Sumith Bibile

Sumith Bibile

සුමිත් බිබිලේ

Born 27 November 1930

27 November 1930

60.48% · 1,591 votes
Rate this artist

Summary

NameSumith Bibile
Sinhala Nameසුමිත් බිබිලේ
Born27 November 1930

Biography

ෂේක්ස්පියර් නාට්‍යවල රඟපෑ ධර්මරාජ තරුණයා රුක්මණීගේ පෙම්වතා වෙයි

සුමිත් බිබිලේ

වසර 1945 ය. ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බිලිමෝරියා ශාලාවය. හිටපු විදුහල්පතිවරයකු වූ බිලිමෝරියා සිහිවීමට ඉදි කළ මේ ශාලාව පිහිිටියේ දළදා මාලිගාව ආසන්නයේය. එදා ශාලාව සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන්ගෙන් පිරී තිබුණි. ශාලාවේ වේදිකා ගත වූයේ විලියම් ෂෙක්ස්පියර්ගේ 'AS YOU LIKE IT' නාට්‍යයයි. නාට්‍යයට ප්‍රථම හුරුබුහුටි පසළොස් හැවිරිදි ශිෂ්‍යයෙක් ෂේක්ස්පියර්ගේ ගීතයක් චතුර ලෙස ගැයීය.

'Under the greenwood tree

Who loves to lie with me

And tune his merry note

Unto the sweet bird's thoat

Come hither, come hither, come hither

Here Shall he see

No enemy

But Winter and rough weather'

ශාලාවේ සිටි සියල්ලෝම අත්පොලසන් දුන්හ.

'මට මේ අවස්ථාව ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මට බියකුත් දැනුණා. මුළු ශාලාවේම ඇස් මා වෙත යොමු වෙලා. ධර්මරාජයේ විදුහල්පති එස්. ඒ. විජේතිලක මහතා ශබ්ද නගලා අත්පොලසන් දුන්නා. As you Like it නාට්‍යයේ මම රඟපෑවා. නාට්‍ය අවසානයේ වේදිකාවට පැමිණි විදුහල්පතිතුමා මට විශේෂයෙන් ස්තුති කළා. මම Shakespeare ගේ Hamlet, Prince of Denmak නාට්‍යයේ රඟපාන කොට මට ලොකු ආඩම්බරයක් තිබුණා. මොකද ධර්මරාජයට කිට්ටුව මහනුවර කාන්තා විද්‍යාලවල (මහමායා, හිල්වුඩ්, පුෂ්පදාන, කන්‍යාරාමය) ගැහැනු ළමයිනුත් එදා ශාලාවේ පිරිලා. අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨ නළුවකු වූ සුමිත් බිබිලේ අපට කිවේය.

ඔහු එදා අදින් වසර 72 කට ඉහත ධර්මරාජ බිලිමෝරියා ශාලාවේ ගැයූ ගීතය රඟපාමින් කීවේය.

'ඒ කාලයේ ඔබ කඩවසම් ඉලන්දාරියෙක් වෙන්න ඇති' මම කීවෙමි.

'කඩවසම්, ලස්සනයි කියලා මගේ යාළුවෝ නං කිව්වා. ඒ කාලේ මම කායවර්ධන ව්‍යායාමත් කළා. 'උඹ නළුවෙක් වගේ', 'හරියට ග්‍රෙගරි පෙක් වගේ' කියලා.'

1930 නොවැම්බර් 27 වෙනිදා මහනුවර සුදුහුම්පොළ උපත ලැබූ බිබිලේ විජේකෝන් හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි සුමිත් බණ්ඩාර එදා පාසල් වේදිකාවේ ඉංග්‍රීසි නාට්‍යවල රඟපා වාර්ෂික ත්‍යාග ප්‍රදාමෝත්සවයේදී ත්‍යාග ලබා ගත්තේ ද විදුහල්පතිතුමා අතිනි.

'1951 මට ජීවිතේට අමතක නොවන වසරක්. ඔය කාලේ ඉංග්‍රීසි පත්‍රයක දැන්වීමක් පළවෙලා තිබුණා චිත්‍රපටයක රඟපාන්න තරුණයන්ට ඉල්ලුම් කරන්න කියලා. මේක දැකපු යාළුවෝ කිව්වා 'සුමිත් මේකට ඉල්ලන්න අනිවාර්යෙන්ම තෝර ගනීවි' කියලා. 'පිස්සුද ඕවට ඉතිං ලස්සනත් ඕනෑ වෙයි. නොකෙරෙන දේ ගැන මහන්සි නොවී ඉම්මු කියලා'. මෙහෙම කියලා සතියක්වත් ගියේ නෑ. මෙන්න මට පොස්ට් කාඩ් ආවා මීගමුවෙන්. 'ලබන සෙනසුරාදා උදේ වරුවේ මීගමුවෙ බෝලවලානේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ 'මිනර්වා' ගෙදරට එන්න කියලා. මාව උඩ ගියා. මේක මගේ මිත්‍රයන්ගේ වැඩක්. මට හොරෙන් යාළුවෝ පෝස්ට් එකක් යවලා. මම කිව් දිනයට මීගමුවට ගියා අම්මට වද කරලා රුපියල් 5 ක් ඉල්ලගෙන.

'අයිසේ තමුසෙගේ හැඩ රුව තමයි මම කතාව ලියන කොට මගේ ඔළුවේ තිබුණේ. ඉගෙනීම කඩාකප්පල් කරගෙන රඟපාන්න ලෑස්ති වෙන්න එපා. දෙමව්පියන්ගෙන් අවසර ගත්තද?' බී. ඒ. ඩබ්ලිව්ගෙන් ප්‍රශ්න වැලක්.

'මම ඉංග්‍රීසි සීනියර් පාස්'

'මම මීළඟට නිපදවන 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ ප්‍රධාන චරියකට තමුන්ව තෝරා ගන්නවා. ලේසි වැඩක් නෙවෙයි, රඟපාන්න වෙන්නේ රුක්මණී දේවි එක්ක. චිත්‍රපටය ආපුදාට තමුසෙ ජනප්‍රිය වේවි එක රැයකින්. හැබැයි රජෝ ඔළුව නරක් කර ගන්න එපා' බී. ඒ. ඩබ්ලිව්.ගෙන් අවවාදයක්.

සුමිත් අතීත කතාව කියාගෙන ගියේය.

'මෙතැන රුපියල් 250 ක් තියෙනවා. මදුරාසියට යන්න ලෑස්ති වෙන්න' බී. ඒ. ඩබ්ලිව්. කියා ඇත්තේ ඒ මුදල අතට දෙමින්. ඒ කාලේ එය විශාල මුදලකි.

ඒ කාලයේ හාල්පොත රජයට දුන්නාම ඉන්දියාවට යන්න වීසා ලැබී තිබේ. මදුරාසියේ සිටඩල් චිත්‍රාගාරයට ගිය සුමිත්ට මුලින්ම රඟපෑමට ලැබී ඇත්තේ ගීතමය ජවනිකාවකි. ඔහු ලැජ්ජාවෙන්, චකිතයෙන් රුක්මණීගේ අත අල්ලා ගත්තේය.

'සුමිත් ඔහොම රඟපාන්න බැහැ. තමුසේ ලව් කරලා නැද්ද? මේ ඩේසි (රුක්මණී) මෙයාට කියල දෙන්න' බී. ඒ. ඩබ්ලිව්. සැරෙන් කීවේය.

'සුමිත්, ඔයා දැන් සුමිත් නෙවෙයි. සේනක කියන නීති ශිෂ්‍යයා. මම පත්මා මිස ඩේසි නොවෙයි. අපි දැන් රඟපාන්නේ ප්‍රේම ජවනිකාවක්' රුක්මණී කීවාය.

ගීතය වාදනය විය.

'සුදට සුදේ සිරිය දිලේ පුන් සදේ

ගීත ගයා පීනමු පෙම් සාගරේ'

'ඔය හොඳට රඟපෑවේ' රුක්මණීගෙන් ප්‍රසාදය.

සුමිත් හා රුක්මණී ගැයූ මේ ප්‍රේම ගීතය (ගායනය රුක්මණී සහ මොහිදින් බෙග්) එදා අතිශයින්ම ජනප්‍රිය වී ඇත. චිත්‍රපටයේ හැටියට නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් හැටියට රුක්මණී රඟපෑ අතර ඇගේ පෙම්වතා වූයේ සුමිත් බිබිලේය.මේ දෙදෙනා අධිනීතිඥවරුන් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ කැපී පෙනෙන චරිත වූහ. තම මව බව නොදැන මිනීමැරුමකට වරදකාරියක වූ (තරුණ කාලයේම සැමියාගෙන් හා දරුවාගෙන් වෙන් වූ) කාන්තාව වෙනුවෙන් පෙනී සිටින්නේ පත්මා සහ සේනකය.

සුමිත් ඉන්පසු රඟපෑ චිත්‍රපටය 1955 වසරේ තිරගත වූ සිරිසේන විමලවීරගේ 'අසෝකා' චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ ඔහු ගමෙන් නගරයට පැමිණ ධනවතකුගේ රියදුරකු හා මෙහෙකරුවෙකු ලෙස රැකියාව ලබයි. ධනවතාගේ දියණිය අසෝකාගේ ඔහුගේ පෙම්වතිය වෙයි. මේ ප්‍රේමයට හැරී (ආනන්ද වීරකෝන්) හරස් වෙයි. එහෙත් පසුව හැරී මිනීමරුවෙකු නිසා ඔහු නීතියේ රැහැනට හසු වෙයි. පසුව රහසක් හෙළි වෙයි. අතීතයේ දරු ප්‍රසූතියකදී උපක්‍රමශීලී ලෙස ඈත ගමක ගැහැනියක් කරන්නේ ධනවතාගේ පුතා සරත් වෙනුවට දුගී ගැහැනු ළදරුවා මාරු කිරිමය. ඇය අසෝකාය. සැබෑ පුතා සරත් බව දැන අසෝකා හදාගත් පියා දැන් සතුටු වෙයි. මේ චිත්‍රපටයේ ඔහු රඟපෑ පුෂ්පා ජෙනට් සමඟ ගැයූ ගීත දෙකක් වූ 'පෙම් පහන නිවී - පෙම් මල් පර වී ඇවිලේය ගිනි ජාලේ - අපි හැංගි හැංගි බැඳි ආලේ' (ගායනය මොහිදින් බෙග් හා ජී. එස්. බී. රාණි), 'පායන සඳසේ මෝරයි ආලේ දිවා රෑ දෙවේලේ' (ගායනය ධර්මදාස වල්පොල හා ජී. එස්. බී. රාණි) වඩාත් ජනප්‍රිය වූ ගීත දෙකක් වූහ.

සුමිත් බිබිලේ විවාහ වන්නේ මහනුවර මහමායා විද්‍යාලයේ හා මහනුවර උසස් බාලිකාවේ රූමත් ශිෂ්‍යාවක වූ නන්දා පද්මිණී සමඟය. සුමිත් චිත්‍රපටවල රඟපානවාට ඇය අකමැති වී ඇත. 'අසෝකා' චිත්‍රපටයේ පෙම්වතිය ලෙස රඟපෑ නිළියක සමඟ අත අල්ලාගෙන රඟපාන අවස්ථාවේ දර්ශන තලයට පැමිණි තම අම්මා නිළියට කුඩයකින් ගැසූ අයුරු පියා තාමට කී බව සුමිත්ගේ දියණියක් වූ ජනප්‍රිය චිත්‍රපට නිළි සනෝජා බිබිලේ සිනාසෙමින් අපට කීවාය.

සුමිත්ගේ චිත්‍රපට ජීවිතය මේ නිසා උමතු විශ්වාසය හා අසෝකා චිත්‍රපට දෙකට සීමා විය. සුමිත් කොළඹ හා කෑගල්ලේ සංඛ්‍යා ජන ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන නිලධාරියකු ලෙස කටයුතු කර ඇත. තම පියාගේ ප්‍රියතම විනෝදාංශයව ඇත්තේ අස්ගිරිය මහ ගෙදර වත්තේ එළවළු වගා කිරීම බව සනෝජා කීවාය.

'අප්පච්චි අපේ මහ ගෙදර වත්ත කොටස් අපට බෙදා දී එළවළු වගා කිරීමට අපිව උනන්දු කළා' ඇය කීවාය.

සුමිත්ගේ බිරිඳ නන්දා පද්මිණී 2013 ඔක්තෝබර් 20 වෙනිදා මිය ගියාය. සුමිත් හා නන්දා යුවළට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පුතා දහම් දේවප්‍රිය. ශ්‍රිමානි සමුද්යා, සනෝජා, සමන්තා දියණියන්ය. අසනීපයෙන් පසුවන තම අප්පච්චි බලා ගන්නේ දියණියන්ය. චිත්‍රපටවල රඟපෑමත්, නෙට්බෝල් ක්‍රීිඩිකාවක ලෙස එතෙර යාමට තිබූ අවස්ථා පවා කැප කරමින් තමා සොහොයුරියන් සමඟ පියාට ඇප උපස්ථාන කරන බව සනෝජා අපට පවසා සිටියාය.

සුමිත් අවසන් වරට රඟපෑවේ 1969 වසරේ තිරගත 'සෙනෙහස' චිත්‍රපටයේය. තමා සමඟ 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ රඟපෑ හිතවත්ම මිත්‍රයා වූ හර්බට් එම්. සෙනෙවිරත්නගේ ඉල්ලීම නිසා ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ 'සෙනෙහස' චිත්‍රපටයේ සුමිත් රඟපැවේ දියණියක හදා ගත් පියෙකු ලෙසය. ඒ චිත්‍රපටයේ සුමිත්ගේ බිරිඳ ලෙස ප්‍රේමා ඩැනියෙල් ද හදාගත් දියණිය ලෙස ජානකී කුරුකුලසූරිය රඟපෑහ.

2016 මැයි 11 වැනිදා ඒ.ඩී රංජිත් කුමාර මහතා විසින් සරසවිය පුවත්පතට ලියු ලිපියකී .

Awards

National Awards

1 Pioneering Award 12th Presidential Award 2000 - 2 - 2000
2 "Namaskara Pooja" Special Award 25th Sarasaviya Awards - 1998 - 1998

As a Cast

#Film NoYearFilm RoleDirector
1 131952 Umathu Wishwasaya උමතු විශ්වාසය Actor B.A.W. Jayamanne
2 271955 Asoka අසෝකා Main Actor Sirisena Wimalaweera
3 1871969 Senehasa සෙනෙහස Actor Herbert M. Senewirathna