Douglas Wickramasinghe

Douglas Wickramasinghe

ඩග්ලස් වික්‍රමසිංහ

Full Name: Don Douglas Wickramasinghe Born 17 November 1915 Died 28 February 1991

17 November 1915 - 28 February 1991

60.17% · 1,438 votes
Rate this artist

Summary

NameDouglas Wickramasinghe
Sinhala Nameඩග්ලස් වික්‍රමසිංහ
Full NameDon Douglas Wickramasinghe
Born17 November 1915
Died28 February 1991

Biography

එය ඓතිහාසික මල්වානට මතු නොව මුළු මහත් සිංහලයටම මහාර්ඝ දිනයකි. කීර්තිමත් මුදලිවරුන් සිවු කට්ටුවක් හා රාජකීය රුධිරය හිමි, රාජ අන්වයට අයත් කිසියම් තරුණයෙකු ද එක්තරා රහස්‍ය උමං පරිශ්‍රයක් තුළ සම්මුඛව සිටිනුයේ ලක් දෙරණේ ජාතික නිදහස උදෙසා වන ඓතිහාසික රහස් මන්ත්‍රණයක් වෙනුවෙනි. කිසියම් සිතියමක ගමන් මාර්ග හා ස්ථාන නාමයක් ඔවුහු පන්දම් එළියෙන් පරීක්ෂා කරති. මල්වානේ කොස්මී වික්‍රමසිංහ මුදලිතුමා රහස් මාර්ගයක් පිළිබඳව අන්‍යයන්ට කරුණු පැහැදිලි කරමින් සිටියි. ඔහුගේ සුරත රැඳී රජතමය අසිපතෙහි අග්‍රය සිතියම් පතෙහි එක්තරා ස්ථානයක් වෙත යොමු වේ.

“අපි ඉන්න මල්වාන තමයි මේ. මෙහේ ඉඳන් කන්ද උඩරටට ගම් පහළොව යි. නීත්‍යනුකූල සෙනරත් අපේ මහ රජ්ජුරුවන් වැඩ වසන තැනට මේක තමයි හොඳම මාර්ගය ගමන් අරඹන්න. මේන් මේ තියෙන්නේ මැණික් කඩුව කියන ගම. ඔය ගම් ගොඩේ පෘතුගීසි බලකොටුවක් තියෙනවා.

“මේක මරු කපොල්ලක්. මෙතැනින් එගොඩට පැන ගත්තොත් ගමනින් සපලයක් මිස අපලයක් නම් නැති බව සත්තකයි.” ඔත්තුකරුවා පැවසීය.

“ඇත්ත. මේ සන්දේශය ඉතා ම ආරක්ෂා සහිත ව රජතුමා අතටම පත් කිරීමයි වැදගත් ම දේ.” යයි වික්‍රමසිංහ මුදලි පැවසුවේය. වික්‍රමසිංහ මුදලිඳු උස් පහත් කරමින් දිගටම කතා කළේය. අනිකුත් ප්‍රභුවරු ඒ සිහ නදක් බඳු චාතුර්ය සවන් ලූහ. මොහොතකට අනතුරුව යළිදු වඩා හඬ බාල කරමින් මුව විවර කළේ වික්‍රමසිංහ මුදලිඳුය.

“මෙන්න මේකයි උඩරට රජුට යැවෙන සන්දේශය.

“ඔබට අත දී ඔබට කැප ව නැඟිට එන්නේ මුදලිවරු මල්වානෙය. මේ සන්දේශය ලැබුණු සැණෙකින් රැගෙන බළ ඇණි වඩිනු රජුනී. ඒත් මේ සන්දේශය මේ තල්පතෙහි ලියවිලා තියෙන්නේ ඔය පිළිවෙළට නෙවී. ඒක මෙහෙමයි.

“ඔබට දී ඇත. ඔබට විකැප ගිනැට නේ එක් රුදමුලිව නයෙල් නිමවා, නිසැ නරැහෙබ ඇල නිසෑ නරැහෙ බලඇල වනුදිනු ජුරා.”

වික්‍රමසිංහ මුදලි තම විශේෂ ඔත්තුකරුවා දෙසට නැඹුරු වුණේය.

“දරුවා පණටත් වැඩිය ආදරෙන් මේක ආරක්ෂා කර ගන්න ඕනෑ. ඔබේ අතින්ම මේ සන්දේශය රජු අතට බාර දෙන්න ඕනෑ. මේ රටේ ඉරණම ඔබ අතේ බව අමතක කරන්න එපා. දළදා හාමුදුරුවන්ගේම පිහිටයි. ඔබට ජය වේවා! දරුවා."

