King Lajjithissa

King Lajjithissa

මහරජ ලජ්ජිතිස්ස

Colour AI Movie

Film No: 18  ·  Released: 25 May 2025

0% · 0 votes
Rate this film

Summary

NameKing Lajjithissa / මහරජ ලජ්ජිතිස්ස
Film No18
Released Date25 May 2025
ColorimeterColour
Video FormatAI Movie
Duration08:52 min
Movie GroupMahawansa Pradeepikawa
CategoryHistory
Companyisandi CREATIONS
StudioMahawansa Pradeepikawa

Description

රාජ්‍ය නාමය : ලජ්ජිතිස්ස රජතුමා

රාජවංශය : පළමුවන මෞර්ය

රාජධානිය : අනුරාධපුර රාජධානිය

රාජ්‍ය කාලය : ක්‍රිපූ 119 - ක්‍රිපූ 109

ථූලත්ථන රජු සිහසුනෙන් නෙරපා දැමූ ලජ්ජිතිස්ස කුමාරයා අනුරාධපුරයෙහි රජකමට පත් විය. හෙතෙම, වැඩිමහලු පිළිවෙළ නොදන්නාහයි සංඝයාට අනාදරව පිරිහෙලූ බව මහාවංසය දක්වයි.

වර්ෂ තුනක් තරම් කාලයක් ඔහුගේ මේ පැවතුම් පිළිවෙළ විය. හෙතෙම ඉන් පසු සංඝයා සමාකරවා ගත්තේ ය. මෙයට හේතුවී ඇත්තේ ජ්‍යෙෂ්ඨ කුමාරයා සිටිය දී කණිෂ්ඨ කුමාරයාට රජකම පැවරීමට මහාසංඝයා මැදිහත් වීම යැ යි සඳහන් වේ. පසුව රජු වරද වටහා ගෙන සංඝයා සමාකරවා ගෙන දඬුවම් සඳහා මහත් ධනයක් වැය කර මහාසෑයේ මලසුන් ගෙවල් කර වූයේ ය යි මහාවංසය දක්වයි.

මෙහි දී වරද නම් තාවකාලිකව ථූලත්ථන කුමරු රජකමට කිරීම ගැන අනවබෝධයෙන් සාහසික වී තම සහෝදරයා මැරවීමත්, මහා සංඝයා වහන්සේට නොසලකා හැරීමත් බව අර්ථකථනය විය යුතු ය.

සද්ධාතිස්ස රජුගෙන් පසු රජ පවුලේ අභ්‍යන්තර ගැටුමක් ඇති වුව ද දුටුගැමුණු මහරජු විසින් ඇති කරන ලද රාජ්‍යයේ ස්ථාවරත්වය මේ වන විට ද බොහෝ සෙයින් රැකී පැවති බව පෙනී යයි. අභ්‍යන්තර හැලහැප්පිලි යටපත් වී තිබෙන්නට ඇත. ඒවායේ ගැටළු මතුවීගෙන එන ආකාරය ඉදිරියේ දී පැහැදිලි වෙතත් ලජ්ජිතිස්ස රජුගේ අවසානය දක්වා වත් ප්‍රකට වියවුලකින් තොරව පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වූ බව පෙනේ.

ලජ්ජිතිස්ස රජු බෙහෝ ආගමික ගොඩනැගිලි ඉදිකරන ලද බව මහාවංසයෙහි දැක්වේ. මහා සෑයටත්, ථූපාරාමයටත් අතර පසෙකින් කකුධ නම් වැවක් විය. මේ තීරයෙහි වගුරු සහිත වළවල් විය. මේ රජු මේ පහත් බිම් ගොඩ කරවා සම කරවී ය. අද මහාසෑයත්, ථූපාරාමයත් අතර දක්නට ලැබෙන සම බිම මේ අනුව ලජ්ජිතිස්ස රජුගේ කාර්යයකි. සෑගිරියෙහි කණ්ඨක චේතිය ද මෙතුමාගේ කටයුතු වලට ඇතුළත් කර ඇත. මේ රජු විසින් අරිට්ඨ විහාරය කරවන ලද බව ද දීඝවාපියෙහි සිටිය දී ගිරිකුම්භීල විහාරය කරවන ලද බව ද මහාවංසයෙහි දැක්වේ. අරිට්ඨ විහාරය යනු වර්තමාන රිටිගල පිහිටි ආරාමය බවට සැලකිය හැකි ය. ලේඛන වල මෙය සඳහන් වන්නේ අරිට්ඨ පබ්බත නමිනි.

දැනට රිටිගල ආඩියාකන්ද හා නා උ පොත නමින් හැඳින්වෙන කඳු කොටස්වල ඇති ආරාමික නෂ්ටාවශේෂ අතර තිබී හමු වූ ශිලා ලේඛනවල දෙවනපිය තිස අබය, ලප්කතිස මහරජ යනුවෙන් ලජ්ජිතිස්ස රජුගේ නම සඳහන් ව තිබේ. එසේ ම අරිටභමණෙ (අරිට්ඨවිහාරයෙහි භික්‍ෂූන්) යනු ද සඳහන් වෙයි. ඒ අනුව අරිට්ඨ විහාරයේ ඉදිකිරීම් ගැන ලජ්ජිතිස්ස රජුගේ සම්බන්ධය අර්ථවත් වී ඇත.

ගිරිකුම්භිල යනු අම්පාර දිශාවේ ඇති දිගටි කඳුවැටියකට ව්‍යවහාර කරනු ලැබූ පැරණි නාමය වේ. එහි එක් කොටසක ලජ්ජිතිස්ස රජු දීඝවාපියේ සිටිය දී විශාල ආරාමයක් ගොඩ නගා තිබේ. ගිරිකුම්භිල, රජගල, ධනතිස්ස පබ්බත, අරියාකර හා අරිත්තාරා යන විවිධ නම්වලින් මේ ස්ථානය හඳුන්වා තිබේ. රජුගේ නම එහි ලිපිවල සඳහන් වන්නේ ලජකරජ, තිස අය හා මහ අය යනුවෙනි. එයට හේතුව ඔහු කුමාර කාලයේ දී ඒවා කරවන ලද හෙයිනි. අනුරාධපුරයෙහි රජ වූ පසු මහරජ යනුවෙන් දක්වා ඇත. මහින්ද ඉට්ඨිය යන මහරහතුන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්තූපයක් ද මෙහි තිබූ බව සෙල් ලිපියක දැක්වෙන බැවින් මේ ආරාමය ඓතිහාසික වශයෙන් වැදගත් වෙයි.

දිඹුලාගල, අරළගංවිල අසල මාදුරුඔය අසල වූ කන්දේගම කන්දේ ලෙන් ලිපියක මහ අය යනුවෙන් දැක්වෙන්නේ ද මෙ රජු බව පෙනේ. සද්ධාතිස්ස රජු දීඝවාපියෙහි සිටිය දී ලජ්ජිතිස්ස කුමරු දිඹුලාගල අවට හෙවත් රෝහණයේ උතුරු කොටසේ පාලකයා ලෙස කටයුතු කරන්නට ඇති බව පෙනී යයි.

මේ රජුගේ නාමය ගැන ද සඳහනක් කිරීම වැදගත් වේ. මහාවංසයෙහි සමහර පිටපත්වල ලජ්ජිතිස්ස යනුවෙන් ද, සමහර පිටපත්වල ලඤ්ජතිස්ස යනුවෙන් ද මේ නම දක්වා ඇත. බහුලව දක්නට ලැබෙන්නේ මින් පළමුවන යෙදුමය. සිංහල ලේඛනවල ලදැතිස් නාමය විය. එය ලජ්ජිතිස්ස හෝ ලඤ්ජතිස්ස යන දෙවදනින් ම බිඳිය හැකි පදයකි. පැරණි බ්‍රාහ්මී ලිපි කීපයක වෙනත් අය සඳහා ද යෙදුනු ලජක නාමයක් වේ. ලෙණක් පිදූ එක් තැනැත්තෙකු ලෙණට ලජක නාමය තැබීය. මේ වචනයෙහි පාලි රූපය ලංජක විය යුතු ය. ප්‍රසන්න, දැකුම්කළු අර්ථ එහි වේ. මේ අනුව ලංජක හෝ ලජක යනු විශේෂණ පදයකි. ලජ්ජි (ලජ්ජාව ඇති) යනු නමකට විශේෂණයක් වීම වැදගත් අර්ථයක් නොදක්වයි. එබැවින් එය ලංජක යන්නේ අප පාඨයක් විය යුතු ය. රජු ලංකසාලා නමින් ආසන ශාලාවක් කර වූ බව කීමෙන් ද එය තහවුරු වෙයි.

ලජ්ජිතිස්ස රජුගේ නම තිස්ස යනු වේ. මහලු පියා වූ දුටුගැමුණු මහරජුගේ නාමය අනුව අභය නාමය ද එක් විය. ප්‍රසාදාවහ පුද්ගලයකු බැවින් ලංජක විශේෂණය ද එක් ව ලංජක තිස්ස අභය නාමය වූයේ ය. එය රිටිගල සෙල්ලිපිවල සඳහන් වේ. සමහර මෑත යුගයකට අයත් ලේඛණවල ලමැණිතිස් යනුවෙන් දැක්වීම ද සාවද්‍ය විය යුතු ය. දුවේගල ලිපියෙහි එන ලජකරජ මෙතුමා නොවන බවත්, රිටිගල තවත් ලිපියක දැක්වෙන දරක තිස යනු මේ රජු බවත් සමහරු සලකති. මේ රජුගේ භාර්යාවන් කීපදෙනෙකු ගැන රජගල ලිපිවල දැක් වේ. ඔවුන් එහි පූජාවන් කර ඇත. ලජ්ජිතිස්ස හෝ ලංජකතිස්ස හෝ මහරජ වර්ෂ නවයක් හා අඩමසක් රජකම් කළේ ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

Crew

Other Crew