Ada Mehemai

Ada Mehemai

අද මෙහෙමයි

Black & White 35mm

Film No: 244  ·  Released: 22 May 1972

58.12% · 2,293 votes
Rate this film
Special Message

‘තුලාබාරම්’ ද්‍රවිඩ චිත්‍රපටය ඇසුරිනි

Summary

NameAda Mehemai / අද මෙහෙමයි
Film No244
Released Date22 May 1972
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyR.T. Films
StudioLanka Studio
Main Actor: Oswald Jayasinghe Main Actress: Ruvina Deepani Producer: Robin Tampoe Director: K.wenkat

Description

1948 පෙබරිවාරි 04 දා අප සුදු අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තද එම නිදහස වඩාත් අර්ථවත් වෙමින් අප රට ජනරජයක් බවට පත්වුණේ 1972 මැයි මස 22 දාය. එදිනම සිංහල චිත්‍රපටයක් තිරයට පැමිණීම සිංහල සිනමාව පැත්තෙන්ද අමතක නොවන කරුණකි මේ අනුව එදින තිර ගතවූ එම චිත්‍රපටය ශ්‍රී ලංකා ජනරජයේ මුල්ම චිත්‍රපටය ලෙස හඳුන්වතොත් එය වරදක් නොවේ.,

ආර්.ටි.චිත්‍රාගාරය වෙනුවෙන් කේ.වෙන්කට් අධ්‍යක්ෂණය කළ, මෙරට සිනමාවට සෑහෙන චිත්‍රපට සංඛ්‍යාවක් දායාද කළ රොබින් තම්පෝ ගේ "අද මෙහෙමයි "චිත්‍රපටය 1972 මැයි 22 දා තිරයට පැමිණියේ මරදානේ” ක්‍රවුන්” සිනමාහල මුල් කරගෙන වීමද විශේෂත්වයකි. උසාවි දර්ශනයකින් ආරම්භ වී උසාවි දර්ශනයකින් නිමාවීම මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් පැවසිය හැකි තවත් විශේෂ කරුණකි.රොබින් තම්පෝගේ පියාවූ වබ්..එම.එස්.තම්පෝ ද මෙරට සිනමාව වෙනුවෙන් අමතක නොවන සේවාවක් ඉටු කළේ "සේපාලි,සැමියා බිරිඳගේ දෙවියාය,සතුටයි කඳුලයි,දෙයියන්ගේ තීන්දුව" වැනි චිත්‍රපට සිංහල සිනමාවට එක් කරමිනි.

මෙරට සමාජයේ අද ද දක්නට ලැබෙන ඉතාමත් අනුවේදනීය කතා පුවතක් රැගත් "අද මෙහෙමයි" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස නාමාවලියේ "කේ.වෙන්කට්" ගේ නම සඳහන් වන අතර නිෂ්පාදනය හා කාර්මික අධ්‍යක්ෂණය රොබින් තම්පෝය. "ස"අක්ෂරයෙන් ආරම්භ වන නම් වලින් ඔහුගේ චිත්‍රපට වැඩි ගණනක් සමන්විත වීම රොබින් තම්පෝ ගැන කතා කරන විට අමතක නොවන සිදුවීමකි. මෙයට උදාහරණ වශයෙන් සිර්මලි,සුවිනීත ලාලනී ,සුහද දිවි පිදුම,සුදු සඳේ කළු වලා,සුවිනීත සෝබනී,සුදෝ සුදු,සැඟවෙන සෙවනැල්ල,සැනසිලි සුවය,සුරේඛා, යන චිත්‍රපට පෙන්වා දිය හැකි අතර ඔහුගේ නිර්මාණ අතරින් "ස" අක්ෂරයෙන් ආරම්භ නොවුනේ දෙහදක දුක , මහදැන මුත්තා හා පික් පොකට් යන චිත්‍රපට පමණක් බව පෙනී යයි. මීට අමතරව අද මෙහෙමයි මෙන්ම සමාජේ අපි ඔක්කොම සමානයි යන චිත්‍රපට දෙකේ කාර්මික අධ්‍යක්ෂකවරයා වන්නේද ඔහුමය. කෙසේ නමුත් 1974 තිරයට පැමිණි තිස්ස විජේසුරේන්ද්‍ර හා ජෙනිටා සමරවීර ප්‍රධාන චරිත නිරුපනය කළ , බෙහෙවින් ප්‍රේක්ෂක ආදරයට ලක්වූ "සුරේඛා" චිත්‍රපටයෙන් පසු ඔහුගේ නිර්මාණයක් අපට දැක ගැනීමට නොලැබුණි.

ඔස්වල්ඩ් ජයසිංහ ධර්මේ නමැති හොරෙකුගේ චරිතයට අද මෙහෙමයි චිත්‍රපටයේ පන පොවන අතර ඔහුගේ බිරිද ලෙස රුවිනා දීපානි ප්‍රධාන නිලි චරිතය නිරුපනය කරයි. ඔවුනට අමතරව දේවිකා කරුණාරත්න ඔස්වල්ඩ් ගේ අනියම් පෙම්වතිය ලෙස රඟපෑමේ නිරත වන්නිය .එදා සිංහල සිනමාව වර්ණවත් කළ විකට රජවරුන් වු ඇන්තනි.සි,බි.එස්. දෙදෙනා මෙන්ම දොන් සිරිසේන ද මෙහි රඟපෑ අතර ලිලියන් එදිරිසිංහ ද රඟපෑමෙන් "අද මෙහෙමයි" චිත්‍රපටය හැඩ කළාය. කලින් දශකවල මියුරු ගීතාවලියක් මෙරට සිනමාවට තිලින කළ "ආර්.මුත්තුසාමි"හට හැත්තෑව දශකයේ එතරම් වැඩි චිත්‍රපට ගණනක සංගීතය සැපයීමේ අවස්තාව අහිමි වූ නමුත් මෙම චිත්‍රපටය ඔහුගේ සංගීතයෙන් ඔපවත් විය . එමෙන්ම පි.එල්.ඒ. සෝමපාලද මෙහි සංගීතය සඳහා දායකවූ බව සටහන්ව තිබේ. අදද සංගීත ලෝලීන්ගේ මුවග රැඳී පවතින "ජිවිතේ තරුණ කාලේ"නමැති ජෝතිපාලයන් ගයන ගීතයද මෙම චිත්‍රපටයේ එන ගීතයකි. මේ සඳහා ඔස්වල්ඩ් ජයසිංහ කදිම රගපෑමක නිරත වෙයි. එමෙන්ම ජෝති-ඇන්ජි එක්ව ගයන "සිසිලේ සීතලේ"නමැති යුග ගීතයද මෙහි එන තවත් මියුරු ගීතයකි.මේ සඳහා පෙනී සිටින්නේ ඔස්වල්ඩ් හා දේවිකා කරුණාරත්නය. ජෝති,ඇන්ජලින් දෙදෙනාහට අමතරව ලතා වල්පොල,ධර්මදාස වල්පොල,වික්ටර් රත්නායක,සුජාතා අත්තනායක යන ගායන ශිල්පී ශිල්පිනින්ගේ ගීතද චිත්‍රපටය රසවත් කළ අතර කරුණාරත්න අබේසේකරයන් හා සිරිල් ඒ සිලවිමලයන් ගීත රචනා කර තිබේ..

කතාව හා දෙබස් කේ.ලයනල් සිල්වා විසින් ලියා ඇති මෙහි කතා පුවත වෙත යලි අවධානය යොමු කළ හොත් සොරකමට පුරුදුව සිටින අයෙකු නිසා එම අයගේ බිරිදට හා දරුවන්ට සමාජයෙන් නොයෙකුත් දුක් ගැහැට වලට මුහුණ දීමට සිදුවේ. පසුව බිරිඳ මහත් උත්සාහයෙන් ඔහු යහ මගට ගනු ලැබුවත් ඔහුගේ අතීතය යලි යලිත් සිහිපත් කරවමින් ඔහුට හිස එසවීමට නම් සමාජයෙන් ඉඩක් නොලැබේ.. නමුත් පසුව කෙසේ හෝ යම් ආර්ථික ශක්තියක්ද ගොඩ නංවා ගනිමින් ඔහු තම දිවි මග වෙනස් කර අලුත් ජීවිතයකට මුහුණ දෙයි. එහෙත් සමාජය එයටද ඉඩ නොදෙන්නේ ඔහු ඝාතනය කරමිනි. මේ නිසා ඔහුගේ දරු පවුල සම්පුර්ණයෙන්ම අනාථ වී මහ මගට වැටි ඉතාමත් ශෝචනීය අවසානයකින් චිත්‍රපටය නිමාවට පත් වෙයි.

අනිල් වීරසිංහ

0716358123

Cast

Crew

Other Crew