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සන්දේශය’ විත්‍රපටයේ රඟ පෑ ඒ ප්‍රතාපවත්, දේහධාරී මල්වානේ කොස්මී වික්‍රමසිංහ මුදලිතුමාට රඟ පෑ නළුවා ඔබට මතකද? මීට වසර හැටකට ඉහත මෙරට සිංහල සිනමාවේ සියලුම ආදායම් වාර්තා බිඳ හරිමින් තිරගත වූ එම චිත්‍රපටයෙන් නවක නළුවකු සිනමාවට එක්විය. පුදුමය නම් ඔහු ද වික්‍රමසිංහ කෙනෙකි.

ඔහු දොන් ඩග්ලස් වික්‍රමසිංහ ය.

‘සන්දේශය’ චිත්‍ර‍්‍රපටයේ පණිවිඩකරුවා සන්දේශය ගෙන යන්නා ලෙස රඟපෑවේ වින්සන් වාස්ය. කන්ද උඩරට සෙනරත් රජතුමා ලෙස රඟපෑවේ මාපා ගුණරත්නය.

ඩග්ලස් වික්‍රමසිංහ සිනමා රඟපෑමට පිවිසින්නේ අහම්බෙනි. 1958 වසරේ ඔහු කේ. ගුණරත්නම්ට අයිති සීමාසහිත සිනමාස් සමාගමේ සිනමාහල් විමර්ශන අංශය භාර ප්‍රධාන පරීක්ෂකවරයා ලෙස සේවය කරමින් සිටියේය. දිනක් විමර්ශන රාජකාරියට යන අතරේ දිවා ආහාර ගැනීමට බෙලිහුල්ඔය තානායමට ගොස් ඇත. එහි ඔහුට සිනමාස් සමාගම නියෝජනය කරමින් චිත්‍රපටයේ නිෂ්පාදන විධායක ලෙස කටුයතු කරන ජේ.චාල්ස් පෙරේරා මහතා හමුවිය. ආහාර ගැනීමෙන් පසු ඩග්ලස් සහ චාල්ස් දෙමිතුරෝ බෙලිහුල්ඔය පෘතුගීසි බලකොටුව දර්ශන රූ ගත කිරිම් බැලීමට ගියහ. චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙස්ටර්ට, තම මිතුරු ඩග්ලස්ව, චාල්ස් විසින් හඳුන්වා දුන්නේය. ඩග්ලස් ගේ ගැඹුරු, එහෙත් පැහැදිලි කටහඬ ගැන ලෙස්ටර් අතිශයින්ම පැහැදී ඇත. ඩග්ලස් තම කටේ තිබූ දුම් පයිප්පය උරමින් බලා සිටියේ පෘතුගිසි බලකොටුව දෙසය.

“අයිසේ චාල්ස්, ඔයාගේ යාළුවා අපේ චිත්‍රපටයේ ඛ්ඩඪඥට ඉඪදඩචතචතඥඵඥ ර්භඤචතඪචපඵ ගේ චරිතයට ගම්මු ද?

‘ඩග්ලස් කොහොමත් හොඳ කලාකාරයා, හොඳට සින්දු කියන්නත් පුළුවන්. කෝකටත් මම මිස්ටර් ගුණරත්නගෙනුත් අහලා කියන්නම්, මොකද, ඩගී සිනමාස් සමාගමේ ධනඥපචබඪධද ඡ්යඥජභබඪමඥ කෙනෙක්. චාල්ස් කීවේය.

කේ.ගුණරත්නම් බෙලිහුල්ඔය රූගත කිරිම් බැලීමට පැමිණි විට ලෙස්ටර්, ඩග්ලස් ගැන කතා කළේය.

‘ඩග්ලස් අපි ගාව සේවය කරන්නේ, ඒ නිසා එයාව ගැනීමට බාධාවක් නෑ.”

මල්වානේ කොස් මී වික්‍රමසිංහ මුදලිතුමාගේ චරිතය තුළින් ඩග්ලස් වික්‍රමසිංහයෝ සිනමාවට එක්වුහ. ඔහුගේ ගැඹුරු කටහඬ රිදී තිරයේ මොනවට දිස්විය.

