INFO
Rookada Panchi / රූකඩ-පැංචි
[ Colour 35mm ]
Film No : 1321
Released Date : 2020-09-24
43.233030090973
43% |   1429  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Rookada Panchi / රූකඩ-පැංචි
Film No : 1321
Released Date : 2020-09-24
Colorimeter : Colour
Video Format : 35mm
Category :

TRAILER


 
DESCRIPTION

අඳුරු හා දැවැන්ත ශාලාවක කෙළවර පිහිටි දීප්තිමත් තිරය මත මැවිය නොහැකි යමක් සිනමාව සතු නොවේ.සිනමාව සෙසු ප්‍රකාශන මාධ්‍ය ඉක්මවූ ප්‍රබලතම ප්‍රකාශන මාධ්‍යයක් සේ තවදුරටත් හඳුනා ගන්නා අවස්ථා සම්මුඛ වන්නේ එයද හේතුවක් කොට ගෙන ය. මේ කරුණු තවත් වටයකින් තීව්‍ර වන්නේ එසේ තිරය මත මැවෙන සියල්ල වරෙක ප්‍රශ්න කිරීමකින් තොරවම විශ්වාස කරන්නට හැකි හෙයිනි. නො එසේ නම් විශ්වාස කළ යුතු හෙයිනි. විශ්වාස නො කරන්නේ නම් කළ යුත්තේ සිනමාශාලාවෙන් නික්ම තත්‍ය ලෝකයට අවතීර්ණ වීමය.
 
කෙසේ නමුදු උක්ත විශ්වසනීයත්වය නිසැක වශයෙන්ම බැඳෙන්නේ ප්‍රමිතිය සමඟිනි. එය ඒ ඒ සිනමාපටයේ රුව ගුණ හා හැඩතල විසින්ද අවධාරණය කරනු ලබයි. නැතහොත් සිනමාව පිළිබඳ සමකාලීන කියැවීම් ද සමඟ අවධාරණය කරනු ලබයි. ඉන් ගම්‍ය වන්නේ සිනමා තිරය මත මැවෙන සියල්ල සිනමාවේ සැබෑ ශක්‍යතාවම පිළිබිඹු නොකරන වග ය. ප්‍රමිතිය අත්‍යයන්තයෙන්ම තීරණාත්මක වන වග ය.
 
යට කී කරුණුද, ඉන් විවර වවන අවකාශයද සඵලදායී කොට ගනිමින් කල්පන ආරියවංශගේ හා වින්දන ආරියවංශගේ අභිනව සිනමා නිර්මාණය වන 'රූකඩ පැංචි' හසු කර ගත හැකිය යන්න නොඅනුමානය.පළමු කොටම විචාර කාර්යයෙන්ද පාදක වන නිර්මාණයට යුක්තිය ඉටු විය යුතු වේ. එය අගැයීමක්, ප්‍රතික්ෂේප කිරීමක් හෝ ප්‍රශ්න කිරීමක් වීමට ඇති ඉඩකඩ නොසලකා හැරිය යුතු නැත.
 
අතිශය වැදගත් හේතුවක් නිසා 'රූකඩපැංචි ' වර්තමාන ලාංකේය සිනමාවට යම් අපූර්වත්වයක්ද, යම් නව්‍යතාවක්ද ගෙන එන වග පැහැදිලි ය. එසේම 'රූකඩ පැංචි' කෙසේවත් කල්පන හා වින්දනගේ ප්‍රථම සිනමා නිර්මාණය වවන 'ප්‍රේමය නම්' හා සැසඳීමද අනුචිත ය. එනම් 'රූකඩ පැංචි ', කල්පන හා වින්දනගේ සිනමා අධ්‍යක්ෂණ ප්‍රවිෂ්ටයේ වර්ධනයක් හෝ පසුබෑමක් නොවන වගයි. 'ප්‍රේමය නම්' හිදී මෙරට බොහෝ විද්වත් සිනමාකරුවන්ගේ අවධානයට ලක් නොවූ විෂය ක්ෂේත්‍රයක් කරා ගිය කල්පන හා වින්දන මෙවරද එබඳුම අභිනව ස්ථානයක් වෙත යාමට පියවර ගනියි. කල්පන හා වින්දනගේ පූර්ව හා වර්තමාන සිනමා භාවිතය අතර පවත්නා එකම සබඳතාව මෙයයි.
 
'රූකඩ පැංචි ' මුළුමනින් ම කල්පිත හා විචිත්‍ර ලොවක එන උද්වේගකර සිදුවීම් ගණනාවකින් ම සමන්විතය. සිනමාකරුවන් දෙපළ වරින් වර තත්‍ය ලෝකයේ සැටි මෙබඳු යැයි පවසන අවස්ථා කරා ප්‍රේක්ෂකයා කැඳවාගෙන නොයනවා ම නොවේ.නමුත් ප්‍රේක්ෂකයාට එතැන රැදී සිටීම සඳහා ලැබෙන්නේ මඳ වෙලාවක් පමණි. අනතුරුව දිස්වන කල්පිත හා විචිත්‍ර ලෝකය තුළ ඔහු සැරිසරන්නට පටන් ගන්නේ අර තත්‍ය ලෝකය පිළිබඳ සඳහන් කිරීම ආයාසයකින් තොරවම බැහැර කරමිනි. සමස්තයක් ලෙස සිනමකරුවනට වුවමනා වී ඇත්තේද ප්‍රේක්ෂකයා සිය කල්පිත හා විචිත්‍ර ලෝකය තුළ රඳවා තබන්නට ය.
 
මෙහිලා සිනමාකරුවන් දෙපළ උපයෝගී කර ගන්නා අංග ත්‍රයම කැපී පෙනේ. පළමු කොටම දොඩන රූකඩ ය. දෙවනුව වර්ණවත් හා ආස්වාදජනක රූකඩ සංදර්ශන පරිශ්‍රය ය. තෙවනුව රෝස හා රත් පැහැයෙන් අනූන රූප රාමු ය. තත්‍ය ලෝකයට ඉව අල්ලන දර්ශන පවා රෝස හා රත් පැහැයෙන් හැකි තරම් දුරට සමන්විත කරන්නට ඔවුහු උත්සුක වෙති.
 
රූකඩ පැංචි ලෙස නම් කරන සුවදායී දිවි සැරියක නිරත දැරිය සිනමාපටයේ ප්‍රමුඛ භූමිකාව සේ හඳුන්වා දීමෙන් පමණක් ම සිනමාකරුවන් නොනවතින සෙයකි. ඇත්ත වශයෙන් ම ඇය සිනමාපටය පුරාම සැරිසරන්නේ වැඩිහිටි චරිත හා උරෙනුර ගැටෙමිනි. වරෙක ඒවා අභිබවා යමිනි. ළමා නිළි කුෂේන්්‍යා රූකඩ පැංචි ගේ භුමිකාව ප්‍රතිනිර්මාණයේ දී හැඟීම්බර පිළිවෙතක පිහිටන්නේ එය සිනමාපටයට අවශ්‍ය වන වග අවධාරණය කරමිනි. වරෙක ඈ සිනමාපටය තමන්ගේ අත්අඩංගුවට ගැනීමේ උත්සාහයකද නිරත වන්නී ය. කල්පන හා වින්දන ඒ සඳහා ඇයට උපකාර කරති. එතැනදී ලුවී නමැති රූකඩ ශිල්පියා හා වෝල්ටර් නමැති නම්බුකාර මැරයා විසින් සිදු කරනු ලබන මැදිහත්වීමද අගනේ ය.
 
සිනමාපටය ආරම්භ වන්නේ රූකඩ පැංචිගේ මව හදිසියේ රෝගාතුර වීමත් සමඟය. සිනමාකරුවන් දෙපළ තීරණය කරන්නේ වහා ඇයව විදෙස් රටක රෝහලකට රැගෙන යන්නට ය. බරපතළ ශල්‍ය කර්මයකට ඇය ලක් කළ යුතුව තිබේ. විස්මයකි. වැඩිකල් නොයවාම ඇය සුවය ලබන්නී ය. අඩු තරමින් වෙළුම් පටියක්වත් ඇගේ සිරුරේ නොමැත. රූකඩ සංදර්ශන වේදිකාව ගිනි තබන්නේ වෝල්ටර් හා සහචරයන් ය. රූකඩ පැංචි ට සීරීමක් වත් නැත. රෝහලේ නිදා සිටිනවා පමණි. ලුවීට නම් බරපතළ බව කියැවේ. නමුත් තීරණාත්මක මොහොතකදී ඔහු තරමක් අපහසුවෙන් හෝ ජව සම්පන්නව පෙරට එයි. ඔහුගේ රෝම කූපයකටවත් හානි වී නැත. මේ කිසිවක් ප්‍රශ්න නොකරන තැනකට ප්‍රේක්ෂකයා කැඳවා ගෙන යාමේ කල්පන හා වින්දනගේ මෙහෙයුම සාර්ථකව ඇත්තේ කුෂේන්්‍යාගේ සේම ජැක්සන් ඇන්තනි හා දයාදේව එදිරිසිංහගේ රගපෑම්ද නිසාවෙනි. කුෂේන්්‍යා නොඉක්මවන මේ ප්‍රවීණයන් සිනමාපටයේ චමත්කාරජනක බවම සවිමත් කරන වග පෙනේ.
 
'රූකඩ පැංචි' හි කල්පිත විචිත්‍ර ලෝකය නිරූපණය කරලීමේදී කල්පන හා වින්දන තත්‍ය ලෝකයේ ඥාති සබඳතාද උඩු යටිකුරු කරයි. කුෂේන්්‍යාගේ මව හා පියා විදේශ ගත වන්නේ ඇය හා සොහොයුරා සමීපතම ඥාති යුවළකට භාර කරමිනි.ඔවුහු ඇගේ හා සොහොයුරාගේ සුළු මව හා මාමා වෙති. සුළු මවගේ සැමියා සුළු පියා නොකරමින් කල්පන හා වින්දන පවසන මේ අපූරු ඥාති සබඳතාව වුව ප්‍රශ්න කිරීමට අවැසි නොවේ. තත්‍ය ලෝකයට වඩා කල්පිත ලෝකය වෙනස් ය. සාපේක්ෂව විස්මයජනක ය. ඥාති සබඳතා වුව එහාමෙහාවන සුළුය.
 
කල්පන හා වින්දන සිනමාපටය නිමා කරන්නට උත්කර්ෂවත් අවස්ථාවක් නිර්මාණය කරති, රූකඩ පැංචිට අවකාශයක් සැලසෙන්නේ රෝගීව සිට සුවය ලැබූ මව සතුටු කරනු පිණිස අපූර්ව වැඩසටහනක් ඉදිරිපත් කරන්නට ය . පාසල් සිසුවියන්ගේ දක්ෂතා එළිදක්වන අවස්ථාවකදී ය .ඇයට ප්‍රථම වේදිකාවට ආ දැරියන්ගේ සමත්කම් එලෙසින් ම තිරය මත සනිටුහන් කෙරේ. නමුත් රූකඩ පැංචි සිය සමත්කම් ඉදිරිපත් කරන්නේ උද්වේගකර සංගීත ඛණ්ඩයක් යටතේ ය. ඇත්ත වශයෙන්ම මෙතැනට වුවමනා වන්නේම එබඳු බාහිර සංගීත ඛණ්ඩයකි. සිනමාකරුවන් දෙපළ මෙසේ ගත් තීරණය ඔවුනගේ සිනමා අවබෝධයේ තරම පෙන්නුම් කරන්නකි.
 
විචිත්‍ර කල්පිත ලෝකයේ අරුමැසි බව ගෙන එන රූප රචනය කෙරෙහි කල්පන හා වින්දන දැක්වූ අතිමහත් උනන්දුව දිගින් දිගටම දැක ගත හැකි වේ.පෙර කී පරිදි රෝස හා රත් පැහැය ඔවුනට මහෝපකාරී වී ඇති සැටියකි. ඒ මැද්දට ඔවුහු තවත් වර්ණද ගෙන එන්නට නොපැකිළෙති.ලුවීගේ රථය හා වෝල්ටර්ගේ රථය පවා රතු පැහැතිය. රූකඩ පැංචිගේ නිවසේ බොහෝ බිත්ති පින්තාරු කර ඇත්තේද රෝස හා රත් පැහැය ඔප් නංවමිනි. මෙතැනදී කල්පනට හා වින්දනට කැමරා ශිල්පියාගෙන් මෙන්ම පසු නිෂ්පාදන කටයුතු භාර ශිල්පීන්ගෙන් නොමඳ සහයක් ලැබෙන්නට ඇත.
 
'රූකඩ පැංචි' සිනමාශාලා කරා පමුණුවන්නේ එය ළමා සිනමාපටයක්ද යන වග පවසමිනි. ලාංකේය සිනමාව සතුව බොහෝ ළමා සිනමාපට නොමැතිය යන්න රහසක් නොවේ. නමුත් ළමුනගේ ආකර්ෂණය තහවුරු කර ගන්නා සිනමාපට නම් වරින් වර වුව හඳුනා ගත හැකි ය. මේ බොහෝ සිනමාපට තත්‍ය ලෝකය මතම රැදෙන බව සත්‍යයකි.කුමාර ජීවිත සේම දුගී දුප්පත්කමද මේවායේ දක්නට ලැබේ. විචිත්‍ර කල්පිත ලෝක නිරූපණයට මෙහිලා දක්වන අවධානය අල්ප ය. මේ ළමුනගේ සිනමා සහභාගීත්වය වර්ධනය පිණිස සලකා බැලිය යුතු කාරණයකි. කල්පන හා වින්දන නොවළහා හසු කර ගෙන ඇත්තේ මෙ කරුණ ය.
 
මේ ගෙවී යන්නේ මෙරට පාලිත කොවිඩ් 19 වෛරස සමයට තර්ජන එල්ල වන සමයකි. ලෝකයේ බොහෝ කලාපද තවමත් පවතින්නේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා සලිත වූ තත්ත්වයක ය. ලෝක සිනමාවට ඉන් ඇතිවන බලපෑම අවතක්සේරු කළ යුතු නොවේ. මෙය සේන්දුවන්නේ නව ප්‍රේක්ෂක කණ්ඩායම්ද ඇමතිය හැකි විධි ක්‍රම සපයා ගන්නා ඉසව්ව්වකට ය. මෙතැනදී 'රූකඩ පැංචි' ලාංකේය සිනමාවට අදාළව සූක්ෂ්මව ගළපා ගන්නට පුළුවන.
 
මේ අනුව 'රූකඩ පැංචි' පිළිබඳ නිර්චනයකට ඉඩකඩ සලසා ගත හැකිවේ. ‘රූකඩ පැංචි' රසාලිප්ත හා ළමා ප්‍රේක්ෂකයනට නොපමාව සමීප විය හැකි සිනමාපටයකි. ළමුනගේ ආකර්ෂණයට පමණක් සීමා වන සම්මත 'ළමා සිනමාපට’ මාදිලියට එක් කරලීම අසීරු සිනමාපටයකි. සැබෑ ළමා සිනමාවක මූලිකාංග අවධාරණය කරන සිනමාපටයකි.
 
තුසිත ජයසුන්දර
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS