තිරයේ එක් නොවූ ගාමිණී – සුමනා - Gamini-Sumana

ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්‍රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.



හැත්තෑව දශකයෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ කලින් නම් සඳහන් කළ නිළියන් අතරට එක්වන තවත් ප්‍රධාන පෙළේ නිළියකි සුමනා අමරසිංහ. එවකට ප්‍රධාන චරිත නිරූපණයෙහි කැපී පෙනුණු රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර, ඔස්වල්ඞ් ජයසිංහ, ටෝනි රණසිංහ, ලයනල් දැරණියගල, එච්. ආර්. ජෝතිපාල වැනි නළුවන් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඇයට අත්විය. එමෙන්ම මෙම චිත්‍රපට සාර්ථක වූ බවද නොකියා බැරිය. කෙසේ නමුත් ඇය සමඟ ප්‍රධාන චරිත රඟපෑ නළුවන්ගේ නාම ලේඛනය දෙස බලන විට එහි යම් අඩුවක් ඇති බව පෙනී යන කරුණකි. ඒ සිනමා සක්විති ගාමිණි සමඟ ඇය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපා නොමැති බවය. හැටේ දශකය අග පමණ තිරයට ආ ‘රෑන ගිරව්’ චිත්‍රපටයේ ගාමිණී සමඟ ඇය රූප රාමුවක දැක ගැනීමට ලැබුණද ඇය ඔහු සමඟ ප්‍රධාන චරිතයක් රඟපා නැත.   නීල් රූපසිංහ, එම්. එස්. ආනන්දන්, ජෝ දේව් ආනන්ද් මෙම දෙදෙනාම යොදාගෙන චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරුන් අතර පෙරමුණේ සිටි අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකි. නමුත් ඔවුන් එක් අයකු හෝ මෙම දෙදෙනා ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළ බවක් නොපෙනේ. නීල් රූපසිංහගේ පළමු චිත්‍රපටය වූ දැන් මතකද චිත්‍රපටයෙහි ගාමිණි රඟ නොපෑ අතර, එහි සුමනා චරිතයක් නිරූපණය කළාය. නමුත් හතර දෙනාම සූරයෝ, ආදරේ හිතෙනවා දැක්කම, යකඩයා වැනි ගාමිණි රඟපෑ නීල්ගේ සෙසු චිත්‍රපටවල ඇයට අවස්ථාවක් හිමි නොවිණි. එම්. එස්. ආනන්දන්ගේ මගේ නංගී ශ්‍යාමා චිත්‍රපටයෙහි ශ්‍යාමා ආනන්ද හැරුණු විට අනෙක් ප්‍රධාන කාන්තා චරිතය වූවේ ඇයයි. නමුත් එම්. එස්. ආනන්දන් ඉන්පසු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවල ඇයට චරිත නොවීය. ජෝ දේව් ආනන්ද් යනු මෙරට සිනමාවේ රෝයි-සුමනා යුගය වඩාත් ස්ථාපිත කළ අධ්‍යක්‍ෂවරයා ලෙස හැඳින්වුවහොත් එය අසත්‍යයක් නොවේ. සුනේත්‍රා, ඔබයි මමයි, සූකිරි කෙල්ල යන ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවල ප්‍රධාන නළු නිළි චරිත නිරූපණය කළේ ඇය හා රෝයි ද සිල්වාය. නමුත් සූකිරි කෙල්ල චිත්‍රපටයෙන් පසු ජෝ දේව් අධ්‍යක්‍ෂණය කළ මිනිසුන් අතර මිනිහෙක් චිත්‍රපටය සඳහා ඔහු ගාමිණී ෆොන්සේකා තෝරාගත් අතර, ඔහුගේ කලින් චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ රෝයි ද සිල්වාද ප්‍රධාන චරිතයක් සඳහා තෝරාගත් නමුත් ඔහුගේ ප්‍රධාන නිළිය වූ සුමනා හට එවර අවස්ථාව හිමි නොවීය. එමෙන්ම එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිත දෙක සඳහා ඔහු තෝරා ගත්තේ ගීතා කුමාරසිංහ හා වීනා ජයකොඩිය.   එමෙන්ම රෑන ගිරව් චිත්‍රපටය තිරයට ගෙන ආ ධර්ම ශ්‍රී කල්දේරාද ඉන්පසු මෙම දෙදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේය. උදාහරණ වශයෙන් ගත්කල ඔහුගේ මී මැස්සෝ චිත්‍රපටය සඳහා ගාමිණී හා අනුලාද රත්රන් අම්මා, චිත්‍රපටය සඳහා ගාමිණී හා ශ්‍රියානිද යොදා ගත් ඔහු දීපාන්ජලී චිත්‍රපටය සඳහා සුමනා හා තිස්සද යොදා ගත්තේය. නමුත් මෙම දෙදෙනා ප්‍රධාන චරිත සඳහා එක් කර චිත්‍රපටයක් තිරයට ගෙන ඒමට සමහර විට ඔහුටද අදහසක් නොතිබෙන්නට ඇතිදැයි යන්න කිව නොහැකිය.   ඔවුන් දෙදෙනාටම නිවන් සුව පතමු..! අනිල් වීරසිංහ
Source
Gamini Fonseka  
Sumana Amarasinghe  
 
NEWS
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS