“මං හොයන්නේ ප්‍රේමයක්” යන නමෙන් බැලූ විට සරල ප්‍රේම කතාවක් ලෙස පෙනුණත්, එහි ඇතුළත දිවෙන කතාව ප්‍රේමයට වඩා පුළුල් මිනිස් සම්බන්ධතා කිහිපයක් එකට ගැටගසන සංවේදී සිනමා අත්දැකීමකි.
දර්ශන් තවරාජා සහ අභිලාෂි සන්තුෂ්කි ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම කතාවේ ප්‍රේමය එක් පැත්තකින් ගලා යද්දී, අනෙක් පැත්තෙන් පිය සෙනෙහස සහ සහෝදර බැඳීම චරිතවල තීරණ, වේදනා සහ ජීවිතය වෙනස් කරන ආකාරය කතාවේ හෘද ස්පන්දනය බවට පත්වී ඇත.
චිත්‍රපටයේ “ප්‍රේමය” යනු හුදෙක් පෙම්වතුන් දෙදෙනෙකු අතර ඇති ආදරයක් පමණක් නොවේ. කෙනෙකු තම ජීවිතයේ සොයන ආදරය, ඒ ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් සහ ආදරය හා බැඳුණු තීරණ නිසා ඇතිවන ගැටුම් කතාවේ ප්‍රධාන ධාරාව බවට පත්වෙයි.
“මං හොයන්නේ ප්‍රේමයක්” යන නම තුළම චිත්‍රපටයේ ප්‍රශ්නය සැඟවී තිබේ.
අපි ඇත්තටම හොයන්නේ ප්‍රේමයක්ද?
නැත්නම් අපි හොයන්නේ අපව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ද?
කතාවේ වඩාත් සංවේදී ස්ථරයක් වන්නේ පිය සෙනෙහසයි. දරුවෙකුගේ ජීවිතය පිළිබඳ පියෙකුගේ ආදරය, ආරක්ෂාව, බලාපොරොත්තු සහ සමහරවිට ඔහුගේ දැඩි තීරණ පිටුපස සැඟවුණු හැඟීම් චිත්‍රපටය තුල මනාව ඉස්මතු කිරීමට විශිෂ්ට රංගකාරකයෙකු වන අනුරාධ මල්ලව ආරච්චිගෙන් උකහා ගැනීමට, චිත්‍රපටයේ අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස සහෝදරයා සමත් වී ඇත.
සමහර විට පියෙකුගේ ආදරය වචනවලින් ප්‍රකාශ නොවුණත්, ඔහුගේ ක්‍රියාවන් තුළ එය තදින්ම දැනෙයි.
ප්‍රේම කතාවට සමානවම වැදගත් තවත් සම්බන්ධතාවයක් වන්නේ සහෝදර බැඳීමයි.
එකම පවුලක හැදී වැඩුණත්, ජීවිතය ගැන දරන අදහස් වෙනස් විය හැකියි. ගැටුම් ඇති විය හැකියි. නමුත් අර්බුදයකදී “මම උඹ එක්ක ඉන්නවා” කියන බැඳීමේ වටිනාකම වෙනත් කිසිදු සම්බන්ධතාවයකින් පහසුවෙන් ප්‍රතිස්ථාපනය කළ නොහැක. මේ බැඳීම වඩාත් තීව්‍රර වන රංගනයක් පූජනී භාග්‍යා රංගන ශිල්පිනිය නොපිරිහෙලා ඉටුකර ඇත..
චිත්‍රපටය එම සහෝදර බැඳීම හරහා පවුල කියන්නේ ලේ සම්බන්ධතාවයකට වඩා වැඩි දෙයක් බව මතක් කරයි.
දර්ශන් තවරාජා සහ අභිලාෂි සන්තුෂ්කි තමන්ගේ චරිතයන්හි ආදරමය පැත්තට පමණක් සීමා නොවී එහි සංවේදී ස්ථාන මනාව අවබෝධ කරගෙන රංග කාර්‍යයෙහිලා ඉතා ඉහළ සාධාරණයක් ඉටුකරනු බලාගත හැකිය..
ඔවුන් දෙදෙනා අතර ඇති රසායනය අපට අනාගත ශ්‍රී ලාංකේය සිනමාවට යම් ඉඟියක් දෙන බව මතක් කලයුතුමය..
“මං හොයන්නේ ප්‍රේමයක්” කියන්නේ හුදෙක් ප්‍රේමය ගැන පමණක් කියවෙන චිත්‍රපටයක් නොවේ.
එය,
“ඔබ හොයන්නේ ප්‍රේමයක්ද… නැත්නම් ඔබට ආදරය කරන මිනිසුන්ද?”
යන්න දෙවරක් සිතීමට පොලඹවන, මිනිස් සබඳතා අර්ථ ගැන්වෙන සිනමා කෘතියකි..
~ ශාන් ජයරත්න