DESCRIPTION
ලංකාවේ පළමුවෙන්ම සිදුවූ බිහිසුණු මංකොල්ලයක් සහ මිනීමැරුමක් වූ හාරලක්ෂ මංකොල්ලය හෙවත් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ඇසුරෙන් ටයිටස් තොටවත්ත හාරලක්සෙ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ මීට වසර 48කට එපිට එනම් 1971 දෙසැම්බර් 17 වැනිදාය.
මෙම සත්‍ය සිදුවීම සිදු වුණේ මීට වසර 71කට පමණ පෙර 1949 ජනවාරි 27 වැනිදාය. ලංකා රේස් ඉතිහාසයේ විශාලම සිද්ධිය වූයේ කොළඹ හැව්ලොක් පාක් රේස් පිටියේදී නොව කොළඹ නගර මධ්‍යයේ මහ දවල් බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. රොක්වුඩ් මහතා ලියූ ලිපියක සඳහන් වෙයි. එහි ප්‍රතිඵලය ලෙස කරුණු තුනක් ඔහු දක්වා ඇත.
1. රියැදුරකු දරුණු ලෙස මරා දැමීම
2. කොළඹ ටර්ෆ් ක්ලබ් සමාජයට අයත් රුපියල් හාර ලක්ෂයක් හොරකම් කිරීම
3. ටර්ෆ් ක්ලබ් සමාජයේ කැෂියර් තැනට වෙඩි තබා තුවාල සිදු කිරීම
මිනීමැරීම සිදු වූයේ හොරකමට දහහතර පැයකට පෙරාතුවය. හිටපු නියෝජ්‍ය පොලිස්පති රොක්වුඩ් පවසා ඇති අන්දමට සෑම සඳුදාවකම උදෑසන ආම්ස්ට්‍රෝං ගරාජයෙන් සැපයෙන මෝටර් රථයකින් මුදල් බැංකුව වෙත ගෙන යනු ලබන ආසන හතේ ‘ලිමේසින්’ වර්ගයේ කාර් එකක් මේ සඳහා යොදවා ගත් බවය.
එහි රියැදුරු වූයේ ජෝන් සිල්වා නම් 56 හැවිරිදි ගරාජයේ පැරණිම සේවකයා මෙන්ම ඉතා හොඳ චරිතයකින් යුත් පුද්ගලයෙකි.
මේ මිනීමැරුම ගැන A.C. Alles විසින් ලියන ලද The Turf Club Robbery and Murder කෘති හා නඩු වාර්තා හා කවි කොළ පුවත්පත්වලින් කියවූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත එය සිනමාවට නැංගීමට සිහින මවමින් සිටියේය. ඔහු මේ තම සිතැඟි මා හා පැවසුවේ 1971 වසෙර්දීය.
‘වයිට් හවුස් මිනීමැරුම හා ටර්ෆ් ක්ලබ් මංකොල්ලය අතර සම්බන්ධයක් ඇති නිසා මේ සිද්ධීන් ආශ්‍රයෙන් චිත්‍රපටයක් කිරීමට මගේ සිතේ කළල රූපයක් හට ගත්තේ මා ‘පුංචි බබා’ (1966) චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරන කාලේ. හාර ලක්සෙ ඇතැම් සත්‍ය චරිත මගේ මනෝ ලෝකයේ සිය දහස් වර රඟපෑවා. එහි ප්‍රධාන චරිත වූ සෙනෙවිරත්න, රාජපක්ෂ, මුණසිංහ, විජේදාස ආදීන් මගේ ජීවිතයට වඩාත් සමීප වුණා.
දිනක් ටයිටස් ‘පුංචි බබා’ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරමින් සිටින එක් හැන්දෑවක චිත්‍රපටයේ නිෂ්පාදක සුගතදාස මාරසිංහ සංස්කරණ මැදිරියට ආවේය.
‘ටයි අපි අලුත් චිත්‍රපටයක් කරමුද?’
‘කරමු.’
‘කතාවක් කොෙහාමද?’
‘මිස්ටර් මාරසිංහට මම හොඳ කතාවක් කියන්නම්. හැබැයි අසතුටු නම් ඒ ගැන කාටවත් කියන්න එපා. මොකද මගේ හිතේ තියෙනව දවසක මේ කතාව තනියම කරන්න.’
‘නෑ කාටවත් කියන්නේ නැහැ. මොකක්ද කතාව?’
‘රේස් කෝස් මංකොල්ලය’
‘මට සතියක් කල් දෙන්න’
සතියකින් මාරසිංහගෙන් වචනයක් ලැබිණ. චිත්‍රපටය ආරම්භ විය. මුලින්ම හාර ලක්සෙ මකොල්ලයේ දී ජෝන් සිල්වා මැරූ ස්ථානය දැක රූපගත කිරීමට සුදුසු තැන් දැක බලාගැනීමට ටයිටස් මාරසිංහ චිත්‍රපට නළු ජෝ අබේවික්‍රම කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමාන්න හා සරසවිය පුවත්පතේ කුමාරදාස වාගීස්ට 1969 ඔක්තෝබර් මාසයේ දවසක පුත්තලම අනුරාධපුර පාර බලා ජීප් රථයකින් පිටත් වූහ.
ජීප් රථය පැදවූයේ ජෝය. පුත්තලම තානායමින් දහවල් ආහාරය ගත් ඔවුන් පුත්තලම නගරය පසුකොට 13 වැනි සැතපුම් කණුවට සමීපව තිබූ බෝක්කුව අසල නතර වූහ. ජීප් රථයෙන් බැස්ස ඔවුන්ට දකින්ට ලැබුණේ ‘ජෝන් සිල්වා මහතා ගේ අවසාන ගමන’ යන අකුරු තිබූ පුවරුවය. ඔවුහු ජෝන් සිල්වා බැඳ තිබූ පලු ගසට සමීප වූහ.
ඒ මනුස්සයට මොනව හිතෙන්න ඇද්ද? ජෝ රැවුල කසමින් ටයිටස්ගෙන් අසා ඇත.
ප්‍රධාන වශයෙන් ටයිටස්ට අවශ්‍ය වුණේ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සඳහා යොදාගත් ආම්ස්ට්‍රෝං ගරාජයේ ඉසැඩ් 6033 චවලට් රථය සොයා ගැනීමටය. මේ රථය සොය සොයා ආරංචි ඔස්සේ ජෝ හා ටයිටස් නොගිය තැනක් නැත. මේ රථ ගෙන්වූ සමාගමට ගිය ඔවුනට දැන ගන්නට ලැබුණේ ඔවුන් ලංකාවට ගෙන්වූයේ මෝටර් රථ 5ක් පමණ බවය. එතැනින් ලැබූ ආරංචි අනුව හැතැප්ම 400ක් පමණ බදුල්ල, නුවරඑළිය, නානුඔය, දියතලාව ආදී ප්‍රදේශවලට ගිය දුෂ්කර ගමනේදී දකින්ට ලැබුණේ යුරෝපීය වතු යායක අබලන්ව තිබූ මේ රථයේ දැල් ගසා කුකුළු කූඩුවක් සාදා තිබූ බවය. යාපනයට ගිය ඔවුන්ට මෙවැනිම රථයක් තිබූ අතර එහි වටිනාකම අයිතිකරු ඉහළ නංවා ඇත. නිෂ්පාදක එය රුපියල් 12,000කට මිලදී ගත්තේය.
ටයිටස්ට ‘හාර ලක්සෙ’ ගැන අගනා තොරතුරු ලබා ගැනීමට මංකොල්ලයේ පරීක්ෂණ මෙහෙයවීම් කළ එකල උපපොලිස් අධිකාරිව සිටි ලයනල් ගුණතිලක මහතා උපකාරී වී ඇත. 1970 වනවිට 1949 සිදු වූ කාලයට වඩා කොළඹ නගරය වෙනස් වී තිබුණි. හැකි හැම විටම පැරණි තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ටයිටස් පරෙස්සම් වී ඇත. රේස් කෝස් පිටිය. අවට රීඩ් මාවත, කේම්බ්‍රිජ් පිටිය අවට, රීඩ් මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, රෝලන්ඩ්ස් ගරාජය අසල ප්‍රදේශවල රූපගත කිරීමට, මහා මාර්ගයේ වාහන නතර කර ගැනීමට කුරුඳුවත්ත පොලිසියේ සහාය ලැබී ඇත.
හාරලක්ෂය මංකොල්ලයට සම්බන්ධව සිට පසුව ආණ්ඩුවේ සාක්ෂිකරුවකු වූ ඒ කාලයේ ජීවතුන් අතර සිටි පුද්ගලයකුගෙන් රූපානන්ද එදා මංකොල්ලයට සම්බන්ධ වූ අයගේ ගති පැවතුම් ඇඳුම් පැලඳුම් කෑම බීම ආදිය ගැන තොරතුරු ලබාගැනීමට ජෝ හා ටයිටස් සමත් වූහ.
හාර ලක්ෂය චිත්‍රපටය ඇරඹෙන්නේ 1945 යුද්ධය අවසන් වෙන කාලය දැක්වෙන රූපාවලියකිනි. සයිරන්ස් හඬ නළා හඬත් ඇතිව වෙඩි පහරවලින් ගිගුම් දෙන පසුබිමක ලෝක බෝලය කැරකෙයි. ඒ සමගම පසුබිම් කථනයෙන් ඒ වකවානුව පිළිබඳ හැඳින්වීමක් ගෙන ඒමට ටයිටස් අදහස් කළේය. මේ ඔහුගේ තිර නාටකයේ එන පසුබිම් හඬය. යුද අඳුර බිඳ සාමයේ එළි නැගිණි. හිට්ලර්ගේ ආධිපත්‍යය වැනසිණි. හිරෝෂිමා ද නාගසාකිය ද පරමානුවෙන් සුනු විසුනු විය. දෙවැනි ලෝක සංග්‍රාමය නිමාවිය. මැද පෙරදිග යුද බිමේ සිට අපේ තරුණ පෙළ ද පෙරළා මව්බිම වෙත ආහ. සමහරෙක් අපේ හුරු පුරුදු තැන්පත් ජීවන රටාවට එක්වූහ. එහෙත් යුද හඬ රැව් දෙන දෙසවන් ඇත්තෝ අරමුණු රහිතව කෙමෙන් සැහැසි ක්‍රියාවලට පෙළඹුණේය.
ටයිටස් මේ පසුබිම චිත්‍රපටයේ චරිත තුළින් මතු කළ ආකාරය එදා මට කීවේ මෙසේය.
යුද්ධ කාලය අවසානයත් සමගම පෙරළා දිවයිනට පැමිණි පුද්ගලයින් අතර සෙනෙවිරත්න මුණසිංහ විජේදාස වඩාත් කැපී පෙනෙන අය වුණි. ඔවුන්ට තරම් තීක්ෂණ බුද්ධියක් කපටි ඥානයත් ස්ථානෝචිත ප්‍රඥාවත් තිබූ මිනිසුන් අපට සිටියේ ටික දෙනෙකි.
ඔවුන් පිළිබඳව වූ මේ මංකොල්ලය සිනමාවට නැගීමේ දී ඔවුන්ගේ සිත් තුළට බැසීමට මා උත්සාහ කළා. ඔවුන් මෙයට පෙළඹුණු හේතු මොනවාද? ඊට පසුබිම් වූ සමාජ තත්ත්වය කුමක්දැයි මම සිනමා මාධ්‍යයෙන් කීමට උත්සාහ කළා. චිත්‍රපටයේදී සම්පූර්ණ සිද්ධිය හෝ නඩු විභාගය දැක්වීමට වඩා මංකොල්ලය කිරීමට පෙළඹුණු අයුරුත් කළ අයුරුත් විවරණය කිරීමට මම උත්සාහ කළා.
මේ චිත්‍රපටයේ පෙම්වතියක් නෑ. චිත්‍රපටයේ එන වයිට් හවුස් මංකොල්ලය (The white house murder case) පෙන්වන වයිට් හවුස් වතු පාලකයාගේ බිරිඳ සිටින එකම රූපරාමුවක හැර කාන්තාවක් රඟ නොපෑ එකම සිංහල චිත්‍රපටය විය හැකියි හාර ලක්සෙ.
ඒ. ඩී. රන්ජිත් කුමාර