Sujeewa

Sujeewa

සුජීවා

Black & White 35mm

Film No: 242  ·  Released: 12 Apr 1972

58.4% · 2,480 votes
Rate this film

Summary

NameSujeewa / සුජීවා
Film No242
Released Date12 Apr 1972
ColorimeterBlack & White
Video Format35mm
Duration2h:15m
Movie GroupSinhala
CategoryDrama
CompanyDev Films
StudioStudio Lanka
Main Actor: Roy De Silva Main Actress: Kanthi Lanka Producer: Joe Dev Ananda Director: Joe Dev Ananda

Description

හැත්තැව දශකය වනවිට මෙරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ පෙරමුණ ගෙන සිටියේ සිලෝන් තියර්ටර්ස් හා සිනමාස් යන සමාගම් දෙක යයි හැඳින්වුවහොත් එය ඉතාමත් නිවැරදිය. මිට අමතරව සිලෝන් එන්ටර්ටෙන්ට්මන්ට් වැනි සමාගම් කිහිපයක්ද චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුනු නමුත් එම මණ්ඩලවල සිංහල චිත්‍රපට තිර ගත වුයේ ඉතාමත් කලාතුරකිනි, එබැවින් තරගය පැවතියේ කලින් සඳහන් කළ මණ්ඩල දෙක අතරේය. මෙවන් තත්ත්වයක් යටතේ 1972 වසරත් උදා විණි, වසර ආරම්භ කරනුයේ සිලෝන් තියටර්ස් මණ්ඩලය නිධානය චිත්‍රපටය මෙන්ම සිනමාස් මණ්ඩලය සහනය චිත්‍රපටය ද ප්‍රදර්ශනය කරමිනි, මේ අතරින් ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කළ නිධානය චිත්‍රපටය ලංකාවේ මේ තාක් නිපදවී ඇති හොඳම චිත්‍රපට 10 අතරට ගැනෙන චිත්‍රපටයක් ලෙස පිළි ගැනෙන අතර ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ සහනය චිත්‍රපටය ඔහුගේ අනෙකුත් හුදු වාණිජ චිත්‍රපටවලට වඩා වෙනස් මගක් ගත් බව පවසතොත් එය ඉතාමත් නිවැරදිය, කෙසේ නමුත් සාර්ථක ප්‍රදර්ශන වාරයකින් පසු නිධානය චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කිරීමෙන් අනතුරුව සිලෝන් තියටර්ස් මණ්ඩලයේ තිරගතවූ වැහිලිහිණි හා සිතිජය යන චිත්‍රපට දෙකම අසාර්ථක වුයේ පිලිවෙලිනි.

සහනය චිත්‍රපටයේ මෙන්ම නිධානය චිත්‍රපටයේද ප්‍රධාන චරිත දෙක ගාමිණි මාලිනි වීම මෙහි තිබු විශේෂත්වයකි., සහනය චිත්‍රපටයෙන් පසු සිනමාස් මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වුයේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ සරත් රූපසිංහ නිෂ්පාදනය කළ එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයයි, 1972 අප්‍රේල් 07 වෙනි දින මෙය තිරගතවීම ආරම්භ විය. තිරගත වන්නට පෙර සිටම මෙම චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයින් තුල වුයේ,පුදුමාකාර උනන්දුවකි,ඒ වනවිට මෙරට අග්‍රගන්‍ය නළුවා වූ ගාමිණි ෆොන්සේකා මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කිරීම් මෙන්ම ඔහුට අමතරව මාලිනි,සේනාධීර රූපසිංහ,සෝනියා දිසා,ඇන්තනි සි පෙරේරා,එච්.ඩී.කුලතුංග වැනි නළු නිලියන් මෙහි චරිත නිරුපනය කිරීමත් ලෙනින් මොරායස් ඊට පෙර අධ්‍යක්ෂණය කර තිබු සුරයන්ගේත් සුරයා,අභිරහස වැනි චිත්‍රපටත් ප්‍රේක්ෂකයින්ගේ මතකයෙන් ගිලිහි ගොස් නොතිබීමත් මිට බෙහෙවින්ම හේතු වූවායයි පැවසිය හැක

මෙවන් වාතාවරණයක් මධ්‍යයේ සිලෝන් තියටර්ස් මණ්ඩලයට සිදු වුවේ නිධානය චිත්‍රපටයෙන් පසු එක පිට අසාර්ථක වු කලින් සඳහන් කළ වැහිලිහිණි හා සිතිජය යන චිත්‍රපට දෙකට පසු තම මීළඟ අලුත්ම චිත්‍රපටය තිර ගත කිරීමටය, මෙම චිත්‍රපටය ජෝ දේව් ආනනද් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ සුජීවා චිත්‍රපටය යි,. මෙය තිරගත වන්නේ මරදානේ ගාමිණි ඇතුළු සිනමාස් මණ්ඩලයේ එදත් සුරයා අදත් සුරයා තිරගත කර දවස් පහකට පසු එනම් අප්‍රේල් මස 12 දා ය, කෙසේ නමුත් සුජීවා චිත්‍රපටය එදත් සුරයා අදත් සුරයා වන් චිත්‍රපටයක් සමග සමගාමිව ප්‍රදර්ශනය කිරීම එකල තරමක අභියෝගාත්මක කටයුත්තකි, නමුත් ජෝ දේව් ආනන්ද් යනු අසාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් නොවිය, ඔහු මිට පෙර රෝයි ද සිල්වා හා ජානකි කුරුකුලසූරිය ප්‍රධාන චරිත සඳහා යොදා ගෙන 1970 වසරේ සාර්ථක ගීතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබිණි.

එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටය ත්‍රාස ජනක සිදුවීම් ,සටන් ගීත නැටුම් ගැයුම් වලින් එමෙන්ම විකට ජවනිකාවලිනුත් සමන්විත විනෝදාත්මක චිත්‍රපටයකි., එමෙන්ම සුජීවා චිත්‍රපටය සරල අදර කතාවකින් යුක්ත වුයේ ගීත,නැටුම් මෙන්ම විකට ජවනිකා ද ඇතුළත්වය, , මේ නිසාම සුජීවා චිත්‍රපටය කාන්තා පක්ෂය අතර වඩාත් ජනප්‍රිය වුවායයි පැවසුවහොත් එය නිවැරදිය. එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයේ වඩාත් ප්‍රසිද්ධ ගාමිණි- මාලිනි දෙදෙනාට සමාන්තරව රෝයි-කාන්ති ලංකා දෙදෙනා සුජීවා චිත්‍රපටයේ පෙම්වතුන්ගේ චරිතවලට හොඳින් අවතීර්ණ කර ගන්නට අධ්‍යක්ෂකවරයා සමත් වී තිබිණි. එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටය ජෝති,ඇන්ජලින්,එම.එස්.ප්‍රනාන්දු.ලතා යන ගායක ගායිකාවන්ගේ ගීත වලින් සමන්විත වනවිට සුජීවා චිත්‍රපටය ද ඊට නොදෙවෙනි ලෙස ජෝති,ඇන්ජලින්,සුජාතා,එම.එස්.ප්‍රනාන්දු, ප්‍රෙඩ් සිල්වාගේ ගීතවලින් සමන්විත විය. රොක්සාමි ගේ සංගීතයට ජෝති-ඇන්ජලින් එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයට ගාමිණි-මාලිනි වෙනුවෙන් සුදුපාට මිදුම් ගලාලා ගීතය ගයන විට ගලගෙදර හක්‌ ගේ මධුර තනුවට ජෝති-ඇන්ජලින් සුජීවා චිත්‍රපටයට රෝයි ද සිල්වා හා කාන්ති ලංකා වෙනුවෙන් ගැයූ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ගීතය. ද එලෙසින්ම කැපී පෙනිණි. මිට අමතරව ජෝති එදත් සුරයා අදත් සුරයා සඳහා ගාමිණි වෙනුවෙන් අදටත් ඉතාමත් ජනප්‍රිය කොයි යන්නේ බඳ නලවාලා ගීතය ගායනා කර රෝයි ද සිල්වා වෙනුවෙන් සුජිවා චිත්‍රපටය සඳහා ගලගෙදර හක් ගේ මියුරු තනුවක්වූ ධර්ම්සිරි ගමගේ ලියු චන්දන ඇල්ලෙන් නාලා ගීතය, ගායනා කළ අතර ඒ වෙනුවෙන් පසුව ඔහුට සම්මානයක් පවා හිමි වීම කැපී පෙනුණු කරුණකි. එපමණක් නොව එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයේ ඇන්තනි සි පෙරේරා සහාය නිළියක සමග පෙනී සිටින එම.එස්.ප්‍රනාන්දු හා ඇන්ජලින් ගුණතිලක ගයන හා හා හැඩයි රූපේ යන ගීතය මෙන්ම මෙම දෙදෙනාම සුජීවා චිත්‍රපටයට ස්ටැන්ලි පෙරේරා හා නීටා ප්‍රනාන්දු වෙනුවෙන් ගැයූ ආදරණිය බබෝ නමැති ගීතයද අදටත් ජනප්‍රියත්වයෙන් ගිලිහි ගොස් නොමැත,. සේනාධීර රූපසිංහ එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයේ නිරුපනය කරනුයේ හොර කණ්ඩායමක නායකයෙකු ලෙස දුෂ්ට චරිතයකි. එමෙන්ම සුජීවා චිත්‍රපටයේ දුෂ්ටයා වන්නේ සුපිරි ගායක එච්.ආර්.ජෝතිපාලයි .ජෝති මෙහිදී තමා වෙනුවෙන්ම ඇස් නම් ලස්සන දේ නැමති ගීතය ගයමින් රඟපෑම ද ස්විශේෂය, ඇන්තනි සි පෙරේරා සුපුරුදු ලෙස එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයේ නිරුපනය කරනුයේ විකටයා මෙන්ම ප්‍රධාන නළුවාගේ සහායක චරිතය වන අතර දොන් සිරිසේන හා ප්‍රෙඩ් සිල්වා සුජීවා චිත්‍රපටයේ නිරුපනය කරන විකට චරිත ද මෙහිදී අමතක කළ නොහැක.මගුල් කපුවෙකු ලෙස මෙහි දොන් සිරිසේන රඟපාන අතර ප්‍රෙඩ් තමා වෙනුවෙන්ම අලුත් කලාවක් ගීතය ගායනා කරමින් රඟපෑම විශේෂය .චිත්‍රපට දෙකෙහිම චරිත සඳහා විවිධ නළු නිලියන් රැසක් රඟපෑව ද අග්‍රා සජිවනි හා බන්දු මුණසිංහ චිත්‍රපට දෙකෙහිම රඟපෑමද අමතක කළ නොහැකි කරුණකි. තවද හෙලන් කුමාරි චිත්‍රපට දෙකෙහිම නැටුම් ජවනිකා සඳහා පෙනී. සිටින්නීය. කරුණාරත්න අබේසේකරයන් ගේ ගීත රචනා ද චිත්‍රපට දෙකෙහිම ඇතුලත්ය, එදත් සුරයා අදත් සුරයා කතාව,දෙබස් ආරියරත්න කහවිටගෙනි ,තිරනාටකය හා කැමරා අධ්‍යක්ෂනය ද අධ්‍යක්ෂක ලෙනින් මොරයස්මය , සුජීවා චිත්‍රපටයේ කතාව හා තිර රචනය අධ්‍යක්ෂක ජෝ දේව් ආනන්ද් ගේය. සුජීවා චිත්‍රපටය සඳහා රන්ජිත් පෙරේරා සහාය අධ්‍යක්ෂනයෙන් දායක වන විට එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ඇන්ටන් ග්‍රෙගරිය.

චිත්‍රපටය තිරගතවීමට ප්‍රථම එදත් සුරයා අදත් සුරයා වැනි චිත්‍රපටයක් සමග සමාන්තරව ප්‍රදර්ශනය කිරීම අපහසු යයි ඇතැමුන් පවසා තිබුන ද අවසානයේදී සුජීවා චිත්‍රපටය මෙරට විනෝදාත්මක සිනමාවේ අමතක නොවන චිත්‍රපටයක් බවට පත් වුවේ 1972 වසරේ තිර ගත කෙරුණු වඩාත් සාර්ථක චිත්‍රපටයක් බවට පත් වෙමිනි.

අනිල් වීරසිංහ

Cast

Crew

Other Crew