Tikira

Tikira

ටිකිරා

Black & White 35 mm

Film No: 383  ·  Released: 04 Aug 1978

57.36% · 2,355 votes
Rate this film

Summary

NameTikira / ටිකිරා
Film No383
Released Date04 Aug 1978
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Baptist Fernando Main Actress: Jenita Samaraweera Director: Sherly P.Wijerathna Producer: Baptist Fernando

Description

1978 වසරේ 04 වන ප්‍රදර්ශක මණ්ඩලයේ තිරගත වූ සෙලිනාගෙ වලව්ව චිත්‍රපටයෙන් පසු ඒ වනවිට චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට ප්‍රදර්ශනය සදහා පෙල ගස්වා තිබු ආකාරය අනුව එම මණ්ඩලයේ තිරගත විමට නියමිතව තිබුනේ බැප්ටිස්ට් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ටිකිරා චිත්‍රපටයයි. එසේ වුවද චිත්‍රපටය තිරගත කිරිම ආසන්නවෙත්ම අනපේක්ෂිත බාධකයකට මුහුණ දිමට නිෂ්පාදක බැප්ටිස්ට් ප්‍රනාන්දු හට සිදු වුනේ ඒ වනවිට නිපදවා අවසන් කර තිබු වීර පුරන් අප්පු චිත්‍රපටයද සෙලිනාගෙ වලව්ව චිත්‍රපටයට පසු එම මණ්ඩලයේ ප්‍රදර්ශනය කරවා ගැනිමට එහි නිෂ්පාදකවරුනට අවශ්‍යව තිබු නිසාවෙනි. වීර පුරන් අප්පු චිත්‍රපටය නිෂ්පාදනය කර තිබුනේ එවකට පැවති රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුවු ටිරෝන් ප්‍රනාන්දු විසින් වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ පුරන්අප්පු ගුණානුස්මරණ දිනය අගෝස්තු 08 දිනට යෙදී ඇති බැවින් එදිනට චිත්‍රපටය තිරගත කළ යුතු බවය. කෙසේ නමුත් තම අවස්තාව වෙනත් චිත්‍රපටයකට ලබා දෙන්නට බැප්ටිස්ට් ප්‍රනාන්දු එකග නොවූ අතර පුරන් අප්පු නිෂ්පාදක ද තම අවශ්‍යතාව මතම රැදී සිටින්නට විය. මෙම ප්‍රශ්නය විසදා ගැනිම පිණිස නොයෙකුත් සාකච්ඡා ඇතුවු නමුත් චිත්‍රපට සංස්ථාවද මේ සම්බන්ධයෙන් තීරණයකට ඒමට අපොහොසත් වූයෙන් අවසානයේදී එවකට ජනාධිපති ව සිටි ජේ.ආර්.ජයවර්ධන මහතා වෙතට ප්‍රශ්නය යොමු විය. මෙහිදී ජනාධිපතිවරයා වෙතින් ලැබුණු විසදුම වුයේ ටිකිරා චිත්‍රපටය නියමිත ලෙස 04 මණ්ඩලයේ තිරගත කර ඒ වනවිට පැවති ප්‍රදර්ශක මණ්ඩල හතර පහ දක්වා වැඩිකර වීර පුරන්අප්පු චිත්‍රපටය එම පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ තිරගත කරන ලෙසය. මෙහිදී කාලීන වැදගත්කමකින් මෙන්ම ගුණාත්මක අගයකින් යුත් චිත්‍රපට, පෙල ගැස්වීමකින් තොරව ( චිත්‍රපට පෝලිමේ නොතබා ) මෙම මණ්ඩලයේ ප්‍රදර්ශනය කළ හැකි බව වැඩිදුරටත් කියවිණි. මේ අනුව ටිකිරා චිත්‍රපටය 1978 අගෝස්තු 04 දින සිට බොරැල්ලලේ ලිඩෝ සිනමාහල ඇතුළු 04 මණ්ඩලයේ සිනමාහල්වල ද වීර පුරන්අප්පු චිත්‍රපටය අගෝස්තු 08 දින සිට මරදානේ ක්‍රවුන් සිනමාහල ඇතුළු අලුතෙන් පිහිටුවා ගත් 05 වන මණ්ඩලයේ සිනමාහල් වලද ප්‍රදර්ශනය කරන්නට යෙදිණි.

