BIOGRAPHY
‘දැන් ඇඟපත රිදෙනව ඇති නේද සර්? හා ... දැන් නැගිටලා ගිහින් ගාගන්න නිලමන්ට් ටිකක්.’
බොල්ගොඩ දූපත අසල ටාඕස් බෝ්ට්ටු වැඩපළේ එහි සේවකයකු සමඟ තවත් අමුත්තෙකු වූ ජව සම්පන්න තරුණයකු අවට සිරි නරඹමින් ගමන් කරමින් සිටියේය. එහි සටන්කාමී තරුණයෙකු බොක්සිං ග්ලව්ස්වලින් සැරසී රබර් කොට්ටයකට පහර දෙමින් සිටියේය. අර ජව සම්පන්න තරුණයා ඔහුගේ උකුසු ඇසට ලක් විය. ඔහු තමා අසලින් යනතුරු රබර් කොට්ටයට පහර දුන්නේය. සිදාදියට නුපුරුදු ගමනින් තරුණයා එල්ල කළ රබර් කොට්ට පහර නොසිතූ අත්දැකීමක් විය. ඔහු වටපිට බැලීය. බීර බොමින් සිටි නව පන්නයේ තරුණ තරුණියෝ ඔච්චම් සිනාපෑහ. බොක්ංසින් පහර දුන් තරුණයා පහර කෑ තරුණයා ළඟට ගොස් තවත් බොක්සිං පහරක්දී ඔච්චං සිනාවක් පෑවේය. එතැන් සිට තරුණයන් දෙදෙනා සටනකට මුලපිරීය. බොක්සිං දැන සිටි නාගරික තරුණයා හාපුරා කියා ගමකින් ආ තරුණයාගේ පොල් අඩිවලින් අපූරු සංග්‍රහයක් ලැබීය.
1964 වසරේ තිරගත වූ මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ එන මේ දර්ශනය එදා ප්‍රේක්ෂකයින්ට නම් අමුතු දෙයක් නෙවෙයි.
කවුද මේ බොක්සිං තරුණයා?
බන්දු මුණසිංහ.
කවුද ගමෙන් ආ පොල් අඩි දැන ගත් තරුණයා?
ගාමිණි ෆොන්සේකා. චිත්‍රපටයේ ජයසේන.
කවුද ඔහු සිදාදියට එක්ක ආ යාළුවා?
ජෝ අබේවික්‍රම. චිත්‍රපටයේ සෙමනේරිස්.
මා ලිපිය ආරම්භ කළේ පොල් අඩිවලින් ගුටි කෑ බොක්සිංකාරයාට සෙමනේරිස් කී දෙබසකිනි.
අද අප කතා කරන්නේ බන්දු මුණසිංහ ගැන. සටන් කලාවේ නවතාවක් කළ සටන් නළුවකු ගැනය. ක්‍රියාදාම නළුවකු ලෙසත් සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙස දශක හතරකට වැඩි කාලයක් චිත්‍රපට රැසකට දායක වී ඇත.
වරක් බන්දු මුණසිංහ චිත්‍රපට දර්ශනයකදී අඩි 35 පමණ උඩක සිට බිමට පැන්නේය. එය මාරක පැනිල්ලකි. “චිත්‍රපට නිෂ්පාදකවරයා ගිනි නිවන හමුදාවේ ආරක්ෂිත දැලක් එලනතුරු බලා සිටියේ බන්දු නොවේ. එහෙත් බන්දුගේ පැනිල්ල නිසා වම් පය බිඳිණ. එහෙත් බන්දු කීවේ කිසිදු නළුවකු තමා වෙනුවෙන් ආදේශ නොකර ඊළඟ දර්ශනයට මුහුණ දෙන බවය. තමා කැමරාවට මුවා වී සටන් කරන නළුවකු නොවන බවය.”
මා “සරසවිය” පුවත්පතට සම්බන්ධ වූ 1969 වසරේ සිටම ඔහු හද බැඳි නළුවකු විය. බොරැල්ලේ කොටා රෝඩ් හි 151/4 දරන නිවෙසට අපේ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර සමඟ කිහිපවරක්ම ගොස් ඇත. එදා එම නිවෙසේදී ඔහුගේ බිරිඳ ජයන්ති හා කුඩා වියේ සිටි දුමින්ද හා ලලින්ද කළ ආදර සංග්‍රහ ගැන ද අපට අමතක නොවේ. ප්‍රේම සම්බන්ධයකින් බන්දු හා ජයන්ති 1967 මාර්තු 16 වෙනිදා විවාහ වූහ.
1936 මාර්තු 16 වෙනිදා බොරැල්ලේදී උපත ලැබූ මුණසිංහ ආරච්චිලාගේ දොන් බන්දු මුලින්ම ඉගෙනුම ලබා ඇත්තේ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයෙනි. ද්විතීය අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. නාලන්දේ සිටියදී ඉංග්‍රීසි ගොපලු චිත්‍රපට, ත්‍රාසජනක සටන් දැකීමෙන් ලද උද්දාමයෙන් ඔහු බොක්සිං ක්‍රීඩකයකු ලෙස කැපී පෙනුණේය. මේ නිසාම පාසල් ජීවිතයෙන් පසු ඔහු කලක් හමුදාවට බැඳුණි. එහිදී ද ඔහු බොක්සිං ක්‍රීඩාවෙන් ශූරතාවය පෙන්වා තිබුණි.
‘මගේ බොක්සිං තරගයක් බලන්න ආවා එවකට චිත්‍රපට නළුවන් වූ සොහොයුරන් දෙදෙනෙක් මට අපූරු යෝජනාවක් ගෙනාවා. ඒ 1958 වසරේ.
‘ඔයාට හොඳට ෆයිට් කරන්න පුළුවන්. කැමති නැද්ද චිත්‍රපටයක ෆයිට් සීන් එකක් කරන්න’
‘ලැබුණොත් රඟපානවා . . .’
‘එහෙනං හෙට උදේ 10 ට විතර කිරිබත්ගොඩ සිරිසේන විමලවීර මාස්ටර්ගේ නවජීවන ස්ටුඩියෝ එකට එන්න. මම ඇම්. පී. ගිල්මන්. මේ මගේ මල්ලි ඇම්. පී. ගැමුණු. අපි දෙන්නම විමලවීර මාස්ටර්ගේ චිත්‍රපටවල සටන් නළුවෝ. අපි සැඩසුළං, සුරතලී චිත්‍රපටවල ෆයිට් සීන්වලට ඉඳල තියෙනවා.’
ගිල්මන් හා ගැමුණුගේ කීමට මම කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට ගියේ චකිතයකින්. මම එදා චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීර මාස්ටර් දැක ගත්තා. එදා රූගත වෙමින් තිබුණේ ‘මා ආලය කළ තරුණිය’ කියන චිත්‍රපටය. ගිල්මන් හා ගැමුණු මා ගැන ලොකු රෙකමදාරුවක් කර තිබුණා. මම සටන් නළුවෙක් වුණේ කිරිබත්ගොඩ නවජීවනයෙන්. මම නළුවෙක් වුණේ විමලවීර මාස්ටර් නිසා. මම නළුවෙකු ලෙස මතු කළේ ගිල්මන් හා ගැමුණු. පස්සේ කාලයක ගිල්මන් ‘වැදිබිම‘ත් ගැමුණු ‘යළි ඉපිදේ’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළා’ බන්දු තම අතීතය එදා සිහිපත් කළේය.
බන්දු මුණසිංහ සටන් නළුවකු ලෙස රඟපෑ දෙවන චිත්‍රපටය වූයේ ඇම්. පී. ගිල්මන් විසින් 1961 අධ්‍යක්ෂණය කළ ‘වැදිබිම‘ය. ඊළඟට දස්කොන්, වෙන ස්වර්ගයක් කොතනද? දීපසිකා, ගැටවරයෝ චිත්‍රපටවලට පසු මුල්වරට චරිතයක් සමඟ දුෂ්ට චරිතයක් රඟපෑමට ලැබුණේ ‘සාරවිට‘ චිත්‍රපටයෙනි. අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය ඔහුට මේ අවස්ථාව දුන්නේය. ‘සාරවිට‘ චිත්‍රපටයේ සෝමේ ලෙස ඔහු පෙම්වතෙකු ලෙස සුනිලා ජයන්ති සමඟ ද මුඩුක්කුවක මං පහරන පාදඩයක වූ මාකස්ගේ (වොලී නානායක්කාර) ප්‍රධාන සහචරයකු ලෙස රඟපෑවේය. සටන් නළුවකු ලෙස ධීවරයෝ, හඳපාන, ළාදලු, හිතට හිත, සත පනහ, ස්විප් ටිකට්, සඳ නැඟ එද්දී, සොරුන්ගෙත් සොරු, දරු දුක, සරණ, ඇතුළු චිත්‍රපටවල රඟපෑ පසු ලෙනින් මොරායස්ගේ සූරයන්ගෙත් සූරයා. එදත් සූරයා අදත් සූරයා මෙන්ම ත්‍රාසජනක සටන් සපිරි ඔහොම හොඳද, සුළිසුළං, හතර දෙනාම සූරයෝ, අපි කවදත් සූරයෝ, සුජීවා, සිංගප්පූරු චාලි, හොඳයි නරකයි, හොඳට හොඳයි, හිත හොඳ මිනිහෙක් චිත්‍රපටවල ඔහුට සිදු වුණේ චිත්‍රපටයේ වීරයාගෙන් හොඳටම ගුටිකෑමටය. දුෂ්ට චරිත රඟපෑ සමාජශාලා හිමියන්ට, හොර නායකයන්ට ‘යර්ස් බොස්, ඕකේ බොස්’ කියන දෙබස කීමටය. ‘ඕකත් රඟපෑමක්දැයි?’ වරක් බන්දු පුවත්පතකින් අසා තිබුණි.
මුල්වරට රිදී තිරියේ සටන් අධ්‍යක්ෂවරයකු ලෙස මුලින්ම බන්දු මුණසිංහගේ නමය. ඒ ඇම්. ඇස්. ආනන්දන්ගේ ‘සිතක මහිම‘ චිත්‍රපටයෙනි.
බන්දුට හාපුරා කියා චරිතයක් කිරීමට අවස්ථාවක් ලැබී ඇත්තේ සේන දයානන්දගේ ‘තරංගා’ චිත්‍රපටයෙනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ‘රජගෙදර පරෙවියෝ’ චිත්‍රපටයෙන් හොඳ සටන් දර්ශන නිර්මාණ කර ගැනීමට බන්දුට සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට නිදහස දුන්නේය. මේ නිසා සිංහල සිනමාවේ ඉහළම සටන් දර්ශන දැක ගැනීමේ භාග්‍යය ප්‍රේක්ෂකයාට ලැබිණ.
බන්දු කඩු සටන් ශිල්පයේද නිපුණ ශිල්පියෙකි. තමා කඩු සටන් ඉගෙන ගත්තේ ගාමිණි ෆොන්සේකාගෙන් හා එච්. ඩී. කුලතුංගගෙන් බව බන්දු කෘතවේදීව පවසා ඇත.
‘මම කැමති සටන් නළුවෙක් හෙක්ටර් ඒකනායක. රන්මුතු දූවේ ගාමිණි එක්ක සටන් කරන රෙංගා ඔබට මතකද? ඔහු ලංකාවේ හිටිය දක්ෂම බොක්සිං ක්‍රීඩකයෙක්. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ ඔහු ගාමිණී හා සටන් කළත් මට ඔහු සමඟ රඟපෑමට ලැබුණේ නැහැ. ඒ කාලේ හිටිය සටන් නළුවෝ කවුරුත් දක්ෂයෝ. ගාමිණී ෆොන්සේකා, පියදාස විජේකෝන්, එච්. ඩී. කුලතුංග, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ලයනල් දැරණියගල වගේම රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරු එක්ක මම රඟපාන්න ආසයි. රවීන්ද්‍ර රන්දෙණිය මට හමු වුණේ ‘තරංගා’ චිත්‍රපටයෙන්. මම එදා රවීන්ද්‍රට කිව්වා මා එක්ක කළ සටන් දර්ශනයෙන් පස්සේ ‘රවි ඔයා අනාගතයේ හොඳ සටනේ නළුවෙක් වෙනවා’ කියලා.
මගේ පයින් ගහන පහර ටිකක් වේගවත්. මුලින්ම ඇලෙක්සැන්ඩර් එක්ක සටන් කරලා ඉවර වුණාම ඔහු මට මෙහෙම කිව්වා.
‘බන්දු ඔයාගේ පා පහර භයංකරයි. අනිත් අයට ගහන පාරින් තුවාල වෙන්න පුළුවන්. මේව බයස්කෝප් වැඩනේ. මම ඔහුගේ අවවාදය පිළිගත්තා.’ බන්දු කීවේය.
‘හැම හොඳ සටන් නළුවෙකුටම හොඳ ඉවසීමේ ශක්තිය ආත්ම විශ්වාසය තිබිය යුතුයි. තමා සමඟ සටන් කරන නළුවාගේ ආරක්ෂාව ගැන වැඩියෙන් දැන සිටිය යුතුයි. ඔවුන්ගේ අත පයට හානියක් නොවන ලෙස බුද්ධිමත් ලෙස හිතලා පහර එල්ල කළ යුතුයි’ බන්දු එකල නිතර කිව් දෙයකි. එසේම ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරු, ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා, ටිරෝන් මයිකල්, සැන්ඩෝ ඛාන්, සුමිත් මුදන්නායක ආදීන් සමඟ සටන් වැදීමට තමා කැමති බව හෙතෙම කීවේය.
බන්දු රඟපෑ චිත්‍රපට චරිත අතර ප්‍රධාන නිළියට වද දෙන, හිංසා කරන දර්ශන තිබුණි. ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාට ඔහු හැකි තරම් වද හිංසා පමුණුවයි. චිත්‍රපටය තිරගත වන කාලේ මහනුවර හිටිය බන්දුගේ මිතුරෙක් ඔහුගේ නිවසේ රාත්‍රී කෑමට ආරාධනා කර තිබුණි. බන්දු ගෙදර ගියාම ඔහුගේ බිරිඳ වැඩි මුහුණදී කතා කොට නැත. පසුව බන්දුට දැනගන්ට ලැබුණේ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ තමා මාලනීට කළ හිංසා නිසා ඔහු කෙරෙහි කලකිරී සිටි බවය.
‘නංගි අපි පික්චර්වල එහෙම රඟපෑවට මාලිනියි මමයි හොඳ යාළුවෝ’ බන්දු කී විටයි මිතුරාගේ බිරියට සිනාගොස් ඇත්තේ.
‘සුගන්ධි’ හා ‘තරංගා’ චිත්‍රපටවල අග්‍රා සජීවනී හා මානෙල් වානගුරු සමඟ රඟපෑ බන්දු දුෂ්ට චරිතවලින් මිදී චරිතාංග නළුවකු ලෙස ද ඉස්මතු විය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේ ඔහු රඟපෑ පෙම්වතා චරිතය තුළ ද දුෂ්ට හැඟීම් තිබුණ ද ඔහු මානුෂිකත්වය මතුවන ලෙස දක්ෂ ලෙස රඟපෑ බව ප්‍රකට විය. බන්දු මිය යන තෙක්ම තමා වෙනස් ප්‍රධාන චරිතයක් දුන් සතිස්ට පින් දුන්නේය. ‘සත්‍යා’ චිත්‍රපටයේද බන්දුට හිච්චා නම් චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබිණි.
පුරා තිස් පස් වසරක් සිනමාවේ සටන් නළුවෙකු ලෙස රජකම් කළ බන්දු හදිසියේ 1993 දී රෝගාතුර විය. ඉන්පසු ඔහුට චිත්‍රපට ලැබුණේ නැත. රත්නපුරේ ඇඹිලිපිටියට ගොස් හුදෙකලාවේ ඔහු ජීවත් විය. ඔහුට එක් පාදයක් අහිමි විය. එදා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කී වේගවත් භයංකාර පහර එල්ල කළ පාදයයි ඒ. 2005 පෙබරවාරි 05 වෙනිදා බන්දු මුණසිංහ ජීවිතයෙන් සමුගත්තේය.
ඒ.ඩී.රන්ජිත් කුමාර ලාල් සෙනරත්