Theja

Theja

තේජා

Colour

Film No: 1431  ·  Released: 08 Mar 2025

60.21% · 2,802 votes
Rate this film

Summary

NameTheja / තේජා
Film No1431
Released Date08 Mar 2025
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanySangeetha Films
StudioDreams & Magic
Main Actor: Mahendra Perera Main Actress: Nita Fernando Director: Nilantha Hapanweera Producer: Nita Fernando Producer: Mahil R. Perera Producer: Suranga De Alwis

Trailer

Description

නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කම්හල්වල බලාත්මක කරන ලද පීඩාකාරී කළමනාකරණ උපක්‍රම සහ දුක්ඛිත සේවා කොන්දේසිවලට එරෙහිව, සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1982 – 1985 වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු බීජය වී ඇත. තේජා යනු විශ්වාසනීය බිරිඳක් සහ මවකි. ඇයගේ සැමියාගේ අනපේක්ෂිත ඛේදජනක අනතුරෙන් පසුව ඇගේ ජීවිතය වෙනස් විය. ඒ වෙනස්වීමත් සමඟම දක්ෂ වෘත්තීය සමිති නායිකාවක් වන අයිරින්ගේ ආභාසය තේජා විසින් අනුගමනය කිරීමට පෙලඹේ. සිය ඇඟළුම් කම්හලේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සමාජ අසාධාරණය සහ අනපේක්ෂිත විපත්ති හමුවේ පෙනී සිටීමට තේජා මූලිකත්වය ගනී. තේජා සිය සගයන් පෙරටු කරගෙන අයිරින්ගේ මඟ පෙන්වීම මත ඔවුන්ගේ වැඩබිම යහපත් පාලනයකින් එකමුතු කිරීම පිණිස දුෂ්කර මෙන්ම භයානක අරගලයකට මුල පුරති. පාලකයන් සිය දරදඬු ප්‍රතිපත්ති වෙනස් නොකරන්නේ නම්, කම්හල වසා දැමීම, ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලය ලෙස ඔවුහු සලකති. මෙම කම්කරු අරගලය නැවැත්වීමටත්, සියලු කම්කරුවන් සිය පාලනය යටතේ තබා ගැනීමටත් දේශපාලන බලය සහිත කම්හල් හිමියෝ ගත හැකි සියලුම ක්‍රියාවන්හි නිරත වේ. පාලක – කම්කරු අරගලයේ ජය කාට හිමිවේද යනු “තේජා” චිත්‍රපටයෙන් විද්‍යාමාන වේ.

ගුවන් විදුලි පිටපත් රචකයකු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ නිලන්ත හපන්වීරගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය “තේජා” යි. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ඔහු, විවෘත විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා සංස්කරණය පිළිබඳව පාඨමාලාව හා ගුවන් විදුලි සන්නිවේදන පාඨමාලාව හදාරයි. දිරිය කැදැල්ල නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව එහි නාට්‍ය වැඩමුළු මෙහෙයවීමට එක්වන නිලන්ත, උසස් පෙළ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරු වෘත්තියට එක්වන අතරතුරම ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙසද සේවයේ නිරත වේ. “උතුරු කටුව” සහ “රැල්ල වෙරළ” වේදිකා නාට්‍යවලින් රංගනයට පිවිසෙන ඔහු “ප්‍රකෘති”, “අයදුම”, “දුක්ඛා”, “නටඹුන්” වැනි වේදිකා නාට්‍ය හා කෙටි නාට්‍ය රචනය කරමින් නිෂ්පාදනයෙන්ද දායකව ඇත. පසු කලෙක, ගුවන් විදුලි රඟමඬල, ලක් හඬ රඟමඩල, මල්ගුඩි දවස හා මුවන්පැලැස්ස වැනි වැඩසටහන් සඳහා පිටපත් රචනයෙන් දායක වන නිලන්ත, වෙළඳ දැන්වීම්, කාලීන වැඩසටහන් පිටපත් රචකයකු සේම ගීත නිබන්ධකයකුද වෙයි. ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ “සක්මන් මළුව” හා “තිමිර සෙවණැලි” ඒකාංගික ටෙලි නාට්‍ය රචනය කරමින් අධ්‍යක්ෂණයට පිවිස “පියගැට පාමුල” ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව සඳහාද නිර්මාණකරණයෙන් දායක වෙයි. “සමාරා” හා “තාරකා මල්” චිත්‍රපට වලින් සහය අධ්‍යක්ෂණයට පිවිස, “ස්වර” චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙස කටයුතු කළ ඔහු, “සදී” චිත්‍රපටයේ නිර්මාණ අධීක්ෂකවරයාද විය.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew