Anthony C. Perera

Anthony C. Perera

ඇන්තනී සී. පෙරේරා

Born 13 September 1921 Died 20 May 1988

13 September 1921 - 20 May 1988

59.7% · 2,165 votes
Rate this artist

Summary

NameAnthony C. Perera
Sinhala Nameඇන්තනී සී. පෙරේරා
Born13 September 1921
Died20 May 1988

Biography

1921 සැප්තැම්බර් 13 දා උපත ලැබූ ඇන්තනී සී. පෙරේරා සිංහල සිනමාවේ සිටි දක්ෂ චරිතාංග නළුවෙකු විය. දෙවන ලෝක සංග්‍රාමයේ සෙබළෙකු ලෙස ක්‍රියා කළ ඇන්තනී සිනමාස් සමාගමේ නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙස සිනමාවට පිවිසියේය. සූරයා චිත්‍රපටයේ රඟපාමින් නළුවකු වූ ඔහු අල්ලපු ගෙදර, අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටවලින් ඉතාම ජනප්‍රිය විය. සූර චෞරයා, චණ්ඩියා, උඩරට මැණිකේ, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා වැනි චිත්‍රපටවල අමතක නොවන හාස්‍ය රංගනයන් ඉදිරිපත් කළ මේ අපූර්ව රංගන ශිල්පියාගේ නම ඇසෙන විට පවා අදටත් මුවට සිනහවක් මතු වේ.

එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයේ ‘අහා හැඩයි රූපේ’ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ ‘රත්තරනේ රන් කිරිල්ලියේ එන්න පියඹා’ වැනි ගීතවලට ඔහු පෑ විශ්මිත රැඟුම් මේ ලියන මොහොතේදී පවා මට සිහිපත් වේ. රටක් හිනැස්සූ ඇන්තනී 1988 මැයි 20 වැනිදා සියල්ලන් හඬවා යන්නට ගියේය.

-----------------------------------------------------------------------------------------

ඔහු වරෙක කට්ටඩියෙකි, වරෙක අණ්ඩයෙකි, තවත් වරෙක පෙම්වතෙකි, තම බිරියට බය වූ මිනිසෙකු ද, කොඩි ගහ යට සූරයෙකු වූ හෙතෙම ඔටුවෙක් පිට ගිය අරාබි කාරයෙකු ද, කලටියෙකු ද, මුස්ලිම් වෙළෙන්දෙකු, බඩදරු අම්මා කෙනෙකු ද, දැනමුතුකම් දෙන මාමා කෙනෙකු ද අණබෙර කරුවකු ද ලෙස විවිධ චරිත රඟපැවේය. ඔහු පසුව දෙබස් රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස තම හැකියාවන් සිනමාවේ විදහා පෑවේය. තට්ට හිස ඔහුට වාසනාව ගෙනාවේය.

ඔහුගේ නම ඇන්තනී සී. පෙරේරාය.

'ඇන්තනි සී.' කී පමණකින් ඔබට සිනාරැල්ලක් නැඟෙනු ඇති. ඒ මීට වසර 25 ක පෙර සිටි සිනමා රසිකයන්ට නම් ඔහු රඟපෑ චිත්‍රපට ගැන කීම නිෂ්ඵල දෙයකි. මන්ද ඔහු ඒතරම්ම හදවතට කිට්ටු චරිතයක් නිසාය.

මහපටබැඳිගේ ඇන්තනී ක්‍රිස්මන් නිව්ලෝජියස් පෙරේරා 1921 සැප්තැම්බර් 13 වැනිදා හලාවත මහවැව වී හේනේ සිංහල කාතෝලික පවුලක උපත ලැබීය. ඔහුගේ පියා වූ වතු පාලකයකු වූ මහපටබැඳිගේ ලෝගුස් පෙරේරාය. ඔහුගේ ගම ජාඇළ තුඩැල්ලය. අම්මාගේ නම වර්ණසූරියගේ තියඩෝරා තිසේරාය. ඇන්තනී පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල විල්ප්‍රඩ් නම් සොහොයුරෙක් ද, බ්‍රියට්‍රිස් නම් සොහොයුරියක් ද වූහ.

කුඩා කාලයේ සිටම කෙළිලොල් ජීවිතයක් ගත කළ ඇන්තනී මුලින්ම මවගේ ගම වූ මහවැව පාසලට ගිය අතර පසුව තාත්තාගේ ගම වූ තුඩැල්ලේ රෝමානු කතෝලික පාසලට වැඩිදුර ඉගෙනීමට ගියේය.

'අපේ මුලු පවුලම කුරුණෑගලට ගියා තාත්තා එහෙ වතු පාලකයා ලෙස පත්ව ගිය නිසා. කුරුණෑගලට හැතැප්ම 7 ක් පමණ දුරින් තිබුණ බුදුපිටිය රෝමානු කතෝලික පාසලට මම පයින්ම ගියා. මගේ අධ්‍යාපනය එතැනින් ඉවර වුණා. මම ඉස්කෝලෙන් අස් වුණේ නෑ. පැනල ගියා. මට හිතුණා නාට්‍යක රඟපාන්න. මගේ මල්ලී විල්ප්‍රඩ් දිගටම ඉගෙන ගත්තා. මිනිහා ඉගෙන ගන්න රුසියා. අපි දෙන්නටම කුඩා කළ සිටම සමාජවාදී වාමවාදී අදහස් තිබුණේ. පසුව විල්ප්‍රඩ් කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයෙක් වුණා. එයාගේ ගෝලයන් අතර විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙනිය, රොබින් ප්‍රනාන්දු කැපී පෙනෙන අය වුණා. විජයට කතා කරන්න පුරුදු කරලා රන් පදක්කමක් ගන්න පිටුපස හිටියේ විල්ප්‍රඩ් මල්ලි.' ඇන්තනී අතීතය මට හෙළි කළේ අසූව දශකයේ මුලය.

ඇන්තනී කියන ආකාරයට හතළිය දශකයේ මුල ලංකාවේ නාට්‍ය කොම්පැනි තුනක් තිබී ඇත. මීගමුවේ ජයමාන්නලාගේ 'මිනර්වා' කණ්ඩායම, සිරිල් සී. අබේරත්නගේ 'ජයනා' හා ඇන්තනීගේ ඥාතියකු වූ ලැඩී රණසිංහගේ ආකේඩියන්ස් නාට්‍ය කණ්ඩායම් මේවාය. දිනක් ඇන්තනී වේදිකා නළුවකුවීමට සිතා ලැඩී සොයා ගියේය.

'ලැඩී අයියා, මට නාට්‍යයක රඟපාන්න ආසයි'

'හොඳයි මම ඇන්තනීව කුලරත්න මහත්තයාට අඳුන්වල දෙන්නම්.'

ලැඩී විසින් ඇන්තනීව එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි පී. ද ඇස්. කුලරත්න මහතාට හඳුන්වා දෙන ලදී. කුලරත්න මහතා මරදානේ ගාමිණී සිනමා ශාලාව තිබූ ඉඩමේ නැෂනල් නම් රංග ශාලාවක් පිහිිටුවා නාට්‍ය සංගමයක් ආරම්භ කොට නාට්‍යය පුහුණු කරමින් සිට ඇත.

හොඳයි ලැඩී, අපි මෙයාව දැන් කරන නාට්‍යයේ පියන් කෙනකුට පුහුණු කර ගනිමු' යි කුලරත්න මහතා කියා ඇත.

