Vihanga Premaya

Vihanga Premaya

විහඟ ප්‍රේමය

Colour Digital

Released: 07 Aug 2026

59.6% · 1,485 votes
Rate this film

Summary

NameVihanga Premaya / විහඟ ප්‍රේමය
Released Date07 Aug 2026
ColorimeterColour
Video FormatDigital
Duration103 mins
Movie GroupSinhala
CategoryDrama
CompanySapushpa Expression Pilgrim Film
Main Actor: Akalanka Prabashwara Main Actress: Sabeetha Perera Director: Sanjeewa Pushpakumara

Trailer

Description

ශ්‍රී ලංකාවේ සිදුවන බිලිඳු දරුවන් විදේශකයින් හට අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින් නිර්මාණය වී ඇති “විහඟ ප්‍රේමය”, සංජීව පුෂ්පකුමාර, අමිල් අබේසුන්දර හා ඉතාලියේ ෆිල්ග්‍රිම්ස් ආයතනයේ නිෂ්පාදනයකි.

සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, ඉතාලි ජාතික ලෝරන්ස්සෝ අක්කුවිවා, අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ, ප්‍රින්සි ප්‍රනාන්දු, ප්‍රියංකා සමරවීර, මිලින්ද මඩුගල්ල යන අයගේ රංගනයෙන් හැඩවෙන “විහඟ ප්‍රේමය”හි කැමරාකරණය සිසිකිරණ පරණවිතානගෙනි. සංස්කරණයෙන් ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමනායකත්, සංගීතය නිර්මාණයෙන් ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරාත්, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගමත්, ඇඳුම් නිර්මාණයෙන් අජන්ත අලහකෝනුත්, ශබ්ද සංකලන‌යෙන් ඉතාලි ජාතික එරික් නාර්දීනුත්, ශබ්ද පටිගත කීරීම් හා ශබ්ද සංස්කරණයෙන් ලාල් දිසානායන සහ නන්දා නන්දි ජයකොඩිත්, නිෂ්පාදන කළමණාකරණයෙන් හැරල්ඩ් කරුණාතිලකත්, සහාය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න සහ ඉඳුනිල් දැරණියගලත් දායකත්වය ලබා දී ඇති “විහඟ ප්‍රේමය”හි සම නිෂ්පාදනය සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගමගෙනි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කුඩා ගම්මානයක උපත ලබා හැදී වැඩුණු 19 හැවිරිදි අමිල (අකලංක ප්‍රභාෂ්වර), කුඩා වියේදීම දෙමාපියන් අහිමි වී අසරණ අනාථයෙකු බවට පත්වීම ඇතුළු තම ජීවිතයේ මුහුණ දුන් කම්පන සහගත සිදුවීම් රැසකින් පසු, ජීවිතය අලුතින් ගොඩනඟා ගැනීමට දැඩි තීරණයක් ගනී.

ඒ අනුව ඔහු තම උපන් ගම්මානය අතහැර, උස් ගොඩනැගිලි, දියුණු යටිතල පහසුකම් සහ නාගරික ජීවන රටාවකින් සමන්විත කොළඹ නගරයට පැමිණෙයි. වඩා හොඳ රැකියා අවස්ථාවක් සොයාගෙන තම ජීවන තත්ත්වය උසස් කර ගැනීම මෙන්ම, ළමා හා යොවුන් වියේදී මුහුණ දුන් දුෂ්කරතා සහ අභියෝගවලින් මිදී ජීවිතයට නව ආරම්භයක් ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවයි.

එහෙත් අමිලට තමන්ගේ ජීවිතය පමණක් නොව, බාල සහෝදර සහෝදරියන් සිව්දෙනාගේ ජීවිත පිළිබඳ වගකීමද දරන්නට සිදුවේ. ඔහුගේ සහෝදරියක වන ඉනෝකා, උපතින්ම ඇතිවන හෘද දෝෂයක් වන “Tetralogy of Fallot” රෝගයෙන් පෙළෙයි. ඇයට මාස දෙකක් ඇතුළත ඉන්දියාවේදී හදිසි ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරයා අමිලට දැනුම් දෙයි.

එම ශල්‍යකර්මය සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 15,000ක මුදල කෙසේ හෝ සොයාගන්නා බවට අමිල පොරොන්දු වෙයි. නමුත් චීන ඉදිකිරීම් සමාගමකට අයත් ගොඩනැගිලි වැඩබිමක කම්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට ලැබෙන වැටුප, එවැනි විශාල වෛද්‍ය වියදමක් දැරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මේ අතර අමිලට නොදන්වා ඔහුගේ බාල සහෝදර සහෝදරියෝ වීදිවල සිඟමන් යදිමින් මුදල් එකතු කිරීමට පවා පෙළඹෙති.

දිනෙන් දින තත්ත්වය වඩාත් අසීරු වෙමින් තිබියදී අමිලගේ ජීවිතයට බලාපොරොත්තුවක සේයාවක් ගෙන එමින් 55 හැවිරිදි මාලිනී (සබීතා පෙරේරා) ඔහුට හමුවෙයි. ඇය අමිලට මුදල් උපයාගැනීමට අවස්ථාවක් ලබාදෙන නමුත් ඒ ඇය පවත්වාගෙන යන ළමා ජාවාරම් ව්‍යාපාරයක සේවය කිරීම සඳහාය.

එය නීතිවිරෝධී මෙන්ම සදාචාරාත්මකවද පිළිගත නොහැකි කාර්යයක් බව අමිල දනී. එහෙත් තම සහෝදරියගේ ජීවිතය බේරාගැනීම සඳහා අවශ්‍ය මුදල සොයාගැනීමට වෙනත් මඟක් නොපෙනෙන ඔහු, අකමැත්තෙන් වුවද එම අවස්ථාව භාරගනී.

නීතිවිරෝධී ලෙස කාන්තාවන් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතුවල නිරත වෙමින් අමිලට ක්‍රමයෙන් මුදල් උපයාගැනීමට හැකිවේ. එහෙත් කාලයත් සමඟ තම ක්‍රියාවන් නිසා අන් අයගේ ජීවිතවලට සිදුවන විනාශය සහ එහි බරපතළ ප්‍රතිවිපාක ඔහුට අවබෝධ වීමට පටන් ගනී.

එම ජාවාරමට ගොදුරු වූ කාන්තාවන් පිළිබඳ අමිල තුළ දැඩි අනුකම්පාවක් ඇතිවන අතර, ඔවුන් අතර සිටින නදී (දිනාරා පුංචිහේවා) සමඟ ඔහු සමීප මිත්‍රත්වයක් ගොඩනඟා ගනී. අවසානයේ නදීගේද සහාය ඇතිව, ජාවාරමට හසු වී සිටින සියලු කාන්තාවන් එම අනතුරෙන් මුදාගෙන පලා යාමට උපකාර කිරීමට අමිල තීරණය කරයි.

Cast

Crew

Other Crew