Awa Soya Adare

Awa Soya Adare

ආවා සොයා ආදරේ

Black & White 35 mm

Film No: 300  ·  Released: 12 Apr 1975

60.41% · 2,664 votes
Rate this film

Summary

NameAwa Soya Adare / ආවා සොයා ආදරේ
Film No300
Released Date12 Apr 1975
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Gamini Fonseka Main Actress: Malani Fonseka Director: Lenin Morais Producer: Sarath Rupasinghe

1975 තිරයට පැමිණි සරත් රූපසිංහ නිෂ්පාදනය කළ" ආවා සොයා ආදරේ" චිත්‍රපටය හඳුන්වා දිය හැක්කේ සුරයන්ගේත් සුරයා,එදත් සුරයා අදත් සුරයා,අභිරහස ,උන්නත් දාහයි මලත් දාහයි, හිතුවොත් හිතුවාමයි වැනි ක්‍රියාදාම චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ලෙනින් මොරායස් එම පිළිවෙතින් බැහැරව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් ලෙසය. කලින් සඳහන් කළ පරිදි ලෙනින් තම සුපුරුදු ක්‍රියාදාම ස්වරුපයෙන් බැහැරව සංගීතමය ආදර කතාවක් ලෙස මෙය තිරයට ගෙන ආ අතර මෙම චිත්‍රපටය ට පෙර ඔහු තිරයට ගෙනා "එදත් සුරයා අදත් සුරයා, හොඳයි නරකයි, හොඳම වෙලාව වැනි චිත්‍රපටවල මෙන් ම මෙහිද ඔහු ප්‍රධාන චරිත සඳහා තෝරා ගත්තේ ගාමිණි හා මාලිනි ය. පියදාස විජේකෝන්,රීටා රත්නායක,එච්.ඩී.කුලතුංග,ඇන්තනි සි.පෙරේරා,බන්දු මුණසිංහ,ලලිතාඅල්මේදා, ලිලියන් එදිරිසිංහ, සෙසු චරිත නිරුපනය කළහ. එමෙන්ම ටෝනි රණසිංහ ආගන්තුක චරිතයක්ද රඟපෑවේය.

සරල ආදර කතාවක් රැගත් "ආවා සොයා ආදරේ"චිත්‍රපටය නාගරික කරණයෙන් මිදී සම්පුර්ණයෙන්ම මනරම් ගම්මානයක රූ ගත කර ඇති බවක් පෙනී යයි. බොහෝ චිත්‍රපටවල සටන් ජවනිකා වලට පමණක් කොටුවී සිටි පියදාස විජේකෝන් හා බන්දු මුණසිංහ යන දෙදෙනාට ඉන් ඔබ්බට විහිදුනු චරිත දෙකක් මෙහිදී ලෙනින් මොරායස් ගෙන් ලැබී තිබේ. මිට පෙර 1974 තිර ගතවූ ලෙනින්ගේම "ඔන්න බබෝ බිල්ලෝ එනවා" චිත්‍රපටයේ තම සුපුරුදු සටන් වලින් මිදී "බුබම්බා' නැමති අද්භූත චරිතයට පණ දුන් පියදාස විජේකෝන් මෙහිදී ගාමිනිගේ පියා ලෙස ධනවත් උද්දච්ච හාමු කෙනෙකු ලෙස චරිත නිරුපනයේ යෙදෙන අතර බන්දු මුණසිංහ දුෂ්ට චරිතයකට පණ පොවන්නේ විල්මා ලෙසය. අපේ සිනමාවේ සහජ දක්ෂයෙකුවූ දුෂ්ට චරිත සඳහා වඩාත් කැපී පෙනුණු එච්.ඩි. කුලතුංග මෙහිදී දුෂ්ටයාගෙන් මිදී රඟපාන්නේ කළු බණ්ඩා ගේ නැතහොත් මාලිනි නැත්නම් චිත්‍රපටයේ නිලන්තිගේ පියාගේ චරිතයයි. සුපුරුදු ලෙස ලෙනින් මොරායස් ගේ සුරයන්ගේත් සුරයා, එදත් සුරයා අදත් සුරයා, සුරයා සුරයාමයි යන චිත්‍රපටවල මෙන්ම මෙහිදීත් ගාමිණී ගේ චරිතය ගාමිණි ලෙසින්ම වෙයි. ඇන්තනි සි .පෙරේරා කලින් සඳහන් කළ චිත්‍රපට තුනේ මෙන්ම මෙහිදීත් ගාමිනිගේ හිතවතාය. මෙහි ඔහුගේ නම ජොන්සන් වෙයි. ඔහුගේ පෙම්වතිය සුමනා ලෙස ලලිතා අල්මේදා රඟපාන අතර ඇගේ මව ලෙස ලිලියන් එදිරිසිංහත් පෙනි සිටියි. රීටා රත්නායක හට අයත්වී ඇත්තේ ගාමිනිගේ මවගේ චරිතය නිරුපනය කරමින් ඔහු හා ඇගේ සැමියා වන උද්ධච්ච හාමු අතරට මැදිවන චරිතයකි.

වචනයේ පරිසමාප්ත අයුරෙන්ම සංගීතමය ආදර කතාවක් තිරයට ගෙන ඒමේ අධ්‍යක්ෂක ලෙනින් මොරයස්ගේ උත්සාහය සාර්ථකත්වයට පත්වීමට සරත් දසනායකයන්ගේ සංගීතය බෙහෙවින්ම ඉවහල්වී ඇති බව කිව හැක. මිට පෙර ඔහුගේ චිත්‍රපටවල සංගීතය මෙහෙයවූ පි.එල්.ඒ.සෝමපාල,එම.කේ.රොක්සාමි යන සංගීත අධ්‍යක්ෂකවරුන් වෙනුවට මෙවර ලෙනින් ඒ වනවිට 1973 මිල්ටන් ජයවර්ධනගේ "සදහටම ඔබ මගේ" හා 1974 සෙන සමරසිංහගේ "කස්තුරි සුවඳ" යන චිත්‍රපටවලින් මධුර ස්වතන්ත්‍ර ගීත සමුදායක් සිංහල සිනමාවට දායාද කර සිටි දසනායකයන් "ආවා සොයා ආදරේ"හි සංගීතය සඳහා තෝරාගෙන තිබිණි. තම සිනමා සංගීතයේ තමනට සුපුරුදු අයුරින් ඔහු මධුර ස්වතන්ත්‍ර ගීත 09 ක් මේ සඳහා එක්කළ අතර මෙම ගීත ජෝතිපාල,ඇන්ජලින්,එම.එස්.,ලතා යන ගායක ගායිකාවන් විසින් ගායනා කරන්නට යෙදිණි. මේ අතරින් ලතා වල්පොල ගයන "රොන් සොයා " හා ජෝති,ඇන්ජලින් ගයන "රන් මසුරන් පිරි" යන ගීත අදටත් ජනප්‍රියය. චිත්‍රපටයේ ගීත රචනා කළේ කරුනාරත්න අබේසේකර හා ධර්මසිරි ගමගේය. එම ගීතවලට අමතරව "ජිවන මාවත,සොයා සොයා නම් දැකුමට නැත්තේ,යව්වන වසන්තේ උදාවේ ,කවුදෝ කවුදෝ සෙව්වේ,රෝස මල වගේ ,ආදරයේ මාලිගයේ,මා සැඩ සුළඟට විසිරී පැටලිලා "සෙසු ගීත අතර වේ. නිලන්ති (මාලිනි)නම් දුගී තරුණියක හා පළාතේ ධනපතියෙකු වන හාමු(පියදාස ව්ජේකෝන්) ගේ පුතා ගාමණි අතර ඇති වන ප්‍රේම සම්බන්ධය ට හාමු විරුද්ධ අතර විල්මා ද නිලන්තිගේ ආදරය පතා එය නොලැබුණු තැන හාමුට එකතුවී ගාමිණීට හා නිලන්තිට හිරිහැර කරයි. අවසානයේ අවංක ආදරය බාධක බිඳ ජය ගන්නා අයුරු මෙහි කතාවට පදනම්ව ඇති අතර සුපුරුදු ලෙස ඇන්ටන් ග්‍රෙගරි සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත.

ඇන්තනි සි පෙරේරා එක අවස්තාවක ජොන්සන් පවුල ලෙස මව,පියා,සියා,මුත්තා හා ජොන්සන් වශයෙන් එක රුප රාමුවක චරිත පහක් වෙනුවෙන් පෙනී සිටීම මෙහි ස්විශේෂී අවස්ථාවකි. එමෙන්ම මෙහි අනුවේදනීය ජවනිකාවක් වන්නේ හාමු මැරයින් යොදා නිලන්තිව ගසක බැඳ කස පහර දෙන අවස්ථාවයි, සුපුරුදු ලෙස නිල් ට,සරත් රූපසිංහ ට හා ලෙනින්ට ආවේනික ඇන්තනි සි.පෙරේරා වෙනුවෙන් එම.එස්.ප්‍රනාන්දු ගායනා කරන ගීතයක් මෙහිද ඇතුලත්ය. ඒ ඇන්තනි හා ලලිතා අල්මේදා පෙනී සිටින එම.එස්.හා ඇන්ජලින් ගයන "රෝස මල වගේ චුටික්කි" යන ගීතයයි. චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය බන්දු මුණසිංහ ගෙන් වන අතර නැටුම් අධ්‍යක්ෂණය රොනල්ඩ් ප්‍රනාන්දු ය, ධර්මසිරි ගමගේ දෙබස් ලියුවේය,කතාව,තිරනාටකය,කැමරාව හා අධ්‍යක්ෂණය වෙනින් කවුරුත් නොවෙයි ලෙනින් මොරායස් ය.

අනිල් වීරසිංහ

0716358123

Cast

Crew