කලක් මෙරට සිනමාවේ අංක එකේ දුෂ්ට චරිත නිරුපනය කළ නලුවෙකු ලෙස කැපී පෙනුනු බැප්ටිස්ට් ප්‍රනාන්දු තම සිනමා දිවියට නව මුහුණුවරක් ලබා දුන්නේ තමා විසින්ම නිෂ්පාදනය කළ1974 තිරයට පැමිණි දුප්පතාගේ හිතවතා චිත්‍රපටයෙන් වූ අතර ටිකිරා ඔහු නිෂ්පාදනය කර තිරයට පැමිණි දෙවන චිත්‍රපටය විය. ඔහු හා නීටා ප්‍රනාන්දු ප්‍රධාන චරිත නිරුපනය කළ දුප්පතාගේ හිතවතා චිත්‍රපටයෙන් පසු එම චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ එස්.වි. චන්ද්‍රන් යොදාගෙන ඒ වනවිට කැනඩාවේ පදිංචියට ගොස් සිටි නීටා වෙනුවට ජෙනිටා සමරවීර ප්‍රධාන චරිතය සදහා යොදාගෙන ඔහු සුදු අයියා නමින් චිත්‍රපටයක් නිපදවමින් සිටි අතර තම තුන්වන චිත්‍රපටය රන්මැණිකා නමින් ඔහු නිපදවන්නේ ෂර්ලි පී. විජේරත්නට අධ්‍යක්ෂනය භාර කරමිනි. පසුව ටිකිරා නම් වුයේ මේ රන්මැණිකා චිත්‍රපටයයි. එසේම මෙහි විශේෂත්වය සුදු අයියා ( 1982) චිත්‍රපටය තිරගත වන්නේ ටිකිරා (1978) චිත්‍රපටය තිරගත වී වසර හතරකින් පසුව විමය.

බැප්ටිස්ට් ප්‍රනාන්දු , ජෙනිටා සමරවීර, මානෙල් වානගුරු, රෙක්ස් කොඩිප්පිලි , බොනිෆස් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා , බී.එස්., දොන් , අරුණ ශාන්ති, ශ්‍රියානි ෆොන්සේකා , පියදාස විජේකෝන් , බන්දු මුනසිංහ වැනි නලු නිලියන් ‍චරිත නිරුපනයෙන්, එච්.ආර්.ජෝතිපාල , ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල ගායනයෙන් වගේම රොක්සාමිගේ සංගීතයෙන් රසගැන්වූ ටිකිරා චිත්‍රපටයේ කතාව බැප්ටිස්ට් ප්‍රනාන්දු ගෙනි. දෙබස් , තිරරචනය ශ්‍රි නිහාල් ජයසිoහ ගේ වු අතර ගී පදමාලා කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, උපාලි ධනවලවිතාන ගෙනි.

1972 වසරේ මෙරට තිරගත කළ රාජේන්ද්‍ර කුමාර්, වෛජන්තිමාලා ප්‍රධාන චරිත රගපෑ ගන්වර් හින්දි චිත්‍රපටයට සමගාමීව මෙහි කතාව විකාශනය වන බව පෙනී යයි. එතෙරින් මෙතෙරට ආවේ, ළදේ ළදේ ළදේ, ඔබෙ මන මන්දිරේ, ඔබ දැකලා දැන් මා ආවේ, මා ජිවිතේ දි දුටුවේ, හරි ලස්සන කදුරට දැන්, සෑදේ සුවසාමේ වැනි මෙහි ඇතුලත් ගීත අතිශයින් ජනප්‍රිය විය.

තවත් සදහන් කළ යුතු දෙයක් වන්නේ අප්සරා, සැලි, ටිකිරා යන රොක්සාමි සංගිතවත් කළ චිත්‍රපට තුනම එකම අවස්තාවක මණ්ඩල තුනක තිරගත විමය. එමෙන්ම රවින්ද්‍ර,මාලිනි (වීර පුරන්අප්පු ) විජය ,මාලිනි (සැලී හා බඹරු ඇවිත් ), ගාමිණී ,වීණා (අප්සරා) වැනි චිත්‍රපට මණ්ඩල පහේ එකම අවස්තාවක ප්‍රදර්ශනය වූ අතර එම චිත්‍රපට අතරින් වැඩිම ආදායම ලැබුනේ ටිකිරා වන අතර ටිකිරා හැරුණු විට දින 100ක් තිරගත වුවේ වීර පුරන්අප්පු පමණි. එයද සිනමාහල් දෙකක පමණකි. මෙයින් ගම්‍ය වන්නේ ටිකිරා ලැබූ අතිශය ජනප්‍රියතාවයයි.

අනිල් විරසිංහ 0716358123

Cast

Crew