INFOSONGSPHOTOS
Binaramalee / බිනරමලී
[ Black & White 35mm ]
Film No : 200
Released Date : 1969-08-10
58.714011516315
59% |   1042  Vote(s) | Vote Here
1 2 3 4 5
 
First movie based on a radio drama
SUMMARY

Binaramalee / බිනරමලී
Film No : 200
Released Date : 1969-08-10
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Sirikatha Films
Main Actor : Wickrema Bogoda
Main Actress : Swarna Kahawita
Director : Mudalinayaka Somarathna
Producer : Mudalinayaka Somarathna

NATIONAL AWARDS

   FOR THE FILM

1Best Film
7th Sarasaviya Awards - 1970

   FOR ARTISTS

1Best Singer - Male
7th Sarasaviya Awards - 1970
W.D. Amaradeva
2Best Actress
7th Sarasaviya Awards - 1970
Swarna Kahawita
3Best Supporting Actor
7th Sarasaviya Awards - 1970
Piyadasa Gunasekara
4Best Supporting Actress
7th Sarasaviya Awards - 1970
Shanthi Lekha
5Best Script Writer
7th Sarasaviya Awards - 1970
Tissa Abeysekara
6Best Lyricist
7th Sarasaviya Awards - 1970
Mahagama Sekara
 
DESCRIPTION

ලාංකේය ජන සමාජය කලා නිර්මාණ රසවිදීමට පටන් ගත්තේ බොහෝම මෑතකදීය. ඉද හිට, තීටරයක්,මැජික් බොක්ස් එකකින් පෙන්වූ පින්තූරු කීපයක්, මැජික් කාරයෙක් පෙන්වන ඇස්බැන්දුම් කීපයක්,විරිදු කාරයෙකුගේ විරිදු ගී කීපයක්, නැත්නම් කවිකොල කාරයෙක් නගරයේ පොළකට පැමිණ ගයන කවි ගයනා හැරෙන්නට එකල මිනිසුන්ට, ගැහැනුන්ට, කලා නිර්මාණයක රස විදීමට ලැබුණු අවස්ථා නම් ඉතාමත් විරලය. බොහෝ දෙනා කලාව යනු කුමක්ද?, එයින් ලබන වින්දනය කුමක්ද කියාවත් දැන සිටියේ නැත. එකල මිනිසුන් නිකං ඕපාතිකවය ජීවත් වී තිබුණේ.
 
රෙඩිෆියුෂන් යන්ත්‍රය හරහා මිනිසුන් පෙට්ටියක් තුලින් ශබ්ද ඇසීමේ මැජික් එකට අවතීර්න විය. පෙට්ටිය ඇතුලේ මිනිසුන්, ගැහැණුන් ඇතැයි සිතූ හුදී ජනයා, ශබ්දෙට වඩා අශා කළේ පෙට්ටිය ගලවා ඇතුලේ සිටින මිනිසුන්ව දැක බලා ගැන්මටය. තරංග හරහා ශබ්දය රෙඩිෆියුෂන් පෙට්ටියට ඇතුල් වන බව වටහා ගැන්මට එකල බොහෝ මිනිසුන්ගේ මොළ දියුණු වී තිබුණේ නැත.
 
රෙඩිෆියුෂන් ,රේඩියෝවට මාරු වුණද, ඒ මාරු වූ ඉක්මනටම මිනිසුන් කලාත්මක රස හඳුනාගත්තේ නැත. ඔවුන් ශබ්දයට පමණක් අනුගත වී සිටියහ. එය ගීතයක් වේවා, කවියක් වේවා , ප්‍රවෘත්තියක් වේවා, විරිදුවක් වේවා, මිනිසුන් කන් යොමු කළේ ශබ්දයටය.
 
ජාතක කථා ඇසීමට, කීමට හුරුවූ
 
මිනිසුන් ට ගුවන් විදුලිය තුළින් ජනකථා විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කළද, මිනිසුන්ගේ සිත්වලට ඒවා දැඩිව කාවැදුනේ නැත. ජාතක කථා බණ කථා වලට ඇබ්බැහි වූ එකී මිනිසුන් ව, ඒ ගතිගානුකත්වයෙන් මුදවා ගැන්මට ලේසී පහසු නොවීය.
 
ගුවන්විදුලි රඟ මඩල නම් වූ කථාන්තර කීමේ කලාවක් වයර්ලස් පෙට්ටිය තුළින් හඳුන්වා දුන්නේ ඔය වකවානුවේය. ඕපාදූප ඇසීමට ඉතාමත් රුචිකත්වයක් තිබෙන ලංකාවාසිහූ ගුවන් විදුලි රඟ මඩලට ඇහුම්කන් දීම ටික ටික පුරුද්දක් කරගති. බැටරි වලින් දුවන වයර්ලස් පෙට්ටිද ගෙයින් ගෙට ව්‍යාප්ත වෙන්නට විය. එකල වයර්ලස් පෙට්ටියේ බැටරියද, එකී වයර්ලස් පෙට්ටිය තරම්ම විශාලය.
 
ඒ කෙසේ වෙතත් ගුවන් විදුලි රඟ මඩලින් ගෙනා දවසේ කථාන්තරය, සීරීස් වර්ගයකට පරිවර්තනය වන්නට විය.
 
'මුවන් පැලැස්ස' සීරිස් කථාන්තරයක් ලෙස බිහිවුණේ එලෙසය. කොහොමත් අපේ මිනිස්සු, ගම්මාන, හා කැලෑ කථාවලට දැක්වූයේ පුදුම ගිජු කමකි. එතන කිසියම් තැති ගැන්මක,එසේත් නොමැති නම් තරමක විශ්මජනක දෑ ඇසීමට හැකී වීම එයට හේතු විය හැක.
 
මුවන් පැලැස්ස යන නම තුළම, ඒ කැලෑ හැගීම දැනෙන්නට විය. එහෙයින් මිනිසුන්ට මනසින් කැලෑබද ගම්මානයකට යාමට හැකි විය. මුදලිනායක සෝමරත්නගේ සිතට ආ මෙම මුවන්පැලැස්ස ජිවමාන කරන්නට ඔහු ප්‍රධාන චරිත 6ක් හෝ7ක් පමණ එකතු කර ගති. ඒවා හරි අපූරුවට සමතුලිත කර ගති. ඒ චරිත වලට හඩදීමට ඔහු තෝරා ගත්තේ අතී දක්ෂ ශිල්පීන් රැසකි. මතක හැටියට, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුලවෙල, වික්ටර් මිගෙල්, වොලි නානායක්කාර, නෙතලි නානායක්කාර, ධර්මශ්‍රී මුණසිංහ, ගැමුණු විජේසූරිය, වැන්නන්ය ඒ දක්ෂ ශිල්පීන් රැස. ඔවුන් ආරච්චිල, වෙඩික්කාරයා, බිනරමලී, සිංඤා, සුදු බණ්ඩා,මැණිකේ, වෙඳ රාළ, පිනා, වැනි චරිත වලට අවතීර්ණ වී හරි අපූරුවට මිනිස්සුන්ගේ හදවත් තුළට රිංගා, ඒ ඕපාතීකව ජීවත් වූ මිනිසුන්ට 'ශ්‍රාවකයා' යන ටයිටලය ලබා දුනි. එතැන් සිට ගුවන් විදුලිය වටා රොක් වන්නා 'ඔෆිශියලිම' ශ්‍රාවකයා විය. අපි දැන් නිකම්ම නිකන් මිනිස්සු නොවේ, අපි දැන් ශ්‍රාවකයෝ යැයි ඉමහත් උජාරුවෙන් කීමට එකී මිනිසුන්ට හැකි වූයේ මුවන් පැලැස්ස කථා මාලාව ගුවන් විදුලිය ආක්‍රමනය කල පසුය. එහෙයින් මුවන් පැලැස්ස විශාල සමාජ මෙහෙවරක් කළා යැයි කිව හැක.
 
කිරි හාමි, ගුරු හාමි,රං බණ්ඩා, සොබනී,ගොලු බංඩා, දන්දෙනියේ රාළ, රංහාමි, ලොකු අප්පු හාමි වැනි චරිතද ඉහත කී ප්‍රධාන චරිතයන්ට එකතුවී 'මුවන් පැලැස්ස' සක්‍රීය නාට්‍යයක් කළහ. මුවන් පැලැස්ස මොනතරම් ලාංකේය ජනතාව ආකර්ෂණය කර ගත්තාද කිව හොත්, මුවන් පැලැස්ස ප්‍රචාරය වෙන වෙලාවන් එනතෙක් ශ්‍රාවකයන් බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඉන් ටික කලකට පසු මුවන් පැලැස්සේ හැම චරිතයක්ම මිනිසුන් තමන්ගේ පවුලේම කෙනෙක් කර ගත්හ.
 
රාත්‍රියේ ,නිහඬ බව බිඳීමින් ගුවන් විදුලිය තුළින් පැහැදිලිව, උස් ස්වරයෙන්, ශෝකී ලතාවක⁣ට නෙතලී නානායක්කාරගේ හඬ නින්නාද දෙන්නට විය. ඒ ඈ බිනරමලී ලෙස රඟ දක්වන විටය. ඇයව ලබාගන්නට තිදෙනෙක් සටන් බිමේ සිටියහ. වෙඩික්කාරයා, සුද බණ්ඩා හා සිංඤාය. එහෙයින් ඈ විශාල මානසීක ඝට්ටන වලට මුහුණ දෙන්නට විය.එදින දවසේ කථාව නිම වන්නේද, ඇයගේ විශාල අදෝනාවකිනි. ශ්‍රාවකයන් වූ මිනිසුන්ද පසුව එයට හුරුවිය.
 
ගුවන් විදුලි නාටක අතරින් ලංකේය ගුවන් විදුලි ඉතිහාසයේ අදටත් ප්‍රමුඛව සිට්න්නේ මුවන් පැලැස්සමය. එකී චරිත, වර්තමාන ලෝකය හා නොසසැදිවූවාට, ඒවා මතකයන් තුළ නිදන් ගත වී තිබුණි.
 
මුවන් පැලැස්ස 'පීක්' එකේ තිබුනු සමයේමය එය චිත්‍රපටයකට පරිවර්තනය කිරීමට මුදලිනායක සෝමරත්න උත්සහා ගත්තේ. ඔහු විසින්ම නිශ්පාදන හා අධ්‍යක්ෂණ කරන්නට ගියද, කාර්මීක දැණුම මද
 
හෙයින් කාර්මීක අධ්‍යක්ෂණය භාර දුන්නේ එහී කැමරාව මෙහෙය වූ ඩී. බී. නිහාල්සිංහටය. තිර රචනය තිස්ස අබේසේකරට භාර වූ අතර, සංගීතයට සෝමදාස ඇල්විටිගල තෝරා ගතී.
 
තිස්ස අබේසේකර මුවන් පැලැස්සේ කතාංග අතුරින් චිත්‍රපටයට අවශ්‍ය අන්දමට තිර නාටකය සැකසීය.
 
චිත්‍රපටය පටන් ගැණුනේ සිංඤා නම් රෙදි වෙළෙන්දෙකුගෙ කැලෑ බද ගම්මානයක් වූ මුවන් පැලැස්සට සේන්දු වන දර්ශනයෙන්ය.
 
'රටකින් රටකට, පාර සොයා ගෙන
බර පොදි උසුලා ගෙන යනවා
බර පොදි උසුලා ගෙන යනවා
 
පඳුරු පුරා මල් කිණිති පිපී
පොකුරු සුවඳ මී ගලා බසී
අඳුරු ගැඹෙහි ඒ තුළින් එඹී
ගොදුරු සොයන ඇස් බලා සිටී'
 
මුවන් පැලැස්ස යනු එක් අතකට වන්නියක් බදුය. මෙම කැලෑ ගම්මානයට පිවිසුනු සිංඤාා වතුර වීදුරුවක් බීමට නවතින්නේ බිනරමලීගේ නිවසේය. ඒ හමුවීමේ දී,බිනරමලීගේ පියා ගුරුහාමි, සිංඤා යනු තමාගේ මිතුරෙකුගේ පුත්‍රයෙක් බව දැන ගනී. එහෙයින් ඔවුන් සිංඤා ට ඔවුනගේ නිවසේ නවාතැන් පහසුකම් සලකයි.
 
බිනරමලී, එම ගමේම සිටින රූමතියකි. ඇයගේ හොඳම යෙහෙළිය සොබනීය. ඔවුන් නිතරම කෙළිදෙලෙන් පසුවේ.
 
'මල් මල් වන මල් මැද පිපි බිනරමලී
පුර සඳවන් සොමි ගුණ පිරි කුමුදමලි
මල් මල් වන මල් මැද පිපි බිනරමලි
පුර සඳවන් සොමි ගුණ පිරි නයන නිළි
මල් මල් වන මල් මැද පිපි බිනරමලී
මල් මල් වන මල් පියලිය තඹර මලි"
 
සිංඤා ගේ හදවත බිනරමලී වෙත ඇදුණේ නිරාසයෙනි. ඇයද සිංඤාගේ අවිහිංසක කමට ආදරය කළාය. වෙඩික්කාරයාව හඳුන්වන්නෙ මස් වැද්දෙක් ලෙසටය. ඔහු ජිවත් වන්නේ කැලෑවේය. ඔහුට තුවක්කුවක් තිබූ අතර, මුල සිටම වෙඩික්කාරයාව හඳුන්වන්නේ රළු නපුරු මිනි⁣සෙකු ලෙසටය. වෙඩික්කාරයා බිනරමලිගේ මස්සිනාය. එහෙයින් වෙඩික්කාරයා නිතරම සිතන්නේ බිනරමලී අයිති ඔහුට කියාය. සුදුබණ්ඩා යනු ඇතිවී, නැතිවී, යලිත් ඇතිවී යන චරිතයකි. ඔහුත් බිනරමලී ගැන බලාපොරොත්තුවෙන් සිටී.
 
ගමේ ආරච්චිල සට කපට මිනිසෙකි. ඔහු යමක් කරනුයේ ඔහුට වාසි වූවොත් පමණි. ⁣ගමේ ආරච්චිල වූවද ඔහු වෙඩික්කාරයාට බයය. එහෙයින් ඔහු වෙඩික්කාරයා සමඟ එකතු වී සිටියේය.
 
වෙඩික්කාරයා බිනරමලිගේ නිවසට විවාහ යෝජනාවක් ගෙන එන්නේ මේ අතරේදිය. එහෙත් එයට බිනරමලී, හා ඇයගේ දෙමාපියෝ තදින්ම විරුද්ධ විය. මෙහෙයින් කුපිත වූ වෙඩික්කාරයා,ආරච්චිල සමඟ එක්වී බිනරමලීට හා ඇයගේ මා පියන්ට අඩම් තේට්ටම් කරන්නට විය. මෙයට පිහිටට පැමිණියේ සුදු බණ්ඩේය. මෙහිදී සුදු බණ්ඩෙ හා වෙඩික්කාරයා අතර ඇතිවන ගැටුමකින්, සුදු බණ්ඩාව හිරේට නියම වේ.
 
සිංඤා හා බිනරමලී විවාහ වෙන්නේ ඔය අතරෙදීය. ඔහු රෙදි රස්සාව අත්හැර හේන් කොටන්නට පටන් ගනී. එලෙසම ඔහු බිනරමලීගේ ගෙදර බින්න බහින්න විය. හේන් කොටා අහවර වූ පසු දෙදෙනා එකට ගොස් නාගෙන එයි
 
"රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේදෝ යන්නේ
නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ"
 
සිංඤා ට හා බිනරමලීට සතුටින් ඉන්නට වෙඩික්කාරයා හා ආරච්චිල ඉඩ දුන්නේ නැත. හේන් කෙටිල්ලද ඒ තරම් සරුවක් වූයේ නැත. එහෙයින් සිංඤා යලි සිදාදියට ගියේ නැවත එන බවක් කියාය. නමුත් සිංඤා යළි ආවේ නැත. බිනරමලීගේ මව සහ පියාද මිය ගිය පසු, බිනරමලීට වෙඩික්කාරයා සමඟ යෑම හැරෙන්නට වෙන කිසි විකල්පයක් තිබුණේ නැත. වෙඩික්කාරයාද බිනරමලීව බලෙන්ම රැගෙන ගියේය. බිනරමලීට දරුවෙකු ලැබුණේ ඒ අතරවාරයේදීය. කැමති හෝ අකමැති හෝ ⁣බිනරමලී වෙඩික්කාරයා සමඟ ජීවත් විය.
 
සුදු බණ්ඩා හිරෙන් නිදහස් වූයේ මේ අතරේදීය. බිනරමලීට සිදුවූ හැම වින්නැහියක්ම සුදු බණ්ඩාට ආරංචි විය. ඔහු වහා සිදාදියට ගොස් සිංඤාව සොයාගෙන නැවත ගමට රැගෙන ආවේය. සිංඤා, බිනරමලීත් දරුවාත් සමඟ වෙඩික්කාරයාගෙන් මිදී සිදාදියට යන විට වෙඩික්කාරයාට අහු විය. ඔහු සිංඤාව වෙඩි තබා මරා දැමූවේය. වෙඩික්කාරයාද වෙඩි පහරකින් මිය ගියේය. බිනරමලී හා දරුවාව සුදුබණ්ඩා භාර ගති.
 
ඒ මුවන් පැලැස්සේ එක 'සීරිස්' එකකි. ඉන්පසු ධර්මශ්‍රී කල්දෙරා විසින් මුවන් පැලැස්ස 'සීරීස්' දෙවැනි එක අධ්‍යක්ෂණය කළේය.එය 'මුවන්පැලැස්ස' ලෙස නම් කළේය. එහී නාමලී වූයේ මාලනී ෆොන්සේකාය, උක්කු බණ්ඩා වොලි නානායක්කාරය. කඳීරා රෙක්ස් කෙඩිප්පිලිය. සීරිස් 3 වූයේ, යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ 'මුවන් පැලැස්ස 2'ය. එහි ශ්‍රියණි අමරසේන මලි වූ අතර, රන්බණ්ඩා වූයේ රොබින් ප්‍රනාන්දුය. රෙක්ස් කොඩිප්පිලි යලි කඳීරා විය.
 
කිංස්ලි දිසානායක අධ්‍යක්ෂනය කළ 'බිනරි සහ සුදුබණ්ඩා' මුවන්පැලැස්සේ 4වෙනි 'සීරිස්' එක විය. විජය කුමාරණතුංග 'සුදු බණ්ඩා' වූ අතර, ශ්‍රියාණි අමරසේන 'බිනරි' විය.ගල්කන්දේ වෙඩික්කාරයා ලෙස සොමී රත්නායක රඟපෑවේය..
 
මුවන් පැලැස්සේ 5වෙනි සීරිස් එක වූයේ "කඳීරා" ය. එය නම් කළේ 'මුවන් පැලැස්සේ කඳීරා' කියාය. එහී සුදුබන්ඩා වූයේ ජීවන් කුමාරණතුංගය. ගීතා කුමාරසිංහ නාමලි විය. කඳීරා ' රෙක්ස් කොඩිප්පිලිමය. යලිත් එය යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කළේය.
 
'බිනරමලී' චිත්‍රපටය මා සිතන අන්දමට මුදලිනායක සෝමරත්නගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වෙි. එහෙත් මෙහිදී ඔහුට නිහාල් සිංහගේ තල්ලුව නිර්ලෝභීව ලැබූ බවක් නමි පෙනෙන්නට තිබුණි. චිත්‍රපටයේ හැම සිදුවීමක්ම හිතට කාවදින අන්දමට නිර්මාණය කර තිබූ අතර, ශිල්පීය මෙහෙයුම ඉතාමත් සුවිශේෂිතව හසුරවා තිබුණි.
 
වෙඩික්කාරයා ලෙස රඟපෑ පියදාස ගුණසේකර 'බිනරමලී' චිත්‍රපටයේ දැවැන්තම දෙදරුම විය. ඔහු වෙඩික්කාරයාගෙ රළු බව, නොපහත් බව, රාගධීක බව මෙන්ම ප්‍රේමණීය බවත් හරි හැටි හඳුනාගෙන තිබුණි. ඔහු ඇත්තෙන්ම බිනරමලීට ආදරය කළ වෙඩික්කාරයාගේ අභ්‍යන්තරය තුලට කිදා බැස තිබුණි. 'බිනරමලී' චිත්‍රප⁣ටය පුරාවටම තිබූ අදිසි හස්තය නම් පියදාස ගුණසේකරමය. තවත් විශිෂ්ට රඟපෑමක නිරත වූයේ ආරච්චිල ලෙස රඟපෑ ඩී.ආර්.නානායක්කාරය. ඔහු තම චරිතය තුල තිබු සට කපට බවට ශරීරයෙන් හා ආත්මයෙන් අනුයුක්ත වූවාක් මෙනි. කිරි අම්මා වූ ශාන්ති ලේඛාගේ රඟපෑමද සුවිශේෂිතම රංගනයක් විය. බිනරමලී වූ ස්වර්ණා කහවිටගේ රංගනය යටපත් නොට නෙතලි නානායක්කාරගේ හඩ ඉස්මතු වීම වැළැක්විය නොහැක්කක් විය. එම හඩ ඒ තරම්ම ජවසම්පන්නය.
 
