Shanthi Kumar Seneviratne

Shanthi Kumar Seneviratne

ශාන්ති කුමාර් සෙනෙවිරත්න

Born 16 September 1916 Died 22 February 1967

16 September 1916 - 22 February 1967

59.64% · 2,063 votes
Rate this artist

Summary

NameShanthi Kumar Seneviratne
Sinhala Nameශාන්ති කුමාර් සෙනෙවිරත්න
Born16 September 1916
Died22 February 1967

Biography

සිංහල ඓතිහාසික කතාවක් මුලින්ම සිංහල කථානාද චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය කළේ කුරුණෑගල ලිහිණිගිරි වලව්වේදී 1916 සැප්තැම්බර් 16 උපත ලැබූ බර්ටි සෙනෙවිරත්න හෙවත් ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. මුළු මහත් භාරතයම මවිතයට පත් කොට භාරතීය ආණ්ඩුකාරවරයකුගෙන් උපහාර ලැබූ නර්තන ශිල්පියා ලෙස ඔහු ඉතිහාසයට එක් වී ඇත. මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේදී මල්ලව පොර, රගර්, පාපන්දු යන ක්‍රීඩාවලට නිපුණතා දැක් වූ ඉංග්‍රීසි, ලතින් භාෂා හැදෑරූ ඔහු භාරතයට ගොස් විශිෂ්ට නර්ථන විශාරද ගෝපිනාත් වෙතින් නැටුම් කලාව හැදෑරුවේය. එහි දී ඔහු ඉන්දීය භාෂා වන හින්දි, දෙමළ, ගුජරාටි, මරාටි, පන්ජාබ්, උර්දු, මලයාලම්, තෙලිඟු, බෙංගාලි ආදී භාෂා ඉගෙන ගත් ශාන්ති කුමාර් වරක් ඉන්දියාවේ සුප්‍රකට සර්කස් කණ්ඩායමකට බැඳී එහි නළුවකු ලෙස හැම ප්‍රාන්තයකම ඇවිද ඇත. ඒ වන විට ඔහු භරත, කථකලි, මණිපූරි නැටුම් ගැන ප්‍රවීණත්වයක් ලබා තිබුණි. භාරතයේ කලායතනයක නැටුම් ගුරුවරයකු ලෙස කටයුතු කළ ඔහුගෙන් නාට්‍ය කලාව ඉගෙන ගත්, පසුව භාරතයේ ප්‍රවීණ කලාකාරියන් වූ ගීතාබාලි, චන්ද්‍රලේඛා, රාජ රාණි, රාණි, අක්තෙයාර්, ඉර්ශාද් බෙගම්, සෙනෙහේලතා ඉන්දීය ශිෂ්‍යාවන් කැපී පෙනුණි. 1943 වර්ෂයේ බොම්බායේ ග්‍රේට් ඊස්ටන් තියටර්ස් හි කළමනාකරු ලෙස කටයුතු කරන කාලයේ ඔහුට ලංකාවට ගොස් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ආශාවක් මතු විය. සිංහල භාෂාව නොදැන සිටි ඔහු ලංකා ඉතිහාසයේ සාලිය ආශෝකමාලා පුවත පසුබිම් කරගෙන චිත්‍රපට කෙටුම්පතක් රචනා කළේය. එහි දෙබස් ද ඔහු ලිව්වේ ඉංග්‍රීසි භාෂාවෙනි. පසු කලෙක ශාන්ති කුමාර් පුද්ගලික ගුරුවරයකුගෙන් සිංහල ලියන හැටි ඉගෙන ගෙන ඇත.

බර්ටි සෙනෙවිරත්න කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න නමිනි.

සිංහල චිත්‍රපටයක් කිරීමේ මූලික සාකච්ඡාව 1945 මුලදී ශාන්ති කුමාර් පවත්වා ඇත්තේ එවකට ලංකාවේ සිටි දක්ෂ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ එස්. එම්. නායගම් සමඟය. එම සාකච්ඡාවට කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා, සංගීතඥ යූ. ඩී. පෙරේරා ද සහභාගි වී ඇත. ඔවුන්ගේ සාකච්ඡාව අනුව මුලින්ම සිනමාවට නැඟීමට සිතුවේ 'ශ්‍රී වික්‍රම රාජසිංහ' කතාවය. එයට වඩා 'සාලිය අශෝකමාලා' කතාව චිත්‍රපට ගත කිරිමට අදහස් කළ අධ්‍යක්ෂ මණ්ඩලය කතා තරඟයක් පවත්වා හොඳම කතාව ලියු ලේඛකයාට රුපියල් 500 ක් දෙන බව ප්‍රවෘත්ති පත්‍රවලින් ප්‍රසිද්ධ කරන ලදී. මෙම තරඟයට එවූ කතා අතුරින් හොඳම කතාව ලෙස තේරුණේ ශාන්ති කුමාර් විසින් ලියූ 'අශෝක මාලා' චිත්‍රපට කතාවය. මේ චිත්‍රපට කතාව රු: 500 ක් දී ලබාගෙන ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලවා අධ්‍යක්ෂණය කරවීමට චිත්‍රකලා සමාගම තීරණය කළත් එයට ශාන්ති කුමාර් විරුද්ධ වී ඇත. එයට අධ්‍යක්ෂ මණ්ඩලය විරුද්ධ වීම නිසා ශාන්ති කුමාර් තම කතාව ද රැගෙන ගියේ අමනාපයෙනි. අධ්‍යක්ෂ මණ්ඩලය එතෙක් 600 වාරයක් වේදිකා ගත කර අතිශය ජනප්‍රියව තිබූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපට ගත කිරීමට සාකච්ඡා කරන බව දැනගත් ශාන්ති කුමාර් සමාගමෙන් අස් වී, පසු බට නොවී සංගීතඥ මොහොමඩ් ගවුස් හමුවීමට ගියේය. ගවුස් මාස්ටර්ගේ මිත්‍රයෙකු වූ පාර්සි ජාතික ඇෆ්. සී. ෆැරැක් හමුවීමට ශාන්තිව ගෙන ගියේය. එවකට ටවර් නෘත්‍ය ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ ෆැරැක්ට සිංහල චිත්‍රපටයක් නිපදවීමේ අදහස කියා ඔහු සමඟ සිලෝන් තියටර්ස් සමාගමේ සවරිමුත්තු මඟින් ලංකාවේ චිත්‍රපට රජා' ලෙස හැඳින් වූ සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් හමුවීමට ගියේය.

ශාන්තිගේ අදහසට සර් ගාඩිනර් එකඟ විය. ශාන්ති ඊළඟට ගවුස් මාස්ටර් සමඟ ගියේ නැෂනල් තියටර් (පසුව ගාමිණී) හී වේදිකා ගත වූ 'ස්ත්‍රිය - නිරය ද? ස්වර්ගයද' නාට්‍ය නැරඹීමටය. ඒ නාට්‍ය නිෂ්පානය කරමින් ප්‍රධාන නළු චරිතය අපූරුවට රඟපෑ මයිකල් සන්නස් ලියනගේ ගැන පැහැදුණ ශාන්ති හා ගවුස්් මාස්ටර් ඔහුට මෙසේ කීය.

'මයිකල් තමුසේ හැබෑ දක්ෂයෙක්. තමුසෙට පුළුවන් ද මම ඉංග්‍රීසියෙන් ලියපු චිත්‍රපටයේ දෙබස් සිංහලයෙන් ලියලා දෙන්න.'

'සත්තකින්ම මම ඉතා ඕනෑකමින් කරන්නම්. අපි ඔක්කොම එකතු වෙලා මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය කරමු' මයිකල් ශාන්තිට අතට අත දෙමින් කීය.

'මයිකල්ට මේ චිත්‍රපටයේ ගොඩක් වැඩ තියෙනවා. සිංහල දෙබස් ලියන්න තියෙනවා, විපුල සෙනෙවි කියන දුෂ්ට චරිතය රඟපාන්න තියෙනවා, ඒ විතරක් නෙවෙයි උප අධ්‍යක්ෂණයෙන් මට සහාය වෙන්න තියෙනවා මොකද? සාලිය කුමරුගේ ප්‍රධාන චරිතය මම රඟපාන නිසා' ශාන්ති කීවේය.

ශාන්ති 'අශෝක මාලා' චරිතයට මුලින් තෝරා ගෙන සිටියේ ඉවෝන් සූට්ස්ය. ඇය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සූට්ස් මහතාගේ දියණියකි. ඇයට සිංහල දෙබස් උච්චාරණය නොහැකි වීම නිසා ඒ වෙනුවට එමලින් දිඹුලාන හඳුන්වා දෙන ලදී. එමෙන්ම ඉතිහාසඥයකු වු ජෝන් එම්. සෙනෙවිරත්නගේ දියණියන් වන සීතා, සෝමා සහ ලීලා සෙනෙවිරත්න මෙහි රඟපෑ අතර ශාන්ති කුමාර්ගේ බාල සොහොයුරු වූ හර්බි සෙනෙවිරත්න ද, ඔස්ටින් අබේසේකර ද, කරුණදේවි, පීටර් සිරිවර්ධන, මයිකල් රුද්‍රිගු පිරිසක් මෙහි රඟපෑහ. 'අශෝක මාලා' චිත්‍රපටය් ගීත අතිශයින්ම ජනප්‍රිය විය. මොහොමඩ් ගවුස්ගේ සංගීතයට ඇල්බට් පෙරේරා (අමරදේව), මොහිදීන් බෙග් මුල්වරට ගායනයෙන් එක් වී ඇත. චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූ ඇල්බට් පෙරේරා තාපසයකු ලෙස රඟපෑ අතර ගවුස් මාස්ටර් හා බෙග් රාජ සභාවේ රඟපෑවේය.

සිංහලයෙකු සම අධ්‍යක්ෂණය කළ (ශාන්ති කුමාර්) පළමු චිත්‍රපටය 'අශෝකමාලා' (1947)ය. එහෙන් මේ චිත්‍රපටයෙන් ඇරඹුණු ශාන්ති කුමාර් තනිව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වූයේ (1953) 'එදා රෑ' ය. මෙහි ශාන්ති කුමාර් හා සීතා ජයවර්ධන ප්‍රධාන චරිත රඟපෑහ. ශාන්ති කුමාර්ගේ සිනමා ගමන බාධා සහිත එකකි. 'එදා රෑ' චිත්‍රපටයට චිත්‍රාගාර පහසුකම් ලැබී ඇත්තේ රාත්‍රී කාලයේ නිසා චිත්‍රපටය රාත්‍රී කාලයට උචිත ලෙස සකස් කිරීමට සිදු වී ඇත. එහෙත් 'අශෝක මාලා' තරම් 'එදා රෑ' සාර්ථක නොවීය.

1957 ශාන්ති කුමාර්ගේ තුන්වන චිත්‍රපටය වූ 'ජීවිත සටන' තිරගත විය.

සැමුවෙල් බට්ලර්ගේ නවකතාවක් වූ 'වේ ඔෆ් ඕල් ෆ්ලේශ්' නවකතාව ඇසුරෙන් 'ජීවිත සටන' චිත්‍රපටයේ කතා පිටපත සකස් කළේ ඩී. වී. සෙනෙවිරත්නය. මේ චිත්‍රපටය ගැන ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි සිරිපාල තිලකසේන 1990. 03. 01 සරසවියට ලියූ (ශාන්ති කුමාර් ගැන) ලිපියක මෙසේ සඳහන් වී ඇත.

'ශාන්ති කුමාර් මා හැඳින ගත්තේ ඔහුගේ 'ජීවිත සටන' චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ කතාව ලියූ පුවත්පත් කලාවේදී ඩී. වී. සෙනෙවිරත්න මහතා 'ජීවිත සටන' චිත්‍රපටයේ සහාය දෙබස් රචකයෙකු වශයෙන් මා ගෙන ගොස් ශාන්ති කුමාර්ට භාර දුන්නේය. ගැටවරයකු වශයෙන් චිත්‍රපට කෙරෙහි තිබුණු අසීමිත ඇල්ම නිසා පැහැදීමට පත් ඔහු 'ජීවිත සටන' චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායමත් සමඟ මා මදුරාසියට කැඳවා ගෙන ගොස් එම චිත්‍රපටයේ නීතිඥයකු වශයෙන් පෙනී සිටීමට අවස්ථාව සලසා දුන්නේය. දකුණු ඉන්දියාවේ චිත්‍රගාරවල සැරිසරමින් ද එම්. ජී. රාමචන්ද්‍රන්, ශිවාජි ගනේෂන් ආදී නළු නිළියන් සමඟ ඇසුරට වැටෙමින් ද චිත්‍රපට කලාව පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගැනීමට ශාන්ති කුමාර් දොර විවෘත කර දුන්නේය. ශ්‍රී ලාංකිකයකුට නොතිබුණු තරම් නමක් හා සැලකිල්ලක් මදුරාසියේදී ශාන්ති කුමාර්ට තිබුණි. ඔහුගේ මෝටර් රථයෙහි ලංකාවේ සිංහ කොඩිය ලෙළ දෙමින් තිබුණේය. එයට ගල් ගැසූ කෙනෙක් නැත. මහ මඟ යන එන විටත්, චිත්‍රාගාරවලදීත් ශාන්ති කුමාර්ට සැලකුවේ ලංකාවේ ආණ්ඩුකාරවරයකුට සලකන්නාක් මෙනි. එක් අතකින් අද අප කතාකරන සිංහල දෙමළ සමගියේ පුරෝගාමියකු හැටියට ශාන්ති කුමාර් කැපී පෙනෙයි. තමා මහා ජාතීන්ට අයත් වුවත් සුළු ජාතීන් සමඟ ඉතා මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට ශාන්ති දක්ෂයෙක් විය.

ශාන්ති කුමාර්ගේ හතරවන චිත්‍රපටය 1962 තිරගත වූ 'සංසාරේ' චිත්‍රපටයයි. 1964 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ 'හෙට ප්‍රමාද වැඩියි' චිත්‍රපටයේ සිංහල සිනමාවේ මුල් යුගයේ ජනප්‍රිය නළු නිළියන් තිදෙනකු වූ රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත් හා ප්‍රේම් ජයන්ත් රඟපෑම විශේෂයකි.

පසු කලෙක දෙමළ චිත්‍රපට අනුකරණයට පිවිසි ශාන්ති කුමාර් 'හෙට ප්‍රමාද වැඩියි' චිත්‍රපටය 'කල්‍යාණ පරිසු' ද්‍රවිඩ චිත්‍රපටයෙන් ද, 1964 අධ්‍යක්ෂණය කළ 'කළ කළ දේ පල පල දේ' චිත්‍රපටය 'ඉරම්බු තිරෙයි' දෙමළ චිත්‍රපටයෙන්ද අනුකරණය කළේය. මේ අතර ඊ. ඒ. පී. එදිරිසිංහ නිපද වූ 'සුහද සොහොයුරෝ' චිත්‍රපටයේ ද මුල්ම අධ්‍යක්ෂවරයා ද ඔහු විය.

ශාන්ති කුමාර් චිත්‍රපට දෙකකට දෙබස් කැවීමේ අධ්‍යක්ෂ ලෙස ද සම්බන්ධ වී ඇත. ඒ චිත්‍රපට දෙක නම් 'මිලාප්' හින්දි චිත්‍රපටය 'සල්ලි එපා' නමින් ද 'මනුෂ්‍යත්වය' 'ඉන්සාතියත්' හින්දි චිත්‍රපටය දෙබස් කැවීමට ඔහු මූලික වී ඇත.

ඔබ නිතරම චිත්‍රපට නැරඹුවත් ඔබ දකින චිත්‍රපට කෙසේ නිපද වන්නේදැයි ඔබ කිසි දිනක කල්පනා කළේ ද? 1966 ඔක්තෝබර් හා නොවැම්බර් 06 වෙනිදා ශාන්ති කුමාර් චිත්‍රපටයක් හදන හැටි ගැන ලිපි දෙකක් ලියා තිබුණි. ඇස්. රේමන්ඩ් සිල්වා සාකච්ඡා කොට ලියා තිබූ මේ ලිපි දෙකක් සිනමා ලෝලයනට ඔවුන් දකින චිත්‍රපට නිපදවෙන අයුරු ගැන සාමාන්‍ය දැනුමක් ලබා දෙන ලදී.

ශාන්ති කුමාර් සිනමාවේ අනාගතය ගැන අදහස් දක්වමින් 'කලා' සිනමා සඟරාවේ සංවත්සර කලාපයට අදහස් දක්වා තිබුණේ මෙසේය.

'අපේ රටේ සිංහල චිත්‍රපට නිපදවීම ආරම්භ කිරීමේදී මුල්ම පියවර ගැනීමේ භාග්‍යයක් මා තුළ තිබුණා. නමුත් ලෝකයේ බොහෝ කාර්ය සිද්ධීන්වලට මුහුණ පාන්නට වන තරඟ වේගයන් මෙන් මට ද එක්තරා තරඟ වේගයකට මුහුණ දෙන්නට සිදු විය. එය මගේ ජීවිතයේ පසුබෑමක් නොව ආත්ම ගෞරවයත් බලයත් රැක ගැනීමට ගත් උත්සාහයකි.

කෙසේ වෙතත් ඒ මතභේද පිළිබඳ පටලැවිල්ල නොතිබුණා නම් ලංකවේ පෙන් වූ ප්‍රථම කථානාද සිංහල චිත්‍රපටය වන 'කඩවුණු පොරොන්දුව' මගේම වෑයමක් වූ 'අශෝකමාලා'ට පසුව ලංකාවාසීන්ට දකින්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත් මහ තරඟයක් මැද්දේ 'අශෝකමාලා' චිත්‍රපටය 'කඩවුණු පොරොන්දුව' පෙන්වා දෙමසක් ගත වෙන්නටත් පෙර පෙන්වීමට ලැබීම අපේ ධෛර්යය පිණිස වූහ.'

'අශෝකමාලා' චිත්‍රපටයේ එන' නයනා වැනී සුදෝ', 'ශාන්ත මේ රාත්‍රියේ', 'හෝ ප්‍රේමේ බැබලේ', 'ඇයි කළේ යමෙක් ආලේ', 'භවේ භීත හැරදා', 'ආලේ මාගේ හර්දේ පිරේ, ආලේ මගේ හර්දේ පිරේ' යන අමරණීය ගීත පවතින තුරු ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ නම ද අමරණීය වනු ඇත.'

ශාන්ති කුමාර් සෙනෙවිරත්න 1967 පෙබරවාරි 22 දා ජීවිත සිනමාවෙන් සමු ගත්තේය.

ඒ. ඩී. රන්ජිත් කුමාර

As a Cast

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Main Actor Shanthi Kumar Seneviratne, T.R.Gopu
2 151953 Eda Re එදා රෑ Main Actor Shanthi Kumar Seneviratne
3 421957 Jeevitha Satana ජීවිත සටන Main Actor Shanthi Kumar Seneviratne
4 811962 Sansare සංසාරේ Main Actor Shanthi Kumar Seneviratne
5 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actor Shanthi Kumar Seneviratne

As a Crew

Choreographers

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Choreographers Shanthi Kumar Seneviratne, T.R.Gopu

Director

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Director Shanthi Kumar Seneviratne, T.R.Gopu
2 151953 Eda Re එදා රෑ Director Shanthi Kumar Seneviratne
3 421957 Jeevitha Satana ජීවිත සටන Director Shanthi Kumar Seneviratne
4 811962 Sansare සංසාරේ Director Shanthi Kumar Seneviratne
5 941964 Heta Pramada Vadi හෙට ප්‍රමාද වැඩියි Director Shanthi Kumar Seneviratne
6 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Director Shanthi Kumar Seneviratne

Producer

#Film NoYearFilm RoleDirector
1 421957 Jeevitha Satana ජීවිත සටන Producer Shanthi Kumar Seneviratne

Script

#Film NoYearFilm RoleDirector
1 21947 Asokamala අශෝකමාලා Script Shanthi Kumar Seneviratne, T.R.Gopu

Story

#Film NoYearFilm RoleDirector
1 151953 Eda Re එදා රෑ Story Shanthi Kumar Seneviratne

Other Type Films

Dubbing Director

#Film NoYearFilm Movie Group RoleDirector
1 21956 Salli Epa සල්ලි එපා Dubbing Dubbing Director -