Bimba Devi hewath Yashodara

Bimba Devi hewath Yashodara

බිම්බා දේවි හෙවත් යශෝධරා

Colour

Film No: 1278  ·  Released: 27 Apr 2018

57.65% · 2,148 votes
Rate this film

Summary

NameBimba Devi hewath Yashodara / බිම්බා දේවි හෙවත් යශෝධරා
Film No1278
Released Date27 Apr 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryHistory
Main Actor: A. Chaudri Main Actress: Pallavi Subhash Producer: H.D. Premasiri Director: Sunil Ariyaratne

Trailer

National Awards

For The Film

1 Blockbuster Movie of the Year 7th Derana Film Awards 2019 - 2019

Description

පරිනිර්වාණයට අවසර පතා යශෝධරා භික්ෂුණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා බුදු හිමි වැඩ වසන ගිජ්ජකූඨ පර්වතය වෙත වැඩමවන අවස්ථාව සිනමා තිරයට පිටුපා ගමන් කරන මනස්කාන්ත පුළුල් සමූහ රූපාවලියකින් "යශෝධරා" සිනමා කෘතියේ සමාරම්භය සනිටුහන් වෙයි. ඒ සමඟින් දීපංකර බුදුන් දවස ඇරඹෙන මෙම සංසාර චාරිකාවේ අතීත වෘත්තාන්තය කළු සුදු තලයක රූප සමූහයකින් සිනමා තිරය සරසාලයි. අනතුරුව සංසාරගත සෙනෙහසක දැහැමි සිතිවිලි සමුදායක් සංවේදනාවන් මැඬ ගනිමින් යශෝධරාවගේ ජීවිතය කියැවීම සිදුවේ.

සසරේ සරන පෙම්වතුන් ප්‍රේමයෙන් හමුවීම සනිටුහන් කරමින් සිද්ධාර්ථ යශෝධරා සම්මුඛ වෙති. සිද්ධාර්ථගේ සෝබමාන රූපකාය සමඟින් බුද්ධ චරිතයට අනුව සංක්ෂිප්තව සිදුවීම් පෙළ ගැසෙයි. මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමිපාණන්ගේ 'පූජාවලිය' ගද්‍යයෙහි ඇසුර ලබාගෙන ඇති 'යශෝධරා' සිනමා කෘතියේ දෘශ්‍යමාන සිද්ධාර්ථ කුමරුගේ සතර පෙර නිමිති අවස්ථාවන් සහ ගිහි ගෙයින් නික්ම යන අවස්ථාවන් ලේඛනගතව ඇති තතුවලට එහා ගිය නිර්මාණශීලී සාධාරණීකරණයක් වී ඇත්දැයි යන සැක සංකාවන් ද ඒ අතරින් මතු වේ.

'කන්ථක මේ අප මඟ නොවෙයි'

ඒ අනුව අවසන් පෙර නිමිත්ත වෙත සිද්ධාර්ථයන් රැගෙන යන කන්ථක අසුගේ ඉටු කිරීම සංසාරික යුතුකමක්දැයි විමසීම වටී.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිනමා කෘති පෙළෙහි බහුතරයක අධිවේගී හරඹයක් මිස යථා සබඳතා සාකච්ඡා නොවේ. 'සරුංගලේ', 'පොඩි මල්ලී', 'සිරිබෝ අයියා', 'සුදු සෙවනැලි' අදටත් සිනමා මතක සිතිවිලි අතර යළි යළි විඳිය හැකි ඔහුගේ භාවාත්මක සිනමා කෘති ලෙස ආවර්ජනය කළ හැකිව පවතී.

අතීත ජන කවියා විසින් සංගෘහිත යශෝධරා වත මිනිස් සිත් කරුණා රසයෙන් නිරතුරු පුබුදාලයි. ඒ රසය 'යශෝධරා' සිනමා කෘතියෙන් දෘශ්‍යමාන වන්නේ ක්‍රමිකවය. එහෙත් මඳ වශයෙනි. සිද්ධාර්ථ ගිහි ගෙය හැරයාමේ අවස්ථාවේ යශෝධරාව තම රාහුල පුතු මත අත තැබීම විවර දෑසින් කඳුළක් මුදා හැරීම, බුදු පදවියෙන් පසු සම්මුඛවීමේදී බුදු දෙපා ස්පර්ශය වැනි අවස්ථාවන්හිදීය.

යශෝධරා සිනමා කෘතිය තුළ ප්‍රබල තිර රචනයක දෘෂ්ටියක් ඉස්මතු නොවේ. නමුත් නිළියගේ, යශෝධරාවගේ චරිතයට පණ පොවන නිළියගේ රූපණය පසුබිම් ගාථා ගායනාවෙන් සහ යශෝධරා වතෙහි ගායනාවන් නිසාවෙන් නවමු ප්‍රාණයක් ගෙන දෙයි. ඉන් ප්‍රේක්ෂක දෙනෙතට සංවේදී ආකර්ෂණයක් ද ගෙන දෙයි.

කතා කීමේ කලාවෙන් 'යශෝධරා' සිනමා කෘතියේ විකාසනය විධි කීපයකින් සිදු වේ. එක් එක් චරිත මඟින් අවස්ථාවෝචිත පසුබිම් සාරය ද සමඟ සිද්ධි ගළපයි. ඊට අමතරව පූරක වැනි චරිතයක් මුසු කරවන අධ්‍යක්ෂවරයා ඒ අනුව, කවිකාරයාගේ චරිතයෙන් සියල්ල ප්‍රේක්ෂකයාට විවරණය කරදීමේ උත්සාහයක යෙදෙයි. ප්‍රාසංගික ලෙස කවිකාරයා සියල්ල කීමට වරින්වර මතු වුව ද අසාර්ථක මුසුවකි. ගලා යන තේමාවේ රිද්මයට හෝ වරින් වර ගෙන දෙන්නේ පුවත ඉදිරියට රැගෙන යාමක් නොවේ. තිතකි.

සංසාර ගමනෙහි අතීත අවර්ජනා මතු කර දෙන්නේ අපුරුවකි. කැමරා හසුරුව සංස්කරණය ඒ හා මුසු සංගීත රිද්මය ප්‍රේක්ෂක සිත් සන්තුෂ්ටියට කරවන්නට සමත්ය. සිද්ධි අවස්ථා සැලකිල්ලෙන් තෝරා බේරාගෙන තිබීම ගැන අගය කළ යුතුය. විටෙක සාහිත්‍යමය බස සංවාද සිනමා කෘතිය සරසයි. නමුත් එය විඳීමට තරම්දැයි සැකයක් මතු වේ. බස නිසාම භාවතිශ නොවේ. බස නිසාම ප්‍රේක්ෂක නෙතග කඳුළු රැඳෙන්නේ ද නොවේ. එසේ වන්නේ ජන කවියෙන් උරුම වු යශෝධරා වතෙහි කාව්‍ය ගායනා නිසාවෙනි. එසේම ගැයෙන නරසීහ ගාථාවන් නිසාවෙනි. ඒවා සිනමා කෘතියෙහි රූප හා අපූරුවට මුසු වන නිසාවෙනි. යශෝධරාවගේ ඇසින් නොදකින බොහෝ දේ සිනමා කෘතියෙහි අඩංගු වීම තුළ යශෝධරාවගේ මානුෂීය දර්ශනයට සාධාරණයක් ඉටු වී ඇත් ද යන සැකය විටින් විට සිහි ගැන්වෙයි.

යශෝධරාවෝ පිළිබඳව ජනකවියා අප හදවත් තුළ තැබු සිතුවම මෙහිදී යශෝධරාව අප සිත් ගත්තේ ද යන පැනය ද මතු වේ. ඒ යශෝධරාවන්ට වඩා ඉස්මතු වන්නේ ගායනාවන් බැවිනි. එම ගායනාවන් අපට පසක් කර දෙන්නේ හද සසල කරවන ප්‍රේමය සිත් හි රඳවා ගත් සැබෑ උත්කෘෂ්ට පියඹකගේ ප්‍රේමණීය සිතිවිලිය. තම ප්‍රේමණීය හිමිසඳු වෙනුවෙන් දුක්වීමකි. එබැවිනි, සිනමා කෘතියෙහිදී යශෝධරාවන්ට ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව හිමි නොවන්නේ.

නමුත් ලඝු වූ බොහෝ දේ අතරින් අති සංවේදී රූපණ අවස්ථා කීපයක් ප්‍රේක්ෂක සිත් සසල නොකරනවාම නොවේ. බුදු හිමිගේ රුව සිතුවමට නැගෙන දීර්ඝ දර්ශන අවස්ථාව සිත දැඩි ලෙස සිනමා කෘතිය කෙරෙහි පැහැර ගන්නා රූපාවලියකි. කැමරාමාන, සංස්කරණය සේම සංගීත නාද රටා ද එහි එකතුවට මනා සැරසිල්ලක් කරයි.

'සත් වසක් පරම පෙමින් වෙලී සිටියා' යශෝධරාවගේ ප්‍රේමණීය ප්‍රකාශය නැවත නැවත මතු කර දෙන්නේ ආලය යනු පරිත්‍යාගයක්ම බවයි. 'ආලය යනු පරිත්‍යාගයයි' එක් එක් අවස්ථාවන් හිදී යශෝධරා භික්ෂුණිය සහ පිරවර සහිත රූපාවලියෙහි අපූරුව කතා සාරයේ ස්ථානය වරින් වර වෙන් කරදීමක් වැන්න.

'සිද්ධාර්ථ ඔබ යන තැනකට මාද කැටුව යන්න'

පූර්ව ප්‍රකාශනයෙන් පසු ඇසළ පොහොදා යශෝධරාව නිදි යහනේදී දරුවාට අත තැබීමත් නිහඬව සිටීම හා නෙත් යුග අග විවරවීමත් සමඟම කඳුළු සමඟ මුසුවන සමීප රූපය කැටිව සංක්ෂිප්ත සිද්ධි රූපණ අපූරු කැමරා හැසිරවීම් වේ.

'යශෝධරා, ඔබට තිබුණා මේ ගමන වළකන්ට'

අනතුරුව චන්නගේ ප්‍රකාශය.

'ඉකිබිඳින හඬ ඇසුණා'

ඉන් අනතුරුව සිතිවිලි අවදි කරන යශෝධරාවගේ ප්‍රකාශය සියල්ල සමහන් කරවයි.

'ඔහු සොයන විමුක්ති මාර්ගය සොයා ගැනීමට ඔහුට ඉඩ දෙන්න'

එතෙක් අතීතාවර්ජනය සමඟ තිරයට පිටුපා ගිය යශෝධරා භික්ෂුණිය ප්‍රමුඛ භික්ෂුණී පිරිවර සමූහයේ රූපාවලිය සිනමා කෘතිය තුළ තිරයෙන් ඉදිරියට සැපැමිණීම සිනිටුහන් වෙයි. එය නම් අපූර්වත්වයකි.

'ඇහැල මල් ගොඩක් විතරයි'

රාහුල කුමරුගේ දැක්ම අපූරු නවමු අරුත් ගැන්වීමකි. යථාර්ථ හරයකි. සිතුවම හා බැඳෙන දෘශ්‍යමය රූපාවලිය ද රසාංජනයකි.

'දැන් එතුමා පෙරටත් වඩා සංවරයි, නිශ්චලයි'

බුද්ධත්වයෙන් පසු බුදු හිමි යශෝධරාවගේ සිරි යහන් ගැබට වැඩම කරවීමේ අවස්ථාව සංකේතාත්මකය. සංවේදීය. එය යශෝධරාවන් වියෝ ගිනි සමහන් කර ගැනීමක් වැන්න. බුද්ධාලම්භන ප්‍රීතිය මුසු ශෝකී සමීප රූපණ පෙළකි.

පිරිනිවීමට පෙර බුදු හිමි දැකීමට යන ගමන සමඟින් ඉදිරියට යැවෙන කැමරා කෝණ මුසු රූපාවලිය 'මායාවගේ මරණය' හා බැඳෙන සමීප සමූහ රූපව කැමරා ඇසෙහි හරය ඉස්මතු කරවයි.

'මා සරණ යන තැනැත්තිය ගැන සිතුවමක් තිබුණා'

සිද්ධාර්ථ වෙතින් යශෝධරාගේ සුරතට ලැබෙන පිපුණු කුසුම හා මුසු සමීප දසුන, කිරිපිඬු පූජාව අප දකින්නේ නෙතට ප්‍රසන්න සමීප ඉහළ තලයක පිහිටි රුපාවලියකිනි. බුදු බව සනාථවීමේ ප්‍රාර්ථනාව සමඟින් උඩුගම් බලායන පාත්‍රය හා සබැඳි දුරස්ථ රූප රස භාවයකි.

යශෝධරා භික්ෂුණියගේ පරිනිර්වාණය සනිටුහන් වීම, 'මතු ජාතියක නූඋපදිමි' ඉහළ මානයකට ඈත්වන යශෝධරාවන්ගේ නිසල දේහය කැමරාකරණයේ ප්‍රශස්ත භාවිතාවකි. ඒ අතරේ මල් පෙති පතිත වීම නම් අස්වාභාවිකය.

දෙව්දත්ගේ චරිතය අවසානයේ කෘත්‍රිම වියරුවකි . එය සිනමා කෘතියෙහි ගලා යාමට සැබැවින්ම බාධාවක් වැන්න. සාටෝපයකි. ඔහු පිළබඳ සිදුවීම් යශෝධරාව ඔහුගෙන් සමු ගැනීමේ සංවාදයෙන් නිමා වුණි නම් හරයකි.

විටෙක කවිකාරයාගේ ප්‍රකාශ යාන් කීම් වැන්න. 'කිම කවිකාරයාට වූ දෝසා' යැයි සිතේ. එහි භාවාත්මක රංගන හසුරුව (තුමිඳු දොඩංතැන්න) ප්‍රභාමත් වුව ද ඉන් 'යශෝධරා' සිනමා කෘතියට කළ එළියක් වී ද යන පැනය ප්‍රේක්ෂක හදවත් තුළ මැවෙයි.

'යශෝධරා' සිනමා කෘතියේ ප්‍රධාන චරිත යුගලය පල්ලවී සුභාෂ්, ඒ. චෞද්රි භාරතයෙන් එක්වීම ද සුවිශේෂී අවස්ථාවකි. සිනමා කෘතියට රූපණ විස්තරයකි. කැමරාව (චන්න දේශප්‍රිය), සංගීතය (ආචාර්ය රෝහණ වීරසිංහ), සංස්කරණය (රුක්මාල් නිරෝෂ්) දිගුකාලීන අත්දැකීම් සපුරා ලත් හසුරු කුසලතාවන් අධ්‍යක්ෂවරයා විසින් මේ සඳහා නොමඳව උකහා ගෙන තිබේ. නවක ගායනා විලාස අපූරු මුසුවකි. ආචාර්ය නන්දා මාලිනියගේ හඬ පෞරුෂයෙන් නැඟෙන යශෝධරා වතෙහි ගායනාවෝ හද සසල කරවන තරම්.

බුදු හිමි චරිතය ඇතුළත් බොහෝ සිනමා කෘති නිර්මාණය වී ඇතත් 'යශෝධරා' චරිතය සිනමා කෘතියකින් සාකච්ඡා කෙරෙන අවස්ථාවක් මතකයට නොඑයි. විටෙක මෙය පළමුවැන්න ද විය හැකිය.

පැය දෙක හමාරකට ආසන්න කාලයක් පුරා දිග හැරෙන 'යශෝධරා' සිනමා කෘතිය බුද්ධ චරිතයේ සාරය කැටි කොට ගත්තකි. එබැවින් මෙහි සංස්කරණ භාවිතාව සිනමා කෘතියට ආලෝකයකි. පැසසුම් කටයුතුය. ප්‍රධාන චරිත යුගලය වින්දනීය ප්‍රවිෂ්ටයකි. පල්ලවි සුභාෂ්්ගේ අභිනය රූපණ ප්‍රකාශ අවස්ථාවෝචිතව අගය කළ යුතුවේ. එම ප්‍රතිභාවන් තිර රචනයෙන් ද ඉස්මතු වූයේ නම් කෙතරම් අගනේදැයි යළිත් සිතේ.

බුද්ධ චරිතයෙන් ඉස්මතු වන යශෝධරා නම් වූ උතුම් කාන්තා ප්‍රතිමූර්තිය පිළිබදව යළි යළි මෙනෙහි කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් ඉඩහසර විවර කරදීමට ගත් තැත කිසි විටෙක ලුහු කොට තැකිය යුතු නම් නෙංවේ.

ශාන්ත කුමාර අපොන්සු

ශ්‍රී සම්බුද්ධ අපදානයෙහිදී අපට හමු වන්නා වූ අනේකවිධ චරිත අතර අතිශය දීප්තිමත්ව දිදුලන වනිතාවෝ දෙදෙනෙක් වෙත්. එක් වනිතාවක් නම් මහා ප්‍රජාපතී ගෝතමියයි.

එනම්, සිය දෙතනේ කිරි පොවා මහ බෝසතාණන් වහන්සේ ඇති දැඩි කළ බුද්ධ මාතාවයි.

බුදුරජාණන් වහන්සේගේ ආදර ගෞරයට පාත්‍ර වූ අනෙක් වනිතාව නම් යශෝධරාවයි.

ඇතැම් තැනෙක බිම්බා, බිම්බසුන්දරී, යශෝවතී, ගෝපා, සුභද්දකා, මනෝහරා යන නම්වලින් ද හඳුන්වා දී ඇති රාහුල මාතාවයි.

සැරියුත් - මුගලන් අග්‍රශ්‍රාවකයන්ටත් වඩා, අසූ මහා ශ්‍රාවකයන්ටත් වඩා, මහ බෝසතාණන් වහන්සේ සමඟ සසර සැරිසැරූ බුද්ධ පතිව්‍රතාවයි .

සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ පෙරුම් පුරා ලබා ගත යුතුව තිබුණු බුද්ධත්වය, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ලබා ගැනීම සඳහා මහත් වූ ආත්ම පූජාවක් කළ වනිතා රත්නයයි යශෝධරා.

ඊට කළගුණ සැලකීම් වස් බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ පරිනිර්වාණයෙන් ඉක්බිති දේහය දැවූ චිතකය අසල රෑ තුන්යම නිදි වරමින් මහා ආදාහන පූජෝත්සත්වයක් පැවැත් වූහ. අනතුරුව රජගහ නුවර චෛත්‍යයක් ද ඉදි කරවුහ.

ලෝක සත්ත්වයාගේ වන්දනාවට පාත්‍ර වූ ඒ චෛත්‍යය, එවක යශෝධරා මහ සෑය නමින් ප්‍රකට විය. ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ වනාහි ඒ වනිතා ශ්‍රේෂ්ඨාව පිළිබඳ පූජාර්හ කථාන්තරයයි.

Cast

Crew

Other Crew