බිනරමලී අතීසාර්ථක චිත්‍රපටයක් විය.එය ඉතාමත් ජනප්‍රිය වූවාක් මෙන් විචාරකයන්ගෙන් පැසසුම් ලද චිත්‍රපටයක්ද විය. ආදායම් අතින්ද අධිසාර්ථකවූ චිත්‍රපටයකි. තමන්ගේ සවනට හුරු චරිත රැස ජීවමානව දැක බලා ගැන්මට ජනයා අතුරු සිදුරු නොමැතිව චිත්‍රපට ශාලාවල් පිරුණි. ඔවුනගේ බලාපොරොත්තුන් සුන් වූයේ නැත. බිනරමලී චිත්‍රපටය සිනමාත්මක ආරෝවක් ඇති විශිෂ්ට චිත්‍රපටයක් විය.
 
මාගේ මතකය නිවැරදි නම් 1970 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය ලැබුයේ 'බිනරමලී' චිත්‍රපටයටය. එලෙසම ස්වර්ණා කහවිට හොදම නිළියටත්, පියදාස ගුණසේකර හොඳම සහය නළුවාටත්, ශාන්ති ලේඛා හොඳම සහය නිළියටත්,මහගමසේකර හොඳම ගීත රචනයටත් (රටකින් රටකට පාර හොයාගෙන) සහ එම ගීතය ගැයූ ඩබ්ලියු.ඩී.අමරදේව හොඳම ගායකයා ලෙසටත් ඒ අව්රුද්දේ සරසවිය සම්මාන "බිනරමලී" චිත්‍රපටය වෙනුවෙන් දිනා ගති.
 
'බිනරමලී' චිත්‍රපටය 1969 අගෝස්තු 10වෙනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය.
 
ශෝන් මැක්ස්මස් දිසානායක

තිරගත වූ සිනමා ශාලා -
ඇල්ෆින්ස්ටන්, රොක්සි, අශෝකා, නිව් මෙට්රෝ, බ්‍රෝඩ්වේ (මාතර), වේල්ස් (මහනුවර), රීගල් (මීගමුව), ඉම්පීරියල් (කුරුණෑගල), ක්වීන්ස් (ගාල්ල), පබ්ලික් හෝල් (ගම්පහ), රීගල් (අම්බලන්ගොඩ), ඉම්පීරියල් (පානදුර), නැෂනල් (මහරගම), රීගල් (අම්පාර), කිංග්ස් (බදුල්ල), ඉම්පීරියල් (රත්නපුරය).
 
මංගල දර්ශනය
සංස්කෘතික අධ්‍යක්ෂක හේමසිරි ප්‍රේමවර්ධන සහ සිලෝන් තියටර්ස් අධ්‍යක්ෂක ඇල්බට් පේජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
1970 දී පැවැත් වූ 7 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම තිර නාටක රචක, හොඳම නිළිය (ස්වර්ණා කහවිට), හොඳම සහාය නළුවා (පියදාස ගුණසේකර), හොඳම සහාය නිළිය (ශාන්ති ලේඛා), හොඳම ගීත රචක (මහගමසේකර), හොඳම ගායකයා (ඩබ්. ඩී. අමරදේව) යන සම්මානවලට හිමිකම් කී අතර, වසරේ හොඳම චිත්‍රපට තුන අතුරෙන් මුල් තැනට ද පත් විය.
 
CAST

Swarna Kahawita
As Binaramali
Piyadasa Gunasekara
As Wedikkaraya
D.R. Nanayakkara
As Arachchila
Annesley Dias
As Loku Appuhami
Shanthi Lekha
As Kiri Amma
Kingsly Disanayaka
As Golu Banda
A.P.Gunarathna
As Dandeniye Rala

OTHER CREW

Technical Director
D. B. Nihalsinghe
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS