Anton Gregory

Anton Gregory

ඇන්ටන් ග්‍රෙගරි

Born 25 May 1944

25 May 1944

60.21% · 1,792 votes
Rate this artist

Summary

NameAnton Gregory
Sinhala Nameඇන්ටන් ග්‍රෙගරි
Born25 May 1944

Biography

සිංහල සිනමාවට මුළු ජීවිතයම කැප කළා වූ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පියකුට එළැඹෙන දහ වැනිදා එනම් හෙට, වැදගත් දිනයක් වේ. ඒ ඔහුගේ ජීවන තොරතුරු ඇතුළත් ‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ කෘතිය එළි දැක්වීම මීගමුව රුක්මණී දේවි අනුස්මරණ රංග ශාලාවේදී, සංස්කෘතික කටයුතු හා කලා කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවීමයි

‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ ගත් කතුවරයෙකු, ගීත රචකයකු මෙන්ම ගුවන් විදුලි මාධ්‍යවේදියකු ද වන බන්දුල කේ. ආරියපාල විසින් රචනා කර තිබෙන අතර මීගමුව සමගි ප්‍රින්ට් හවුස් එහි ප්‍රකාශකයා වෙයි.

හැත්තෑව දශකයේ මෙන්ම අසූව දශකයේ ද කාර්යබහුලම සහාය අධ්‍යක්ෂවරයා වූ ඇන්ටන් ග්‍රෙගරි එකල සිනමාකරුවන්ට නැතිවම බැරි අයෙකු විය. හැත්තෑව, අසූව දශකයේ අග භාගයේ අධ්‍යක්ෂණයට අත තැබූ ග්‍රෙගරි, සංඛපාලි, කිරි සුවඳ, යළි පිපුණ මලක්, පාරමිතා, සූර සරදියෙල් ආදී චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළේය. ඊට අමතරව කුණු කූඩයට ගොස් තිබූ හිතවතිය චිත්‍රපටය දැඩි වෙහෙසක් දරා තිරයට නැවත ගෙනාවේය.

ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය තුළ ඔහුගේ ජීවන තොරතුරු මෙන්ම එදා මෙදා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට පිළිබඳ මෙන්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පිළිබඳ ද තොරතුරු ඇතුළත් වෙයි. එයට අමතරව නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර ආදීන් ලියූ ලිපි ද කෘතියට ඇතුළත් වේ.

ඇන්ටන් ග්‍රෙගරි උපන්නේ 1944 මැයි විසිපස් වැනිදාය. ඉගෙන ගත්තේ මීගමුව වැල්ලවීදියේ රෝමානු කතෝලික පාසලෙන් හා පෙරියමුල්ල ලොයලා විදුහලෙනි.

ඔහුගේ පියා ජී. ඇන්ටන් ව්‍යාපාරිකයෙකි. අම්මා, මරිය අම්මා ඇන්ටනි ද ඊට වැඩිමහලු පුතු ද, බාල දියණිය ද හොඳින් හදා වඩා ගත්තාය.

ඇන්ටන් සිනමාවට පෙම් බැන්ඳේ පාසල් යන අවධියේය. අපේ සිනමාවේ බොහෝමයක් දෙනා උපන් මීගමුව ඔහුගේ උපන් ගම වීම එයට හේතුවක් වන්නට ඇත.

පාසල් යන අවදියේදී එදිනෙදා වියදමට තාත්තා දුන් මුදල ඉතිරි කරගෙන ඔහු ඒ මුදලින් චිත්‍රපට බැලුවේය. එවකට මීගමුවේ පැවැති මීපුර සිනමා ශාලාවේ ශ්‍රී 420 නැරැඹූ ඔහු රාජ් කපූර්, නර්ගිස්ට වසඟ වූයේය. ‘නඩරාජා ටෝකීස්’ ශාලාවේ එම්. ජී. රාමචන්ද්‍රන් රඟපෑ ‘අලි බබා හා හොරු හතළිහ’ ද, රීගල් සිනමාහලේදී ‘කැලෑ හඳ’ ද, රාජ් සිනමාහලේදී ශිවාජි ගනේෂන් හා සරෝජා දේවි රඟපෑ ‘පාලුම් පළරුම්’ චිත්‍රපටය ද, හෙතෙම පික්චර් පිස්සෙක් බවට පත් කළේය. මීගමුවේ රීගල් සිනමාහල ඒ කාලයේ හැඳින් වූයේ ‘අශෝකමාලා’ යනුවෙනි. එය එකල අශෝකමාලා යැයි නම් කෙරුණේ එහි ප්‍රදර්ශනය කළ මුල්ම චිත්‍රපටය අශෝකමාලා වූ බැවිනි.

චිත්‍රපට නැරැඹීමෙන් සෑහීමකට පත් නොවූ ග්‍රෙගරි චිත්‍රපට ගැන හදාරන්නට ද උනන්දු වූයේය. අහවල් චිත්‍රපටයේ අහවල් දර්ශනය රූගත කළේ කෙහොමද යන්න ළමාවියේ සිටි ඔහුට මහත් වදයක් දුන් ප්‍රශ්නයක් විය.

ඒ අවධියේදී ඉන්දියාවේ පික්චර් පෝස්ට් සඟරාව ‘ිපේසුම් පඩමි’ නමින් දෙමළ බසින් ද පළ විය. එය අලෙවි කළේ මිගමුව මහ වීදියේ පල්ලිය අසල තිබූ ‘චන්ද්‍ර විලාස්’ හෝටලයේය. ග්‍රෙගරි මේ සඟරාව එනතුරු මඟ බලා සිටියේ එහි පිටුවක් පුරා පැවැති ‘කාර්මික තොරතුරු’ පිළිබඳ ලිපිය කියවීමටයි.

එක්තරා දවසක පාසලේදී ඇන්ටන්ට අලුත් ආරංචියක් ලැබිණි. ඒ මීගමු දූවේ චිත්‍රපටයක් රූගත කරන බවයි. පාසල් යෑම පැත්තක දැමූ ග්‍රෙගරි, චිත්‍රපටය රූ ගැන්වීම බලන්නට ගියේය.

පේසුම් පඩම් සඟරාවෙත් ඇක්ෂන් ‘කට්’ කියා කියන්නේ අධ්‍යක්ෂවරයා බැව් ඔහු කියවා තිබිණි. මේ නිසාම චිත්‍රපටයේ ‘ඇක්ෂන්, කට්’ කියන අධ්‍යක්ෂවරයා කවුදැයි හඳුනා ගන්නට ඔහු වෙහෙසුනි. ‘ඒ මස්තාන් මහත්තයා’ කවුදෝ කීවේය. මස්තාන් ඒ වනවිට අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ වැනි චිත්‍රපට හදා නමක් තබා තිබුණු අධ්‍යක්ෂවරයෙකි. එපමණක් නොව එවකට සී/ස සිනමාස් සමාගමේ ප්‍රධාන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද විය. ඉන්දියාවේ ඉපිද, ලංකාවේ ඉගෙන ගත් මස්තාන් ඉන්දියාවේදීම සිනමා කැමරාව හදාරා ඒ වනවිටත් එරට සිටි මුල් පෙළේ කැමරා අධ්‍යක්ෂවරයෙක්ව සිටියේය. ඔහු ලංකාවට පැමිණියේ සිනමාස් සමාගම අලුතෙන් ඉදි කළ විජය චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නටය.

එහෙත් ඔහු අලුත් චිත්‍රපට රූගත කළේ චිත්‍රාගාරය ඇතුළේ නොව එළිමහනේ මුහුදු වෙරළේය. ඇන්ටන් ග්‍රෙගරි ඒ චිත්‍රපටය රූගත කරන තැනට ගියත් පාසල් ඇඳුමෙන් සැරැසී සිටි ඔහුට මස්තාන් ළඟට යන්නට අවසර නොවූයේ අතරමඟදී කෙනකු ඔහුව එළවා දමන්නට සැරසුන නිසාය. එහෙත් අහම්බෙන් මෙන් මස්තාන් එය දුටුවේය. ‘ඒ ළමයාට එන්න දෙන්න’ මස්තාන් ආරාධනා කළා පමණක් ද නොව වත ගොත ද විමසීය. චිත්‍රපටවලට කැමැතිදැයි ඇසුවේය. ග්‍රෙගරි තමන්ගේ කැමැත්ත නොපැකිලව ප්‍රකාශ කළේය.

මස්තාන් හෙමින් සැරේ උරගා බැලුවේ ග්‍රෙගරිගේ භාෂා දැනුමයි. පාසලෙන් ඉංග්‍රීසිත්, ගෙදරින් දෙමළත්, වට පිටාවෙන් සිංහලටත් ග්‍රෙගරි උරුමකම් කියා සිටියේය. එය මස්තාන්ගේ සිත් ගත්තේය.

ඉස්කෝලේ වැඩට බාධා නොවන අන්දමට චිත්‍රපටවල වැඩ කරන්නට යැයි පැවසූ මස්තාන් ග්‍රෙගරිට බාධා කළ හාදයාට අඬ ගසා මේ පොඩි එකාගේ නම, ගම ලිපිනය ලියා ගන්නට යැයි අණ කළේය. මුලින් බාධා කළ හාදයා පස්සෙන් පහු ග්‍රෙගරිගේ පවුලේ හිතවතෙකු විය. ඒ කලෙක අතිශය ජනප්‍රිය විකට නළුවකු වූ ඇන්තනී සී. පෙරේරාය. ඒ මොහොතේ වෙරළේ රූ ගැන්වුණේ හරි අපූරු ගීතයකි. ‘සතුට සෝකේ ජය පරාජය අපිටමයි මේ ලෝකයේ’. ගීතයට රඟපෑවේ සන්ධ්‍යා කුමාරිය. පසු කලෙක හඳුනාගත් පරිදි එහි කැමරාව මෙහෙය වූයේ වී. එම්. වාසගම්ය.

මාසයක්, දෙකක් ගතවිණි. එක දවසක් ලිපිනය හොයාගෙන හියුගෝ ප්‍රනාන්දු ගෙදර ආවේය. හියුගෝ මාස්ටර් හිටියේ පෙරියමුල්ලේය. එහෙත් ග්‍රෙගරි සමඟ කිසිම හැඳුනුම්කමක් නොවීය. ‘හෙට ඔය ළමයට විජය ස්ටුඩියෝ එකට එන්න කීවා’ හියුගෝ මාස්ටර් පණිවිඩය කියා ගියේය. පසුවදා තාත්තාත් සමඟ ග්‍රෙගරි විජය ස්ටුඩියෝ එකට ගියේය. මස්තාන් ආගිය තොරතුරු විචාළේය. ඒ දවස 1964 ජූනි තුන් වැනිදායි. මස්තාන් හැන්දෑවේ තුන වනතුරු රැඳී සිටින්න යැයි තාත්තටයි, පුතාටයි කීවේය. එපමණක් නොව චිත්‍රගාරයේ කැන්ටිමට රැගෙන ගොස් දිවා ආහාරය ද ලබා දුන්නේය.

හරියටම තුනට සුදුපාට බෙන්ස් රථයකින් සිනමාස් අධිපති කේ. ගුණරත්නම් එහි පැමිණියේය. මස්තාන්ගේ රෙකමදාරුව හරියට හරිය. පසුවදා එනම් 1964 ජූනි හතර වැනිදා සිට ඇන්ටන් ග්‍රෙගරි කණිෂ්ඨ පරිවර්තකයකු ලෙස මාසික වැටුප රු: 112.80 ට සිනමාස් සමාගමේ විජය චිත්‍රාගාරයට බඳවා ගැනිණි.

පළමු රාජකාරිය වූයේ ‘අඩුක්ක වීඩු පෙන්’ නම් දෙමළ චිත්‍රපටය ඇසුරෙන් තනන ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටය වෙනුවෙන් හියුගෝ ප්‍රනාන්දු ලියූ සිංහල දෙබස් යළි දෙමළට හෝ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි. ඒ මස්තාන්ට තේරුම් ගැනීම පිණිසයි. දින තුනක් ඇතුළත හියුගෝ මාස්ටර්ගේ සිංහල දෙබස් ග්‍රෙගරි ඉංග්‍රීසියට පමණක් නොව දෙමළට ද පරිවර්තනය කළේය.

අල්ලපු ගෙදර රූපගත කිරීම ආරම්භ කළ අවස්ථාවේ මස්තාන් ඔහුට කතා කළේය. ඇවිල්ලා ඔක්කොම වැඩ ටික බලා ගන්න යැයි ග්‍රෙගරිට කීවේය. මස්තාන් අල්ලපු ගෙදරින් පසු තැනූයේ ‘සූර චෞරයා’ චිත්‍රපටයයි. එතෙක් දිගු කලක් සහාය කැමරා ශිල්්පියෙකුව සිටි වී. වාමදේවන් මුල්වරට කැමරා අධ්‍යක්ෂණයට එක් වූයේය. එපමණක් නොව අල්ලපු ගෙදර’ චිත්‍රපටයට කණිෂ්ඨ පරිවර්තක ලෙස එක් වූ ඇන්ටන් ග්‍රෙගරි සූර චෞරයා සහාය අධ්‍යක්ෂ විය. ඉන් අනතුරුව ග්‍රෙගරිට චිත්‍රපට ගලා ආවේය. මස්තාන්ගේ රෙකමදාරුව හැමවිටම හොඳට හිටියේය. 1968 දී මස්තාන් ඉන්දියාව බලා යද්දී ග්‍රෙගරි සිනමාවේ ඉදිරි ගමනක් යන්නට මඟ හදා ගත්තේය.

ඉන් අනතුරුව ගාමිණී ෆොන්සේකා, ටයිටස් තොටවත්ත, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, දයා විමලවීර, තිමති වීරරත්න ඇතුළු සිනමාවේ කාර්මික අංශය හොඳින් දැන උගත් සිනමාකරුවන්ගේ නිර්මාණ හතළිස් අටකම ඔහු සහාය අධ්‍යක්ෂ විය. ‘මම මස්තාන්ගෙන් මූලික දේ ඉගෙන ගත්තා. ටයිටස්ගෙන් හා ලෙනින්ගෙන් ප්‍රායෝගික දේවල් ඉගෙන ගත්තා.”

තිමතිගෙන් හා දයාගෙන් කැමරාව ඉගෙන ගත්තා. නීල්ගෙන් පරිපාලනය ඉගෙන ගත්තා. ගාමිණීගෙන් හැමදේම ඉගෙන ගත්තා’ යැයි ග්‍රෙගරි අතීතානුස්මරණයක යෙදෙමින් කියයි.

චිත්‍රපට පනහක සහාය අධ්‍යක්ෂවරයා වනතුරු චිත්‍රපට නොකරන්නේ මැයි සිතා සිටියද අසල්වැසියකු වූ ඩී. දොන් චන්ද්‍රා ‘යළි පිපුණු මලක්’ නිර්මාණය කිරීමට ඇන්ටන්ට පැවරීමට ගත් තීරණය වෙනස් කිරීමට සූදානම් වූයේ නැත.

එබැවින් ‘යළි පිපුණු මලක්’ චිත්‍රපටය හරහා ග්‍රෙගරි අධ්‍යක්ෂණයට පිවිසියේය. ඒ වනවිට ඔහු කෙතරම් සිනමාවේ නමක් දරා සිටියේ ද යත්, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, ඇතුළු නළු නිළියෝ මෙන්ම සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක ඇතුළු කාර්මිකයන් චිත්‍රපටයට අය කළේ නියමිත මිලෙන් හරි අඩකටත් අඩු ගණනකි.

සිනමා ජීවිතය මෙන්ම ග්‍රෙගරිගේ ජීවිත සිනමාවේද සහකාරිය වූයේ මාරි ත්‍රීෂායි. ඔවුන් දූවරුන් දෙදෙනෙකුගේ මවුපියන්ය.

සිනමාව ජීවිතය කොටගත් මේ ජ්‍යෙෂ්ඨයාට සරසවිය අප චිර ජීවනය පතමු.

sarasaviya

As a Crew

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 1671967 Sura Chauraya සූර චව්රයා Assistant Director M. Masthan
2 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Assistant Director M. Masthan
3 2101970 Den Mathakada දැන් මතකද Assistant Director Neil Rupasinghe
4 2351971 Haralakshaya හාරලක්ෂය Assistant Director Titus Totawatte
5 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Assistant Director Lenin Morais
6 2531972 Adare Hithenawa Dakkama ආදරේ හිතෙනවා දැක්කම Assistant Director Neil Rupasinghe
7 3681977 Yakadaya යකඩයා Assistant Director Neil Rupasinghe

Director

#Film NoYearFilm RoleDirector
1 4441980 Sankapali සන්කපාලි Director Anton Gregory, Sarath Rupasinghe
2 5131982 Kiri Suwanda කිරි සුවඳ Director Anton Gregory
3 5241982 Paramitha පාරමිතා Director Anton Gregory
4 5261982 Miss Mallika මිස් මල්ලිකා Director Anton Gregory
5 5371983 Yali Pipunu Malak යලි පුපුනු මලක් Director Anton Gregory
6 5791984 Hithawathiya හිතවතිය Director Anton Gregory, Camilus Perera
7 6341986 Soora Saradiyel සූර සරදියෙල් Director Anton Gregory