Hathara Denama Surayo

Hathara Denama Surayo

හතර දෙනාම සූරයෝ

Black & White 35mm

Film No: 228  ·  Released: 20 Jul 1971

58.3% · 2,732 votes
Rate this film
Special Message

සිංහල සිනමාවේ එකම සිනමාහලක අඛණ්ඩව දින සියයක් ප්‍රධාර්ශනය කළ පළමු චිත්‍රපටය

Summary

NameHathara Denama Surayo / හතර දෙනාම සූරයෝ
Film No228
Released Date20 Jul 1971
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Gamini Fonseka Main Actress: Malani Fonseka Producer: Neil Rupasinghe Director: Neil Rupasinghe

Description

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය සේ සැලකෙන හැත්තෑව දශකයේ එකම සිනමාහලක අකණ්ඩව දින (100) සියයක් ප්‍රදර්ශනය කළ මුල්ම චිත්‍රපටිය.

හතර දෙනාම සුරයෝචිත්‍රපටියට පසු සිනමාස් ප්‍රදර්ශක මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබු ඩී. බී. නිහාල් සිංහගේ වැලි කතර චිත්‍රපටිය එම මණ්ඩලයේ අනෙකුත් සිනමාහල්වල ප්‍රදර්ශනය වන විටත් හතර දෙනාම සුරයෝ චිත්‍රපටිය අඛණ්ඩව මරදානේ ගාමිණි සිනමාහලේ දින 100දක්වා සාර්ථක ලෙස ප්‍රදර්ශනය වීම.

ගාමිණි,මාලිනි,විජය තිදෙනා එක්ව රඟපාන මුල්ම චිත්‍රපටිය.

සිංහල සිනමාවේ අමරණිය පෙම් යුවල විජය,මාලනී යුගයේ ආරම්භය සටහන් කළ චිත්‍රපටිය වීම.

එදා මෙදා තුර සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට (10) දහය අතරට ගැනෙන චිත්‍රපට අතරට අනිවාර්යයෙන්ම එක් වන චිත්‍රපටියක් ලෙස මෙම චිත්‍රපටය සඳහන් කළ හැක.

පැරණි චිත්‍රපට නැවත නිපදවෙන අවස්ථා මේ වන විට ලෝක සිනමාවේ පුවනතාවක් බවට පත්ව ඇති අතර " හතර දෙනාම සුරයෝ " චිත්‍රපටයද මේ අනුව නැවත වරක් නිෂ්පාදනය කරන ලදුව 2008 වසරේ නැවත ප්‍රදර්ශනය විය. මෙහි විශේෂත්වය මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක නීල් රූපසිංහ විසින්ම මෙය දෙවන වරටද අධ්‍යක්ෂණය කිරීමය. මෙය ජාත්‍යන්තර සිනමාවේ වාර්තාවක් වන්නේ එක අධ්‍යක්ෂකවරයෙක් විසින් චිත්‍රපටයක් දෙවරක්ම අධ්‍යක්ෂණය කිරීමෙනි. මෙවන් සිදුවීමක් ලෝක සිනමාවේ සිදුවී ඇත්තේ එක වරක් පමණි.

බිලියර්ඩ්ස් ක්‍රීඩා සමාජයක දර්ශනයෙන් චිත්‍රපටය ආරම්භ වෙයි. පොඩ්ඩේ (ගාමිණි ෆොන්සේකා) විජේ (විජය කුමාරණතුංග), ලින්ටන් (සේනාධීර රූපසිංහ), ජගරි (ඇන්තනි සී. පෙරේරා) යන තරුණයන් සිව් දෙනා බිලියර්ඩ්ස් ක්‍රීඩාවේ යෙදෙමින් සිටිති. එම ස්ථානයට පැමිණෙන රිචඩ් (එම.එස්. ප්‍රනාන්දු) විජයට අඬ ගසයි. නමුත් ඔහු රිචර්ඩව ගණන් නොගෙන දිගටම ක්‍රීඩාවේ යෙදෙයි. මෙහිදී විජය අසලට පැමිණ යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට තදින් යමක් පවසා රිචඩ් එම ස්ථානයෙන් පිටවන්නේ අනෙක් තරුණයින් තිදෙනාගේ උසුළු විසිලු මධ්‍යයේය.

