම් විට ඔබට ගැටලුවක් වන්නට ඇත. බෙහෙවින් කටුක වූද, වේදනාකාරී වූද ඒ අතීත මතකය ඈ යළිත් මෙසේ අවධි කළාය.

‘වාසිටි කෙල්ල’ චිත්‍රපටය කරපු කාලේ මම විවාහ වෙන්න හිටපු කෙනා පිළිකාවක් හැදිලා නැති වුණා. එදා මම තීරණයක් ගත්තා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා. තාමත් මම විවාහ වෙලා නැහැ. මේ තනිකඩ ජීවිතය හොඳයි කියලා හිතෙනවා. මම ආයෙත් රඟපාන්න ආවේ ඒ සිද්ධියෙන් සෑහෙන කාලෙකට පස්සේ.

ඒ තාවකාලික සමු ගැනීමේදී නිළියක වශයෙන් ඔබට බොහෝ දේ අහිමි වෙන්නට ඇති?

මට වැඩිපුර ටෙලි නාට්‍යය ලැබෙනවා මේ කාලේ. තනියම හිටියා නම් මේ කාලේ මට පාළුවක් දැනෙයි. සුදුසු කාලෙට සුදුසු දේ ලැබෙනවා. නව පරපුරත් එක්ක වැඩ කරන්න ලැබීම මට සතුටක්. ඒ අයට මම හරිම ආදරෙයි. එයාලා මටත් ආදරෙයි. ඇත්තෙන්ම ඔවුන්ගේ යම් යම් අඩුපාඩු නැතිවා නෙවෙයි. ඒත් මම හිතන්නේ අත්දැකීම්වලින් පරිණත වෙන කොට ඒ දේවල් මග හැරෙයි.

අද බොහෝ දෙනෙක් ඔබ දකින්නේ් ටෙලි නාට්‍යය නිළියක් විදිහට. සිනමාව අහිමි වීම ගැන දුකක් හිතෙන්නේ නැද්ද?

මම සිනමාවට ආවේ කිසිම දුකක් විඳින්නේ නැතිව. එදා සිටි ප්‍රවීණ නළු, නිළියන් රැසක් එක්ක මට එකට වැඩ කරන්න ලැබුණා. ඇත්තටම අදටත් ගෙදරින් කැමැති නැහැ මම නිළියක් වුණ එකට. මගේ පුංචි අම්මයි, බාප්පයි හින්දා තමයි මම නිළියක් වුණේ.

ඒ අවස්ථාව උදා වුණේ කොහොමද?

‘වතුර කරත්තය’ චිත්‍රපටයට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්මයා නළු නිළියන් තෝරන සම්මුඛ පරික්ෂණයට මම ගියේ පුංචි අම්මත් එක්ක. එතුමා මාව ‘වතුර කරත්තය’ චිත්‍රපටයේ සුඛිනිගේ චරිතයට තෝරා ගත්තා.

කොහොම හරි ‘වතුර කරත්තය’ සහ ‘රේල් පාර’ චිත්‍රපට දෙකේම මම ගිවිසුම් අස්සන් කළේ එකම දවසේ. නමුත් නොසිතූ මොහොතක සිනමාව හැර දමා යන්න මට සිදු වුණ.

ඒ සංක්‍රාන්ති සමයෙන් පස්සේ ඔබ චිත්‍රපට කිහිපයකම රඟපෑවා?

ඔව්. ඒ චිත්‍රපට කීපයක්ම අතරමග නතර වුණා. සුදත් රෝහණගේ ‘සුදු කළුවර’ චිත්‍රපටයේ මම ජයලත් මනෝරත්නගේ බිරිඳ විදිහට රඟපෑවා. එතකොට ‘සඳ දෙව් දෝණි’ චිත්‍රපටයේ භූතාත්ම එක්ක කතා කරන ගැහැනියකගේ චරිතයක් රඟපෑවා. ඒක වෙනස්ම චරිතයක්. තවම තිරගත වුණේ නැහැනේ.

වේදිකාව සමඟත් සමීප නිළියක් ඔබ?

ඔව්, ‘වතුර කරත්තය’ කරන කාලේ මම හෙක්ටර් කුමාරසිරිගේ ‘උත්තමාචාර’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ජයසේකර අපොන්සු හා රංජිත් ද අල්විස් ගේ ‘අහස කඩා වැටේ’ නාට්‍යයේ චරිතයක් කළා. දැන්් ආයෙත් වසර විස්සකට පස්සේ මම වේදිකා නිළියක් වෙලා ඉන්නවා. ඒ රංජිත් අල්විස් ගේ ‘දුම්මල වරම’ නාට්‍යයෙන්. ‘දුම්මල වරමත්’ අරන් අපි රට වටා යනවා. ඒ ගමන හරිම සුන්දරයි, සාර්ථකයි.

 

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS