කතාව
ශ්‍රී සම්බුද්ධ අපදානයෙහිදී අපට හමු වන්නා වූ අනේකවිධ චරිත අතර අතිශය දීප්තිමත්ව දිදුලන වනිතාවෝ දෙදෙනෙක් වෙත්. එක් වනිතාවක් නම් මහා ප්‍රජාපතී ගෝතමියයි.
එනම්, සිය දෙතනේ කිරි පොවා මහ බෝසතාණන් වහන්සේ ඇති දැඩි කළ බුද්ධ මාතාවයි.
බුදුරජාණන් වහන්සේගේ ආදර ගෞරයට පාත්‍ර වූ අනෙක් වනිතාව නම් යශෝධරාවයි.
ඇතැම් තැනෙක බිම්බා, බිම්බසුන්දරී, යශෝවතී, ගෝපා, සුභද්දකා, මනෝහරා යන නම්වලින් ද හඳුන්වා දී ඇති රාහුල මාතාවයි.
සැරියුත් - මුගලන් අග්‍රශ්‍රාවකයන්ටත් වඩා, අසූ මහා ශ්‍රාවකයන්ටත් වඩා, මහ බෝසතාණන් වහන්සේ සමඟ සසර සැරිසැරූ බුද්ධ පතිව්‍රතාවයි .
සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ පෙරුම් පුරා ලබා ගත යුතුව තිබුණු බුද්ධත්වය, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ලබා ගැනීම සඳහා මහත් වූ ආත්ම පූජාවක් කළ වනිතා රත්නයයි යශෝධරා.
ඊට කළගුණ සැලකීම් වස් බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ පරිනිර්වාණයෙන් ඉක්බිති දේහය දැවූ චිතකය අසල රෑ තුන්යම නිදි වරමින් මහා ආදාහන පූජෝත්සත්වයක් පැවැත් වූහ. අනතුරුව රජගහ නුවර චෛත්‍යයක් ද ඉදි කරවුහ.
ලෝක සත්ත්වයාගේ වන්දනාවට පාත්‍ර වූ ඒ චෛත්‍යය, එවක යශෝධරා මහ සෑය නමින් ප්‍රකට විය. ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ වනාහි ඒ වනිතා ශ්‍රේෂ්ඨාව පිළිබඳ පූජාර්හ කථාන්තරයයි.