Palitha Senarath Yapa

Palitha Senarath Yapa

පාලිත සෙනරත් යාපා

59.6% · 1,392 votes
Rate this artist

Summary

NamePalitha Senarath Yapa
Sinhala Nameපාලිත සෙනරත් යාපා

Biography

ඉතා ඈත අතීතයේ මා සිනමාව ගැන සිතා සිටියේ එහි රඟන ඇත්තන් කිසිවකු හෝ මිහිපිට වෙසෙන අප වැන්නන්ට දැක ගත නොහැකි අපූරු මිනිස් කොඨිඨාසයක් හැටියටය. රිදි තිරය මත ඔවුන්ගේ රූපකාය එතරම් දැවැන්ත ලෙස පතිතවනුයේ එහෙයිනි. සිනමාව ගැන මහාප්‍රාණ අසා නොතිබුණ නොකිලිටි මනසක් සහිත ඒ දවස්වල මා මෙන්ම සෑම පොඩි එකෙකුම වාගේ සිතා ගෙන සිටින්නට ඇත්තේ එහෙමය. මගේ එම මතය බිඳ වැටුණේ අපේ පන්තියේ එකෙකු නිසාවෙන්ය.

ඔහු පාලිත සෙනරත් යාපාය. හය වැන්නේ දී මා කොළඹ ආනන්දයට ඇතුළුවූයේ පාලිත සිටි පන්තියටය. වෙන පාලිත කෙනෙක් පන්තියේ නොසිටියත් ඔහුව හැදින්වූයේ යාපා යනුවෙනි. වෙන යාපා ලා නොහිටියත් පාලිත යාපා පොඩි එකෙක් නිසා ඔහු හැඳීන්වීමට සුවිශේෂ පදයක් ද විය. යාපා චිත්‍රපට නළුවෙකු බවත් එය මේ දිනවල තිරගත වන බවත් මා අසා සිටියේ විස්මයකිනි. ඒ කොළඹ සන්නිය චිත්‍රපටයේය. මැණික් කැටය හමුවන අන්දිරිස් නැත්නම් ජෝ අබේවික්‍රම මැණික ගැන විස්තර කියද්දී තාත්තේ මඩ පුවක් ගඳයි කියා කෑ ගැසුවේ යාපා ය. ඇත්තටම ඒ මට එහා පේලියක අසුන් දරා සිටි නිතර කෙළි කවට කතා කියන යාපා දැයි පළමුව මට සැකයක් ඇතිවිණ. සිනමා කෘතියක රගපාන නළුවකු මා ඉදිරියේ හැබැහින් සිටින්නේ කෙලෙසද? ඇත්තටම ඒ ඔහුය.සිනමා නළු නිළියන් ද අප මෙන් ම ලේ මස් ඇට හතර සහිත මිනිසුන් බවත් මා පළමුව වටහා ගත්තේ ඔහුගෙන්ය. සිකුරු ලියා චිත්‍රපටයේ මඟුල් ගෙදර මනමාලයාගේ ඇඳුම් සොරකම් කරනුයේ ද ඔහුය. දෑසනිසා චිත්‍රපටයේ අන්ධ සුන්දරීට නැතහොත් ශ්‍රියාණි අමරසේනට අත්වැල අල්ලන කුඩා කොලු ගැටයකු වන්නේ ද ඔහුය. සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමඟ කවුදෝ මිනිසාගේ දෛවේ පෙරළන්නේ ගීතය ට රඟන පන්තියේ සිටි පොඩි එවුන්ගෙන් කෙනෙකු වනුයේ ඔහුය. යාපාට ලැබුණු හැම චරිතයක්ම ඔහුට කෙසේ වෙතත් අපට මතක සිටි චරිතයන් විය.

පාලිතගේ පන්ති වැඩ සොයන්නට නිතර පාසැලට පැමිණයේ ඔහුගේ මිත්තණියයි. මේ මිත්තණිය පාලිතට පමණක් නොව ඔහු නිසා අපට ද මිත්තණියක වූවාය. එපමණක් නොව මුළු මහත් සිනමාවට ද මිත්තණියක වූවාය. ඇය දෙනවක හාමිණේය. එබැවින් මා සැබෑ ලොව දුටු මුල්ම නිළිය දෙනවක හාමිණේ. යාපා පාසැල් ආවේ ද මිත්තණියගේ නිවසේ සිටය. ඒ මරදානේ මොහිදින් මස්ජිඩ් මාවතේ සිටය.

එහෙත් සිනමාවේ වැඩි දුර යන්නට ලොකු වුවමනාවක් ඔහුට නොවිණ. කඩවසම් පෙනුමක් මෙන්ම රංගනය පිළිබඳ හැකියාවක් ද ඔහුට විණ.

ඔහු පාසැලින් බැහැර වූ වහාම එනම් 1984 වසරේ ජාතික රූපවාහිනියට දායක වූයේය. එහි ඔහු මාධ්‍ය වේදියකු ලෙස කැපී පෙණෙන මෙහයක් ඉටු කළේය. කටුනායක ගුවන් තොටුපළට ත්‍රස්තවාදින් පහර එල්ල කළ අවස්ථාවේ පාලිත තුවාල ලද්දේය. එයින් පසු ඔහු ශ්‍රවණාබාධ තතත්වයට ද පත්විය. පාලිත මිය යන විට ජාතික රූපවාහිනියේ ක්‍රිඩා අංශයේ අංශ ප්‍රධාන වූයේය.

ඔහු ජීවිතය අවසාන කළේ අකාලයේය. රුදුරු රෝගි බව සියල්ලන්ගෙන් සැගවූ ඔහු මෙයට දෙවසරකට පෙර වෙන්ව ගිය ඔහුගේ භාර්යාව සමග එක්වන්නට සියල්ල අත්හැරියේ යැයි මට සිතේ. ඒ සියල්ලට වඩා රිදි තිරයෙන් එපිට ජීව්තය පිළිබඳවද ඔහු කියා දුන්නේ යැයි වරෙක සිතෙන්නේය.

අරුණ

As a Cast

#Film NoYearFilm RoleDirector
1 3131975 Sikuruliya සිකුරුලියා Actor H.D. Premarathna
2 3191975 Desa Nisa දෑස නිසා Actor Dr. Lester James Peries
3 3291976 Kolamba Sanniya කොළඹ සන්නිය Actor Manik Sandra Sagara
4 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actor Neil Rupasinghe