Sikuruliya

Sikuruliya

සිකුරුලියා

Black & White 35 mm

Film No: 313  ·  Released: 27 Sep 1975

59.48% · 2,600 votes
Rate this film
Special Message

CINEMASCOPE

Summary

NameSikuruliya / සිකුරුලියා
Film No313
Released Date27 Sep 1975
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryFamily

Description

අතීතයේ සිටි සටන් නළුවන් අතරින් වඩාත් කැපි පෙනුනා රොබින් ප්‍රනාන්දු, අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු , බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, සරණපාල සුරිආරච්චි, ජස්ටින් ෆොන්සේකා , වගේ අය. මේ අය අතරින් රොබින්, ඇලෙක්ස් දෙදෙනා එක්ව සටන් ජවනිකා ඉදිරිපත් කරනු දැකිමට එදා ප්‍රෙක්ෂකයින් දැක්වුවේ විශාල කැමැත්තක්, නමුත් මේ දෙදෙනා එකට එක්ව සටන් ඉදිරිපත් කළ චිත්‍රපට එතරම් වැඩි ගණනක් දැක ගැනීමට නොලැබුනත් හාරලක්ෂය චිත්‍රපටයේ මේ දෙදෙනා අතර සිදුවන සටන මෙරට සිනමාවේ සටන් ජවනිකා අතර අමරණිය සටන් දර්ශනයක්, ඒ වගේම රුහුණු කුමාරි, සිංගප්පුරු චාලි යන චිත්‍රපටවලත් මේ දෙදෙනා අතර ඇග කිලිපොළා යන සටන් ජවනිකා අපට දැක ගැනිමට ලැබුනා. ඒ වගේම තමයි වැලිකතරට පසු නිපදවූ මෙරට දෙවන පුළුල් තිර චිත්‍රපටය වන 1975 වසරේ තිරයට ආ සිකුරු ලියා ලියා චිත්‍රපටයේ මේ දෙදෙනා අතර වූ සටන් දර්ශනය. සටන් සදහා මාස්ටර්ලා දෙදෙනකු වූ මේ දෙදෙනාගෙන් අයෙකු චිත්‍රපටය වෙනුවෙන් පරදිනවා විනා එකෙනෙකුට එක් අයෙකු දෙවන වුනේනම් නෑ.

මේ දෙදෙනාගේ බිහිසුණු සටන් ජවනිකාවක් එදා සිකුරු ලියා චිත්‍රපටය අලංකාර කළා කිව්වොත් එය ඉතාමත් නිවැරැදියි. 1975 වසර කියන්නේ ජනප්‍රිය චිත්‍රපට රැසක් මෙරට සිනමාවට දායාද කළ වසරක්. ලෙනින් මොරායස්, නිල් රූපසිංහ, ජෝ දේව් ආනන්ද්, එම්.එස්.ආනන්දන්, තිමති වීරරත්න වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ වගේම නවක අධ්‍යක්ෂකවරුන් රැසකගේ චිත්‍රපටත් මේ අතර තිබිම විශේෂත්වයක්.

