ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්‍රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.
හැත්තෑව දශකයේ ප්‍රධාන චරිත නිරූපණය කළ කලින් සඳහන් කළ නිළියන් අතරට එක්වන තවත් ප්‍රධාන පෙළේ නිළියක් වන්නේ සුමනා අමරසිංහයි. එවකට ප්‍රධාන චරිත නිරූපණයේ කැපී පෙනුණු රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර, ඔස්වල්ඩ් ජයසිංහ, ටෝනි රණසිංහ, ලයනල් දැරණියගල සහ එච්. ආර්. ජෝතිපාල වැනි ප්‍රවීණ නළුවන් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඇයට හිමි විය. එමෙන්ම එම චිත්‍රපට බොහොමයක්ද වාණිජමය හා කලාත්මක වශයෙන් සාර්ථකත්වයට පත්විය.
කෙසේ නමුත්, ඇය සමඟ ප්‍රධාන චරිත රඟපෑ නළුවන්ගේ නාම ලේඛනය දෙස බලන විට එක් විශේෂ අඩුවක් දක්නට ලැබේ. එනම්, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ ඇය කිසිදු චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කර නොතිබීමයි. හැටේ දශකයේ අගභාගයේ තිරගත වූ "රෑන ගිරව්" චිත්‍රපටයේ ගාමිණී සමඟ ඇය එක් රූප රාමුවක දක්නට ලැබුණද, ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත ලෙස රංගනයේ යෙදුණේ නැත.
නීල් රූපසිංහ, එම්. එස්. ආනන්දන් සහ ජෝ දේව් ආනන්ද් යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම ගාමිණී ෆොන්සේකා සහ සුමනා අමරසිංහ යන දෙදෙනාම වෙන වෙනම ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරුන් ලෙස සැලකිය හැකිය. එහෙත්, ඔවුන්ගෙන් කිසිවෙකුත් මෙම දෙදෙනා ප්‍රධාන නළු-නිළි යුවළක් ලෙස යොදාගෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර නොමැත.
නීල් රූපසිංහගේ පළමු චිත්‍රපටය වූ "දැන් මතකද?" චිත්‍රපටයේ ගාමිණී රංගනයෙන් දායක නොවූ අතර, සුමනා අමරසිංහ චරිතයක් නිරූපණය කළාය. අනතුරුව නීල් අධ්‍යක්ෂණය කළ "හතර දෙනාම සූරයෝ", "ආදරේ හිතෙනවා දැක්කම" සහ "යකඩයා" වැනි ගාමිණී රඟපෑ චිත්‍රපටවල සුමනාට අවස්ථාවක් හිමි නොවීය.
එම්. එස්. ආනන්දන්ගේ "මගේ නංගී ශ්‍යාමා" චිත්‍රපටයේ ශ්‍යාමා ආනන්දට අමතරව අනෙක් ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළේ සුමනා අමරසිංහයි. එහෙත් ඉන් අනතුරුව එම්. එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ඇයට චරිත නොලැබුණි.
ජෝ දේව් ආනන්ද් මෙරට සිනමාවේ රෝයි ද සිල්වා – සුමනා අමරසිංහ යුගය වඩාත් තහවුරු කළ අධ්යක්ෂවරයා ලෙස හැඳින්වුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඔහු අධ්යක්ෂණය කළ "සුනේත්‍රා", "ඔබයි මමයි" සහ "සූකිරි කෙල්ල" යන චිත්‍රපටවල ප්‍රධාන නළු-නිළි චරිත නිරූපණය කළේ රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහයි.
එහෙත් "සූකිරි කෙල්ල" චිත්‍රපටයෙන් පසුව ජෝ දේව් ආනන්ද් අධ්‍යක්ෂණය කළ "මිනිසුන් අතර මිනිහෙක්" චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ගාමිණී ෆොන්සේකා තෝරාගත් අතර, රෝයි ද සිල්වාටද ප්‍රධාන චරිතයක් ලබා දුන්නේය. නමුත් ඔහුගේ පෙර චිත්‍රපටවල ප්‍රධාන නිළිය වූ සුමනා අමරසිංහට මෙවර අවස්ථාවක් හිමි නොවීය. එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිත දෙක සඳහා තෝරාගෙන තිබුණේ ගීතා කුමාරසිංහ සහ වීනා ජයකොඩි ය.
එමෙන්ම "රෑන ගිරව්" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධර්ම ශ්‍රී කල්දේරාද පසුව ගාමිණී ෆොන්සේකා සහ සුමනා අමරසිංහ වෙන වෙනම ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපට නිර්මාණය කළේය. උදාහරණයක් ලෙස, "මී මැස්සෝ" චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ අනුලා කරුණාතිලකද, "රත්රන් අම්මා" චිත්‍රපටයේ ගාමිණී සමඟ ශ්‍රියානි අමරසේනද, "දීපාන්ජලී" චිත්‍රපටයේ සුමනා අමරසිංහ සමඟ තිස්ස විජේසුරේන්ද්‍රද යොදා ගත්තේය. එහෙත් ගාමිණී ෆොන්සේකා සහ සුමනා අමරසිංහ ප්‍රධාන නළු-නිළි යුවළක් ලෙස එක් කර චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහුද උත්සාහ නොකළ බව පෙනේ. එයට හේතුව කුමක්ද යන්න අදටත් පැහැදිලි නැත.
ඔවුන් දෙදෙනාටම නිවන් සුව පතමු.
— අනිල් වීරසිංහ