මෙම තරුණයින් සිව් දෙනා නතර වී සිටිනුයේ බත් විකුණන කාන්තාකගේ (පර්ල් වාසුදේව) නිවසේය. ඇයට බත් අම්මා කියා අමතන අතර ඇයට සෝමා නමින් දුවක් (ශ්‍රියානි අමරසේන) සිටියි. මිට අමතරව තවත් වයස්ගත පුද්ගලයෙකුද එහි නතර වී සිටියි.

රැකියාවක් නොමැති ජගරි සාස්තර කියා මුදලක් උපයා ගන්නා අතර විජයට රැකියාවක් නැත. දිනක් ජගරි හා විජය පාරේ කතා කරමින් සිටින අතර වෙළඳ සැලක් ඉදිරිපිට මෝටර් රථයක් නවතා වෙළඳ සැලට යන ධනවත්, රුවැති තරුණියක (මාලනී ෆොන්සේකා) දකියි. ඇය නිල්මිණිය. ඇය හා කෙසේ හෝ සබඳතාවක් ගොඩ නගා ගන්නා බවට ජගරිහට සහතික වන විජයද වහාම වෙළඳ සැලට ඇතුල් වෙයි. වෙළඳ සැල තුල සිට භාණ්ඩ රැගෙන එන නිල්මිණිගේ සිරුරේ හැපෙන විජය මේ හේතුවෙන් බිම වැටෙන භාණ්ඩ ඇයට යළි අහුලා දෙන්නේ ඇයට නොදැනී ඇගේ පර්ස් එක සඟවා ගනිමිනි.

නිවසට පැමිණෙන නිල්මිණි තම පර්ස් එක සොයන විට නිවසට පැමිනෙන විජේ එය ඇයට දෙන්නේ එහි තිබු ඇගේ කාඩ්පතෙන් ඇගේ ලිපිනය සොයා ගත් බැව් පවසමිනි. මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිනෙන ඇගේ කුඩම්මාට (තලතා ගුණසේකර) හා නිල්මිණිට ඔහු අඟවන්නේ ඔහු ධනවත් පවුලක අයෙකු බවත් විදේශගතව සිට පැමිණි බවත්ය. මව නැති නිල්මිණි ජිවත් වන්නේ පියා හා කුඩම්මා සමගය.

තරුණයන් සිව් දෙනාගෙන් තවත් අයෙකු වන ලින්ටන් රැකියාව ලෙස කරනුයේ සෙනඟ ගැවසෙන ස්ථානයන්හි සුදූ ක්‍රීඩාවක් සංවිධානය කිරීමය.

පොඩ්ඩේ සේවය කරනුයේ ගරාජයකය. ගරාජය අයත් වන්නේ නිල්මිණිගේ කුඩම්මාගේ ඥතියෙකු මෙන්ම නිල්මිණිව විවාහ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින හැරී (ලයනල් දැරණියගල) ටය.දිනක් ගරාජයේ සේවකයෙකු හා පොඩ්ඩේ අතර ඇතිවන ගැටුමක් දුර දිග යාම මත පොඩ්ඩේට හැරී සමගද ගැටීමට සිදුවීම නිසා ඔහුට රැකියාවෙන් ඉවත් වීමට සිදු වෙයි.

මහ පාරේ සූදු රැකියාවේ යෙදී සිටින ලින්ටන්හට එම රැකියාව මත සිදුවන යම් සිදුවීමක් හේතුවෙන් සුමනා නම් දුගී තරුණියක් මුණ ගැසෙයි. (අග්‍රා සජිවනි) දෙමාපියන් නැති ඇය ජිවත් වන්නේ තම කුඩා බාල සොහොයුරන් දෙදෙනා සමගය. ඇගේ ඉල්ලීම මත ඔහු සූදු රැකියාව නවතා වෙනත් රැකියාවක් සොයා ගැනීමට උත්සුක වෙයි.

බත් අම්මාගේ දුව වන සෝමා සමග පොඩ්ඩේ පෙමෙන් වෙලී සිටින අතර පොඩ්ඩේ හට රැකියාවක් නොමැති වීම ඔවුනට ඇති බාධාවකි.සුමනාගේ කීම අසා රැකියාවක් සොයා ගත් ලින්ටන් සටන් පුහුණු කරන පංතියකට යයි. එහිදී ඔහු එහි පුහුණුව ලබා ගනියි.

මේ වන විට ක්‍රමයෙන් ඇසුරක් පටන් ගන්නා විජය හා නිල්මිණි අතර ඇසුර ප්‍රේමයක් දක්වා වර්ධනය වෙයි. මේ අනුව ඇගේ උපන්දින සාදයට ඇරයුම් ලබන ඔහු ඒ සඳහා සහභාගී වන්නේ ධනවත් තරුණයෙකු මෙනි. මෙහිදී ඔහුට ගීයක් ගැයීමට සිදුවන අතර මෙම උපන්දින සාදය සඳහා සහභාගී වන හැරිද විජය දෙස විමසිල්ලෙන් බලා සිටියි.

කොයි අවස්ථාවක හෝ තමාට පොඩ්ඩේගෙන් කරදරයක් වෙතැයි බියෙන් සිටින හැරී දිනක් පාරේ සාස්තර කියමින් සිටින ජගරි වෙත පැමිණ සාස්තරයක් අසයි. සාස්තරය අසා බියට පත් වන හැරී තමාගේ ආරක්ෂාවට ශරීර ආරක්ෂකයෙක් සොයා යන්නේ ලින්ටන් සටන් පුහුණුවන ස්ථානයටය. මෙහිදී හොඳින් එම කාර්යයේ නිරත වන ලින්ටන් දකින ඔහු ලින්ටන් තමාගේ ශරීර ආරක්ෂකයා ලෙස සේවයට බඳවා ගනියි.

විජේගේ හා නිල්මිණිගේ සම්බන්ධය ගැන ඉව වැටී සිටින හැරී තමාගේ හා නිල්මිණිගේ විවාහය ඉක්මන් කරන ලෙස නිල්මිනිගේ පියාට හා කුඩම්මාට දන්වා සිටින අතර පියා ඒ ගැන එතරම් තැකීමක් නොකරන නමුත් කුඩම්මාහට අවශ්‍ය වී ඇත්තේ නිල්මිණි කෙසේ හෝ හැරී හට විවාහ කර දීමටය.

නිල්මිණිගේ අකමැත්ත ඇතිව ඇය හැරී හට විවාහ කර දීමට යන බැව් ලින්ටන් පැමිණ විජේට පවසන්නේ ගන්නා ක්‍රියා මාර්ගයක් ඉක්මනින් ගන්නා ලෙස පවසමිනි.

කිසිත් කර කියා ගත නොහැකි තැන විජේ නිල්මිණි තමන් පදිංචිව සිටින ස්ථානයට රැගෙන එයි. ඇය ඔහු සමග එන්නේ තමන් සතු රන් ආභරණ හා ඇදුම් පැළදුම්ද රැගෙනය. මෙහිදී ඔහුගේ අනෙක් මිතුරන් ඔහුට දොස් පවරන අතර නිල්මිණි එසේ සිටියදී ඔහු එතැනින් පිටවී යයි.

පිටවී යන විජේ කෙලින්ම යන්නේ සමාජශාලවටය. එහිදී ඔහු සිතේ පවතින නොසන්සුන්තාවය මත මත්පැන් පානය කරන්නට වෙයි. මේ අවස්ථාවේ එතනට පැමිනෙනුයේ රිචර්ඩ්ය. ඔහු කලින් දිනක බිලියර්ඩ්ස් ක්‍රීඩාවේ නිරතව සිටි විජේ ඇතුලු සගයින් අතර ඇතිවූ ප්‍රශ්නය මත තම හිතවතුන් යොදා තනිව සිටින විජේහට පහර දෙයි. මේ අවස්ථාවේ විජේ සොයා එන පොඩ්ඩේ, ලින්ටන් හා ජගරි මෙය දකින අතර ඔවුන්ද සටනට මැදිහත් වී රිචර්ඩ් ඇතුලු පිරිසට පහර දී විජේ බේරා ගෙන පැමිණෙති.නිවසට පැමිණීමෙන් පසු පිරිස සාකච්ඡා කර නිල්මිණි සුමනාගේ නිවසේ නතර කරවීමටද ඇගේ රත්‍රන් භාණ්ඩ සෝමා භාරයේ තැබීමටද තීරණය වෙයි.

මුලදී අකමැත්තක් දැක්වුවද පසුව සුමනා නිල්මිණි තම නිවසේ නතර කර ගැනීමට එකඟ වන අතර ඇය නිවසේ නොමැති බැව් දැන ගන්නා කුඩම්මා නිල්මිණි නිවසින් ස්වර්ණභාරණද සමග පැන ගොස් ඇති බැව් හැරිට පවසයි. ඇගේ කුඩම්මාට මෙහිදී අවශ්‍ය වී ඇත්තේ ස්වර්ණාභරණ සොයා ගැනීමට මිස නිල්මිණි නොවේ.

තමා භාරයේ ඇති නිල්මිණිගේ ඇඳුම් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ආසාවක් දක්වන සෝමා තම කාමරය තුළට වී නිල්මිණිගේ සාරියකින් මනාලියක් ලෙස සැරසී ගීතයක් ගයයි.

ඇය ගිය ගයන අවස්ථාවේ නිවසේ සිටිනුයේ වයස්ගත පුද්ගලයා පමණි. සුපුරුදු ලෙස ඔහු ඔහු ඇය කාමරයේ සිටිනු දොර සිදුරෙන් බලයි.ගීතය ගයා අවසන් වෙත්ම ඔහු දොර හැරගෙන කාමරයට ඇතුළු වී සෝමා හට බලහත්කාරකම් කිරීමට සැරසෙයි. ඒ සමගම වෙඩි හඬක් ඇසෙන අතර සෝමා ලේ විලක් මැද ඇද වැටෙයි. වයස්ගත පුද්ගලයා පැන දුවයි.

වෙඩි හඬ ඇසී නුදුරේ සිටින ජගරි වහා එම ස්ථානයට දිව එයි. ඔහු බිම වැටී සිටින සෝමා වෙත නැඹුරුවී සිදිවුයේ කුමක්දැයි බලන විට එතනට පැමිණෙන පොඩ්ඩේ සැක කරනුයේ මෙම අපරාධය ජගරි විසින් කර ඇති බවයි. මෙම සැකය මත පොඩ්ඩේ ජගරි හට පහර දෙන අතර ලින්ටන් හා විජේද එම ස්ථානයට දිව එති. ඔවුන් මේ සම්බන්ධයෙන් පොඩ්ඩේ සැක කරයි. පොඩ්ඩේ ස්වර්ණාභරණ ලබා ගැනීම පිණිස සෝමා මරා දැමු බවට ඔවුන් චෝදනා කරන අතර එම ස්ථානයට පැමිණෙන බත් අම්මා සිදුවීම දැක කම්පා වී තරුණයින් මෙම සිදුවීම කළා යැයි සැක කර ඔවුනට දෝශාරෝපනය කර පොලිසියට දැන්වීමට ක්‍රියා කරයි. පොලිසියෙන් පැමිණීමත් සමග තරුණයින් සිව් දෙනා පැන යති.

පොලිසියෙන් තරුණයින් සිව් දෙනා සෙවීම ආරම්භ කරයි.කෙසේ හෝ සිව්දෙනා එකට මුණ ගැසෙති. මුලින් එකිනෙකාහට චෝදනා කළ නමුත් පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මෙම මිනීමැරීම සිදු කරන්නට ඇතැයි නිගමනයට එන ඔවුන් තමන්ගේ ගැලවීම පිණිස කෙසේ හෝ නියම මිනීමරුවා අල්ලා ගැනීමට තීරණය කරති. එමෙන්ම බත් අම්මාගේ නිවසේ නතර වී සිටි වයස්ගත පුද්ගලයා කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමු වේ.

කෙසේ නමුත් විජේ,ජගරි හා ලින්ටන් සැඟවී සිටියදී පොලිසියට හසුවන අතර ඉතිරි වන්නේ පොඩ්ඩේ පමණකි. මේ අනුව දැන් ඔහුගේ මුලිකම කාර්ය්‍ය වනුයේ නියම මිනීමරුවා සොයා ගැනීමය.

මිනීමරුවා ගැන සෙවිල්ලෙන් සිටින පොඩ්ඩේ එක් රාත්‍රියක දුම්රියපලකදී වයසක පුද්ගලයා දකියි. ඒ සමගම පැමිණෙන දුම්රියෙන් බසින හැරී වයසක පුද්ගලයා වෙත ගොස් ඔහු හා රහසින් කතා කර ඔහු අතට මුදල් දෙයි. මේ සියල්ල බලා සිටින පොඩ්ඩේ හැරී එම ස්ථානයෙන් ඉවත් වූ වහාම තමා දැක දුවන්නට පටන් ගත් වයසක පුද්ගලයා අල්ලාගෙන ඔහුට හොඳ හැටි පහර දී සෝමාගේ මිනීමැරුම ගැන විමසයි. එවිට සෝමාගේ මිනීමරුවා හැරී බැව් පවසයි. හැරී මේ සියල්ල සැගවී බලා සිටියි.

පොඩ්ඩේගෙන් හොඳ හැටි පහර කා දුබලව සිටින වයසක පුද්ගලයා මිනිසුන් විසින් රෝහලට ඇතුලත් කරයි. රෝහලට පැමිණෙන හැරී ඔහු මැරීමට තැත් කරන අතර එය අසාර්ථක වෙයි. මේ අනුව නීතියෙන් ගැලවීම පිණිස පැන යාමට තැත් කරන හැරී පොඩ්ඩේ විසින් මෙල්ල කර පොලිසියට අල්ලා දෙයි. මේ අනුව සෝමාගේ මිනීමැරුම සම්බන්ධයෙන් හැරී අත් අඩංගුවට පත් වන අතර තරුණයන් නිදහස් වෙයි.

අවසානයේ නිල්මිණි හා විජේ විවාහවී මිතුරන්ගේ සතුට මධ්‍යයේ මධුසමය පිණිස පිටත්ව යනු බලා සිටින පොඩ්ඩේ හට සෝමා මිය යන විට ගයමින් සිටි ගීතය පසුබිමින් ඇසේ.

විස්තර,කතා සාරංශය,ගීත හා විශේෂ සටහන්

ඉදිරිපත් කිරීම

ක්‍රීඩා හා සිනමා මාධ්‍ය වේදී

අනිල් වීරසිංහ

0716358123

Email : anilweerasinghesl@gmail.com

සිංහල පිටපත ටයිප් කිරීම : රොහාන් මධුෂංක පෙරේරා

Film No: 228 - Year: 1971

Cast

Crew

Other Crew