මේ අය අතරිනුත් එක් නවක තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණයක් එම වසරේ කාගේත් අවධානයට ලක් වුනා. ඒ තමයි එච්.ඩී. ප්‍රේමරත්න හා ඔහු අධ්‍යක්ෂණය කළ සිකුරු ලියා චිත්‍රපටය. කොහොම වුනත් ඒ වනවිටත් ප්‍රේමරත්න සිංහල සිනමාවට අමුත්තෙක් නොවෙයි. ඊට වසර කිහිපයකට පෙර තිරගත වූ දරුදුක, පූජිතයෝ වැනි චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂකවරයෙකු වශයෙනුත් ඔහු කටයුතු කර තිබීම අමතක කළ නොහැකියි. කාලගෝල කතාවට නව අර්ථ කතනයක් ලෙස ඉදිරිපත් කරන සිකුරු ලියා චිත්‍රපටයෙන් ඔහු මෙරට සිනමාවට එක් කරනවා අලුත් අත්දැකීම් කිහිපයක්. විජය, සුවිනීතා ප්‍රධාන චරිතවලට මෙහිදී යොදා ගන්නා ඔහු සාමාන්‍යයෙන් උස පුද්ගලයෙකු නොවන බන්දුල ගලගෙදර ප්‍රධාන චරිතයක් සදහා යොදා ගැනිම, ඒ වනවිට මෙරට සිනමාවේ පලපුරුදු සංගීත අධ්‍යක්ෂකවරුන් වෙනුවට ක්ලැරන්ස් විජේවර්ධන වැනි තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු යොදා ගැනිමත්, එකල සිනමාවේ වඩාත් ජනප්‍රිය ඒ වගේම වඩාත් ගැලපුනු තිරයේ යුග ගීතය ලෙස නම්වූ ජෝති, ඇන්ජලින් වෙනුවට ජෝති සමග ඉන්ද්‍රානි පෙරේරා යොදා ගැනිමත් (සමහර විට මේ සදහා සංගීත අධ්‍යක්ෂක ගේ දායකත්වයක් තිබෙන්නට පුලුවන් ) මෙවන් කැපීපෙනුනු කරුණු ලෙස නම් කරන්නට පුලුවන්. විජය, සුව්නිතා, ජෝ, බන්දුල ගලගෙදර, රොබින් ,ඇලෙක්ස්, පියදාස ගුණසේකර, රූබි ද මෙල්, තලතා ගුණසේකර, ශාන්ති ලේඛා, කොස්තා, දෙනවක වැනි නළු නිළියන් චරිත නිරුපනය කළ මෙහි ගායනා සදහා ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා, මිල්ටන් පෙරේරා, එම්.එස්.ප්‍රනාන්දු, බේබි ශිරෝමි, ලිලන්ති කරුනානායක සමග ප්‍රවිණ නළු පියදාස ගුණසේකරත් දායකත්වය දක්විම විශේෂයි.

බොළද ලියා සිකුරු ලියා, දිලි දිලි දිලිසෙන එළියක්, මල්සර හදකට තුරුලු වෙලා වැනි ඉතාමත් මධුර ගීත කිහිපයක් ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කර තිබු මෙහි ගීත රචනා කළා ධර්ම ශ්‍රි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රනසිංහ, සිරිල් ඒ සීලවිමල හා ක්ලැරන්ස් විජේවර්ධන. මෙහි එන ගීත අතරින් මිල්ටන් පෙරේරා ගායනා කරන බොළද ලියා සිකුරු ලියා ගීතය ඉන්දියාවේ මහා සංගීත අධ්‍යක්ෂක නෞෂාඩ් ගේ විශේෂ සැලකිල්ලට ලක්වූ බවත් දැන ගන්නට තිබෙනවා, වරක් මිල්ටන් පෙරේරා ඉන්දියාවට ගිය අවස්තාවක නෞෂාඩ් මෙය අසා බොහෝ සතුටට පත්ව තිබෙනවා , කොහොම වුනත් මෙම ගීතය සදහා අමරදේව තෝරා ගැනිමට අදහස් වී තිබුනත් මිල්ටන් මේ සදහා වඩාත් යෝග්‍ය බවට ක්ලැරන්ස් තදින් පෙනී සිටි බවත් පැවසෙන අතර ඔහුගේ තීරණය නිවැරදි බව නෞෂාඩ් වැනි දැවැන්තයෙකු මෙම ගීතය හා ගායකයා අගය කිරිමෙන්ම පැහැදිලියි.

1975 සැප්තැම්බර් 27 දිනසිට තිරගත කිරිම ඇරඹූ සිකුරු ලියා වඩාත් සාර්ථක වුනා මරදානේ එල්පින්ස්ටන් හි දින 62ක් තිරගත වෙමින්, ඒවගේම මෙයට තරග වදින්නට එදා සිදුවන්නේ දමයන්ති, සධානා, ලස්සන දවසක් වගේ සිංහල චිත්‍රපට සමග පමණක් නොවෙයි අභිමාන්, ගීත් වගේ අති ජනප්‍රියත්වයට පත් හින්දි චිත්‍රපටත් සමගයි.

ඒ වගේම තවත් යමක් සටහන් කළහොත් 1975 වසරේ අධ්‍යක්ෂණයට පිවිසි සමහර අධ්‍යක්ෂකවරුන්හට එම වසරෙන් ඉදිරියට යන්නට නොහැකි වූ නමුත් එච්.ඩි.ප්‍රේමරත්න සමත් වනවා එතනින් නතර නොවි ඉදිරියටම යන්නට, මේ අනුව පසුකලෙක මෙලොවින් සමුගන්නා තුරුත් සිනමාවේ රැදි සිටිමේ භාග්‍යය ඔහුට අත්වනවා.

අනිල් විරසිංහ 0716358123

Cast

Crew