Maha Re Hamuwu Sthriya

Maha Re Hamuwu Sthriya

මහ රෑ හමු වූ ස්ත්‍රිය

Black & White 35mm

Film No: 129  ·  Released: 07 Apr 1966

57.12% · 2,477 votes
Rate this film
Special Message

ටී. ඩී. ඩබ්ලිව්. සිල්වාගේ ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ නවකතාවෙනි

Summary

NameMaha Re Hamuwu Sthriya / මහ රෑ හමු වූ ස්ත්‍රිය
Film No129
Released Date07 Apr 1966
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyMovies Limited
Main Actor: Alfred Edirimmane Main Actress: Sandya Kumari Producer: D.A.S.Mohomad Director: K. Venkat

National Awards

For Artists

1 Best Lyricist 4th Sarasaviya Awards - 1967 - 1967 Karunaratne Abeysekara

Description

නෝමන් මැදිවියේ පසුවූ එහෙත් ආකර්ෂණීය පුද්ගලයෙකි. ඔහු වත්පොහොසත් කමින් සපිරුණු එකල බස් වහර හැටියට මුදලාලි කෙනෙකි. නෝමන් විවාහකයෙකි . එහෙත් ඔහුගේ බිරිද සිටියේ තරමක අසනීපයෙනි.ඔවුනට දරුවන් සිටියේ නැත. ලිලියන් රූමත් ස්ත්‍රියකි . ඇය නෝමන් යටතේ වැඩ කලාය . එසේ වැඩ කරන අතරේ නෝමන් මුදලාලි හා ලිලියන් අතරේ අනියම් සම්බන්ධයක් ඇතිවිය. එය කෙතරම් දැඩි වූවාද කිවහොත් ඔවුන් අතර ආදරයක් ඇති වුණි. දෙදෙනා කෙතරම් ආදරය කළද ඔවුනට නෝමන් ගේ බිරිද සිටින තෙක් කිසිදිනයක එක වහල යට ජීවත් වීමට නොහැකි විය.

"මහ රෑ හමුවූ ස්ත්‍රිය " කියලා කියනකොට, දෙවිදියකට ඇඟ කිලිපොලා යනවා. එක විදියක් තමා, මුළු ගතම නිකං ශෘංගාරයෙන් ඇවිස්සිලා යන එක. ඇයි මේ ස්ත්‍රී රත්නය හමුවන්නේ මහා රෑ නේ. කව්රුත් හිතුවේ මේක අනිවාර්යෙන්ම "එඩල්ට්ස් ඔන්ලි" චිත්‍රපටයක් කියලා . හරියට "ලේඩි චැටලී ලවර්ස් " වගේ. අනිත් එක මහ රෑ හමුවෙන ස්ත්‍රිය වුණේ සන්ධ්‍යා කුමාරියි. සන්ධ්‍යා රගපෑවෙත් පියදාස ගුණසේකර එක්ක. පියදාසත් ඉතින් ගැහැනියක් දිහා බැල්මක් හෙලුවොත් ඒ ගෑනිත් අළු වෙලා යනවා. ඒ තරම් රාගාධික බැල්මක් තමා පියදාසට තිබුණෙත්.

අනිත් විදිය තමා ස්ත්‍රියක් මහ රෑ හමුවුණාම හිතෙන්නේ ෂුවර් එකටම 'හොල්මනක්' කියලා. මොකද මහ රෑ කරක් ගහන්නේ එක්කෝ ගණිකාවක් ,එහෙම නැත්නම් 'හොල්මනක්'. එහෙම හොල්මනක් හමුවුනාම බියජනක ලෙස ඇඟ කිලිපොලා යනවා . "ගණිකාවක්" හමුවුණොත් ශෘංගාරාත්මකව ඇඟ කිලිපොලා යනවා. එතකොට සන්ධ්‍යා කුමාරිව මහ රෑ හමුවුනොත් මොනවා හිතෙයිද?

නෝමන් මැදිවියේ පසුවූ එහෙත් ආකර්ෂණීය පුද්ගලයෙකි. ඔහු වත්පොහොසත් කමින් සපිරුණු එකල බස් වහර හැටියට මුදලාලි කෙනෙකි. නෝමන් විවාහකයෙකි . එහෙත් ඔහුගේ බිරිද සිටියේ තරමක අසනීපයෙනි.ඔවුනට දරුවන් සිටියේ නැත. ලිලියන් රූමත් ස්ත්‍රියකි . ඇය නෝමන් යටතේ වැඩ කලාය . එසේ වැඩ කරන අතරේ නෝමන් මුදලාලි හා ලිලියන් අතරේ අනියම් සම්බන්ධයක් ඇතිවිය. එය කෙතරම් දැඩි වූවාද කිවහොත් ඔවුන් අතර ආදරයක් ඇති වුණි. දෙදෙනා කෙතරම් ආදරය කළද ඔවුනට නෝමන් ගේ බිරිද සිටින තෙක් කිසිදිනයක එක වහල යට ජීවත් වීමට නොහැකි විය .

විවාහක මැදිවියේ මුදල් හදල් තියෙන මුදලාලි කෙනෙක් තමන් යටතේ වැඩ කරන රූමත් ස්ත්‍රියක් එක්ක පෙමෙන් බැදෙන්නේ ශෘංගාරයට මිසක්, වෙන මොනවටද ?

විල්බට් තරුණයෙකි. වත් පෝසත් කම් තිබුනද කිසියම් කරුණකට ඔහු තම ගෙවල් දොරවල් වතු පිටි ඇතුළු සියලු වත්කම් නෝමන් මුදලාලිට උගස් කර මුදල් ලබා ගත්තේය අවසානයේදී ඔහුට එම මුදල් ගෙවීමට නොහැකි විය. නය මුදල් ගෙවීමට නොහැකි වූ හෙයින් විල්බට් ගේ සියලු වත්කම් නෝමන් මුදලාලිට සින්න වූ අතර විල්බට් ට පුංචි කාමරයක නවතින්නට සිදුවිය.

මේ සියලු දෙයම නැති වූයේ නෝමන් මුදලාලි නිසා යැයි විල්බට් සිතුවේය. එහෙයින් නෝමන් මුදලාලිව මරා දැමීමට විල්බට් අර අදිමින් සිටියේය. දිනක් එක රාත්‍රියක නෝමන් මුදලාලි මරදානේ කිසියම් ස්ථානයකට පැමිණෙන බව පුංචි ඔත්තුවක් ලැබුණි. එම අවස්ථාව ප්‍රයෝජන ගෙන නෝමන් මුදලාලිව නැති කිරීමට විල්බට් මහා රාත්‍රියේ පාරට බැස්සේය.

මේ අතර ලිලියන් ගේ මව මරණාසන්න විය. කිසිවක් කර කියා ගැන්මට නොහැකි වූ ලිලියන් මහා රෑම පාරට බැස දොස්තර කෙනෙක් සෙවීමට ගියාය. ලිලියන්ට අහම්බෙන් විල්බට්ව මුණගැසුණේ මේ අතරේදීය. මහා රෑ හමුවූ ස්ත්‍රිය කව්දැයි විල්බට් විපරම් කෙරීය. ලිලියන් වැටී තිබු තත්වය තේරුම් ගත් විල්බට් තමා ආ කාර්ය පසෙක ලා ලිලියන්ට උදව් කළේය. මෙයින් දෙදෙනා අතර හිතවත් කමක් ගොඩ නැගීය.මේ අතර නෝමන් මුදලාලිගේ බිරිද ගේ අසනීප තත්වය උග්‍ර අතට හැරුණු නිසා ඔහුට ඔහුගේ අවධානය ඇය වෙනුවෙන් වෙන් කරන්නට සිදු විය. මේ හෙයින් ලිලියන් ගේ වැඩ නැවතුණි. එලෙසම නෝමන් මුදලාලිත් සමග තිබු අනියම් ප්‍රේම සම්බන්ධයද නැවතුණි. නිතර නිතර ලිලියන් හා විල්බට් හමුවන්නට වූ හෙයින් ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඉපදිණි.

ටී.ජී.ඩබ්ලියු ඩී සිල්වා ලියූ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" නම් නවකථාව , කේ. වෙන්කට් විසින් ආරියරත්න කහවිටට කියා තිරනාටකය ලියා ලාංකේය සිනමාවට රැගෙන ආවේ 1966 අප්‍රේල් 7 වන දිනය. ඒ 'සන්ධ්‍යා කුමාරිගේ' "පීක්" එකය. "මහ රෑ හමුවූ ස්ත්‍රිය" චිත්‍රපටයේ ලිලියන් ගේ චරිතයට ඇය තරම් සුදුසු නිළියක් මට නම් සිතා ගැන්මටත් නොහැක. වෙන්කට් ,මෙයට උචිතම නළු නිළියන් තෝරා ගෙන තිබුණි. ඒ ලිලියන්, නෝමන් මුදලාලි හා විල්බට්ගේ චරිත වලට පිළිවලින් සන්ධ්‍යා කුමාරි, පියදාස ගුණසේකර, සහ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න වය.

"සිහින ගඟෙහි පිහිනා පිහිනා කිමිඳී රිදී දියේ

සිනිඳු ළවැලි අතරේ...සෙව්ව මැණික ඔබ ප්‍රියේ...

සඳුගෙ සිසිල පානා පානා-කරුණා දයා ගුණේ..

ගිමන නිවන ගමනේ...සුවැති සෙවණ හමු වුණේ..".

ආදරයෙන් වෙලී උන් විල්බට් හා ලිලියන් , විල්බට් ගේ කරදර ටිකක් හෝ නිම වූ පසු විවාහ වීමට තීරණය කලෝය . ලිලියන්ට නෝමන් මුදලාලි මතක් නොවුණාම නොව. එහෙත් ඔවුන් දෙදෙනාට ඔහුගේ බිරිද සිටින තෙක් එකතු වීමට නොහැකි බව ලිලියන් දනී. අන් අතකට නෝමන් මුදලාලිගේ අනියම් බිරිද වී ජීවිතයම නාස්ති කර ගැන්මට ලිලියන් කැමති නැත. එහෙයින් විල්බට් සමග විවාහ වීමට ලිලියන් සිත සාදා ගති. විල්බට් ගේ කරදර වලට සහනයක් ලබා ගැන්මට මොවුන් දෙදෙනා කතරගම දේවාලයට ගොස් බාර වීමට තීරණය කෙරීය.

"සරවන බව කඳ සුරිඳුගේ තෙද බල - පල තර තුරු ලිය හොද කල මද නල

සරවන බව කඳ සුරිදුගේ තෙද බල

සිඹ සිඹ දෙව් සැපත දෙව් මිනි ගං තලේ -සැනසුව මැන යහනක තුන් සිංහලේ

සරවන බව කඳ සුරිදුගේ තෙද බල

මේ අතර නෝමන් මුදලාලිගේ අසනීපව සිටි බිරිද මිය ගියහ .නෝමන් මුදලාලි තනි විය. ඔහු ලිලියන් සොයා පැමිණ තමාගේ බිරිද ලෙස ජීවත් වීමට ඇරයුම් කළේය. ලිලියන් ලෝක දෙකකක තනි විය. තමා විල්බට් හා විවාහ වීමට විල්බට්ට පොරොන්දු වුණිද , තමා වඩාත් ආදරය කරනුයේ, තමනට රැකවරණය ලැබෙනුයේ නෝමන් මුදලාලිගෙන් බව ලිලියන්ට වැටහුණි. එහෙයින් ලිලියන් විල්බට්ව අතහැර නෝමන් මුදලාලි සමග ඔහුගේ බිරිද ලෙස ජීවත් වීමට සිතා ගති.

"වළාකුලක් මෙන් ඈතට පාවුණු නිම් නැති අඹර දිගේ"

පිහාටුවක් නැති ගිලිහී විසිරුණු පියාඹන කවුඩෙකු ගේ

නැගී බිඳුණු රණ වරලස මාගේ බොරවී ගලන ගගේ

ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ.

ලිලියන් නෝමන් මුදලාලි සමඟ ගියාය. කීප දිනක්ම ලිලියන් තමාව මුණගැසීමට නොපැමිණීම ගැන වික්ෂෝප වූ විල්බට් නැවත නෝමන් මුදලාලිගෙන් පළි ගැනීමේ අරමුණ අලුත් කර ගති. මෙවර ඔහු කෙළින්ම නෝමන් මුදලාලිගේ නිවසට ගියේය. එහිදීය ඔහු දුටුවේ ලිලියන් නෝමන් මුදලාලි සමග ජීවත් වන බව. ඔහුගේ කේන්තිය දෙගුණ තෙගුණ විය . තමා සතුවූ සියලු දෙයම දැන් නෝමන් මුදලාලි සතු කර ගෙන ඇති අතර අවසානයේදී ලිලියන්ව පවා සතු කර ගෙන ඇත. විල්බට් තවත් දෙවරක් සිතුවේ නැත. සගවා සිටි පිහිය නෝමන් මුදලාලිගේ ලය පසාරු වී යන ලෙස ඇන්නේය.

නෝමන් මුදලාලි විල්බට් ගේ පිහි පහරින් මරුමුවට පත්විය. විල්බට් පොලිස් ඇත අඩංගුවට පත් වී පසුව මරණීය දණ්ඩනය හිමි විය. මේ සියල්ල දරා ගත නොහැකි වූ ලිලියන් උමතු විය.

කේ. වෙන්කට් ගේ මෙම චිත්‍රපටය "හිට්" වෙන්න ප්‍රධානම හේතුව, එහී රගපෑ නළු නිළියන්ය. විශේෂයෙන් පියදාස ගුණසේකර සන්ධ්‍යා කුමාරි , හා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න අතී දක්ෂ රගපෑමක නිරත විය . සෙසු චරිත අසෝක පොන්නම්පෙරුම,ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, පිටිපන සිල්වා, සේනාධීර රූපසිංහ, බී.එස්.පෙරේරා රගපෑහ. එම් .කේ රොක්සාමි සංගීතයෙන්ද, මොහිදීන් බෙග්, මල්ලිකා කහවිට, සුජාතා අත්තනායක ,ජී.එස්.බී රාණි පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ් , හෙන්රී පෙරේරා,ජෝන් පක්‍යම්,කුසුම් විජේතුංග ගීත ගායනයෙන්ද , කරුණාරත්න අබේසේකර, කරුණාසේන ජයලත් ගේ ගී පබදුමෙන්ද සපිරුණු "මහ රෑ හමුවූ ස්ත්‍රිය" ජනප්‍රසාදය මෙන්ම විචාරක ප්‍රසාදයද දිනා ගති .

ශෝන් මැක්ස්මස් දිසානායක

Film No: 129 - Year: 1966

Cast

Crew

Other Crew