'මේ විදිහට මම 'ඇවැස්ස බෑණ' කියන නා්‍යයේ මුලින්ම රඟපෑවා. මට මාසයටම රුපියල් 17 ශත 50 ක් ලැබුණා. ඒ රඟපෑම මට ඉක්මනින්ම එපා වුණා. දැන් මගේ අරමුණ එක්කෝ යුද්ධ හමුදාවට බැඳීම. නැතිනම් ජොකියකු වෙලා අශ්වයකු පිට යාම. මගේ තාත්තා ඒ කාලේ අශ්ව රේස්වලට ගියා මම දැකලා තිබුණා. මේ දෙකටම අයදුම් පත් දැම්මා. එකම දිනයේ දෙකටම එන්න කියලා කැඳවීම් ලැබුණා. 1942 දී මට බ්‍රිතාන්‍ය යුධ හමුදාවට බැඳීමට අවස්ථාව ලැබුණා.

මම ඒ කාලේ යකාටවත් බය නැති මිනිහෙක්. මේ දෙවන ලෝක යුද්ධ කාලේ. ගෙදර විලාප මැද්දේ මම නැවක නැගලා මැද පෙරදිගට ගියා. වසර පහයි මාස 11 ක් කාන්තාරවල කැලෑවල සතුරන්ට විරුද්ධව මිත්‍ර රටවල්වල හමුදාවන් සමඟ සටන් කළා. හරියට 'කව්බෝයි' චිත්‍රපටවල වගේ ඒ අත්දැකීම. ඒකත් ඇති වෙලා රජයේ සේවයට බැඳුණා.

කුරුණෑගල කච්චේරියේ සේවය කළ ඇන්තනී නහයට නාහන වයස නිසා නිලධාරීන්ගේ අසාධාරණ මත හා ගැටී එතැනින් ඉවත් වී කොළඹ බෲක්බොන්ඩ් සමාගමට නියෝජිතයකු ලෙස බැඳී එතැන වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා 1953 හර්තාලයට සම්බන්ධ විය. එකල ඔහු තද වාමාංශිකයෙකි. බෲක් බොන්ඩ් සමාගමේ ලොක්කා ඇන්තනීව මීගමුවේ කාර්යාලයට මාරු කළේ ඔහුගේ අවංක කැපවීම ගැන සළකාය.

ඒ කාලේ ජාඇල රත්නාවලී සිනමාහල අයිති එච්. එම්. එල්. තිසේරා මහතා ඇන්තනීගේ හොඳ මිත්‍රයෙකි. තිසේරාගේ හොඳම මිත්‍රයෙක් සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා. සිනමාස් සමාගමේ චිත්‍රපට රත්නාවලී සිනමාහලේ තිරගත විය. ඇන්තනීට අවශ්‍යව තිබුණේ චිත්‍රපට නළුවෙකුවීම බව දිනක් තිසේරා මහතාට කීය. තිසේරා මහතා ඇන්තනීව තම මෝටර් රථයේ නංවා ගුණරත්නම් මහතා හමුවීමට ගෙන ගියේය.

'නළුවෙකු වෙන්න හිතේ තිබුණට මම ලස්සන හිත් ඇද ගන්නා පෙනුමක් නොතිබූ නිසා මම ගුණරත්නම් මහත්තයා ඉදිරියේ පෙනී සිටියේ චකිතයකින්. මා දිහා ඒ මහත්තයා අමුතු විදිහට බැලුවා. ඔන්න ඔය අතරේ හියුගෝ ප්‍රනාන්දු කොහේද ඉඳලා ගුණරත්නම් මහතාගේ කාර්යාලයට ආවා. ඔහු සිනමාස් සමාගමේ නිත්‍ය දෙබස් හා කතා රචකයා. හියුගෝ දන්නවා මම වේදිකා නාට්‍යවල රඟපාන බව.

'ඇන්තනී මොකද මේ පැත්තේ' හියුගෝ මට පොඩි සහයෝගයක් දෙන ආකාරයට ඇසුවා.

'හියුගේ මෙයාව අඳුනනවද?'

'අපොයි ඔව් සර්. මෙයා දක්ෂ ස්ටේජ් ඇක්ටර් කෙනෙක්' හියුගෝ මා ගැන ලොකු රෙකමදාරුවක් කළා.

'මම අද චිත්‍රපට නළුවෙකු ලෙස යම් ජනප්‍රිය ද? යම් තැනක සිටී ද එයට මුල පිරුවේ හියුගෝ. ඔහු මම වගේම උග්‍ර වාමාංශිකයෙක්. අපේ රඟපෑම් මෙන්ම මේ පසුබිමත් කිරියි පැණියි වගේ පෑහුණා. මේ කාලයේ සිනමාස් සමාගමේ 'සූරයා' (1956) කියන චිත්‍රපටය නිපදවීමට සූදානමින් සිටියේ. ගුණරත්නම් මහතා මාව අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම්ට යොමු කළා. ඔහු කිව්වා මට හියුගෝ එක්ක මොනවා හරි දෙබස් ටිකක් කියලා රඟපාන්න කියලා. ඔන්න හියුගෝ මට දෙබසක් කියනවා. මමත් ඊට කැපෙන හිනා යන දෙබසක් කියනවා. සමහර දර්ශනවලට සුන්දරම් හා ගුණරත්නම් මහත්වරුන්ට හිනා. පසුව මට සූරයා චිත්‍රපටයේ නළු වරම් ලැබුණා' කී ඇන්තනී ඉන්දියාවට යාමට අවසර ලැබුණු හැටි මට විස්තර කළේය.

මට රුපියල් 100 ක අත්තිකාරම් මුදලක් ලැබුණා. එයින් මම සූට්කේස් එකකුයි, සබන්, ටූත් පේස්ට් ගත්තා. මගේ නෝනට රුපියල් 25 කුත් දුන්නා. මම සේලම්හී මොඩර්න් චිත්‍රාගාරයට ගිහින් සිංඤ්කුප්පු කියන මෙහෙකරුවා ලෙස ද, දොස්තර කෙනෙකු හා පොලිස් කොස්තාපල්වරයකු හැටියට වෙස් මාරු කරලා රඟපෑවා. මාස තුනක් මම ඉන්දියාවේ ඉඳලා අතිරේක චරිත කිහිපයක් රඟපෑවට රුපියල් හැට හයකුත් ශත ගණනක් ලැබුණේ. ඔන්න ඔහොමයි මම නළුකම පටන් ගත්තේ'

'සූරයා' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ රාවෝ තරුණය ඇන්තනී සී. පෙරේරාගේ රඟපෑම් ගැන පැහැදී සිටියේය.

'ඊළඟ චිත්‍රපටයට උඹ මෙහෙ ආවාම මම උඹව මිනිහෙක් කරනවා' ක්‍රිෂ්ණ රාවෝ ස්ථිරවම කියා සිටියේය. එහෙත් අවසනාවක හැටි. ඊළඟ වර ඇන්තනී සේලම් නගරයට යන විට ඔහු මිය ගොස් තිබුණි. 'දුප්පතාගේ දුක', 'සේපාලි', ' සූරසේන, 'වනමෝහිනී චිත්‍රපටවල රඟපෑ ඇන්තනී 'සන්දේශය' චිත්‍රපටයේ රණබෙරකාරයා විය. වීර විජය, සුභද්‍රා, චිත්‍රපටවල රඟපෑ ඔහු චරිතාංග නළුවෙකු වූයේ 'රන්මුතුදූව' චිත්‍රපටයේ මාමාගේ චරිතයෙනි. රන්මුතුදුවේ ඇන්තනී සමඟ ගාමිණී, ජෝ, ෂේන් මුහුදු වෙරළේ ගැයූ 'පිපී පිපී රේණු නටන වරෙන් මලක හැප්පිලා' (පසුබිම් ගායනය නාරද ඇතුළු පිරිස) ගීතමය දර්ශනය කිසිදා ප්‍රේක්ෂකයින්ට අමතක නොවීය. මේ චිත්‍රපටයේ එක් දර්ශනයක් සඳහා බෝට්ටුකින් ගිය ගමනකදී ඇන්තනීට දවල් තරු පෙණිනි.

කැමරාව සහ ශබ්ද පටිගත කිරීමේ උපකරණ රැගත් පුංචි බෝට්ටුවේ මයික් විල්සන්, තිස්ස ලියනසූරිය, ගාමිණී, ජෝ, ෂේන්, ඔස්ටින් අබේසේකර සමඟ ඇන්තනී ද සිටියහ. බෝට්ටුවේ සිටි පිරිසගේ හිස්වලටත් උඩින් මුහුදු රැළි දැඩිව නැඟුණි. බෝට්ටුවේ රයිඩරයක් මුහුදු දියට වැටිණ. ඒ අතර නැංගුරම ද දියට වැටින, නමුත් ළණුව දින මදිවීම හේතුවෙන් නැංගුරම මුහුදු පත්ලට නොවැදී බෝට්ටුව වියරුවෙන් මෙන් ඒ මේ අත පැද්දෙන්නට පටන් ගති. මේ හදිය අතරේ ඇන්තනි දෙවියන්ට යාඥා කරන හඬ ගාමිණී ජෝ හා ෂේන්ට ඇසුණි. මෙය ඇන්තනිට අවදානමකදී දෙවියන් සිහි වූ ප්‍රථම අවස්ථාව ලෙස අපට විස්තර කළේය.

1953 වසරේ ඇන්තනී මෝදරගේ මේරි වාස් සමඟ විවාහ විය. ඔහු මේනකා, දීප්තිකා, ගෞරිකා, චෞද්රි, ෂෙරීන් බල්ගේරියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ රෝහණ හා එමිල් නම් දූවරු පස් දෙනෙක් ද පුතුන් දෙදෙනකු ද සිටියහ. ඇන්තනී හැඳල විජය චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු ලෙස ද ඔහුට ලැබී ඇත්තේ මසකට රුපියල් 190 කි. එතන සිටි ඇඳුම් මහන ටේලර්ට රුපියල් 200 ක් ගෙවා ඇති බව ඇන්තනි සිනාසෙමින් කීය. ඔහු මේ මුදලට නිෂ්පාදන කළමනාකරු මෙන්ම ප්‍රවාහන සම්බන්ධිකරණයත්, ඇඳුම් භාර කටයුතුත් කරමින් සිටියදී සිනමාස් සමාගමේ කෘත්‍යාධිකාරී අධ්‍යක්ෂවරයකුව සිටි එම්. රාමේෂ්වරම් ඇන්තනිගේ වැටුප පරීක්ෂා කර ඇත.

'මයි ගෝඩ් උඹට ලැබෙන්නේ මේ පඩියද?' කියා ගණකාධිකාරීවරයා ගෙන්වා ඔහුට ඉංග්‍රීසියෙන් කතා කොට බැන ඒ මොහොතේදීම රු: 400 ක් ගෙවන ලෙස නියෝග කර ඇත.

'රාමේෂ්වරම් මහත්තයා රත්තරං මහත්තයෙක්. මනුස්සකම දන්න උත්තමයෙක්. එතුමා මාව පසු කාලයක චිත්‍රපට නළුවකු ලෙස අනිවාර්යයෙන්ම යන්න කියලා රෙකමදාරු කළා' ඇන්තනී කෘතවේදීව කීවේය.

චණ්ඩියා චිත්‍රපටයේ අණ්ඩයා ලෙස පාදඩ චරිතයක් රඟපෑ ඇන්තනී 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ ජගරියා ලෙස නගරයේ සූරවීරකම් කරන සූරයන්ගෙත් කෙනෙක් විය. 'සූර චෞරයා' චිත්‍රපටයේ හොර කල්ලියක සාමාජිකයෙකි. 'එදත් සූරයා අදත් සූරයා' හි ඔහු වරෙක අරාබිකාරයකු ලෙස සැරසී ඔටුවෙකු පිට නැඟී 'හා හා හැඩයි රූපෙ බෝනික්කි වාගේ සෝබනා' එම්. එස්. ප්‍රනාන්දු පසුබිමින් ගැයූ ගීතය ගයමින් රඟපෑවේය. 'අල්ලපු ගෙදර' චිත්‍රපටයේ ඔහු සන්ධ්‍යාට පෙම් කළ පෙම්වතෙකි. සීය නෝට්ටුව චිත්‍රපටයේ ඍජු කපටියෙකි. ඔහු රඟපෑ සෙසු චිත්‍රපට අතර අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, සසරක හැටි, යටගිය දවස, ඔබ දුටු දා, පිපෙන කුමුදු, සරුබිම, ඔක්කොම හරි, පුංචි බාබා, ආත්ම පූජා, හොඳම වේලාව චිත්‍රපට කැපී පෙනුණි. හොඳම වේලාව චිත්‍රපටයේ ඔහු චරිත පහක් රඟපෑවේය. බඩදරු අම්මා කෙනෙකු ලෙස රඟපෑ එක් චරිතයක් වඩාත් සිනහා රසය මතුකර ඇත.

සිංගප්පූරු චාලි චිත්‍රපටයේ දෙබස් රචනා කොට විග් එකක් පැළඳ ඔහු රඟපෑවේ අමුතු චරිතයකි. හොඳින් ඉන්න චිත්‍රපටයේ තිර නාටකය කතාව දෙබස් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළේය. 1977 ට පසු ඔහුට චිත්‍රපටවල චරිත ලැබීම අඩු විය. මේ කාලයේ පැඩ්ලි චේස් නවකතාවලට ප්‍රිය කළ ඇන්තනී විවේකය ගෙවා දැම්මේ ඔහුගේ පොත් කියවීමෙනි. 1986 ඔහු 'යම ලොව පෙරළිය' නම් වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරමින් යම රජු ලෙස රගපෑවේය. ඔහු සෑම විටම තම ගුරුවරයා ලෙස සැලකුවේ හියුගෝ මාස්ටර්වය. තමා කිසි දිනක හියුගෝව අමතක නොකරන බව ඇන්තනි පුන පුන කියා ඇත.

ඇන්තනි ජීවිතයේ අවසාන කාලය ගත කළේ කලකිරීමෙනි.

'මගේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථා නෑ. ජීවිතය සාර්ථක නෑ. 'ආව - ගියෝ' වැනි අවිනිශ්චිත ජීවිතයක් මම ගත කළේ. මම ප්‍රීතියට පත් වී නැහැ. අනුන්ව විනෝද කළාට මට ස්ථිර ආදායමක් නැහැ. තැන්පත් ධනයක් නැහැ. මම ආර්ථික පීඩාවලින් වෙළිලා. මට අද තියෙන්නේ එදිනෙදා ජීවත්වීම පමණයි' 1986 වසරේ පෙබරවාරි මාසේ ඇන්තනී මට කී කතාවයි මේ.

ඔහු කොතරම් අඟ හිඟකම් තිබුණත් අත පෑවේ නැත. සිනමා කර්මාන්තයේ දියුණුව ඉත සිතින් ප්‍රාර්ථනා කළ ඔහු චිත්‍රපට ඒකාධිකාරය වෙනුවෙන් හා නළු නිළියන්ගේ අයිතිවාසිකම් ගැන නිරතුරුව සටන් කළේය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි කිරීමට ඔහු පුරෝගාමී පිරිස අතර සෙන්පතියකු විය.

තම වැඩිමල් පුතු හදිසි අනතුරකින් මිය යාම ඔහුට දැරිය නොහැකි දුකක් විය. 'මට මුළු ලෝකයම එපා වුණා. මේක ද ජීවිතය කියලා හිතුණා. මීට එහා මට මුකුත් කියන්න බෑ' ඇන්තනී කුඩා දරුවෙකු මෙන් හැඬුවේය.

1988 මැයි10 වෙනිදා ඇන්තනි ජීවිතයෙන් සමු ගත්තේය. ජාඇල තුඩැල්ලේ සුසාන භූමියේ ඔහු මිහිදන් වන අවස්ථාවේ මම ද සහභාගි වූයෙමි. ඒ අවස්ථාවේ ඔහුගේ ගුරුවරයා වූ හියුගෝ මාස්ටර් කතාවක් කරමින් මෙසේ කීවේය.

"ඇන්තනී මාරයාගෙන් ටැලිග්‍රෑම් එක ආවේ මට. ඒක බැරිවීමකින් උඹට ආවේ. මම ඉක්මනට උඹ ඉන්න තැනට එනවා. එතෙක් බලාපොරොත්තුවෙන් හිටපන්".

ඩී. රන්ජිත් කුමාර

Awards

National Awards

1 For Best Performances Sasaraka Hati - 1964 2nd Sarasaviya Awards - 1965 - 1965

As a Cast

#Film NoYearFilm RoleDirector
1 361956 Duppathage Duka දුප්පතාගේ දුක Actor Mithradas, T.R. Sundaram
2 431957 Suraya සූරයා Actor Krishna Rao, T.R. Sundaram
3 471957 Surasena සූරසේන Actor S.M. Naidu
4 551958 Sepali සේපාලි Actor W.M.S. Tampoe
5 561958 Vanamohini වනමෝහිනි Actor T.R. Sundaram, A.B. Raj
6 661960 Sandeshaya සංදේශය Actor Dr. Lester James Peries
7 671960 Subhadra සුභද්‍රා Actor Cyril P. Abeyratne
8 731960 Weera Wijaya වීර විජය Actor K.S. Setumathawan
9 831962 Ranmuthu Duwa රන්මුතු දූව Actor Mike Wilson
10 851963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Actor M. Masthan
11 971964 Dheevarayo ධීවරයෝ Actor M. Masthan
12 1041964 Sasaraka Hati සසරක හැටි Actor S. Ramanadhan
13 1101965 Chandiya චන්ඩියා Actor Titus Totawatte
14 1151965 Yatagiya Dawasa යටගිය දවස Actor W.M.S. Mahendran
15 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Actor M. Masthan
16 1361966 Sigiri Kashyapa සීගිරි කාශ්‍යප Actor Preamnath Morayas, Bandu Gunasekara
17 1421966 Oba Dutu Da ඔබ දුටු දා Actor S. Sivananda
18 1531967 Pipena Kumudu පිපෙන කුමුදු Actor Ruby De Mel
19 1581967 Sarubima සරුබිම Actor S.D.S. Somarathna, L.S. Ramachandran
20 1611967 Ranrasa රන්රස Actor P. Ratnam
21 1621967 Ipadune Ai ඉපදුනේ ඇයි Actor S. Ramanadhan
22 1651967 Okkoma Hari ඔක්කොම හරි Actor Wijepala Hettiarachchi, S. Ramanadhan
23 1671967 Sura Chauraya සූර චව්රයා Actor M. Masthan
24 1701968 Punchi Baba පුංචි බබා Actor Thissa Liyanasuriya
25 1811968 Ruhunu Kumari රුහුණු කුමාරි Actor W.M.S. Tampoe
26 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actor M. Masthan
27 1901969 Kohomada Wede කොහොමද වැඩේ Actor S. Ramanadhan
28 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Actor Lenin Morais
29 2031969 Pancha පැන්චා Actor Vincent David
30 2101970 Den Mathakada දැන් මතකද Actor Neil Rupasinghe
31 2121970 Athma Puja ආත්ම පූජා Actor M. Masthan, Gamini Fonseka
32 2131970 Thevatha තෙවන Actor Titus Totawatte
33 2221970 Suli Sulan සුළි සුලන් Actor Anton Fernando
34 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Actor Neil Rupasinghe
35 2311971 Seeye Nottuwa සීයේ නෝට්ටුව Actor K.A.W. Perera
36 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actor Lenin Morais
37 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actor Dommie Jayawardena
38 2441972 Ada Mehemai අද මෙහෙමයි Actor K.wenkat
39 2531972 Adare Hithenawa Dakkama ආදරේ හිතෙනවා දැක්කම Actor Neil Rupasinghe
40 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actor K.A.W. Perera
41 2621973 Gopalu Handa ගොපලු හඬ Actor K.wenkat
42 2631973 Hondama Welava හොඳම වෙලාව Actor Lenin Morais
43 2681973 Hondata Hondai හොඳට හොඳයි Actor J. Selvarathnam
44 2771974 Sihasuna සිහසුන Actor Titus Totawatte
45 2821977 Chandi Putha චන්ඩි පුතා Actor -
46 2891974 Mehema Harida මෙහෙම හරිද Actor Aabdeen Fausi
47 2901974 Jeewana Ganga ජීවන ගංගා Actor Dayananda Rodrigo
48 2921975 Suraya Surayamai සූරයා සූරයාමයි Actor Lenin Morais
49 3001975 Awa Soya Adare ආවා සොයා ආදරේ Actor Lenin Morais
50 3061975 Lassana Kella ලස්සන කෙල්ල Actor Neil Rupasinghe
51 3081975 Gijulihiniyo ගිජුලිහිණියෝ Actor Roland Amarasinghe
52 3111975 Jeewana Geethaya ජීවන ගීතය Actor I.P. Sena
53 3141975 Lassana Dawasak ලස්සන දවසක් Actor Nimal Silva
54 3231976 Kauda Raja කවුද රජා Actor J. Rasarathnam, J. Selvarathnam
55 3281976 Harima Badu Thunak හරිම බඩු තුනක් Actor Ananda Hewage
56 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actor Neil Rupasinghe
57 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actor W.M.S. Tampoe
58 3521977 Hariyanakota Ohoma Thamai හරියනකොට ඔහොම තමයි Actor Gamini Hewawitharana
59 3561977 Deviyani Oba Kohida දෙවියනි ඔබ කොහිද Actor Aruna Shanthi
60 3641977 Ege Adara Kathawa ඇගේ ආදර කතාව Actor Yasapalitha Nanayakkara
61 3681977 Yakadaya යකඩයා Actor Neil Rupasinghe
62 3791978 Hitha Mithura හිත මිතුරා Actor Lenin Morais
63 4171979 Subhani සුභානි Actor S.V. Chandran
64 4231979 Visihathara Peya විසිහතර පැය Actor Densil P.Abewardana
65 4321980 Anuhasa අනුහස Actor H.E. Jayasinghe
66 4531980 Hondin Inna හොඳින් ඉන්න Actor Bandu Gunasekara
67 4571981 Kolamkarayo කෝලම්කාරයෝ Actor Sunil Ariyaratne, Tissa Nagodavithana
68 4961982 Re Manamali රෑ මනමාලි Actor Gamini Fonseka
69 5171982 Thakkita Tharikita තක්කිට තරිකිට Actor Anthony C. Perera
70 5371983 Yali Pipunu Malak යලි පුපුනු මලක් Actor Anton Gregory
71 5731984 Kakille Rajjuruwo කැකිල්ලේ රජ්ජුරුවෝ Actor Tissa Nagodavithana
72 5771984 Bambara Patikki බඹර පැටික්කී Actor Somapala Leelananda
73 6391987 Hitha Honda Chandiya හිත හොඳ චන්ඩියා Actor Ranjith Siriwardhana
74 6611988 Newa Gilunath Bandchun නව ගිලුනත් බෑන් චූන් Actor Hemasiri Sellapperuma
75 6751989 Varadata Daduvam වරදට දඬුවම් Actor Dinesh Priyasad
76 7021991 Sihina Ahase Vasanthe සිහින අහසේ වසන්තේ Actor Yasapalitha Nanayakkara
77 7301992 Sakkara Sooththara සක්කර සූත්තර Actor Hemasiri Sellapperuma

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Dialogs Dommie Jayawardena

Director

#Film NoYearFilm RoleDirector
1 5171982 Thakkita Tharikita තක්කිට තරිකිට Director Anthony C. Perera

Script

#Film NoYearFilm RoleDirector
1 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Script Dommie Jayawardena

Story

#Film NoYearFilm RoleDirector
1 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Story Dommie Jayawardena