Shanthi Lekha

Shanthi Lekha

ශාන්ති ලේඛා

Born 01 July 1929 Died 11 March 2009

01 July 1929 - 11 March 2009

59.51% · 2,352 votes
Rate this artist

Summary

NameShanthi Lekha
Sinhala Nameශාන්ති ලේඛා
Born01 July 1929
Died11 March 2009

Biography

හැත්තෑව දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි කිවහොත් නිවැරැදි යයි සිතමි. කලාත්මක චිත්‍රපට මෙන්ම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළ චිත්‍රපට රැසක්ම බිහිවූයේ මේ කාලයේදීය.

එ නිසාම සිනමා නළු නිළියන්ට ජනතා ආකර්ෂණයෙන්ද අඩුවක් නොවීය.

එකල සිංහල චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වෙද්දී විශේෂයෙන්ම රීගල් සිනමා හල හා ලිබර්ටි යන සිනමාහල් අසල වෙනමම පිරිසක් වූහ. ඒ මංගල දර්ශනයට සහභාගීවන නළුනිළියන් දැක ගැනීමටය. අදද ඉන්දියාවේ නළු නිළියන් සහභාගි වන මංගල, අවමංගල උත්සව හැම එකකටම නළුනිළියන් දැක ගැනීමට පිරිස රොක් වෙති. සෙනඟ හසුරුවන්නට වෙනමම පොලිස් නිලධාරින් යොදවති. ඉන්දියාවේ තවමත් එසේමය.

ඇතැම් විටෙක සිනමාහල පිටත සිටින මේ ​සිංහල ප්‍රේක්ෂකයන් නිසා නළුනිළියන්ට එකල සිනමාහලට ඇතුළුවීමට අපහසු වූ අවස්ථාද ඇති නොවූවා නොවේ. සිනමාවේ මේ ආකර්ෂණය නිසා නළුනිළි හා චිත්‍රපට තොරතුරු රැගත් සිනමා සඟරා, පුවත්පත් වලටද ඡායාරූප වලටද විශාල ඉල්ලුමක් තිබුණේය. ඇතැම් සිනමා පුවත්පතක තමන් කැමැති සිනමා නළුවකුගේ හෝ නිළියකගේ ඡායාරූපයක් තිබූ පමණින් එය අලෙවි කර ගැනීමට පහසු විය.

මේ කාලයේ ලංකාවේ සිනමා තාරකා හැම කෙනෙකුම වාගේ එකට එක් කරන අවුරුද්දේ අග එනම් දෙසැම්බර් 31 වැනිදා අපූරු සාදයක් තිබුණේය.

මේ සාදයේ ඡායාරූප තොරතුරු පිටු ගණන් එකල සිනමා පත්තරවල පළවිය. සංගීතය රැඟුම් ආදියෙන් පිරුණු ඒ ආකර්ෂණීය සාදය හැම අවුරුද්දකම සංවිධානය කළේ එකල හැම චිත්‍රපටයකින්ම වාගේ මවගේ චරිතයෙන් අප දුටු ශාන්ති ලේඛාය. ඇය එකල සිනමාවේ සිටි සැම සිනමා නළුවකුගේම නිළියකගේම මව ලෙස රුඟපෑවා යයි සිතමි. ශාන්ති ලේඛාට තම චරිතය රඟපාන්නට එම චිත්‍රපටය කලාත්මක දැයි වාණිජ දැයි ප්‍රශ්නයක් නොවීය. මේ කොයි චිත්‍රපටයේ රඟපෑවත් ඇය දුප්පත් ගැමි මවගේ චරිතයට ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නා ආකාරයෙන් රඟපෑවාය.

ඇය මවගේ චරිතය කොතරම් චිත්‍රපට ගණනක රඟපෑවාද කියතොත් වරක් මා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මට දැන් අම්මලාගේ චරිතය තිත්තවෙලා කියාය.

“මට මේ අම්මගේ චරිතේ ඒකාකාරියි හැමදාම අම්මා. මේ ක්‍රමය හරි වැරදියි. ඒ වගේම හරිම අවාසියි. සිනමාව පැත්තෙන් බැලුවත් නිළියකගේ පැත්තෙන් බැලුවත් මෙය විශාල අඩුවක්. නිළියක් වුණාම විවිධ චරිත රඟපාන්නට තිබිය යුතුයි. එවිටයි නිළියකගේ දුර්වලකම් වගේම දක්ෂකම් බලාගත හැක්කේ. අපි හරි ආසයි විවිධ චරිත රඟපාන්න. එ්ත් ලැබෙන අවස්ථා අඩුයි” ශාන්ති ලේඛා එදා මා සමඟ කීවාය. ශාන්ති ලේඛා සිහිපත්වන විට හැම විටෙකම ඇයට එපාවූ අහිංසක අම්මාගේ චරිතයද සිහිපත් වෙයි. එහෙත් ඇය සැබෑ ජීවිතයේදී ඇඳුම් පැළඳුම් තෝරා ගත්තේ හැසිරුනේ බටහිර පන්නයටය. ඇය මුහුරත් උත්සව ආදී අවස්ථාවලට සහභාගී වූයේ කොණ්ඩය කෙටිවන්නට සකස් කර කලිසමකින් සැරසී බටහිර පන්නයටය. ඇය බොහෝ විටෙක කතා කළේ ඉංග්‍රීසියෙනි. එකල බොහෝ නළු නිළියන් මෙන්ම ශාන්ති ලේඛා ද චතුර ලෙස ඉංග්‍රීසි කතා කළාය.

සැබෑ ජීවිතයේ බටහිර පන්නයට හැඩ ගැසුණු ඇය හැත්තෑව දශකයේදී අවුරුදු ගණනාවකම 31 වැනිදා රාත්‍රිය රඟමින් ගයමින් ගත කළාය. දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී සාදය එක්වරම නැවතුනේ රුක්මනී දේවියගේ හදිසි අභාවයත් සමගමය. ඇය රුක්මනී වෙනුවෙන් බෙහෙවින් ශෝක වූවාය. 1978 ඔක්තෝබර් 28 වැනිදා සඳුදා ඒ රිය අනතුර බොහෝ දෙනකු කම්පාවට ලක්වූ සිදුවීමක් විය. අවුරුද්ද අන්තිම පාටියට වඩාත්ම සහයෝගයක් දක්වන්නේ ඩේසි අක්කායි. එයා මිය යන්නට දින කීපයකට ඉස්සර මට ටෙලිෆෝක් කළා.

“අනේ කෙල්ලේ අපි මේ පාරත් ඩාන්සින් නයිට් එක හොඳට කරමු. ජීවත්ව ඉන්න ටිකටනේ මේ ඔක්කොම දේවල්.” “ඒත් මේ ගමන පාටිය කරන්නේ නෑ. අවුරුදු ගණනාවක්ම හැම දෙසැම්බර් 31 වැනිදාම අපි එක්ක විනෝද වුණ ඩේසි අක්කා නැති පාටියකින් වැඩක් තියෙනවාද?” ඇය රුක්මනී දේවියගේ වියෝව ගැන කම්පාවෙන් යුතුව ප්‍රකාශ කළාය. එයින් පසුව මේ සාදය පැවැත්වුණා දැයි මතකයක් නැත.

බටහිර පන්නයට හැඩ ගැසුනු ඉංග්‍රීසි කතා කරන මේ දුප්පත් අම්මාගේ මුල් නාමය රීටා අයිරින් කොයිස්ය. ශාන්ති ලේඛා ලෙස ඇගේ නම වෙනස් කළේ ශාන්ති විරාජ් විසිනි. ඇය එකල නැටුම් ශිල්පිනියක වූවාය. ඇය මුලින්ම ඩී.ටී. ප්‍රනාන්දුගේ නාට්‍යයක් වූ ශාන්ත ප්‍රභාහි රඟපෑවාය. ඇය ඩොමී ජයවර්ධන, නෝනා සුබෙයිදා ආදීන් සමඟ නැටුම් ශිල්පිනියක ලෙස කටයුතු කළාය. 1929 ජුලි 1 වැනිදා කළුතරදී උපන් ශාන්ති ලේඛා කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී අධ්‍යාපනය හැදෑරුවාය.

රුක්මනී දේවිය මුලින්ම හමුවූ දවස ඇය වරක් සිහිපත් කළේ මෙලෙසිනි.

“එක්දාස් නවසිය හතළිස් ගණන්වලදී කොළඹ ටවුන් හෝල් එකේ සන්දර්ශනයක් පැවැත්වුණා. ඒකට සින්දු කියන්න එඩී, රුක්මනී වගේම තිලකසිරි ප්‍රනාන්දු ආවා. මම ආවේ ශාන්ති විරාජ් සමග නැටුම් ජවනිකාවක් ඉදිරිපත් කරන්නයි.

ඒ කාලේ ජනප්‍රියත්වයෙන් ඉහළම සිටි ඩේසි අක්කා මට මුලින්ම මුණ ගැහුනේ එදායි. ඇත්තටම ඩේසි අක්කා මොන තරම් නිහතමානීද. ඊට කාලයකට පස්සේ ‘දොස්තර’ චිත්‍රපටයේ රඟපාද්දි අපි ආයෙමත් එකට මුණ ගැහුනා. අපි දෙන්නා ඊට පස්සේ චිත්‍රපට සිය ගණනක එකට රඟපාන්න ඇති.”

