Surasena

Surasena

සූරසේන

Black & White 35mm

Film No: 47  ·  Released: 13 Dec 1957

61.4% · 2,692 votes
Rate this film
Special Message

මලෙයි කිල්ලන් නැමැති දෙමළ චිත්‍රපටය ඇසුරින්

Summary

NameSurasena / සූරසේන
Film No47
Released Date13 Dec 1957
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
StudioStudio Pakshi Raja
Main Actor: Herbi Senewirathna Main Actress: Kanthi Gunathunga Director: S.M. Naidu Producer: S.M. Naidu

Description

ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස්

තැටි අංක ඩබ්ලිව් එන් 1007 සි ට ඩබ්ලිව් එන් 1010 දක්වා

ගීත පිටපත් කිරීම – පක්ෂිරාජා චිත්‍රාගාරය - කොයිම්බතූර්

සූරසේන ගැන ඔබ අසා තිබේද? සිනමාවට ආදරේ කරන ජ්‍යෙෂ්ඨ පුරවැසි රසිකයන්ට ඒ නම හොඳට හුරුය. මීට දසක තුනකට පමණ පෙර සිටි පරම්පරාවට නම් සූරසේන කී විට මතකයට එන්නේ රූපවාහිනියෙන් විකාශය වූ “පළිඟු මැණිකේ” ටෙලිනාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ සූරසේනගේ චරිතයයි. ඔහු නිතර කියන “පට් පට් ගාල” කියන දෙබසද මතක ඇති. අප අද කතා කරන්නේ මීට වසර 61කට පෙර 1957 දෙසැම්බර් 13 වැනිදා ලංකාවේ ප්‍රදර්ශනය වූ ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ 49 වැනි චිත්‍රපටය වූ “සූරසේන” ගැනය.

දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හි පක්‍ෂි රාජ චිත්‍රාගාරයේදී එහි අධිපති එස්.එම්.එස්. නායිදු (1910-1976) විසින් භාෂා 6කින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක සිංහල චිත්‍රපටය වූයේ “සූරසේන”ය. එයින් මුල්ම චිත්‍රපටය වූයේ 1954 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණයකොට නිෂ්පාදනය කළ මලෛකල්ලන් (Malaikkallan) දෙමළ චිත්‍රපටයයි. දෙමළ සාහිත්‍යයේ භාෂා සාහිත්‍ය විශාරදයකු වූ නමක්කල් වී. රාමලිංගම් පිල්ලෛගේ නව කතාවක් ඇසුරෙන් නිපද වූ මේ චිත්‍රපටයේ අර්ථය කන්දේ හොරා ය. මේ නවකතාව රොබින් හුඩ් කතාව ඇසුරෙන් ලියූ එකක් බව පැවසේ. එම්.ජී. රාමචන්ද්‍රන්, භානුමතී, ශ්‍රී රාම් ප්‍රධාන චරිත රඟ පෑ මේ චිත්‍රපටය ජනාධිපති රිදී පදක්කමක් දිනාගත් ප්‍රථම දෙමළ චිත්‍රපටය වීමද විශේෂයකි.

1954 වසරේ එම කතාවම ඇසුරෙන් AZAAD (අාසද්) (එහි සිංහල අරුත නිදහස බව සිරි කහවලයෝ පවසති) නම් හින්දි චිත්‍රපටය ද නායිදු විසින් අධ්‍යක්ෂණය කර ඇත. එහි ප්‍රධාන චරිත රඟපා ඇත්තේ සුපිරි නළු දිලිප් කුමාර්, මීනා කුමාරි හා ප්‍රාන්ය. 1956 එම කතාව ඇසුරෙන් සිංහල චිත්‍රපටයක් සූරසේන නමින් නායිදු අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළේය. ඊට අමතරව නායිදු විසින්ම එම කතාවම තෙළිඟු කණ්ණඩ හා මලයාලි භාෂාවලින්ද චිත්‍රපට නිපදවීම තවත් විශේෂයකි. භාෂා හයකින් නිපදවන ලද එකම දෙමළ චිත්‍රපටය ලෙස මෙය ද්‍රවිඩ සිනමා ඉතිහාසයේ වාර්තාවක් තබා ඇති බව සිනමා පර් යේෂක ගාමිණී ගුණතිලකයෝ සඳහන් කරති.

එස්.එම්.එස්. නායිදු නිෂ්පාදනයකොට අධ්‍යක්ෂණය කළ සූරසේන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන සිටියේ රුක්මණී දේවි බව ඇය විසින් ලියන ලද මගේ ජීවිත විත්ති කෘතියේ සඳහන් වෙයි. ඉන්දියාවේ පක්ෂිරාජා සමාගම නිපදවන්නට යන සූරසේන චිත්‍රපටියේ ප්‍රධාන කොටස රඟපෑමට ද තමා ගිවිසුමට අත්සන් කර අවසාන බව එම කෘතියේ 46 වැනි පිටුවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් රුක්මණී දේවි මේ චිත්‍රපටයේ රඟපා නැත. එහෙත් ඇගේ සැමියා එඩී ජයමාන්න අංක 441 දරණ පොලිස් නිලධාරියකු ලෙස මේ චිත්‍රපටයේ රඟපෑමට තෝරාගෙන ඇත. සූරසේන චිත්‍රපටයේ රූපාගේ චරිතයට තෝරා ගෙන තිබුණේ කාන්ති ගුණතුංගය. ප්‍රධාන චරිතය වූ සූරසේන ලෙස හර්බි සෙනෙවිරත්න ද දුෂ්ඨ චරිතය වූ රොබට් හාමු ලෙස ඩොමී ජයවර්ධන ද රඟපෑහ. මේ චිත්‍රපටය මුලින් හැඳින්වූයේ කන්දේ හොරා නමින්ද බව සිනමා සඟරාවල පළවී තිබුණා මතකය.

ඒ.ඩී. රන්ජිත් කුමාර

රූපා (කාන්ති ගුණතුංග), චන්ද්‍රදාස (පීටර් පීරිස්) නම් ඥාතියකු විසින් බාල කාලයේ සිට ඇති දැඩි කළ යුවතියකි. චන්ද්‍රදාසගේ ඥාතියකු තවත් ඥාතියකු වූ රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ඔහුගේ සහචරයකු වූ රොමියෙල් (පියදාස ගුණසේකර) නැමැත්තා ලවා රූපාව බලහත්කාරයෙන් ගෙනියයි. එකල භයානක සො​ෙරක් වූ සූරසේන (හර්බි සෙනෙවිරත්න) රොමියෙල් ඇතුළු මැරවරයන්ගෙන් රූපාව බේරාගෙන තමාගේ කඳුකරයේ පිහිටි නිවසට කැඳවාගෙන යයි.

සූරසේන භයානක සොර දෙටුවකු වශයෙන් රටේ ප්‍රසිද්ධව සිටියත්, රූපා ඔහු ඇසුරු කිරීමෙන් පසු අවබෝධ වූයේ ඔහු අවංක ඍජු යහපත් පුද්ගලයකු බවය.

රොබට් හාමුත්, ඔහුගේ සහචරයන් වූ රොමියෙල් හා ගජනායක (වෝල්ටර් ප්‍රනාන්දු) යන තිදෙනා රූපා සෙවීමේ අසාර්ථක උත්සාහයක යෙදෙති. සූරසේන ගේ වීරකම් නිසා රොබට් හාමුගේ හැම උපක්‍රමයක්ම වැළකෙයි. මේ හැම ගැටුමකටම මූලික සූරසේන ද යන්න පොලිසියට ද ප්‍රහේලිකාවකි.

කඳුකරයේ පදිංචි සයිබු නානා සූරසේනගේ හිතවතෙකි. ඔහු සූරසේනගේ කීම පරිදි රූපාව පරෙස්සමෙන් ඇගේ නිවසටම ඇරලවයි. මේ අතර සූරසේන මංකොල්ලකරුවකු නොව, අවංක එඩිතර, චරිතවත් පුද්ගලයකු බව සයිබුනානා විසින් පොලිස් ඉන්ස්පෙක්ටර්ට (මාක් සමරනායක) හා සාජන් 441 ට (එඩී ජයමාන්න) තොරතුරු ලබා දෙයි.

රොබට් හාමු විසින් රූපා තමා වෙත ගෙන්වා ගැනීම ඔහුගේ ඊළඟ උත්සාහය වූයේය. ඔහු තම පෙම්වතිය වූ ශ්‍රියා (රෝහිණි ජයකොඩි) ගේ සහාය ඇතිව රූපාව තම නිවසට ගෙන්වා ගෙන බලහත්කාරකම් කිරීමට සූදානම් වෙයි. ඊට විරුද්ධ වෙන ශ්‍රියාගේ ගෙළ මිරිකා මැරීමට තරම් රොබට් හාමු සැහැසි වෙයි. ඒ අවස්ථාවේ එතැනට කඩා වදින සූරසේන රොබට් හාමු සමග සටන් කොට ඔහු පරදවා රූපා බේරා ගනී.

මේ අතර තමා විවාහ කර නොගතහොත් රූපාගේ ඥාතියා වූ චන්ද්‍රදාස ගේ ජීවිතයට හානි කරන බවට රොබට් හාමු රූපාට තර්ජනය කරයි. පොලිසිය සයිබු නානාගේ ආධාර ඇතිව චන්ද්‍රදාස සඟවා තිබූ ස්ථානය සොයා ගනී. එහිදී රොබට් හාමු හා ඔහුගේ සහචරයෝ අතර ඇතිවූ මාරක සටනකදී සූරසේනගේ ආධාරය පොලිසියට ලැබෙයි. පොලීසියට චන්ද්‍රදාසගේ ජීවිතය ගලවා ගත හැකි වෙයි.

චන්ද්‍රදාස සූරසේනට කළගුණ සැලකීමට මාර්ග සෙවීය. සූරසේනට විරුද්ධව පොලිසිය විසින් ගොනු කර තිබූ සියළු චෝදනාවන්ගෙන් මුදාගෙන ඔහු නිදහස් පුද්ගලයකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීමට චන්ද්‍රදාස කටයුතු යොදයි. පොලීසිය ඔහු නිදහස් මිනිසෙකු ලෙස නිවේදනයක් නිකුත් කළේය.

මේ අතර සයිබුනානා විසින් චන්ද්‍රදාසට තමා සඟවා සිටි අභිරහසක් හෙළිකරයි. එනම් සූරසේන අනිකෙකු නොව බාල කාලයේ නැතිව සිටි චන්ද්‍රදාසගේම පුතා බව හෙළි කිරීමෙන් සියල්ලෝම පුදුමයට පත්වෙති. සියල්ලෝම කුතුහලයෙන් සූරසේන එනතුරු බලා සිටිති. මෙහිදී ඔවුන්ට දකින්ට ලැබෙන්නේ සූරසේනත්, සයිබුනානාත් වෙස්වළාගත් එකම පුද්ගලයකු බව පසු දිනම හෙළි වෙයි. සියල්ලෝම විශ්මයට පත් වෙති. අවසානයේ සියල්ලෝ සතුටට පත් කරමින් සූරසේන හා රූපා විවාහ වෙති.

ඒ.ඩී. රන්ජිත් කුමාර

Cast

Crew

Other Crew