INFO
Abhisheka / අභිෂේක
[ Colour 35mm ]
Not Yet Released
59.379474940334
59% |   419  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Abhisheka / අභිෂේක
Not Yet Released
Colorimeter : Colour
Video Format : 35mm
Category :
Main Actor : Amarasiri Kalansuriya
Director : H.D. Premarathna

 
DESCRIPTION

1981  අග හරියේදී එච්.ඩී. ප්‍රේමරත්න ‘අභිෂේක’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් විය.   

එහි ප්‍රධාන නළු චරිතය රඟපාන්නට තෝරාගෙන සිටියේ, අමරසිරි කලංසූරිය ය. එය ගොළු පෙම්වතකුගේ චරිතයකි. චිත්‍රපටයේ කිසිදු තැනක කලංට දෙබස් නැත.  

මේ සඳහා ප්‍රධාන නිළිය චරිතයට තෝරා ගත්තේ නවක නිළියකි. එකල ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි අවන්ති අපොන්සු ද චිත්‍රපටයට තෝරා ගැනිණි. ඒ, ප්‍රධාන නිළියගේ යෙහෙළියගේ චරිතයටය.  සෙසු චරිත සඳහා රූබි ද මැල්, රෙක්ස් කොඩිප්පිලි, සෝමසිරි දෙහිපිටිය, රීටා රත්නායක  ගාමිණී සමරකෝන් මෙන්ම නවනන්දන විජේසිංහ ද තෝරා ගැනිණි.  

රූපගත කිරීම් සඳහා තෝරා ගත්තේ නුවරඑළියයි. කැමරා අධ්‍යක්ෂණය ලලිත් ගුණවර්ධනගෙනි. මෙය වර්ණ චිත්‍රපටයක් නිසා ලලිත් ඒ සඳහා මහත් උනන්දුවකින් දායක විය.  එකල වර්ණ චිත්‍රපට නිෂ්පාදනය කෙරුණේ ඉඳහිටය. ඒ, වියදම් අධික බැවිනි. රීටා රත්නායක නමැති ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය මට දැන හැඳිනගන්නට ලැබෙන්නේ, ‘අභිෂේක’ චිත්‍රපටය නිසාය.  ‘අභිෂේක’ චිත්‍රපටයට සම්බන්ධව වැඩ කිරීම නිසා රූගත කිරීම් සඳහා නළු නිළියන්ගෙන් කිහිප දෙනකු නුවරඑළියට කැඳවාගෙන යෑම භාර වුණේ මටය.  

රූගත කිරීමේ කණ්ඩායමෙන් පිරිසක් කලින්ම නුවරඑළියට ගොස් තිබුණු අතර, මට භාර වුණේ රීටා රත්නායක, රූබි ද මෙල්, නවනන්දන විජේසිංහ හා කලංසූරිය ගෙන ඒමය.  
දහවල් කාලයේ කොළඹින් ගමන පටන්ගත් අතර, රූබි, රීටා හා නවනන්දන එකතු කරගන්නා විට හැන්දෑවේ හය පමණ විය. අන්තිමට ගන්නට සිටියේ කලංය. එකල ඔහු පදිංචිව සිටියේ ගෙලිඔය (ගම්පොළට මෙහා) නිසා යන ගමන්ම ඔහු ගතහැකි විය. ගමන අතරදී රීටාත්, රූබිත් කොළඹින් පටන්ගත් කතාව දිගටම ඇදී යන්නට විය. නවේත්, මාත් වෑන් රථයේ පසුපස අසුනේ සිටි අතර, කලං ද ඒ අසුනටම නංවා ගැනීම අපේ අදහස විය.  

‘අභිෂේක’ චිත්‍රපටයේ නුවරඑළියේ රූගත කිරීම අතිශයින් දුෂ්කර විය. අපි මුලින්ම නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉවු​රේ දර්ශන කිහිපයක් රූගත කළෙමු.  

දර්ශනය පෙර පුහුණුවීම් කර කැමරාගත කිරීමට සූදානම් වූ විගසම වළාකුළක් පැමිණ හිරු එළිය මකා දමයි. තවත් පැය භාගයක් පමණ බලා සිටින්නට සිදු වෙයි. දර්ශන අතර ආලෝක සම්බන්ධතාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා කලින් පරිදිම හිරු එළිය පතිත වන තුරු බලා සිටිය යුතු විය.  

කලං එහි ගොළු තරුණයකු ලෙස කළ රංගනය තවමත් මගේ සිත තුළ වරින් වර මතු වෙයි. නුවරඑළියේ වැවේ බෝට්ටු අනතුරකින් බේරාගත් තරුණිය ස්තුති කිරීමට ඔහු හා කතා කරද්දී කලං කිසිවක් කතා නොකර ඉතා අවිහිංසක අසරණ බැල්මක් හෙළයි. එය වචන දහසකින් වුව කියාගන්නට බැරි තරමේ නෙතට කඳුළු නංවන චරිත නිරූපණයකි. ඔහු ගොළු බව හඟවද්දී තරුණියගේ හා ඇගේ යෙහෙළියගේ නෙත් තුළ ද මතු වන්නේ අනුකම්පාවකි.  

රීටා රත්නායකගේ බොහෝ දර්ශන රූපගත කෙරුණේ ළිඳුල ප්‍රදේශයේ වතු බංගලාවක් තුළය. ඇය බොහෝ විටෙක පිටපත රැගෙන දෙබස් පාඩම් කළාය. එහිදී ප්‍රේමරත්න වරෙක කීවේ, “දෙබස් ඒ වෙලාවට අපට කටට හුරු විදිහට හදාගන්න පුළුවන්” කියාය. මුල් යුගයේ බොහෝ චිත්‍රපටවල දෙබස් පිටපතේ හැටියටම කිව යුතු විය. විශේෂයෙන්ම මා අසා ඇති පරිදි ඩබ්ලිව්.එ්. සිල්වා ඔහුගේ දෙබස් වෙනස් කරනවාට කොහෙත්ම කැමැති නොවීය. බොහෝ තිර කතා රචකයන් ද තම දෙබස් වෙනස් කරනවාට අකැමැතිය.  රීටා දර්ශන තලයේදී ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක වූවාය. ඇය අවධානය යොමු කළේ තම දායකත්වය උපරිම අයුරින් ලබාදෙන්නටය. දර්ශන තලයේ සැම දෙනාටම ඇය කුළුපග වූවාය.  ‘අභිශේක’ චිත්‍රපටයේ විශේෂත්වය වූයේ ද නව පරපුර සමඟ පැරැණි පරපුර එක් කිරීමය. රීටා රත්නායක ගැන මෙතරම් කතා කෙරෙන්නේ පැරැණි පරපුරේ තිරයේ පෙම්වතියක ලෙස ජනප්‍රියත්වය ලැබූ රීටා දර්ශන තලයේ විශේෂත්වයක් වූ බැවිනි.  

සීතලේ ගැහෙමින් පට්ටිපොළ දුම්රිය ස්ථානයේ රූගත කළ දර්ශන ද මා සිත තුළ තවමත් නොමැකී පවතී. කොළඹ සිට දුම්රියෙන් පැමිණෙන රීටාත්, ඇගේ සැමියා ලෙස රඟපෑ රෙක්ස් කොඩිප්පිලිත්, දියණිය ලෙස රඟපෑ අවන්ති අපොන්සුත් පිළිගත්තේ රූබි ද මැල්, සෝමසිරි දෙහිපිටිය හෝ දඹුලුගල ඇතුළු පිරිසය. මේ සඳහා කොළඹ සිට පැමිණි දුම්රිය මඳ වේලාවක් රඳවාගෙන නැවත ධාවනය කිරීමට සිදු විය.  සති එක හමාරටත් වැඩි කාලයක් අප ‘අභිෂේක’ වෙනුවෙන් නුවරඑළියේ රූගත කිරීම් කළ ද බලාපොරොත්තු පරිදි නිම කරගැනීමට නොහැකි වූයේ දේශගුණික ප්‍රශ්න නිසාය. වැඩ කළ කාලයට වඩා අපතේ ගිය කාලය වැඩි විය. මේ නිසා බෝට්ටු අනතුර ඇතුළු බොහෝ දර්ශන පානදුර ප්‍රදේශයේ ගඟේ රූගත කිරීමට සැලසුම් කෙරිණ.  

එහි තිබුණේ එකම එක ගීතයකි. ස්ටැන්ලි පීරිස් සංගීතය සැපැයූ එම ගීතය ගායනා කළේ, මිල්ටන් මල්ලවාරච්චි හා දමයන්ති ජයසූරිය විසිනි. ‘මල් පිරී පුරයේ’ නම් එම මිහිරි ගීතය ලීවේ කවුදැයි මට දැන් හරියටම මතක නැත. එම සිදුවීම්වලට අවුරුදු 40කටත් වඩා ගෙවී ගොස් ඇති බැවිනි. සියල්ල සූදානම් කරගෙන කොළඹ පැමිණ ටික දිනක් යද්දී එකී ප්‍රධාන නිළිය තම නිවෙසේ නොසිටියාය. හදිසි විවාහය නිසාවෙන් ඇය රඟපෑම ප්‍රතික්ෂේප කළ බව පසුව දැනගන්නට ලැබිණ.  

‘අභිෂේක’ එතැනින් නිමා විය. යළි එය රූගත කිරීමේ අදහසක් ද ඇති බවක් නොපෙනිණ. අප සිත් වැළඳගත් රීටා රත්නායක සමඟ චිත්‍රපටයකට යළි දායක වීමේ අවස්ථාවන් ද මට නොලැබිණ.  

මෙහිදී වඩාත්ම ශෝකජනක පුවත වන්නේ, අප සමග නුවරඑළියේදී සමීපව කටයුතු කළ සුප්‍රකට රංගන ශිල්පි සෝමසිරි දෙහිපිටියට කොළඹ පැමිණීමෙන් පසු සෙංගමාලය (හෙපටයිටීස්) රෝගය වැළඳීමයි. දින ගණනාවක් රෝගීව මහ රෝහලේ සිටි සෝමේ ඉන් ටික දිනකට පසු අප අතරින් වෙන් වූයේ නොසිතූ අයුරිනි.  කලින් රූගත කළ චිත්‍රපට දර්ශන තලයකදී සෙංගමාලය රෝගය වැළඳුණ ගෙයකින් ආහාර පාන ගැනීම නිසා සෝමේට රෝගය වැළඳුණ අතර, නුවරඑළියේදී ඒ බව නොදැන නිසි පරිස්සමක් නොවූ නිසා එය උත්සන්න විය. මේ සියලු මතක සටහන් මැද ‘අභිෂේක’ චිත්‍රපටය ද තිරයට නොආ චිත්‍රපට අතරට එක් විය. අද මීට සම්බන්ධ වූ බොහෝ දෙනකු ජීවතුන් අතර නැත. රීටා රත්නායක, රූබි ද මැල්, සෝමසිරි දෙහිපිටිය මෙන්ම එහි අධ්‍යක්‍ෂ එච්.ඩී. ප්‍රේමරත්න ද අප අතරින් වෙන් වූයේ මීට කලකට පෙර දීය. ‘අභිෂේක’ දර්ශන තලයේ ඉතා ප්‍රසන්න චරිතයක් වූ රීටා රත්නායක ඉන් කලකට පසුව 2006 නොවැම්බර් 6 වැනිදා අප හැර ගියාය. එවිට ඇගේ වයස අවුරුදු 72කි.

රොඩ්නි විදානපතිරණ

 
CAST

CREW

Cinematographer
Lalith Gunawardana
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS