Ohoma Hondada

Ohoma Hondada

ඔහොම හොඳද

Black & White 35mm

Film No: 218  ·  Released: 11 Oct 1970

58.83% · 2,412 votes
Rate this film
Special Message

"පෙරිය ඉඩිත්තපෙන්" දමිළ චිත්‍රපටය ඇසුරිනි

Summary

NameOhoma Hondada / ඔහොම හොඳද
Film No218
Released Date11 Oct 1970
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryFamily
CompanyRizvi Films
Main Actor: Gamini Fonseka Main Actress: Soniya Disanayaka Director: J. Selvarathnam Producer: A.S.M.Buhari

Description

ජේ. සෙල්වරත්නම් නිර්මාණය කල, සිරිමල් හා කාන්තිගේ කථාව තිරගත වූයේ මේ 70 දශකය තුළය. එය රිදී තීරයට ආයේ "ඔහොම හොදද?" නමින්ය. එයද, විමෝදාත්මක චිත්‍රපට වල ලාංකේය සිනමාව තුල සංධිස්ථානයක් ඇති කළේය. සිරිමල් හා කාන්ති කිව් සැනින්ම, එය සුගත් දම්මි, නොඑසේ නම් නුවන් රේණු, සිරිපාල සහ රන්මැණිකා, චලිත රංගාලි, පියල් නන්දා, වැනි අය මතක් වීමද වැලැක්විය නොහැක. ඒත් මේ සිරිමල් හා කාන්ති යනු ඉහත අය මෙන් නම් නොව. ඔවුන් මොකක්දෝ අද්බූත ලෝකයක සැරි සැරූ දෙදෙනෙක් විය. නමුත් ඒ දෙදෙනා ප්‍රේක්ෂකයන්ට නම් ආකාර්ශණය විය. කාන්ති කෙසේ වෙතත් සිරිමල් නම් කොතෙක් දුරට ප්‍රේක්ෂක ආකාර්ශණය ලබා ගත්තාදැයි කිවහොත්, අදට හතලිස් වසරකට වඩා ගත වුනිද සිරිමල් ව නම් ලාංකේය විනෝදාත්මක සිනමා ප්‍රේක්ෂකයන්ට නම් කිසිසේත් අමතක වන්නේ නැත.

සිරිමල් යනු ගැමියෙකි. ඇදුම් පැලදුම් වලින්ද, හැසිරීම් රටාවෙන්ද, කථා විලාසයෙන්ද, අමුම අමු ගොඩයෙකි. සෙල්වරත්නම් සිරිමල්ව ගොඩයෙක් කිරීමට, ඔහුට පිටුපසට කොන්ඩයක් බැන්දුවේය. බුලත් කැව්වේය, ආරිය සූට් ඇන්දුවේය. ගමෙන් නගරයට යනවිට, කොට්ට පැදුරු අතට දුන්නේය, කෙහෙල් කැන් පිටින් පිටේ එල්ලුවේය. කොළඹ යනවිට රෑ වුනොත් කියා ලන්තෑරුමක්ද අතට දුන්නේය.

සෙල්වරත්නම් ලාංකේය ගැමියන් සීමාව ඉක්මවා හෑල්ලු කලේ ඒ අයුරිනි. එකල ඇතැම් ගැමියන්, තම අඩු ආර්ථිකත්වය මත, තමාගේ කුඩුම්බිය තුලම හිරවී තිබුනද, සෙල්වරත්නම් පෙන්වා දෙන තරම්ම ගැමියන් මෝඩ නැත.

එහෙත් මෙය නාට්‍යානුකව ඉදිරිපත් කරන විට යථාර්තයෙන් මදක් ඔබ්බට යාමට සිදුවේ.

ගම තුල සිරිමල්ගේ ජීවන රටාව වූයේ ඉතාමත් මෝඩ පහේ චරිත ස්වභාවයකින් දිවි ගෙවන්නෙක් ලෙසය. ඔහුගේ පියා ගමේ සංගීත කාරයෙකි. පියාගේ චරිතයට රගපෑවේ හියුගෝ ප්‍රනාන්දුය. සිරිමල් සිටිය යුත්තේ ඔහුට තබ්ලාව වැයීමටය. සිරිමල්ට එය වහ කදුරුය. එහෙයින් ඔහුගේ පියා සිරිමල්ව කොළඹ තම ව්‍යාපාරීක මිතුරාගේ නිවසට යවන්නට තීරණය කරනුයේ එහීදී ඔහුට ව්‍යාපාර මිතුරාගේ කාර්යාලයේ රැකියාවක් කිරීමට හැකිියාවක් ඇති වෙන හෙයිනි. පැදුරු, කොට්ට, කෙසෙල් කැන්, ලන්තෑරුම් උස්සාගෙන සිරිමල් කොළඹ බලා ගියේ එකී අරමුණෙනි.

⁣දුම්රියෙන් මේ බඩු භාන්ඩ රැගෙන යන විට ඔහුව අසුවුනේ නවින පන්නයේ තරුණියන් සමුහයකටය. ඔවුන් සිරිමල්ව "බයිට්" එකට ගත්තා පමණක් නොව ඔහුගෙන ආ පැදුරු කොට්ට ,ලට්ට සියල්ලම දුම්රියේ කවුළුවෙන් එලියට විසිකළෝය. එයට, කෙහෙල් කැන, ලන්තෑරුම, ඒ සියල්ලම ඇතුලත් විය.

"කලි යුග කාලෙ මේකද තාලේ

දේසෙට බාසෙ ඕනැලු රාලේ

ඉස්සර කාලේ, මුත්තලා කාලේ

මේ වාගේ ⁣පාර වේගයෙන් නෑනේ"

මුලින්ම සිරිමල්ට කාන්තිව හමුවන්නෙ මේ දුම්රිය තුලදීය. සිරිමල්ව බයිට් කරන තරුණියන් අතරේ නායිකාව වූයේ කාන්තිය.

නමුත් සිරිමල් ඔහුගේ පියාණන්ගේ යහළු ව්‍යාපාරිකයා ගේ නිවසට ගිය විටය දැන ගන්නේ කාන්ති යනු මේ ව්‍යාපාරික මුදලාලිගේ දියණිය බව. සිංහල චිත්‍රපට කොහොමත් එහෙමය. පුදුම විදියටය "සර්පරයිස්" ⁣දෙන්නෙ. ව්‍යාපාරික මුදලාලිගෙ චරිතය ජීවමාන කළේ ඩී.ආර්.නානායක්කාරය. මේ මුදලාලිගේ හාමිනේ මිය ගොස්ය. එලෙසම ඔහුගේ අතිජාතික ගමේ මිතුරාවු සිරිමල්ගෙ පියාගේද හාමිනේ මිය ගොසිනි. ඔවුන් දෙපලගේ හාමිනේලව ජීවත් කෙරෙව්වා නම්, චිත්‍රපටය මාර වාතයක් වන බව සෙල්වරත්නම්ට වැටහෙන්නට ඇත. බැරි වෙලාවත් මේ හාමිනේලා හිටියානම් චිත්‍රපටයේ මැද භාගයේදි, මේ දෙපියවරුන්, ව්‍යාපාර මුදලාලිගේ චිත්‍රපට පිස්සුව හැදුනු මොංගල් පුත්‍රයා තමන් හදන්න සැලසුම් කරන, චිත්‍රපටයට ගෙන ආ නිළිය සමග ජවුසම් නටන්නට ලැබෙන්නේ නැත.

කොහොමෙන් කොහොමෙන් හරි සිරිමල්ට, ව්‍යාපාරික මුදලාලි ලග ජොබ් කට්ටකුත් සෙට් වෙයි. මුදලාලිගේ දුවට තිබුනේ පුදුම මේනියාවකි. ඒ නයිට් ක්ලබ් මේනියාවය. දැං කාන්ති යන ඕනැම රස්තියාදුවකට, සිරිමල්වත් රැගෙන යයි. එක් දිනක් කාන්ති සමග යනවිට, කොහේ හෝ තැනක කාරය නතරවී තිබූ අතර සිරිමල්ට ඇන්ජිම අත පත ගා සිටින්නට සිදුවිය. කාන්තිට "මල" පැන තිබුනි. ඒ අව් අස්සේ ඇන්ටන් ජෝන්ස්, ප්‍රෙඩි සිල්වා සහ තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකක්, වෑන් එකකින් කඩා පැන්නෝය.

"කොමල පපා ⁣ මුකුළු පපා අපේ ලගට එන්නකෝ

ඔමරි ලතා බොලද කථා අපට කියා දෙන්නකෝ"

ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි"

ගෑනියෙක් ද පිරිමියෙක් ද ඩ්‍රයිවර් කෝ කාරෙකෙ

අනේ අපොයි ඇගෙ හැපෙයි පාරෙ උන්ට මාරකෙ."

හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා

බලාගෙනයි මහ පාරෙ හෙමින් වරෙල්ලා"

ඔය අතරේ දිනක් කාන්ති සිරිමල් සමග නයිට් ක්ලබ් ගියාය. ඇය සිරිමල් ට කාර් රථයේ සිටින්නට කියා, එලෙසම ක්ලබ් එක පැත්තට නොඑන ලෙස තරවටු කරමින් ඇතුලට ගියාය. ක්ලබ් හිමියා සෙල්ලක්කාරයෙකි. එමෙන්ම දඩබ්බරයෙකි. බැප්ටිස්ට් ප්‍රනාන්දුය, ක්ලබ් හිමියාගේ චරිතයට, පන පෙවුවේ.

ක්ලබ් හිමියාට, ක්ලබ් එක ඇතුලේම නා නා ප්‍රකාර ගැහැනුන්ය. එහෙත් ඔහු කාන්තිටද බැල්ම දාගන සිටියි. කාන්ති ක්ලබ් යනුයේ සිංදු අසමින්, නැටුම් බලමින් විනෝද වන්නටය.

"ආවා ආවා රස ගීත ගයා

බන්දා බන්දා නෙත් යුග බන්දා

ආආ ආවා ආආ අවා ආආ ආවා ආ."

බලන්න එපායෑ හෙලන් කුමාරියි, චන්ද්‍රකලයි රොනල්ඩ් ප්‍රනාන්දුව මැදිකරගෙන තව ලස්සන කෙල්ලො රංචුවක් එක්ක නටන නැටිල්ල.

අම්මෝ බලන් හිටිය අපිවත් නැටවෙනවා ඒ නැටුම් වලට.

ඔය අව් අස්සේ මෙන්න සිරිමලුත් ආරිය සූට් එකක් ඇදගෙන බුලත් කකා ක්ලබ් එක ඇතුලට එනවා. ඒ වෙලාවෙ ක්ලබ් එක ඇතුලේ අලුත් අයිටම් එකක්. කැබරේ නැටුම් නටන ෆරීනා ලායි නැටුමක් ඉදිරිපත් කරන කොට ක්ලබ් හිමියා කසයකින් රිද්මයානූකූලව, ඇයට ගසනවා.එය ඇත්තටම නැටුමක්. නමුත් සිරිමල් හිතන්නෙ, ක්ලබ් හිමියා ඇත්තටම මේ නටන කෙල්ලට කසෙන් ගහනවා කියලාය. සෙල්වරත්නම් "ප්ලොට්" එකේ නියම හැරවූම් ලක්ෂනයට එන්නෙ ඔතනදී. සිරිමල් අර කෙල්ලව බේර ගන්න නැටුම් වලල්ලට පනිනවා. ඒ පනින්නෙත් ක්ලබ් හිමියට දොස් දෙවොල් තියමින්. ක්ලබ් එකට ආපු ආයට මාර ෆන් එක. ක්ලබ් හිමියට, නියම සොමිය. ක්ලබ් හිමියා කරන්නෙ, අර ඇවිත් ඉන්න සෙනගව තවතවත් ෆන් කරන්න අර කසෙන් ඇත්තටම සිරිමල්ට ගසන එක. මෙයට ආව අය උඩ පැන පැන හිනාවෙනවා. වැඩිපුරම උඩ පැන පැන හිනාවෙන්නෙ කාන්තියි. අර ක්ලබ් හිමියා කසෙන් ගහන පාරක් පාරක් ගනනේ සිරිමල්ගෙ ඇ⁣ග පුපුරලා ලේ එනවා. සිරිමල් විදින්නෙ පුදුම වේදනාවක්. ඒත් ඒ තිරිසන් ක්ලබ් සමාජය, එයින් විදින්නෙ පුදුම සතුටක්. ක්ලබ් හිමියා සිරිමල්ට ඇති තරම් ගසා නොකවුට් කරලා දාල, ක්ලබ් හිමියා වීරයෙක් වෙනවා.

අඩපන වුනු සිරිමල්ව වත්තන් කරගෙන යන්නෙ ඒ ක්ලබ් එකට ආව රොබින් ප්‍රනාන්දුයි. රොබින්, සිරිමල්ව සම්පූර්නයෙන්ම වෙනස් මිනිසෙක් කරනවා. ඔහුගෙ පිටුපස කොන්ඩ ගැටය කපල, සටන් පුහුණු කරලා, කලිසම් කෝට් අන්දවලා ,සන් ග්ලාස් දම්මලා, ක්ලබ් එකට එක්කන් යනවා.. සෙල්වරත්නම් එයාගේ වැඩ පෙන්නන්නෙ මෙතැන් සිටය. ඔහු සිරිමල්ව සිරී ලෙස උපද්දවයි. සිරීගේ පැමිණීම මුලු ක්ලබ් එකම හොල්මන් කරයි. කාන්තිද මේ කඩවසම් පුද්ගලයාට ආකාර්ශනීය වේ. සිරී ක්ලබ් එක තුල ගෝරියක් දමා ගනියි. ක්ලබ් හිමියා සිරී සමග වලියට පැටලේ. කසය සිරී අතට එයි. කස පහර එක දෙක ක්ලබ් කාරයාට වදියි.

"රජ කම් කෙරුවත් කල කම් පලදේ

ඇග ලේ රුහිරේ, කාගෙත් වැගිරේ

මේ ඔබට වගේ දුක මටද වුනේ

ගිය වාරේ උඹේ, මේ පාර මගේ"

කසපාර දහ පහලොවක් වැදෙන කොට ක්ලබ් කාරයා හාන්සිය. ක්ලබ් කාරයට, සිරීගෙන් කස පහරවල් වැදෙන කොට, උඩ පැන පැන සිනාසෙන්නේ කාන්තීය. මේවා පුදුම පිචැර්ය.

ටික දවසක් ගිය පසු මෙන්න බොලේ සිරි ක්ලබ් කාරය ලග වැඩ. ඒවා වෙන්නේ කොහොමද කියා හිතන්න ගියොත් චිත්‍රපටය විදින්න ලැබෙන්නේ නැත. සිරී දැන් ක්ලබ් කෙල්ලෝ එක්ක ෆුල් ෆන්ය.

"මා හද ඔබ සතුවේ

වේලාව සුබයි, ආදරය ගලයි

සැනසිය යුතුමයි

දුන්නාද මල් සිනා, දෙන්නම්කෝ මං ගෙනා

මා හද ඔබ සතුවේ"

සිරී ක්ලබ් එකට එකතුවූ දා සිට ජරමර ගොඩකි. සිරී ඇත්තටම ක්ලබ් එකට එකතු වුනේ එහී සිදුවන හොර මැර සියල්ල සොයා නීතියේ රැහැනට අසුකර දීමටය.

මේ අතර සිරීගේ හා කාන්තිගේ ආදරය ලෝකය ගලා ගලා යමින් පවතී.

"කියන්නම් කථාවක්

පාන්නද සිනාවක්

තවත් නැහැ වෙලාවක්

දැන් හිතේ නැහැ නිදහසක්"

ඉන්පසු සිදුවෙන්නෙ අර වට්ටෝරු සිනමාවේ හැමදාම සිදුවන දෙයයි. එනම්, දුෂ්ඨයා වූ ක්ලබ් කාරයා කාන්තිව පැහැර ගෙන යයි. සිරී දුෂ්ඨයා ඇතුලු හැට හුටාහමාරකට ගසා නොකවුට් කර කාන්තිව බේර ගනිති. දුෂ්ඨයා ඇතුළු පිරිස, පොලිසිය පැමිණ කුදලා ගෙන යයි.

සිරී යනු සිරිමල් බව සියල්ලෝම දැන ගනී. පොඩි පොඩි ජෝක් කෑලි දෙක තුනකින් පසු සිරී නොහොත් සිරිමල්, හා විවාහ වීමට කාන්ති කැමති වේ.

සිරිමල් හා සිරී ලෙස ගාමිණී ෆොන්සේකා දක්ෂ රගපෑමක නිරත වූයේය. "ඔහොම හොදද?" යනු තනිකරම ගාමිණී ෆොන්සේකාය. ⁣කාන්ති ලෙස රගපෑ සෝනියා දිසා එයින් ඉහළ තලයකට නැංවිණ. මුලින්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගත්තේ සන්ධ්‍යා කුමාරිවය. එහෙත් ඇයගේ විවාහය නිසා ඇය මෙයින් අයින් විය. හියුගෝ, ඩී ආර්, සහ බී එස් පෙරේරා එක්ව "ඔහොම හොදද" සිනා සාගරයක් කලෝය.

"නයනා නීලමණී, මා හද රස මුසු වේ නයනා නීලමණී"

මේ ගීතයට හියුගෝ හා ඩී ආර් ගේ රගපෑම් නම් විශිෂ්ඨ විය. බැප්ටිස්ට් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, ෆරිනා ලායි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්ධු මුණසිංහ, පියදාස විජේකෝන්, පිටිපන සිල්වා, පූජිත මෙන්ඩිස්, හෙලන් කුමාරි, චන්ද්‍රකලා, මිල්ටන් ජයවර්ධන , ජෝ ලිවේරා, එකතුව "ඔහොම හොදද?" අපූරු විනෝදාත්මක චිත්‍රපටයක් කෙරීය. රොක්සාමිගේ සංගීතයට, එච් ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, ඇන්ටන් ජෝන්ස්, ෆ්‍රෙඩි සිල්වා, මොහිදින් බෙග් හා මිල්ටන් පෙරේරා ⁣ලස්සන ගීත කීපයක් ගැයුවෝය.

1970 ඔක්තෝබර් මස 11 වන දින තිරගත කෙරූ , ඒ.එස්.එම්. බුහාරි නිශ්පාදනය කල, ජේ සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කෙරූ "ඔහොම හොදද" චිත්‍රපටය එම වසර තුල අධි සාර්ථකත්වයක් ලද විනෝදාත්මක චිත්‍රපටයක් විය.

"බයිලා පොලේ, තොවිල් පොලේ ඉවර වෙන්න ලග වගේ

අපව දමා පැනලා ගියා පැට්‍රල් ටික ටැංකියේ

චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ

බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ"

ශෝන් මැක්ස්මස් දිසානායක

Film No: 218 - Year: 1970

Cast

Crew

Other Crew