Amitha Wedisinghe

Amitha Wedisinghe

අමිතා වැදිසිංහ

Born March 1943 Died 20 February 2025

March 1943 - 20 February 2025

60.23% · 783 votes
Rate this artist

Summary

NameAmitha Wedisinghe
Sinhala Nameඅමිතා වැදිසිංහ
BornMarch 1943
Died20 February 2025

Biography

අඩසිය වසකට වැඩි කලක් ලාංකේය සංගීත ක්ෂේත්‍රය සිය භාවපුර්ණ මධුරස්වරයෙන් පෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ අමිතා වැදිසිංහ මහත්මිය ඉකුත් 20 වැනිදා සියදිවි සැරිය නිමකරනු ලැබුවේ එතෙක් කලක් ඇගේ මධුර හඬට ආදරය කළ රසික ප්‍රජාවගේ දෙනෙතට කඳුළු බිඳක් එක්කරමිනි.

මිය යනවිට 82 වැනි වියේ පසු වූ අමිතා දශක හයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීත කලාව පෝෂණය කළ අති දක්ෂ සුවිශේෂී ගායිකාවක් වූවාය. ජනපි‍්‍රය ගී රැසක් සිංහල ගීත කලාවට එක් කළ ඇය රසිකයින්ගේ ආදරයට පාත්‍ර වූ ගීතාවලියක හිමිකාරිය වූවාය. සෙංකඩගලපුර දළදා බුදුරැස්, ඔන්න බබෝ ඇතින්නියා, බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද, රන්සඳ මඬලක් සේ, සුගත තතාගත හිමියනි, රන්දොරින් එන්න ආදරේ, අනෝතප්තවිල නෙලුම් නෙළාලා, ආදර චාරිකා, නිසල නිසසල අම්බිලියෝ, පින්න මල්පීපි, හිරු කුමරුනි, මේ උදාර ලංකා භූමියයි. කන්ද උඩින් හඳපායන ලීලා, ආදරයයි කරුණාවයි. ගලන දොළේ පෙණ බුබුළයි ආදරේ, කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට, තාරකාවලින් ලියූ නමුදු අම්බරේ, පෝයදාට පායන සඳ කුමක් වැනි, ආදර චාරිකා ජිවන චාරිකා, විලක නෙලුම් මල් මට කුමට ද සබඳ ඔබ අංජලිකරණීයයි. ඇය ගායනා කළ රසිකයින් අතරේ ජනපි‍්‍රය වූ ගීත සමුහයෙන් කිහිපයකි.

1943 මාර්තු මස කොළඹදී උපත ලද අමිතා කිරුළපන ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලයේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වුවාය.

ගුවන් විදුලියේ ළමා මණ්ඩපය ඔස්සේ ගායන ලෝකයට පා තැබු අමිතා පාසල් අවධියේ පටන් නිරන්තරයෙන් යොමුවුයේ සංගීතය දෙසටය. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඈ රජයේ සෞන්දර්ය අධ්‍යාපන පීඨයෙන් ගායනය හා වාදනය ප්‍රගුණ කර ඩිප්ලෝමාධාරීනියක් ලෙස ස්ථාර භාවයක් ගොඩ නඟා ගත්තාය. 1968 දී ඉන්දියාවේ ලක්නව් හී භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් විශාරද උපාධිය ලබාගත් ඇය නැවත ලංකාවට විත් දිගින් දිගටම ගායනයේ නිරත වන්නට වුවාය. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරළ ගී ගායිකාවක වූ අමිතා 70 දශකයේ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් සිට සුපිපෙන මලකින්, මල් වැස්සක්, බුද්ධ දිවා කරයාණෝ, නමින් කැසට් පට තුනක් එළි දක්වනු ලැබුවාය.

‘අමිත ගී’ ‘රසාංගී’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංග දෙකක් ද ඇය තමන්ගේ ගීත රසවිඳින්නත් වෙනුවෙන් තිළිණ කරනු ලැබුවාය. චිත්‍රපට පසුබිම් ගායනයෙන්ද සාර්ථක ගමනක් ගිය අමිතා අබුද්දස කාලේ රන්මුතුදුව, බාදුරාමල්, බක්මහ දීගේ, ආදරයයි කරුණාවයි, ඩොක්ටර් සුසන්තා, හරියනකොට ඔහොම තමයි, අදට වැඩිය හෙට හොඳයි, ආදී චිත්‍රපට රැසක පසුබිම් ගීත ගායනා කළාය.

ගායිකාවක ලෙස ස්ථාවරත්වයක් ගොඩ නගාගෙන සිටි ඈ මෙරට පාසල් බොහොමයක සංගීත ගුරුවරියක් ලෙස ද සේවය කළාය. වීරකැටිය මහවිද්‍යාලය, කොළඹ අශෝක විද්‍යාලය, බුලත්සිංහල පිඹුර මහා විද්‍යාලය, පානදුර පින්වන්න මහා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, කිරුළපන ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලය ආදියෙනි. සංගීත ගුරුවරියක වශයෙන් කටයුතු කළ අමිතා කළුතර අධ්‍යාපන කලාපයේ සංගීත අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙසින් ද කටයුතු කළාය. වසර විස්සක පමණ ගුරුසේවයෙන් විශ්‍රාම ලැබු අමිතා නිරන්තරයෙන් ගායනයේ දිගින් දිගටම කටයුතු කරනු ලැබුවාය.

කැසට්පට ත්‍රිත්වයට අමතරව සිය ප්‍රථම සංයුක්ත තැටිය වූ අනෝතත්ත විල ගී එකතුව එළි දැක් වූ අමිතා අතීතයේ පටන්ම රසිකයන්ගේ සෞන්දර්යාත්මක හැඟීම් පෝෂණය කළ ගායන වේදිනියක් වුවාය. තමන්ට උරුම වූ අනන්‍ය ගායන ශෛලිය හරහා බාල මහලු කොයි කාගේත් හදවත වෙත සමීප වූ ඇගේ ගීත තරුණ පරපුර අතර ද කවදත් ඇති කරන ලද්දේ ප්‍රසන්න හැඟීම් සමුදායකි. අමිතාගේ හඬ පරාසය පුළුල් විය පැහැදිලි විය. අනවශ්‍ය ලෙසින් අලංකාරයන් ගීතයට ඔබ්බන්නට ඇය කිසිවිටෙක උත්සාහ නොගත්තාය. හැමවිටම ඇය ගීතයේ ගීතවත් භාවය රැක ගැනීම වෙහෙසිණි. ඒ බව ඇය විසින් ගායනා කළ සෑම ගීතයක්ම සාක්ෂි දරනවා ඇත.

සෙන්කඬ ගලපුර දළදා බුදුරුස්

විහිදෙනතුරු නැහැ වරදින්නේ

සිංහලයන්හට සිංහල දේසේ

සරණයි දළදා සමිඳුන්නේ….

සරත් දසනායකයන්ගේ සත්සර සමඟ අරිසෙන් අහුබුදු සුරීන්ගේ පද මාලා අනුව ලිය වූ මෙම ගීතය රසික සවන් පත් අතරට රැගෙන එනු ලැබුවේ. ප්‍රතිභාපුර්ණ ගායන ශිල්පිනියක වූ අමිතා වැදිසිංහයන්ය. මෙය ඇයගේ ගායන මාධුර්ය පිළිබඳ කියාපාන්නට කදිම නිදසුනකි.

කන්ද උඩින් හඳ පායන ලීලා

ලන්දපෙනේ රුක්අත්තන පිපීලා

මන්ද කොහෝ හඬළනු හැංගීලා

එන්න තමා බක්මහ ළංවීලා

මෙය ඇය තවත් ගැයූ ගීතයක් විය. සෑම වසරකම බක්මාසය උදාවන විට නිතර ඇසෙන ඇගේ මෙම ගීතය ඇගේ ගායන දිවිය යළි යළිත් ආවර්ජනයක නියැළේ.

අමරදේවයන් සමඟ ඇය ගැයූ අනෝතත්ත විල නෙලුම් නෙළාලා… පියසිරි විජේරත්නයන් සමඟ ගැයූ බැද්ද පුරා රෙද්ද වගෙයි…. මර්වින් පෙරේරා සමඟ ගැයූ එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් ටියුඩර් ජයශාන්ත සමඟ ගැයු විලක නෙලුම් මට තනියම… ඒ. ඒල්.බී. කන්දේ පොළ සමඟ ගැයු ආදර චාරිකා ජිවන චාරිකා… සුනිල් ශාන්තයන් සමඟ සමුහ ගායනයට එක් වෙමින් ගැයූ එම්බා ගංගා නවතනු නවතිනු නවතිනු… ආදී අතිශයින් ජනපි‍්‍රයත්වයට පත් ගීතයන් අමිතාගේ එදත් අදත් නොනැසී රසවිඳින ගීතයන් අතරේ ප්‍රමුඛවේ.

පාසලේ නැටුම් ගුරුවරයා වූ පේ‍්‍රමකුමාර එපිටවල මහතා අධ්‍යක්ෂණය කළ රාමායණය, සකුන්තලා, සිරිසඟබෝ නාට්‍යවල රංගනය හා ගායනය සිදුකළ අමිතා වැදසිංහ සංගීතවිශාරද ඩබ්ලිව්. එෆ්. විමලසිරි මහතාගෙන් සංගීතය විෂයක් ලෙස හදාරා ගාන්ධර්ව විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබාගත්තාය. පේ‍්‍රමකුමාර එපිටවල ගුරුතුමන්ගේ සාරභූමි බැලේ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා දුටු රෝහිත විජේසුරිය මහතා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට අමිතාව හඳුන්වාදෙනු ලැබුවාය. මුලින්ම ඈ චිත්‍රපට පසුබිම් ගායනයට සම්බන්ධ කරගනු ලබන්නේ ද අමරදේවයන්ය. එතුමන් සංගීත අධ්‍යක්ෂණය කළ රන්මුතු දූව චිත්‍රපටයේ බුද්ධ දිවා කාරයාණෝ ගීතයේ කෝරස් ගායනය සඳහා සම්බන්ධවීමත් සමඟ අමිතා චිත්‍රපට පසුබිම් ගීත ගායනයට අත්පොත් තබනු ලැබීය. ඇය සමඟ එදා නාරද දිසාසේකර, නන්දා මාලිනී, රෝහිත විජේසුරිය නන්දා ජයතුංග රන්මුතු දූව චිත්‍රපටයේ කෝරස් සඳහා එක් වූ සෙසු සාමාජිකයන් වූහ.

රජයේ මුද්‍රාණලයේ රැකියව කළ හැරී වැදිසිංහ අමිතාගේ පියාණන් විය. අර්ලිනා කුරේ ඇගේ මව වුවාය. අමිතා පවුලේ තෙවැන්නියා විය. අයියා වික්ටර් වැදිසිංහ, අක්කා ධනපාලී ජයසුන්දර නංගී ලීනා ගැටමුරුත වුවාය. ආචාර්ය දයාරත්න රණතුංග මහතාත් ආනන්ද සමරකෝන් මහතාත් ඇගේ මවගේ පාර්ශ්වයෙන් ඥාතීන් වූහ. ගුවන් විදුලියේ බලධාරියකුව සිටි ඩී.එම්. කොළගේ මහතාත් අමිතාගේ පවුලේ ළඟම ඥාතියෙක් විය. ආනන්ද සමරකෝන් මහතාගේ සහෝදරයකු වූ බර්ටි සමරකෝන් මහතාගේ සහෝදරයකු වූ බර්ටි සමරකෝන් මහතා අමිතාගේ සහජ කුසලතා දැකීමෙන් නිරන්තරයෙන් ඇයව ගුවන් විදුලියට රැගෙන ගොස් විවිධ වැඩසටහන් සඳහා සම්බන්ධ කරනු ලැබීය.

ඇය ගුවන්විදුලියට තනිව ගීතයක් මුල්වරට ගායනා කරනු ලැබුවේ ආධුනික පැය වැඩසටහනටය. ඉන්පසු සරත් විමලවීරගේ ළමා පිටියට සම්බන්ධ වූ ඈ කරුණාරත්න අබේසේකර, ඇල්ෆ්‍රඩ් පෙරේරා මඩවල එස්. රත්නායක යන අයගේ ළමා මණ්ඩප සඳහා ද දායකවෙමින් ගීත ගායනා ඉදිරිපත් කරනු ලැබුවාය.

ඉන්පසු ගුවන් විදුලියේ ළමා පීඨයෙන් සමුගත් ඈ ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙස ඇය මුලින්ම ගායනා කරනු ලැබුවේ විමල් අබේසුන්දර ගේ ගීත සංකල්පනාවකට පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ චන්ද්‍රා බිම්බ මායාවයි නුවන් පුරාලා… ගීතයයි.

අමිතා ගායනා කළ කරුණාරත්න අබේසේකරයන් ලියු රන්දොරින් එන්න ආදරේ… ගීතය සංගීතවත් කළ වික්ටර් දලුගම සමඟ අතිනත ගත්තාය. තම සැමියා තමන්ට මුල්වරට සංගීතවත් කළ මෙම ගීතය සමඟ රසිකයන් අතර අතිශයින් ජනපි‍්‍රය වුවාසේම. ඔහු පසුව අමිතා වෙනුවෙන් සංගීතවත් කළ සියලු ගී නිර්මාණ අතිශයින් ජනපි‍්‍රය විය. අමිතාට තම සැමියාගෙන් ජිවිතයට ද තමන්ගේ සංගීතා දිවියට ද ලැබුණු පිටුවහල අපමණ විය. තුසිත දළුගම, චන්න දලුගම, පුතනුවන් දෙපළගේත් සංගීතා දලුගම දියණියගේත් ආදරණීය මව වූ අමිතා වැදිසිංහ තම දරුවන් තිදෙනා ද සංගීතය විෂයෙන් ප්‍රගුණ කරනු ලැබීය.

අමිතා නිකුත් කළ බුද්ධ දිවාකරයාණෝ කැසට් පටය සඳහා අන්තර්ගත කර තිබුණේ. බෞද්ධ ගීත පමණකි. ඇය මෙම කැසට් පටය මුල්වරට ප්‍රදානය කරනු ලැබුවේ අපවත් වී වදාළ ආනන්ද මෛත්‍රය නාහිමියන්ය. මේ පිළිබඳ ඇය වරක් කියා තිබුණේ මගේ සංගීත දිවියේ කරගත් ලොකුම පින සහ ලැබු විශාලතම භාග්‍යය මෙය බවකි.

තවත් එවැනිම භාග්‍යමත් අවස්ථාක් හා වටිනා කමක් ලැබු තවත් සිදුවීමක් ඇය සිහිපත් කරනු ලැබුවේ තමන් සංගීත විශාරද උපාධිය සඳහා ඉන්දියාවට ගිය මොහොතේ ඉන්දියානු ගුවන් විදුලිය ඇයට හා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ පී. ඩබ්ලිව්. ජයරත්න මහතාට සිංහල ගීත පමණක් අඩංගු පැය භාගයක සංගීත වැඩසටහනක් ඉදිරිපත් කරන්නට අවකාශ උදාවීම සිහිපත් කරමිනි.

එදා මෙදා තුර සිංහල ගීතාවලියට රසබර අරුත්බර ගීත රැසක් එක් කළ අමිතා වැදිසිංහ ඇයට ආදරය කළ රසික සමුහයාට අද සමුදී තිබුණ ද ඔබේ ඒ මධුර ස්වරය කවදාවත් ඔබව අතහැරනොයනු ඇත. ඔබේ ඒ ගී මිහිර මුසු වූ හඬ අපේ හදවත් වල සදාකල් මිය නොයනු ඇත.

ඉකුත් 25 වැනිදා සවස බොරැල්ල කනත්තේදී අමිතා වැදිසිංහයන් මළ හිරු බැසයන සැන්දෑවේ මතකයන් බොහොමයක් අප අතර ඉතිරිකොට සහෘද කලාකරුවන් ගේ ආදරණීය රසිකයන්ගේ දෙනෙත් කඳුළෙන් පුරවාලමින් මේ මිහිමඬලට සමුදෙනු ලැබීය.

chandana.chandana88@gmail.com

චන්දන දයාසිරිවර්ධන

Film NoYearFilmSongRole
118 1965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Sinhala Ambiliyo Ambiliyoඅම්බිලියෝ අම්බිලියෝ Vocalists
Galana Dole Pena Bubuleගලන දොලේ පෙණ බුබුලේ Vocalists
Iru Kumaruiඉරු කුමරුයි Vocalists
Onna Babo Athinniyaඔන්න බබෝ ඇතින්නියා Vocalists
168 1968 Pinibindu පිනිබිඳු Sinhala Tikiri Liya Tikiri Liyaටිකිරි ලියා ටිකිරි ලියා Vocalists
172 1968 Abuddassa Kale අබුද්දස්ස කාලේ Sinhala සිරියාවයි දැන් ගම Vocalists
පායා ආ හිරු දෑස Vocalists
207 1969 Bakmaha Deege බක්මහ දීගේ Sinhala Ahase Sanda Paaya Aawaඅහසේ සඳ පායා ආවා Vocalists
Kanda Udin Sandaකන්ද උඩින් සඳ Vocalists
335 1976 Asha ආශා Sinhala Surangana Kelina Suranganaසුරඟන කෙලිනා සුරඟන Vocalists