ඩග්ලස් වික්‍රමසිංහ කලාවට පිවිසෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ සිටය. ඔහු තම පන්ති සගයන් වූ ආනන්ද තිස්ස ද අල්විස් (පසුව කතානායක හා රාජ්‍ය අමාත්‍ය) රණපාල බෝධිනාගොඩ පසුව (ලේක්හවුස් සභාපති) මාපා ගුණරත්න (පසුව චිත්‍රපට නළුවකු හා අලව්වේ සරසවි සිනමාහලේ අයිතිකරු,) සූර්යශංකර් මොල්ලිගොඩ (පසුව ‘අක්කේ අක්කේ අර බලන්නකෝ” හා කරුණා නදියේ බැස නාමු” ගී ගැයූ ගායකයා හා ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ විකට් රකින්නා) සමඟ ‘මායාවතී” නාට්‍යයේ රඟ පෑවේය. 1939 වසරේ චාල්ස් ඩයස්ගේ නාට්‍යයක් වූ ‘මායාවතී’ නාට්‍යය පී.සී.තාඹුගල හා ඒ.එම්.ද සිල්වා නිෂ්පාදනය කළ අතර, රුක්මණී දේවි සමඟ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෝ රඟ දැක් වූහ. ‘මායාවතී’ නාට්‍යයේ එදා රඟ පෑ ශිෂ්‍යයන් අතර රණපාල බෝධිනාගොඩ, ආනන්ද තිස්ස ද අල්විස්, ඩග්ලස් වික්‍රමසිංහ, මාපා ගුණරත්න, සූර්යශංකර් මොල්ලිගොඩ ද සිටියහ. රුක්මණී දේවි දහසය වැනි වියේ රඟ පෑ වේදිකා නාට්‍යය වුයේ ද ‘මායාවතී’ ය.

ඩග්ලස් වික්‍රමසිංහ වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ දක්ෂ ගායකයකු වශයෙනි. සූර්යශංකර් හා ඩග්ලස් නොසිටි සංගීත සාජ්ජයක් ආනන්දයේ නොතිබිණි. මේ අතර මේ දෙදෙනාම එවකට බෝල්පුර්හි පිහිටි ශාන්ති නිකේතන විශ්ව භාරතීය සංගීත පීඨයෙන් තාගෝර සංගීත සම්ප්‍රදාය හදරා ලංකාවට පැමිණි ආනන්ද සමරකෝන්ගේ ඇසුර ලැබුහ. සමරකෝන් හා සුනිල් සාන්තගෙන් සංගීතය හැදැරූ ඩග්ලස් වික්‍රමසිංහ ගුවන් විදුලියේ ‘ලිහිල් ගී’ (සරල ගී) පරීක්ෂණයෙන් සමත්ව නවමු ගී ගැයුවේය. මේ ගී රචනා කර දී තනු සම්පාදනය කර දී ඇත්තේ ආනන්ද සමරකෝන්ය.

දොන් ඩග්ලස් වික්‍රමසිංහ 1915 නොවැම්බර් 17 වෙනිදා ගාල්ලේ එලියට් පාරේ මහ ගෙදර දී උපත ලැබීය. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබු ඔහුගේ හොඳම මිතුරා වුයේ මෙරට ප්‍රකට දෘෂ්ටි විශේෂඥව සිට පැවිදි දිවියට පත් ඇල්බට් එදිරිසිංහය. ටික කලකින් කොළඹ ආනන්ද විද්‍යාලයට බැඳෙන ඔහු ඉගෙනුම අවසන් කොට ආනන්ද විද්‍යාලයේ ගොවිපළ භාර කළමනාකරු ලෙස සේවය කොට ඇත. කළුබෝවිල පදිංචි මියුරියෙල් කැතරින් පෙරේරා මෙනවිය විවාහ කරගත් හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වී ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනනායක හා ජේ.ආර්. ජයවර්ධන, ජෝන් කොතලවල ආදි නායකයන්ගේ සමීප හිතවතෙකු විය.

ඩග්ලස් වික්‍රමසිංහ ගේ වැඩිමහල් පුතු චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක ආනන්ද වික්‍රමසිංහ තම පියාගේ ජීවන තොරතුරු රැසක් අපට සපයා දුන්නේය.

"මගේ පියාගේ දෙවැනි රැකියාව සර් ජෝන් කොතලවලගේ දියතලාවේ වතුයාය බාර සුපිරින්ටැන්ඩන්ට් තනතුරයි. මේ කාලේ සුද්දෝ අපේ රට අතහැර එංගලන්තයට යන කාලේ තාත්තා විනෝදයට කරලා තියෙන්නේ සුදු ජාතිකයන්ගේ බංගලාවල තියෙන ඉතා වටිනා, ශක්තිමත් ඕක් ලීයෙන් තැනු ගෘහ භාණ්ඩ මිල දී ගෙන ඒවා වෙන්දේසි කිරීම. හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, වතු පාලනය කළ සුදු ජාතිකයන්ගේ වටිනා භාණ්ඩ මිල දී ගෙන තාත්තා ‘වෙන්දේසි හා බ්‍රෝකර්’ සමාගමක් පටන් ගත්තා. තාත්තා කොයි දේ වෙන්දේසි කළත් ඒ ඒ බංගලාවලින් මිලදී ගත් එක භාණ්ඩයක් සිහිවනයක් හැටියට එකතු කළා. ඔර්ලෝසු, වට්නට්, පියානෝ මේ විදියට අපි පුංචි කාලේ හිටපු දියතලාවේ නිවෙසේ එකතු කරලා තිබුණා. අපි කොළඹ ආවට පස්සේ මාව තාත්තා කොළඹ නාලන්ද විද්‍යාලයට යැව්වා."

ඩග්ලස් වික්‍රමසිංහයන්ට දරුවන් සිව් දෙනෙකු විය. වැඩිමලා ආනන්ද ය. මංගල හා ලක්ෂමන් නිවුන් පුතුන්ය. බාල දියණිය රෝහිණීය. කොළඹ පැමිණි පසු ඩග්ලස් වික්‍රමසිංහයෝ 1952 වසරේ එවකට උතුරු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී හා කම්කරු නියෝජ්‍ය ඇමති මේජර් ටී.එෆ්. ජයවර්ධන මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළෝය. 1956 මැතිවරණයෙන් එ.ජා.ප පැරදුණු පසුය, ඔහු සිනමාස් සමාගමට බැඳී ඇත්තේ.

“සංදේශය’ චිත්‍රපටයේ සිය ප්‍රථම රඟපෑම ඉදිරිපත් කළ ඩග්ලස් වික්‍රමසිංහගේ දෙවැනි චිත්‍රපටය වුයේ ‘ගැටවරයෝ 'ය.මේ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ බෝට්ටු කර්මාන්ත ශාලාවක අයිතිකරුවකුගේ චරිතයකි. ධනවනකු වූ ඔහු යටතේ කාර්මිකයන් රැසක් සේවය කළහ. ගමේ සිට කොළඹ එන ජයසේන ප්‍රනාන්දු (ගාමිණී ෆොන්සේකා) තරුණායාගේ හැකියාවන් තේරුම් ගෙන ඔහුට අවශ්‍ය ලෙස බෝට්ටුවක් හැදීමට අත හිත දෙන මේ ධනවතා නිතර දුම් පයිප්පය උරමින් උපේක්ෂාවෙන් ජීවිතය දකින පුද්ගලයෙකි. ජයසේන බෝට්ටු කොම්පැණියට කැඳවා ගෙන එන එහි සුළු සේවයෙකු වූ සෙමනේරිස් (ජෝ අබේවික්‍රම) තම හාම්පුතාගේත් ඔහුගේ එකම දියණිය වූ සුරංගනී (නිල්මිණි ද සිල්වා) සිත් දිනාගනී. බෝට්ටු හිමියා ජයසේනගේ නිසග හැකියාවන්ට උපකාර කරන්නේ සමස්ත තරුණ පරපුරමට අත හිත දෙන කාරුණික පුද්ගලයකු ලෙසය. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ මේ බෝට්ටු හිමියා එදා ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවේ. ඩග්ලස් මේ චරිතය සඳහා තෝරා ගන්නේ චිත්‍රපටයේ නිෂ්පාදක ඔහුගේ හිත මිතුරු ශේෂා පලිහක්කාර විසිනි. ඩග්ලස්ගේ දියණිය රෝහිණි නර්තනය හදාළේ ශේෂා ගෙනි.

ඩග්ලස්ගේ තෙවැනි රංගනය ඉදිරිපත් කරන්නේ ටයිටස් තොටවත්තගේ ‘චණ්ඩියා’ චිත්‍රපටයෙනි.

‘චණ්ඩියා’ චිත්‍රපටයේ නගරයේ ගණන්කාරයකු වූ කළු මහත්තයා (එච්.ඩී. කුලතුංග) හා ඔහු සහචර අණ්ඩයා (ඇන්තනී සී.පෙරේරා) කළ මිනී මැරුමකට වරදකරු වූ පසු අධිකරණයෙන් දඬුවම් ලබාදෙන මහාධිකරණ විනිසුරු ලෙස ඩග්ලස් වික්‍රමසිංහ රඟපාන්නේ ප්‍රතාපවත් ලීලාවෙනි.

පුතා අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටයේ පියා ප්‍රධාන චරිතයක් රඟපෑම ද එක්තරා විශේෂ අත්දැකීමකි. 1967 තිරගත වූ ආනන්ද වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ ‘වසන්ති’ චිත්‍රපටයේ නෙල්සන් විජේබණ්ඩාර නම් වතු පාලකයා ලෙස රඟපෑවේ ඩග්ලස් ය. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඩග්ලස් සමඟ පසුව ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ පාලිත නානායක්කාර (පසුව යසපාලිත) ය. මේ චිත්‍රපටයේ යසපාලිත විකට චරිතයක් රඟ පෑ අතර ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, ප්‍රධාන චරිත රඟපෑහ. මේ චිත්‍රපටය කඳුකර පරිසරයක රූප ගත විය. චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා වූ ටයිටස් තොටවත්තගේ මුඛරි කටින් කියූ දෙයක් මට මතකය. එය විනෝදයට කියූ කතාවකි.

‘වසන්ති ෆිල්ම් එකේ වැඩියේ තියෙන්නේ ආනන්දගේ පප්පයි, දුම් පයිප්පෙයි, කන්දයි තමයි.”

ඩග්ලස් ඉන්පසු රඟපෑවේ යසපාලිත නානායක්කාර මුලින්ම අධ්‍යක්ෂණය කළ (1973) ‘තුෂාරා’ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා පියා ලෙසය. 1976 ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ට්ධඤ ඬඪදඨ චිත්‍රපටයේ ද, 1979 යසපාලිත නානායක්කාරගේ ගැහැනියක්, 1981ඉවලුම් මාරු පෙත්,චිත්‍රපටවල රඟ පෑ හෙතෙම 1986 ආනන්ද වික්‍රමසිංහගේ ‘දිනුම’ චිත්‍රපටයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස, රඟ පෑවේය. ඩග්ලස් ඔබටයි ප්‍රියේ ආදරේ, දූර්ගා, මමයි රජා, සටන, ධනය, යසස චිත්‍රපටවල රඟපෑවේය.

ඩග්ලස් වික්‍රමසිංහ විනෝදකාමි, සරල ජිවිතයක් ගත කළේ තම හිත මිතුරා වූ ඕක් ලීයෙන් තැනූ දුම් පයිප්පය බොමිනි. දුම් පයිප්පය නොමැති හැම විටම ඔහු ආනන්ද සමරකෝන්ගේ හෝ සුනිල් සාන්තයන්ගේ ගීයක් මිමිනුවේය. ඔහු නිතරම ගයා ඇත්තේ සුනිලුන්ගේ ‘මේ පොහෝ දා' ගීතය බව පුතු ආනන්ද පැවසුවේය.

සරසවිය සම්මාන උලෙළ වසර දහයකට පසු ඇරඹුණු විට බණ්ඩාරනායක සමරු රඟහලේ පැවති සම්මාන උලෙළක එක රාත්‍රියක ඩග්ලස් විසින් ආනන්ද සමරකෝන්ගේ ගීතයක් ගැයීමට එවකට ලේක්හවුස් සභාපති, තම පන්ති මිතුරා වූ රණපාල බෝධිනාගොඩ මහතා ආරාධනය කළ අවස්ථාව මට හොඳට මතකය. මේ රසකාමී කලාකරුවා 1991 පෙබරවාරි 28 ජීවිතයෙන් සමුගත්තේය.

ඒ.ඩී. රන්ජිත් කුමාර

As a Cast

#Film NoYearFilm RoleDirector
1 661960 Sandeshaya සංදේශය Actor Dr. Lester James Peries
2 951964 Gatavarayo ගැටවරයෝ Actor Mike Wilson, Thissa Liyanasuriya
3 1101965 Chandiya චන්ඩියා Actor Titus Totawatte
4 1601967 Wasanthi වසන්ති Actor Ananda Wickramasinghe
5 2591973 Thushara තුෂාරා Actor Yasapalitha Nanayakkara
6 3971979 Gahaniyak ගැහැනියක් Actor Yasapalitha Nanayakkara
7 6351986 Dinuma දිනුම Actor Ananda Wickramasinghe, Sunil Soma Peiris
8 6621988 Durga දුර්ගා Actor K.A.W. Perera
9 6631988 Satana සටන Actor Ananda Wickramasinghe
10 6671989 Mamai Raja මමයි රජා Actor Sunil Soma Peiris
11 7171991 Dhanaya ධනය Actor Ananda Wickramasinghe
12 7591993 Yasasa යසස Actor Ananda Wickramasinghe

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 1601967 Wasanthi වසන්ති Producer Ananda Wickramasinghe