වයස අවුරුදු 14 ක් තරම කාලයේදී වේදිකාවට සම්බන්ධ වූ ඇය 1953 දි ප්‍රථම වරට “සුජාතා” හි රඟපෑවාය. ඒ ඩොමී ජයවර්ධන සමගය. එය බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූවා සේම ශාන්ති ලේඛා රඟපෑ චරිතය ද වඩාත් කතාබහට ලක්විය.

ඒ සිංහල චිත්‍රපටවල නිළියන් බටහිර පන්නයට නාන ඇඳුමින් සැරසී රඟපාන යුගයක් නොවේ. එහෙත් ඇය ඩොමී ජයවර්ධන සමඟ අද ද ඇසෙන “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය මුහුදු වෙරළක දර්ශනවලදී ගායනා කළේ කෙටි නාන ඇඳුමකින් සැරසීගෙනය. මෙය එකල සමාජයේ හැටියට ආන්දෝලනාත්මක රඟපෑමකි. එම රඟපෑමෙන් පසුව චිත්‍රපට ගණනාවක රඟපෑ ශාන්ති ලේඛාට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සන්දේශය” චිත්‍රපටයේ ලැබුණේ අපූරු චරිතයකි. ඊට හේතුව වූයේ එහි ඉතිරිව තිබුණේ එම චරිතය පමණක් වීමය.

තරුණ වියේදීම සන්දේශය චිත්‍රපටයේ ඇයට රඟපාන්නට ලැබුණේ මහලු ගැහැනියකගේ චරිතයයි. ඇය ඒ අභියෝගය බාර ගනිමින් රඟපෑවාය.

“සන්දේශය චිත්‍රපටයේ මම ඒ චරිතය රඟපෑවේ ලොකු ආශාවකින්. ඒ චිත්‍රපටය ලොකු වෙනසක් කළා. ඒ වගේම ලෙස්ටර් යටතේ රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක් වුණා.”

එතැන් සිට අපට බොහෝ විට ඇය දකින්නට ලැබුණේ මවගේ චරිතයෙනි.

ලෙස්ටර්ගේ ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටයක් වූ “ගම්පෙරලියේ” ඇය මාතර හාමිනේ ලෙස ඩේවිඩ් ධර්මකීර්ති සමග රඟපෑ චරිතය අපට කිසි දිනක අමතක නොවනු ඇත. වාණිජ චිත්‍රපටවල රඟපාමින් සිනමාවට අවතීර්ණ වන ඇය චරිතයක් සියුම්ව නිරූපණය කිරීමට කොතරම් සමත්දැයි “මාතර හාමිනේ” චරිතය නැරඹූ විට සිහිපත් වෙයි.

“දෙවියනි ඔබ කොහිද? චිත්‍රපටයේ මම කටකාර අම්මණ්ඩි කෙනෙක් හැටියට රඟ පෑ චරිතයට හරිම කැමතියි. ඒ චරිතය මට අමුත්තක්. මගේ කට වාචාල කම නිසා මුළු ගමක්ම ගිනි ගන්නවා. මගේ බොරු කේලාම් නිසා පල්ලියේ ස්වාමි දුක් කරදරවලට ලක්වෙනවා. තරුණු ජෝඩුවක් විවිධ වධවලට ලක්වී නින්දා විඳිනවා. මුළු ගමක්ම ශාපයක් වැදිලා වගේ ලෙඩ වෙනවා. මමත් අන්තිමට ලෙඩ වෙනවා. මේ චරිතය හරිම අමුතුයි.”

“සරුංගලේ” හා “සසර” චිත්‍රපටයේ චරිත වලටද ඇය කැමති බව එදා කීවාය.

“මම ‘සසර’ චිත්‍රපටයේ රඟපෑවේ ලන්සි ගැහැනියක් හැටියටයි” ඇය එදා කීවාය.

ශාන්ති ලේඛා වේෂ නිරූපන ශිල්පිනියක ද වෙයි. ඇය මුලින්ම හැඳල විජය චිත්‍රාගාරයට සම්බන්ධ වී ඇත්තේ වේෂ නිරූපණ ශිල්පිනියක ලෙසය.

“මම දීර්ඝ කාලයක් විජය ස්ටුඩියෝ එකේ මේක් අප් ආටිස්ට් කෙනෙක් හැටියට වැඩ කළා. මට චිත්‍රපට දෙක තුනක මේකප් කරන්න ලැබුණා. එ්ත් ඒ ගැන මම උනන්දුවක් දැක්වුවේ නැත්තේ ඒ ජොබ් එකට කට්ටිය ඉන්න නිසා ඒ වැඩේට අත ගහන එක හරි නෑ කියලා හිතුනා” ඇය සම්මුඛ සාකච්ඡාවකදී කීවාය.

හැත්තෑ ගණන්වලදී විජය චිත්‍රාගාරයට යන එන බොහෝ අවස්ථාවලදී ශාන්ති ලේඛා එහි සිටිනු දකින්නට ලැබිණ. එක අතකින් එය අපට පුදුමයක් විය. බොහෝ විටෙක එකල හැදල විජය චිත්‍රාගාරය සිනමාවේ විවිධ ශිල්පීන් එකතු කරන ස්ථානයක් මෙන් විය.

එක් තැනෙක දෙබස් කැවීම්ය. තවත් තැනෙක සංස්කරණ කටයුතුය. තවත් තැනෙක රූ ගත කිරීම්ය. තවත් විටෙක චිත්‍රපටයක පූර්ව දර්ශනයකි. මේ නිසා නළුනිළියන් සංස්කරණ ශිල්පීන් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් ආදී සිනමාවට සම්බන්ධ බොහෝ පිරිස් හමුවීමට විජය චිත්‍රාගාරය කදිම තැනක් විය.

සිනමාව පිළිබඳ පුවත් සොයන්නටත් විවිධ සිනමා ශිල්පීන් හමුවන්නටත් සිනමාවේ කාර්මික පැත්ත ගැන ඉගෙනීමටත් එකල බොහෝ විට අප ගියේ විජය චිත්‍රාගාරයටය. එහිදී ශාන්ති ලේඛා සමග වචනයක් දෙකක් කතා කරන්නට අපි අමතක නොකළෙමු.

ඒ කාලයේදීම විජය චිත්‍රාගාරයේ තවත් කාමරයක හිටියේ එඩී ජයමාන්නය. ඔහුද කාලයකදී විජය චිත්‍රාගාරයේ තනතුරක් හෙබවූවේය. ඉංග්‍රීසි නවකතාවක් ඇතැතිව නිතරම සිටින එඩී විටෙක ශාන්ති සමග කතා කරමින් පසුවිය.

ශාන්ති ලේඛා නම් දක්ෂතාවෙන් පිරි මේ රංගන ශිල්පිනිය හොඳම සහාය නිළිය ලෙස ද සම්මාන ලබා ඇත. ඇය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණ කළ ‘පරසතු මල්’ චිත්‍රපටයේ හොඳම සහාය නිළිය ලෙස සරසවි සම්මානයෙන් ද, බිනරමලී, මායුරිගේ කතාව හා රිදී නිම්නය යන චිත්‍රපට වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන දිනා ඇත.

ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගන ශිල්පියා බෙහෙවින් ප්‍රිය කළ රංගන ශිල්පිනියන් අතර ශාන්ති ලේඛා ද මුල් තැනක් ගනී. ගාමිණී ඇයට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. රඟපෑයුතු දර්ශනයද ඇයට ඉංග්‍රීසියෙන් පැහැදිළි කරයි.

ගාමිණී ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයේ බොහෝ ජවනිකා රූප ගත කළේ සේන සමරසිංහයන්ගේ රඹුක්කන නිවසකය. එය සේනගේ සහෝදරයාට අයත්ව තිබූ නිව​ෙසකි. මයුරිගේ කතාවේ දැක්වෙන ගෙය එම නිවසයි. චංචල රේඛා චිත්‍රපටයේ රූ ගත කරද්දී ශිල්පීන් බොහෝ දෙනකු නැවතී සිටියේ එම නිවසේය. ගාමිණී සමග සොමී රත්නායක, විණා ජයකොඩි, ශාන්ති ලේඛා, සෝනියා දිසා සහ දමිත් ​ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනකු එම දර්ශනවල රඟපෑ බව මට මතකය.

මෙහි කැමරා අධ්‍යක්ෂවරයා වූයේ වී වාමදේවන්ය. තම දර්ශන වාරය එනතුරු තරමක් නිදහයේ සිටින ශාන්ති ලේඛා, වීණා, සොමී ඇතුළු පිරිස බොහෝ විට කාලය ගත කළේ විනෝදයෙනි. ශාන්ති ලේඛා සුජාතා චිත්‍රපයේ “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය ගායනා කළ හැටි මතක් කරමින් සොමී එකල අැයට විහිළු කෙළේය.

ඇයද ඊට මොකක් හෝ විහිළුවක් කර මහා හඬින් සිනහවෙයි.

පැරණි නළුනිළියන් තම පළපුරුද්ද ඔස්සේ තිරයේ ඉදිරිපත් කළ රැඟුම් අදටත් ජීවමානය. ඒවා කලාත්මක චිත්‍රපටවල මෙන්ම වාණිජ චිත්‍රපටවලද වෙනසක් නොවීය. අපේ බොහෝ නළු නිළියෝ සිනමා රඟපෑම් ආයතනවලින් හැදෑරුවෝ නොවෙති. එසේම ඉතාමත් සුළු වෙලාවකින් එම චරිතය තුළ ජීවත්වන්නට ඔවුන් කාලයක් තිස්සේ කළ රංගන පළපුරුද්ද ඉවහල් වෙයි. ශාන්ති ලේඛා ද එවන් නිළියකි.

ශාන්ති ලේඛා චිත්‍රපට 350 කට අධික සංඛ්‍යාවක රඟපා ඇතැයි ගණන් බලා ඇත. එහෙත් ඇයට එය එකල ගණනක් නොවීය.

“එම චිත්‍රපටවල රඟපාලා ලැබුණු පළපුරුද්ද විශාලයි. ඒ අත්දැකීම් එකතු කරලා චිත්‍රපට ගාණනක් හදන්න පුළුවන්. පොත් ගණන් ලියන්න පුළුවන්. මම ආසයි අන්ධ ගැහැණියකගේ චරිතය රඟපාන්න. ඒ වගේම පිස්සියකගේ චරිතයක් රඟපාන්නත් කැමතියි” ඇය කීවේ 1977 දීය. ශාන්ති ලේඛාට එම බලාපොරොත්තුව ඉටුකරගන්නට ලැබුනාදැයි මට හරියටම කිව නොහැකිය.

එකල ඇය පදිංචිව සිටියේ වත්තලය. ඇය බොහෝ සේ සැහැල්ලු ජීවිතයක් ගත කළා සේම ඇය එකල වික්ටර් රත්නායකගේ ගීතවලට බෙහෙවින් ආසා කළාය.

“හරිම ලස්සන සින්දු අනේ... මම හරිම ආසයි. බලන්න තාම වයස 32 යි. එ්ත් මේ තරම් ජනප්‍රියත්වයක්” ඇය එදා කීවාය. එකල වික්ටර්ගේ වයස අවුරුදු 32 ක් විය.

කාලය විසින් සියල්ල වෙනස් කෙරිණ. හැත්තෑ ගණන්වල බැබළුන සිනමාව ක්‍රමයෙන් බිඳ වැටීගෙන ගියේය. “සියළු සංස්කාරයන් අනිත්‍ය යයි මම අසා තිබෙනවා. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට බව අපේ ආගමේ කියවෙනවා” ශාන්ති ලේඛා මෙසේ පැවසුවේ එදා රුක්මනී දේවියගේ අනපේක්ෂිත මරණය හමුවේ කම්පාවෙමිනි.

සිතූ සේම ශාන්ති වියපත් වූවාය. ඇය සිනමාවෙන් ඈත් වූවාය. ඇය ඉන්පසු වත්තලින් මොරටුවේ ඥාති නිවසකට ආවාය. ඇය ජීවිතයේ අවසන් කාලය ගත කළේ ප්‍රංශයේ පැරිස් නුවරය. 1929 දී උපන් ඇය 2009 මාර්තු 11 වැනිදා පැරීසියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇයට එවිට වයස අවුරුදු 80 කි.

එහෙත් ශාන්ති ලේඛාගේ අම්මා චරිතය තව බොහෝ කාලයක් යනතුරු තිරයෙන් දැකිය හැකි වනු ඇත. ශාන්ති මියයන විට තිරයේ ජය කෙහෙළි නැංවූ ගාමිණි ෆොන්සේකා මෙන්ම විජය ද අප අතරින් වෙන්ව ගොසිනි.

රොඩ්නි විදානපතිරණ

Awards

National Awards

1 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
2 Merit Award Ridee Nimnaya - 1982 5th Presidential Award 1983 - 1983
3 Best Supporting Actress Mayurige Kathawa - 1980 9th Sarasaviya Awards - 1981 - 1981
4 Best Supporting Actress Sasara - 1978 1st Presidential Award 1979 - 1979
5 " Deepashika" Apecial Award 4th Deepashika Award Ceremony 1974 - 1974
6 Best Supporting Actress Binaramalee - 1969 7th Sarasaviya Awards - 1970 - 1970
7 Special Awards Ipadune Ai - 1967 5th Sarasaviya Awards - 1968 - 1968
8 Best Co Actress Parasathu Mal - 1966 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968

As a Cast

#Film NoYearFilm RoleDirector
1 191953 Sujatha සුජාතා Actress T.R. Sundaram
2 211954 Warada Kageda වරද කාගේද Actress T.R. Sundaram, G.R. Rabo
3 251954 Radala Piliruwa රදල පිළිරුව Actress T.R. Sundaram
4 331956 Dosthara දොස්තර Actress K. Shankar, Venkatarawan
5 421957 Jeevitha Satana ජීවිත සටන Actress Shanthi Kumar Seneviratne
6 521958 Salli Malli Salli සල්ලි මල්ලි සල්ලි Main Actress M.R.S. Mani
7 661960 Sandeshaya සංදේශය Actress Dr. Lester James Peries
8 931963 Gamperaliya ගම්පෙරළිය Actress Dr. Lester James Peries
9 991964 Suba Sarana Sapa Sithe සුභ සරණ සැප සිතේ Actress T. Somasekaran
10 1081965 Sepatha Soya සැපත සොයා Actress B. Nandasena Cooray
11 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Actress M. Masthan
12 1281966 Seethala Wathura සීතල වතුර Actress Dharma Sri Kaldera
13 1341966 Delovak Athara දෙලොවක් අතර Actress Dr. Lester James Peries
14 1401966 Parasathu Mal පරසතු මල් Actress Gamini Fonseka
15 1421966 Oba Dutu Da ඔබ දුටු දා Actress S. Sivananda
16 1441966 Sanasili Suvaya සැනසිලි සුවය Actress Robin Tampoe
17 1551967 Ransalu රන්සළු Actress Dr. Lester James Peries
18 1581967 Sarubima සරුබිම Actress S.D.S. Somarathna, L.S. Ramachandran
19 1601967 Wasanthi වසන්ති Actress Ananda Wickramasinghe
20 1611967 Ranrasa රන්රස Actress P. Ratnam
21 1621967 Ipadune Ai ඉපදුනේ ඇයි Actress S. Ramanadhan
22 1641967 Rena Girawu රෑන ගිරවු Actress Dharma Sri Kaldera
23 1651967 Okkoma Hari ඔක්කොම හරි Actress Wijepala Hettiarachchi, S. Ramanadhan
24 1671967 Sura Chauraya සූර චව්රයා Actress M. Masthan
25 1681968 Pinibindu පිනිබිඳු Actress Chula Palagolla
26 1841968 Dehadaka Duka දෙහදක දුක Actress Robin Tampoe
27 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actress M. Masthan
28 1911969 Naarilatha නාරිලතා Actress Thissa Liyanasuriya
29 1931969 Kauda Hari කව්ද හරි Actress Titus Totawatte
30 1981969 Binaramalee බිනරමලී Actress Mudalinayaka Somarathna
31 2001969 Uthum Sthri උතුම් ස්ත්‍රි Actress K. Venkat
32 2111970 Akkara Paha අක්කර පහ Actress Dr. Lester James Peries
33 2121970 Athma Puja ආත්ම පූජා Actress M. Masthan, Gamini Fonseka
34 2131970 Thevatha තෙවන Actress Titus Totawatte
35 2151970 Penawa Neda පේනවා නේද Actress Wijepala Hettiarachchi
36 2191970 Thunman Handiya තුන්මන් හන්දිය Actress Mahagama Sekara
37 2231971 Poojithayo පූජිතයෝ Actress W.A.B. De Silva
38 2241971 Dewena Pipasaya දැවෙන පිපාසය Actress Thimothy Weerarathna
39 2311971 Seeye Nottuwa සීයේ නෝට්ටුව Actress K.A.W. Perera
40 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Actress Wimaladasa Perera
41 2371972 Nidhanaya නිධානය Actress Dr. Lester James Peries
42 2381972 Sahanaya සහනය Actress J. Selvarathnam
43 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actress Lenin Morais
44 2461972 Hithaka Pipunu Mal හිතක පිපුණ මල් Actress S.Ramanadan
45 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Actress K.A.W. Perera
46 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actress K.A.W. Perera
47 2591973 Thushara තුෂාරා Actress Yasapalitha Nanayakkara
48 2631973 Hondama Welava හොඳම වෙලාව Actress Lenin Morais
49 2681973 Hondata Hondai හොඳට හොඳයි Actress J. Selvarathnam
50 2691974 Ahas Gauwa අහස් ගව්ව Actress Dharmasena Pathiraja
51 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actress Subayar Makeem
52 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
53 2821977 Chandi Putha චන්ඩි පුතා Actress -
54 2841974 Duppathage Hithawatha දුප්පතාගේ හිතවතා Actress S.V. Chandran
55 2851974 Lasanda ලසඳා Actress K.A.W. Perera
56 2871974 Sanakeliya සැණකෙළිය Actress Wimaladasa Perera, Herbert Ranjith Peiris
57 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Actress M.V. Balan
58 2951975 Obai Mamai ඔබයි මමයි Actress Joe Dev Ananda
59 3021975 Kohoma Kiyannada කොහොම කියන්නද Actress Godwin Hanthi
60 3041975 Amaraneeya Adare අමරණීය ආදරේ Actress Dayananda Jayawardena
61 3061975 Lassana Kella ලස්සන කෙල්ල Actress Neil Rupasinghe
62 3071975 Kokilayo කෝකිලයෝ Actress Tissa Hewawitharana
63 3131975 Sikuruliya සිකුරුලියා Actress H.D. Premarathna
64 3181975 Sangeetha සංගීතා Actress Thimothy Weerarathna
65 3211976 Nayana නයනා Actress H.E. Jayasinghe, Amarasena Kumarasinghe
66 3231976 Kauda Raja කවුද රජා Actress J. Rasarathnam, J. Selvarathnam
67 3251976 Madol Doova මඩොල් දූව Actress Dr. Lester James Peries
68 3261976 Walmath Vuvoo වල්මත් වුවෝ Actress Wasantha Obeysekara
69 3271976 Ganga ගංගා Actress C.T. Perera, Pathiraja L.S. Dayananda
70 3291976 Kolamba Sanniya කොළඹ සන්නිය Actress Manik Sandra Sagara
71 3351976 Asha ආශා Actress S.G. Samarasingha
72 3371976 Hariyata Hari හරියට හරි Actress William Holmes
73 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Actress Lenin Morais
74 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actress Neil Rupasinghe
75 3441976 Adarei Man Adarei ආදරෙයි මං ආදරෙයි Actress Lenin Morais
76 3461976 Ranthilaka රන්තිලකා Actress W. Wilfred Silva
77 3471977 Neela නීලා Actress Jo Suganda
78 3481977 Sakunthala සකුන්තලා Actress Villiam Olamas
79 3491977 Sudu Paraviyo සුදු පරවියෝ Actress Kingsly Rajapaksha
80 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Actress Lenin Morais
81 3551977 Pembara Madu පෙම්බර මදූ Actress Sugathapala Senarath Yapa
82 3561977 Deviyani Oba Kohida දෙවියනි ඔබ කොහිද Actress Aruna Shanthi
83 3571977 Eya Dan Loku Lamayek එයා දැන් ලොකු ළමයෙක් Actress Dharmasena Pathiraja
84 3581977 Chin Chin Nona චින් චින් නෝනා Actress J. Selvarathnam
85 3631977 Siripala Ha Ranmanika සිරිපාල හා රන් මැණිකා Actress Amaranath Jayathilake
86 3641977 Ege Adara Kathawa ඇගේ ආදර කතාව Actress Yasapalitha Nanayakkara
87 3681977 Yakadaya යකඩයා Actress Neil Rupasinghe
88 3701978 Sithaka Suwanda සිතක සුවඳ Actress S.V. Chandran
89 3721978 Janaka Saha Manju ජනක සහ මංජු Actress K.A.W. Perera
90 3731978 Mage Ran Putha මගේ රන් පුතා Actress M.V. Balan
91 3741978 Vishmaya විශ්මය Actress Charles Perera
92 3791978 Hitha Mithura හිත මිතුරා Actress Lenin Morais
93 3831978 Tikira ටිකිරා Actress Sherly P.Wijerathna
94 3861978 Sally සැලි Actress Cyril P. Abeyratne
95 3871978 Apsara අප්සරා Actress J. Selvarathnam
96 3921978 Sasara සසර Actress K.A.W. Perera
97 3941978 Ahasin Polovata අහසින් පොලවට Actress Dr. Lester James Peries
98 3991979 Sarungalaya සරුංගලය Actress Sunil Ariyaratne
99 4011979 Amal Biso අමල් බිසෝ Actress Neil Rupasinghe
100 4071979 Ran Kurullo රාන් කුරුල්ලෝ Actress Kingsly Rajapaksha
101 4161979 Sawudan Jema සව්ජන් ජෙමා Actress Jayantha Pulin Samarasinghe
102 4171979 Subhani සුභානි Actress S.V. Chandran
103 4171979 Subhani සුභානි Actress S.V. Chandran
104 4231979 Visihathara Peya විසිහතර පැය Actress Densil P.Abewardana
105 4261980 Uthumaneni උතුමාණෙනි Actress Gamini Fonseka
106 4311980 Ektam ge එක්ටැම් ගේ Actress Herbert Ranjith Peiris
107 4351980 Doctor Susantha ඩොක්ට සුසන්තා Actress Dayananda Jayawardena
108 4381980 Sasaraka Pathum සසරක පැතුම් Actress H.D. Premarathna
109 4391980 Parithyaga පරිත්‍යාගය Actress H.D. Premarathna
110 4421980 Ganga Addara ගඟ අද්දර Actress Sumithra Peiris
111 4441980 Sankapali සන්කපාලි Actress Anton Gregory, Sarath Rupasinghe
112 4461980 Raja Dawasak රජ දවසක් Actress Thimothy Weerarathna
113 4541980 Api Dedena අපි දෙදෙනා Actress Meril Albert
114 4551980 Mayurige Kathawa මයුරිගේ කතාව Actress Gamini Fonseka
115 4591981 Thavalama තවලම Actress Lal Perera
116 4601981 Ranga රංගා Actress D. Mariyadasan
117 4631981 Sayuru Thera සයුරු තෙර Actress Nimal Silva
118 4721981 Vajira වජිරා Actress Sunil Ariyaratne
119 4751981 Sagarayak Meda සාගරයක් මැද Actor Gamini Fonseka
120 4781981 Bandura Mal බාදුරා මල් Actress Gamini Fonseka
121 4911981 Chanchala Rekha චංචල රේඛා Actress Sena Samarasinghe
122 4961982 Re Manamali රෑ මනමාලි Actress Gamini Fonseka
123 4981982 Sakvithi Suvaya සක්විති සුවය Actress Gamini Fonseka
124 5031982 Sudu Ayya සුදු අයියා Actress S.V. Chandran
125 5101982 Ridee Nimnaya රිදී නිම්නය Actress D. B. Nihalsinghe
126 5111982 Pradeepaa ප්‍රදීපා Actress Asoka Ponnamperuma
127 5141982 Sithara සිතාරා Actress S.V. Chandran
128 5171982 Thakkita Tharikita තක්කිට තරිකිට Actor Anthony C. Perera
129 5201982 Chathu Madhura චතු මධුර Actress Somapala Lanarole
130 5371983 Yali Pipunu Malak යලි පුපුනු මලක් Actress Anton Gregory
131 5381983 Sivu Ranga Sena සිව් රඟ සේනා Actress Roy Anuradha Sri Bandaranayaka
132 5421983 Chutte චුට්ටේ Actress Thilak Wehalla
133 5441983 Athin Athata ඈතින් ඈතට Actress Sena Samarasinghe
134 5451983 Thuththiri Mal තුත්තිරි මල් Actress Pathiraja L.S. Dayananda
135 5501983 Pasamithuro පසමිතුරෝ Actress Ananda Hewage
136 5781984 Kokila කෝකිලා Actress Villiam Olamas
137 5791984 Hithawathiya හිතවතිය Actress Anton Gregory, Camilus Perera
138 5811984 Sasara Chethana සසර චේතනා Actress Malani Fonseka
139 5831984 Rana Derana රණ දෙරණ Actress Lorance cooray, Dilman Jayaratne
140 6071985 Puthuni Mata Samavenna පුතුනි මට සමාවෙන්න Actress Thilak Wehalla
141 6161985 Du Daruwo දූ දරුවෝ Actress Gamini Hewawitharana
142 6211986 Yali Hamuvennai යලි හමුවෙන්නයි Actress Sena Samarasinghe
143 6301986 Devuduwa දෙව්දුව Actress Daya Wimalaweera
144 6331986 Puja පූජා Actress Dharmasiri Gamage
145 6381987 Yugayen Yugayata යුගයෙන් යුගයට Actress Lenin Morais
146 6471987 Kele Kella කැලැ කෙල්ල Actress Bernard Reginold
147 6641988 Ko Hathuro කෝ හතුරෝ Actress Sunil T. Fernando
148 6901990 Jaya Kothanada ජය කොතනද Actress Somarathna Ramanayaka
149 6911990 Palama Yata පාලම යට Actress H.D. Premarathna
150 6991991 Paradeesaya පාරාදීසය Actress Dinesh Priyasad
151 7121991 Salambak Handai සලඹක් හඬයි Actress Hemasiri Sellapperuma
152 8711998 Eya Obata Barai ඇය ඔබට බාරයි Actress Sunil Soma Peiris
153 8971999 Surangana Yahana සුරගන යහන Actress -