භානුක නම් ඔහු, සොර කණ්ඩායමකට නායකත්වය ලබා දෙන, නීති රාමුවෙන් වසන්ව වනගතව සිටින්නා වූ අනුකම්පා විරහිත මැරවර තරුණයෙකි. දිනක් තම වන රාජධානිය කරා වේගයෙන් අසුපිට නැගී ගමන් කරද්දී, වන මැද අම්බලමක් දැක නවතින්නේ ගිමන් නිවාලන චේතනාවෙනි. එහිදී ඔහු දකින්නේ ලේ දහරාවක් මැද සිහිසුන්ව වැටී සිටිනා යුවතියකි. නොපමාව ඇයව තම වනගත නවාතැනට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී පියවි සිහියට පත් කර ගනී. නමින් වන්දනා වූ ඇය පවසන්නේ, තමා එම අම්බලමේදී පුතෙකු බිහිකළ බවයි. භානුකගේ කණ්ඩායම බිළිඳා සොයා ගියද හමු නොවේ .ඇය කල්ගතවීමේදී භානුක හා පෙමින් වෙලී ඔහුට දාව දියණියක බිහිකරයි. වන්දනාගේ සොහොයුරකු වූ, හමුදා නිලධාරියෙකු භානුක විසින් ඝාතනය කළ බැව් අසා ඇය මහත් කම්පනයට පත්වෙයි. දෙදෙනා අතර ගැටුම් ඇතිවීමත් සමගින් වන්දනා දියණිය ද අතැර පලායයි. දුර ඈත ප්‍රදේශයක මාලම්මා නැමැති මල් මාලා ගොතන්නියක් ළඟ නතර වන ඇය, කලකට පසුව ඇමතිවරයෙකු හඳුනාගනී. පසුව ඔහු සමගින් අනියම් ඇසුරකට යොමුවෙයි. ඇමතිගේ පුත් ධනුක හා ඇමති බිරිය මේ පිළිබඳව වන්දනා හා වෛරයෙන් පසු වෙයි. ඒ අතරතුර පැවති මහ මැතිවරණයකදී ඇමතිවරයා පරාද වී, පුත් ධනුක ජයග්‍රහණය කරයි. හිටපු ඇමතිවරයාට සිරගත වීමට සිදුවෙයි. ධනුකගෙන් බේරීම සඳහා වන්දනා නැවතත් පලායයි. එවිට ඇයට උදව් කරන්නේ වෛද්‍යවරයෙකි. වෛද්‍යවරයාගේ නිවසට යන එන තරුණ හමුදා සෙබළකු වූ ඔසඳ, ඔහුට වඩා බෙහෙවින්ම වැඩිමහල් වන්දනා කෙරේ සෙනෙහසක් පහළකර ගනී.ඔහු ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. තම කුසින් වැදූ පුතු හා දියණිය වන්දනාට යළි මුණ ගැසේ ද ? භානුක සහ ධනුක වන්දනාව සොයා ගනී ද ? ඔසඳ යනු කාගේ කවුද ? වන්දනාගේ අවසානය කෙලෙස කොතන සිදු වේද යනු මොනර විලක් තුළින් පෙන්වා දී ඇත.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු