Kanthi Gunathunga

Kanthi Gunathunga

කාන්ති ගුණතුංග

Born 23 March Died 07 July 2023

23 March - 07 July 2023

62.65% · 1,846 votes
Rate this artist

Summary

NameKanthi Gunathunga
Sinhala Nameකාන්ති ගුණතුංග
Born23 March
Died07 July 2023

Biography

පුරහල තුළ පැවැති තරගය අවසානයේදී සවස 6.30ට පංච කල්‍යාණි මහා සංදර්ශනය ආරම්භකොට ඇත. උඩරට හේවිසි කණ්ඩායමක් පෙරමුණ ගත් මේ පෙරහැරේ උඩ පහත දෙරට නැටුම් කණ්ඩායම් පිරිවරා ගෙන ඓතිහාසික හෙළ කතුන් මෙන් සැරසුණු සුප්‍රකට නිළියන් පස් දෙනෙක් ද වනිතා රූ සපුව එක් තැන් කළාක් මෙන් එකට රැස්ව හුන් රූමතියන් 45 දෙනා ද පසඟතුරු ගොස නංවමින් ඇත්, අස්, රිය, පාබල චතුරංගනී සේනා කැටුව ‘ටරට් පාර’ ඔස්සේ ගාලු පාරට පිවිස අරලියගහ වලව්ව කරා ගමන් කර ඇත. කුවේණිය මෙන් "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටයේ රඟපෑ රෝහිණී ජයකොඩි ද, විහාර මහාදේවී ලෙස සැදුණු "ඩිංගිරි මැණිකා" චිත්‍රපටයේ රඟපෑ සීතා නානායක්කාර ද, සෝමාදේවි මෙන් සැදුණු "දුප්පතාගේ දුක" චිත්‍රපටයේ රඟපෑ උදුලා දාබරේ ද, ලීලාවතී රැජින මෙන් සැදුණ "සුරතලී" චිත්‍රපටයේ රඟපෑ සිරිමතී රසාදරී ද, ඇහැලේපොල කුමාරිහාමි මෙන් සැදුණු "දුප්පතාගේ දුක" චිත්‍රපටයේ රඟපෑ ගර්ලි ගුණවර්ධන යන මෙනෙවියන් විසිතුරු ලෙස තැනුණු රියවල නැගී ගමන් ගත් අයුරු ලංකාදීප වාර්තාකරු වර්ණනා කර තිබුණි.

පෙරහර අරලියගහ වලව්ව අසලට පැමිණි විට 1956 පංච කල්‍යාණි සහ ඇගේ පරිවාර පංච කල්‍යාණියන් සිව්දෙනා තම රථයෙන් බැස අරලියගහ වලව්වට ගොස් අගමැති බිරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් තෑගි ලැබූහ. අනතුරුව ගාලු මුවදොර ඔස්සේ රජගෙදර කරා පෙරහර පැමිණි විට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක පංච කල්‍යාණියන් පිළිගෙන ඇත. රජගෙදර සිට ලංකාදීප කාර්යාලයට පැමිණි පසු මේ සංදර්ශනය හමාර වී ඇති අතර එහිදී "ලංකාදීප" කර්තෘ ඩී.බී. ධනපාල මහතා අතින් කාන්ති ගුණතුංග මෙනවිය පංච කල්‍යාණි තිළිණය ලබා ගත්තාය.

මීට වසර 61 පෙර පැවැත්වූ ලංකාදීප ජයන්ති පංච කල්‍යාණි තරගයෙන් ජයග්‍රහණය ලැබූ කාන්ති ගුණතුංග පසුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට නිළියක් වූවාය. ඇය දැන් ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින්නීය. 1937 මාර්තු 23 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ උපත ලැබූ කාන්ති ගුණතුංග අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු දෙහිවල ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයට ඇතුළත් වූවාය.

පංච කල්‍යාණි තරගයෙන් අභිෂේක ලැබූ ඇය 1956 ඔක්තෝබර් 25 වෙනිදා "කලා" සඟරාවට කළ ප්‍රකාශයක තමා කුඩා කල සිටම චිත්‍රපට නැරඹීමට තිබූ ඇල්ම මෙසේ ප්‍රකාශකොට තිබුණාය.

"සහෝදරියන් හතර දෙනෙකුගෙන් හා සහෝදරයකුගෙන් යුත් අපේ පවුලේ සැමටම හොලිවුඞ් නළු නිළියන්ගේ නම් යොදා කතා කිරීමේ සිරිතක් අම්මාටත්, තාත්තාටත් තිබුණා. අප ද ඒ ඒ හොලිවුඞ් තාරකාවන්ගේ නාමවලින් එකිනෙකාට ගෙදරදී පමණක් කතා කළා. මේක අපිට විනෝදයක් වුණා. මා (රුක්මණි දේවි මෙන්) සිනමා තාරකාවක් වීමට සිහින මැව්වත් මෙතරම් ඉක්මනින් එය ඉටුවේ යයි සිතුවේ නෑ."

දිනක් කාන්තිගේ පවුලේ හැමදෙනාම බේරුවල නෑදෑ මඟුල් ගෙදරක ගියහ. එවකට ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ වැඩිමහල් අක්කා වූ මාලිනී (ඇය ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියව සිට දැන් විශ්‍රාම ලබා ඇත) අක්කා ද කාන්ති මෙන්ම රූමත්ය.

"එදා මඟුල් ගෙදරට පැමිණ සිටි මීට කලින් කවදාවත් නුදුටු එක්තරා මැදිවියේ කාන්තාවක් මගේ අක්කා ළඟට ඇවිත් මොනවාදෝ දොඩවන්නට පටන් ගත්තා. ඒ එක්කම අක්කාගේ මුහුණේ ලොකු සිනාවකුත් මතු වුණා. අක්කා මොනවාදෝ ඇයට කියන බවක් මට දැනුණා. පසුව මා දිහා බලා සිනහවක් නැඟුවා. ටික වේලාවකට පස්සේ අක්කා මා ළඟට ඇවිත්, "නංගී ඕන් ඔයා සිහින මවපු දේ හරියන්නයි යන්නේ" යී කීවා.

ඉහිලුම් නැතිව ගිය මා "මොකක්ද අක්කේ" යැයි ආසාවෙන් ඇගෙන් ඇහැව්වා.

"මීට ටික වේලාවකට ඉස්සෙල්ලා මාත් එක්ක කතා කළ නෝනාගේ නම ජී.ඇස්.බී. රාණි පෙරේරා. නංගී දන්නවානේ එයා ලංකාවේ සිටින ඉහළම ගායිකාවක්. මගෙන් ඇහැව්වා. මම කැමැති නැද්ද චිත්‍රපටියක රඟපාන්න කියලා. මම කිව්වා. "මම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගන්න නිසා ඒ යෝජනාවට අකමැතියි. සමහර විට රඟපෑමේ ආසාව තියෙන්නෙ කාන්ති නංගිට. එයා ඇවිත් ඉන්නවා. සමහර විට එයා නම් කැමැති වෙන්න පුළුවන් කියලා."

"අනේ අක්කේ, එයාට කියන්න මම කැමැතියි කියලා."

අක්කා මාව ඇදගෙන රාණි මහත්මිය ගාවට එක්ක ගියා.

"අක්කා වගේම නංගිත් ලස්සනයිනේ. වයස කීයද?

"අවුරුදු 16 යි."

"මම ඔයාව චිත්‍රපට අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්න මහත්තයාට හඳුන්වලා දෙන්නම්."

ඔය විදිහටයි මට "සුරංගනී" චිත්‍රපටයේ 1955 සුළු චරිතයක් රඟපාන්න ලැබුණේ. මම කොළඹ මියුසියස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙන් සමත් වෙලා හිටියේ. චිත්‍රපටයේ රඟපෑ පසු මම නැවත පාසල් ගියා. පාසලේ ළමයි මාව වට කරගෙන "ආ.. සුරංගනී ඇවිත්" කියලා විහිළු කරන්න පටන් ගත්තා. මේ කරුණු නිසා මම පාසලට ආයුබෝවන් කීවා."

සුරංගනී චිත්‍රපටයේ ඇය රඟපෑවේ එහි ප්‍රධාන චරිතය රඟපෑ එඩී ජූනියර්ට පෙම් බඳින තරුණියක් හැටියටය. ජීවිතයේ කිසි දිනෙක පෙම්වතකු නිසා ඇයට රඟපෑමට අපහසුතාවක් තිබූ බව ඇය කීවාය. දහඅට හැවිරිදි ඇයට වරෙක චිත්‍රපටයේ විරහ ගීතයකුත් ගායනා කරන්න තිබුණා.

"සේයාව ඇඳුණු රූපේ

හද ආදරේ මවලා

පෙම් රූප රාජයා මා

ඔබ ඇයි ගියේ දමලා

හද ආදරේ මවලා"

මේ ගීතය පසුබිමින් ගැයුවේ ස්වර්ණ අබේරත්න ගායිකාව. ඉන්පසු කාන්ති "දොස්තර චිත්‍රපටයේ 1956 රඟපෑවේ එඩී ජයමාන්න සමඟය. පංච කල්‍යාණි ලෙස අභිෂේක ලැබූ ඇය ඉන්පසු මුල්වරට රඟපෑවේ "දුප්පතාගේ දුක" චිත්‍රපටයේය. "සූරයා" හා "සූරසේන" යන චිත්‍රපටවල ඇය ලැඩී රණසිංහ, හර්බි සෙනෙවිරත්න හා ඇල්ප්‍රඞ් එදිරිමාන්න යන නළුවන් සමඟ රඟපෑවාය. 1958 තිරගත වූ "වන මෝහිනී" චිත්‍රපටයේ අනුරාගය මුසුවූ වීරත්වය ප්‍රකට කරමින් ජනප්‍රියත්වයේ ඉහළටම නැග්ගාය. ඇයගේ පෙම්වතා ලෙස රඟපෑවේ හර්බි සෙනෙවිරත්නය. කැලේ වෙසෙන කිසිවෙකුට බිය නැති විනෝදකාමී චරිතයක් ඇය මෙහි රඟපෑවේ කෙටි ඇඳුමක් ඇඳගෙනය. මේ දර්ශනවලට විරෝධය පෑ දහස් ගණනන් ඇගේ සිනමා රසිකයෝ ඇයට අප්‍රසාදය පළකොට ලිපි එවූහ.

"මම රඟපෑවේ කැලේ හැදී වැඩුණු කෙල්ලකගේ චරිතයක්. ඒ ඇඳුම් චිත්‍රපටයේ චරිතයට ගැලපෙන එකක්. අලියකු පිට කැලේ මැදින් යන්න මුලදී මම බය වුණා. පසුව අලියා මා හා මිත්‍ර වුණා. මාව ජනප්‍රියත්වයට පත් කළේ "වන මෝහිනි". " කාන්ති වරක් පවසා සිටියාය.

"වන මෝහිනි" චිත්‍රපටයේ ඇය රඟමින් ගයන ගීතම අවස්ථා කිහිපයක්ම තිබුණි. ඒ ගීත එදා අතිශයින්ම ජනප්‍රිය වුණා. ලතා වල්පොල ගයන "සිහිනේකි බාල කාලේ", "හෝ එනවයි කිව්වේ නෑ තව ආවේ.", "ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ" ගීතත්, ලතා හා ධර්මදාස වල්පොල ගයන "දෑතට දෑත තියලා ඔබ", "පිපෙන කුසුමන්" මේ ජනප්‍රිය ගීතයි.

කාන්ති ගුණතුංග අවසන් වරට රඟපෑවේ 1960 වසරේ තිරගත වූ "සංදේශය" චිත්‍රපටයේය. ඇය රඟපෑවේ සිංහල කැරලිකාර නායකයකු වූ බණ්ඩාරාළ (ආනන්ද ජයරත්නගේ) බිරිඳ ලෙසය. එහි එන ඇය රඟමින් ගැයූ ගීත ද අතිශයින්ම ජනප්‍රිය වූ අතර ඒ ගීත පසුබිමින් ගැයුවේ ලතා වල්පොලය. "රැජින මමයි අපේ රාජ්ජේ", "රෑන ගිරා රෑන අඹේ මී බිබී", "පුන් සඳ එළියයි එදා මඳ සුළඟයි", "සුදට සුදේ වළාකුලයි" මේ ගීතය. තමා සමඟ රඟපෑ නළුවන් කිහිප දෙනෙකුම කාන්තිට ආදරය කළ මුත් ඇගේ හදවත දිනා ගත්තේ අම්බලන්ගොඩ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිස්ස අමරසිංහය. වරක් තිස්ස තම ප්‍රේමකතාව මෙසේ විස්තර කොට තිබුණි.

"කරුණාසේන ජයලත් තමයි මගේ සහෝදරයෙක් වූ රූපා විවාහ කරගෙන ඉන්නෙ. ජයලත් මට කාන්තිව අඳුන්වල දුන්නා. ඒත් අපි හිතුවේ නෑ ඒ හඳුන්වා දීම අලුත් ජීවිතයක, අත්තිවාරම වේවි කියලා. ඒක කොහොම වුණා ද කියලා අපි දෙන්නා දන්නෙ නෑ. කොහොම හරි අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා."

කාන්ති කියා ඇත්තේ මේ කතාවය.

"තිස්සට මම ආදරය කළා. තිස්ස මට ආදරය කළා. මට පුළුවන් වුණා තිස්සගේ හදවත තේරුම් ගන්න. 1958 දී අපි ආදරයෙන් බැඳුණා. තිස්ස අපේ ගෙදරට එන ගමන වැඩි වුණා. 1959 දී තිස්ස සමඟ විවාහ වුණා."

අද තිස්ස ජීවතුන් අතර නැත. කාන්ති තම පුතුන් දෙදෙනා හා දියණිය සමග ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින්නීය. කාන්ති පුංචි තිරයේ ද රඟපෑවාය. සිරියලතා, විශ්ව ගමන ඒ ටෙලිනාට්‍යය.

කාන්ති පංච කල්‍යාණි වූදා සෙසු අංග ලක්ෂණවලට වඩා කැපී පෙනී ඇත්තේ කේශ කල්‍යාණයයිලු. මේ පිළිබඳව ඇය පුවත්පතට වරක් මෙසේ පවසා තිබුණා.

"මගේ අම්මත් (මේබල් ද සිල්වා මාතාව) ලස්සනයි. ඒ වගේම දානපතිනියක්. අම්බලන්ගොඩ පොල්වත්තේ අග්‍රාරාමයට ගියාම පන්සලේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ පොත් රාක්කයේ දූවිලි පිහදාන්න පුංචි මුස්නක් නැති බව දැක්කා. නායක හාමුදුරුවන්ට අගනා පුස්තකාලයක් තිබුණා. ඒ වගේම උන්වහන්සේ පොතපත ලියන මහා පඬිවරයෙක්. මේ සියල්ල ගැන හිතලා තමාගේ දිග කෙස්වැටිය කපා කෙස්වලින් කුඩා මුස්නක් හදලා පුස්තකාලයේ පොත් පිහදාන්න පූජා කරලා තියෙනවා. අපේ අක්කත් මමත් කෙස්වැටියට සාත්තු කරනවා දැකලා අම්මා දවසක් පෙන්නුවා පිළිකුල් භාවකරනකොට පෙන්වන දිනෙන් දින කුණු වී ඕජස් ගලන පින්තූර තියෙන පොතක්."

ඒ 1956 ලංකාදීප ජයන්ති පංච කල්‍යාණියගේ වතගොතයි.

මේ තරගයෙන් තෙවැනි තැන හිමිකර ගත් මාතලේ සුජාතා පරමනාදන් (චන්ද්‍රදාස) මහත්මිය මාතලේ හුලංගම වලව්වේ උපන්නේ 1937 නොවැම්බර් 13 වැනිදාය. සැඩසුළං, දෙළොවක් අතර, රන් සළු, පුංචි ඔබ, යුවතිපති, අන්තිම රැය ආදී චිත්‍රපටවල රඟපෑ ඇය අවසන් වරට රඟපෑ ටෙලිනාට්‍යය "සිරියලතා" ය.

ඒ.ඩී. රන්ජිත් කුමාර

Awards

National Awards

1 "Namaskara Pooja" Special Award 25th Sarasaviya Awards - 1998 - 1998
2 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997

As a Cast

#Film NoYearFilm RoleDirector
1 261955 Suranganie සුරංගනී Actress Cyril P. Abeyratne, K.Wembu
2 331956 Dosthara දොස්තර Actress K. Shankar, Venkatarawan
3 361956 Duppathage Duka දුප්පතාගේ දුක Actress Mithradas, T.R. Sundaram
4 431957 Suraya සූරයා Actress Krishna Rao, T.R. Sundaram
5 471957 Surasena සූරසේන Main Actress S.M. Naidu
6 561958 Vanamohini වනමෝහිනි Main Actress T.R. Sundaram, A.B. Raj
7 661960 Sandeshaya සංදේශය Main Actress Dr. Lester James Peries
8 10122004 Selamuthu Pinna සැලමුතු පින්න Actress Roy De Silva