Kumari Manel

Kumari Manel

කුමාරි මානෙල්

Full Name: Don Manel Mannapperuma Born 14 September 1940 Died 16 August 2017

14 September 1940 - 16 August 2017

57.57% · 1,663 votes
Rate this artist

Summary

NameKumari Manel
Sinhala Nameකුමාරි මානෙල්
Full NameDon Manel Mannapperuma
Born14 September 1940
Died16 August 2017

Biography

එදා සිනමාවේ මා ආලය කළ තරුණිය

කිරුළපන උතුරු ප්‍රදේශය තැපැල් කොට්ඨාශ අනුව කොළඹ 05 වශයෙන් හැඳින්විය හැකිය. එකී ප්‍රදේශයේ පිහිටා තිබෙන රජයේ චිත්‍රපට අංශය ඉදිරිපිට පාර කලින් නම් කොට තිබුණේ පොල්හේන්ගොඩ යනුවෙනි. දැන් එය විජය කුමාරතුංග මාවත නමින් නම් ලැබී ඇත්තේ මානව හිතවාදී කලාකරුවකුට උපහාර පිණිසය.

එහි ස්වල්ප දුරක් ගිය විට හමුවන කාලිංග මාවතේ ද තවත් මීටර් 50 පමණ ගිය තැන හමුවන නිවාස සංකීර්ණය වයිට් හවුස් ලෙස ජනතාව අතරේ ප්‍රකටය. එය චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්නගේ පියා විසින් ඉදි කොට තිබීම තවත් විශේෂත්වයකි. මෙහි අංක 25/39 දරන නිවසේ පදිංචිව සිටින්නේ දේශීය සිනමාවේ සිංහල ලකුණ සනිටුහන් කළ පුරෝගාමියකු ගේ පුතකු හා ඔහුගේ බිරිඳයි. ඇය අපේ පැරණි නිළියක් බව දුටු සැනින් හඳුනාගත හැකිය. කුමාරි මානෙල් කියා ඇමතිය හැකි ඇය තම සිනමා දිවිය මෙලෙස ආවර්ජනය කළාය.

* කුමාරි මානෙල් නමින් සිනමාවේ හඳුනන ඔබේ ඇත්ත නම එයමද?

1940 සැප්තැම්බර් 14 වැනිදා කොළඹදී උපන් මගේ නියම නම දොන් මානෙල් මාන්නප්පෙරුම. පියා එඩ්වින් මාන්නප්පෙරුම. ඔහු දුම්රිය ස්ථානාධිපතිවරයෙක්. මව එඩ්ලින්. අපේ පවුලේ ගෑනු දරුවන් හතරයි, පිරිමි දරුවන් පහයි. ඔක්කොම නව දෙනයි. මම ඒ රැළේ තුන්වෙනියා.

* ඔබ ඉගෙන ගත්තේ කොළඹද?

මූලික අධ්‍යාපනය කොළඹ වුල්ෆ්වැන්ඩාල් බාලිකා විද්‍යාලයෙන් ලැබුවා. පස්සේ ගෝතමී බාලිකාවට ඇතුළු වුණා. එහි ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නැඟණිය ආර්. ආරියවතී මා සමඟ ඉගෙන ගත්තා. පාසලේ සිටි මගේ සමීප මිතුරිය ඉන්ද්‍රා විරකෝන්. ඇය ආනන්ද වීරකෝන්ගේ සහෝදරිය. ඔහු ඒ වෙන කොට අසෝකා, පොඩි පුතා, රේඛාව යන චිත්‍රපටවල රඟපා සිටියා.

* ඔබ සිනමාවට අවතීර්ණ වෙන්නෙත් පාසල් සමයේදීම නේද?

ගෝතමී බාලිකා විද්‍යාලයේ විලාසිතා තරගයක් පැවැත්වූවා. ඒක එක පැත්තකින් රූ රැජින තරගයක් කියන්නත් පුළුවන්. ඊට මම ඉදිරිපත් වුණේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් නොවෙයි. කොහොම හරි මුල් තැන හිමි වුණේ මට. ඔය ඡායාරූපය සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේ පළ වුණා. ඒ දවස්වල පත්‍රයක මුල් පිටුවේ ඡායාරූපයක් පළ වෙනවා කියන්නේ විශේෂත්වයක්. මේ ඡායාරූපයෙන් මගේ ඇස්වල අමුත්ත දුටු සුදු මාමා ඔහුගේ ඊළඟ චිත්‍රපටයට මාව සම්බන්ධ කරගන්න අපේ මව්පියන් සමඟ සාකච්ඡා කළා. මොකද ඒ චිත්‍රපටයේ එන අන්ධ තරුණියගේ චරිතයට මා සුදුසු යැයි ඔහු නිගමනය කළ නිසා. දැඩි විරෝධතා හා කොන්දේසි මත අන්තිමේ චිත්‍රපටයේ රඟපෑමට දෙමාපිය අවසරය ලැබුණා. ඔය එක්කම මම පාසලේ රූ රැජිනක් නිසා කුමාරි කෑල්ල සිනමාව වෙනුවෙන් මගේ නමේ ඉස්සරහට එකතු කළා.

* ඔබ සුදු මාමා කියා හඳුන්වන්නේ කවුරුන්ද?

සිරිසේන විමලවීර. ඔහුට බොහෝ අය කිව්වේ විමලවීර මාස්ටර් කියා. මම සුදු මාමා කියා ආමන්ත්‍රණය කළේ ඔහු රඟපෑ පොඩි පුතා චිත්‍රපටයේ චරිතය මතකයට ගනිමින්. මේ චිත්‍රපටය මා පාසල් සිසුවියක් හැටියට නැරඹූ චිත්‍රපටයක්. සුදු මාමා මට දර්ශන තලයේදී කතා කළේ කෙල්ල කියලා.

* ඔබේ මුල්ම රංගනය ඇතුළත් චිත්‍රපටය ගැන මොනවද දන්නේ?

මා ආලය කළ තරුණිය නවකතාව ඩී. වී. සෙනෙවිරත්න වියතුන් ලියා තිබුණේ 1956. මා ආලය කළ තරුණිය නමින් සිනමාගත එය අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ශෝචනීය ප්‍රේම කතාවක්. ගැහැනියකගේ ගුණමකුකමත්, චපලත්වයත් මෙයින් මනාව පිළිබිඹු කෙරුවා. මෙහි මගේ පෙම්වතුන් අරුණ ශාන්ති හා ආනන්ද වීරකෝන්. පියා එන්. ආර්. ඩයස්. කුඩම්මා රාණි රණතුංග. දුෂ්ටයා හේමප්‍රිය කුරේ. ඉන්ස්පෙක්ටර් ඩී. ජී. හෙට්ටිආරච්චි. මැරයන් හැටියට බන්දු මුණසිංහ හා සේනක පෙරේරා රඟපෑවා. මුළුමනින්ම හඬත් සමඟ රූපගත කෙරුණේ නවජීවන චිත්‍රාරය තුළ. මේ සඳහා අගනුවර ප්‍රසිද්ධ මංමාවත්, නිවාස, සමාජ ශාලා එහිම ඉදි කෙරුණා. එම කටයුත්ත කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්න කෙරුවා මතකයි. මා ආලය කළ තරුණිය මංගල දර්ශනය පෙබරවාරි 20 වැනිදා කිංස්ලි සිනමාහලේ පැවැත් වූයේ 1959.

* ඔබ රංගන දායකත්වය ලබා දුන් මීළඟ චිත්‍රපටය කුමක් ද?

සුදු මාමා ඊළඟට නිපදවීමට සූදානම් වුණෙත් නවකතාවක්. ඉන් කියවුණේ සුවිනීත බිරිඳක් අමතක කොට සල්ලාලියකගේ වසඟයට පත්වන සැමියකුට අත්වන ශාපයක්. ඔය කතා පොත චිත්‍රපටයට නැගීමේ අවසරය දෙන්න නොවටිනා මුදලක් ඉල්ලුවා. සුදු මාමා ඊට සමාන කතා සංකල්පනාවක් ධර්ම ශ්‍රි කල්දේරාට විස්තර කොට චිත්‍රපට කතාවක් සකස් කර ගත්තා. එය තමා වනමල. 1960 තිරගත කළ ඉන් වන මලක් අතැර කඩදාසි මලකින් රොන් සොයා යන බඹරකුවන් සැමියකුගේ අවසනාවන්ත ඉරණම කියා පෑවා. එය පළමුවෙන් නම් කර තිබුණේ ගමේ කෙල්ල නමින්.

* ඔය චිත්‍රපටයෙන් අනතුරුව ඔබව දිගුª කාලයක් සිනමාවෙන් නුදුටුවේ මන්ද?

රොඩී කෙල්ල නවජීවන සමාගමේ අවසන් ප්‍රයත්නය කිව්වොත් මා නිවැරැදියි. මේ චරිතය මට රඟපාන්න දෙන්න සුදු මාමා අසතුටු වුණා. කොටහේනේ තට්ටු නිවාසයක පදිංචිව සිටි මේරි ඉවෝන් පෙරේරා නම් නවක නිළියක් තෝරා ගත්තා. කෙසේ නමුත් මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අතරමඟ ඇන හිටියා. නවක නිළිය පසු කාලයක සන්ධ්‍යා කුමාරි නමින් ප්‍රබල රංගන ශිල්පිනියක් ලෙස සිනමාව බැබළුවා. ඔය අතරවාරයේ මගේ අක්කා හයසින්ත් මාලනී 1959 දයා විමලවීර සමඟත් මා 1963 උපසේන විමලවීර සමඟත් විවාහ වුණා. නිළියකට කාර්යබහුල ගෘහණියක වෙන්න නොහැකියාව නිසාම මම සිනමා රංගනයෙන් ඈත් වුණා.

* නමුත් යළිත් ඔබ 1972 චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑවා නේද?

වීදුරු ගෙවල් අපේම පවුලේ නිෂ්පාදනයක්. මෙහි නිෂ්පාදනය හා සංස්කරණය උපසේනගෙන්. කතා රචනය, කැමරාකරණය, අධ්‍යක්ෂණය දයා අයියා කළා. තිර නාටකය හා දෙබස් ලිව්වේ තිස්ස අබේසේකර. ප්‍රධාන නළු නිළියන් සේනාධීර රූපසිංහ, රුක්මණී දේවි, ජෝ අබේවික්‍රම, පර්ල් කුරේ, පියදාස ගුණසේකර, එඩ්නා සුගතපාල, නවනන්දන විජේසිංහ, තලතා ගුණසේකර, බැසිල් ද සේරම්, එම්. පී. ගැමුණු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ඇල්ප්‍රඩ් මාන්නප්පෙරුම කියලා මගේ සහෝදරයකුත් රඟපෑවා.

* වීදුරු ගෙවල් ඔබේ අවසන් චිත්‍රපටය ලෙස සඳහන් කරන්න පුළුවන්ද?

අවුරුදු 14 කට පස්සේ දෙව්දුව චිත්‍රපටයේ කන්‍යා සොහොයුරියක ලෙසින් රඟපෑවා. ඊට පස්සේ 1993 ඡායා චිත්‍රපටයේ සබීතා පෙරේරාගේ මව විදියට රංගනයට එක් වුණා. මේ චිත්‍රපට ද්විත්වයම දයා අයියා නිර්මාණය කළ නිසයි ඒවාට සම්බන්ධ වුණේ. මෙතැනින් පසුව නම් චිත්‍රපටයක රඟපෑවේ නැහැ. මම සීතල ගිනි කඳු චිත්‍රපටයේ රඟපෑ බවක් කියන්නේ වැරදීමකින්.

* එහෙම නම් වත්මන ඔබේ ජීවන රටාව සැකසී ඇත්තේ කෙබඳු ආකාරයකටද?

අපිට ඉන්නේ ගෑනු දරුවන් දෙන්නයි. ලොකු දුව ගයත්‍රී කාංචනා. පොඩි දුව සාවිත්‍රී චේතනා. දෙදෙනාම විවාහකයි. ගයත්‍රී දුව පදිංචිය එංගලන්තයේ. ඇය රූපලාවණ්‍ය ආයතන දෙකක් පවත්වාගෙන යනවා. වැඩ කටයුතුª බහුලයි. ඇයට සහයෝගයක් හැටියට අපි දෙන්නා අවුරුද්දෙන් හය මාසයක් එංගලන්තයට ගොස් අත්උදව්වක් දෙනවා. හය මාසයක් ලංකාවේ ඉන්නවා.

* ඇයි ඔබ එංගලන්තය වගේ සුපිරි රටක ස්ථිර පදිංචියට කැමති නැද්ද?

අපේ රට සුපිරි නොවුණත් සම සෘතු සහිත පින්බර සුන්දර රටක්. මේ බිමේ ඉපිදෙන්නත් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි උපන් ලක්බිමට ආදරය කළ යුතුයි. කවුරු එහෙම නූනත් මම මගේ මව්බිමට ආදරෙයි. අනික අපි හැම අවුරුද්දකම සුදු මාමාගේ ගුණානුස්මරණය වෙනුවෙන් ලංකාවේ ඉන්නවා. එය කිසිම බාධාවක් ආවත් වෙනස් වෙන්නේ නැහැ.

* එයින් හඟවන්නේ ඔබ ඇතුලු පවුලේ අය විමලවීර මාස්ටර්ව වසරකට වරක් සමරනවා කියාද?

ඔහු වෙනුවෙන් සංවිධානය කරන පොදු උත්සවයන්ට ආරාධනා ලැබුණොත් නොවැරැදීම සහභාගි වෙනවා. නැතිවුණත් පවුලේ අපි සුදු මාමා සිහිපත් කොට දානමය පින්කම් කරනවා. එය කෘතවේදිත්වය හඳුනන සමස්ත සිනමාවම කළ යුතුª සත්ක්‍රියාවක්. එය දේශීය සිනමාවක් බිහි කිරීමට පුරෝගාමී වූ අනෙක් පැරැණි සිනමාකරුවන්ටත් සම විය යුතුයි. ඇත්තම කියනවා නම් පැරැණි සිනමා ශිල්පීන් සොයා සරසවිය යන මේ වන්දනා ගමනත් එබන්දක්.

රූපසේන සිල්වා

As a Cast

#Film NoYearFilm RoleDirector
1 321955 Podi Putha පොඩි පුතා Actress Sirisena Wimalaweera
2 581959 Ma Alaya Kala Tharuniya මා ආලය කල තරුණිය Actress Sirisena Wimalaweera
3 711960 Vanamala වනමල Main Actress Sirisena Wimalaweera
4 2481972 Veeduru Geval වීදුරු ගෙවල් Actress Daya Wimalaweera
5 6301986 Devuduwa දෙව්දුව Actress Daya Wimalaweera
6 7481993 Chaya චායා Actress Daya Wimalaweera
7 9542002 Seethala Gini Kandu සීතල ගිනි කඳු Actress Daya Wimalaweera