Gajaman

Gajaman

ගජමෑන්

Colour 3D Animation

Film No: 1363  ·  Released: 09 Dec 2022

66.34% · 5,078 votes
Rate this film

Summary

NameGajaman / ගජමෑන්
Film No1363
Released Date09 Dec 2022
ColorimeterColour
Video Format3D Animation
Movie GroupSinhala
CategoryKids
Main Actor: Suneth Chithrananda Main Actor: Gaminda Priyaviraj Main Actress: Rashi Prabodha Director: Chanaka Perera

Trailer

Description

ගජමෑන් ගැන අමුතුවෙන් කිවයුතු නැත. කලකට ඉහත සරසවියෙන් ඇරඹි කැමිලස්ගේ ගජමෑන් අප රටම දන්න අඳුනන චරිතයකි. මේ ගජමෑන් ළඟදීම තිරයට එයි. ගජමෑන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ චානක පෙරේරාය. ත්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්ග් විශ්ව විද්‍යාලයෙන් බහු මාධ්‍ය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූවෙකි. වයස අවුරුදු 15 දී තම යටි සිත තුළ හටගන්නා ත්‍රිමාණ නිර්මාණකරණය පිළිබඳ ආශාව මුදුන් පත්වන්නේ ගජමෑන් චිත්‍ර කථාව ත්‍රිමාණ සජීවිකරණය කිරීමෙන් පසුවය. කුඩා කල සිටම අධ්‍යාපනයට දක්ෂතාවය දක්වන චානකට යාළුවන් රැසක් සිටියේ ද නැත. යාළුවන් සමඟ ගත කරන සෑම මොහොතකම ඔහු තම නිර්මාණකරණය පිළිබඳ ඔවුන් සමඟ සංවාදයේ යෙදුණි.

ඔහුගේ හොඳම යහළුවා වූ 'ඉර්ෂාඩ් නදින්' ද ත්‍රිමාණකරණයට ඇලුම් කළේය. ඔහුගේ ප්‍රාර්ථනා මල්පල ගන්වමින් ඉර්ෂාඩ් නදින් චානකගේ ත්‍රිමාණකරණයට හොඳම කථා පුවත ගජමෑන් බව පසක් කළේය. ඒ ත්‍රිමාණකරණය පිළිබඳ අධ්‍යාපනය නිමවීමත් සමඟ නැවත ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට 2010 දී පැමිණි චානක දින දෙකකට පසු ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා හමු වන්නේය. චානකත් ඉර්ෂාඩ් ද මේ ගිය ගමන නතර වෙන්නේ පියතුමාගේ උපදෙස් පරිදි කැමිලස් පෙරේරා මහතාගේ නිවසේය. ගජමෑන් සිනමාවට නඟන්නට කැමිලස් පෙරේරා හමුවන්නට පැමිණි සත්වැනියා චානක විය. ඒ ඔහුගේ ගජමෑන් නිර්මාණය ත්‍රිමාණ තාක්ෂණයට මුසු කරන්නට මීට ප්‍රථම හය දෙනකු පැමිණ සිටියි. ඒ සියලු දෙනාට කැමිලස් පෙරේරා බලාපොරොත්තු වූ ත්‍රිමාණ නිර්මාණකරණය පිළිබඳ හසළ අවබෝධයක් නොවුවන්ය.

ඒ හයදෙනාගේ දක්ෂතාවයන් උරගා බැලූ කැමිලස් පෙරේරා අද ද චානකගේ නිර්මාණ නොබලා සිටියේ නැත. එහිදී චානක ස්පන්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා සමයේ කළ කෙටි චිත්‍රපටයක් සහ ත්‍රිමාණ ඊඍ වෙළෙඳ දැන්වීමත් පෙන්වන්නට එදා ඔහුට සිදු විය. ඒ නිර්මාණකරණයේ හසළ දැනුම්වත් බවක් චානක සතු බව වටහා ගත් කැමිලස් පෙරේරා චිත්‍රපටයට දායක වනුයේ සම නිෂ්පාදකයකු වෙමිනි. කැමිලස් පෙරේරාගේ එකඟතාවය වූයේ ද තිර පිටපත සුනෙත් චිත්‍රානන්දටත් ගාවින්ද ප්‍රියවිරාජ් හෙවත් පොඩි මල්ලී හා චූටි මල්ලී ලවා ලියවන්නටය. කැමිලස් පෙරේරා විසින් එදා ගජමෑන් හට පණ දුන් චරිත මෙහි ප්‍රතිනිර්මාණය වේ. ගජමෑන්, දැක්කොත් පද්මාවතී, මගෝඩිස්තුමා, සුවිටි, ලපයා, ටික්කා, චූටි, පැටෝ, දුන්සේතන්, සිරිබිරිස් ආදී චරිත මෙහිද දක්නට ලැබේ.

මේ චරිතවලට හඬ මුසු කරන්නේ හඬ පරීක්ෂණයකින් තෝරා ගත් අය පමණි. මේ සඳහා ප්‍රවීණයන් හා ආධුනිකයන් රැසක් හඬ පරීක්ෂණයට යොමු වුණත් ඒ ආපු අය අතරින් කිහිප දෙනකුට පමණයි වාසනාව උදා වුණේ. චානක තේරා ගත් පිරිස වූයේ පොඩි මල්ලි, චූටි මල්ලි, යුරේනි නොෂිකා, රසිපබෝධා, සුනිල් පෙරේරායි. චානක නළු නිළියන් තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක් වූයේය. එයට හොඳම උදහරණය ලෙස ඔහු පෙන්වා දෙන්නේ දසුන් පතිරණයි. තම කාර්යය කුමක් ද කියා වටහා ගැනීම තුළ චරිතය පණ පෙවීම පහසු වෙයි. දසුන් පතිරණ, චාමර ප්‍රියදර්ශන, කසුනි, ටිරාන්, ශරදා, ප්‍රදීප් රංගන ශිල්පීන් ලෙස කැමිලස්ගේ ගජමෑන්ට ජීවය දෙන්නෝය.

හඬ නළුවන් සහ චරිත සියල්ල තෝරා ගැනීමෙන් පසු 2010 වසරේ චානකගේ ප්‍රයත්නයට අත තබන්නේය. ඉන් වසර අටක් ඉකුත්වීත් සමඟ ගජමෑන් සිනමාපටයක් ලෙස අවසන්වේ. තිර පිටපත් ලිව් චූටි මල්ලිත්, පොඩි මල්ලිත් සුනිල් පෙරේරාත් චානකට දායක වන්නේ රුපියල් ශත පසෙක දමායි. ඒ ඔහුගේ නිර්මාණය ලංකාව තුළ නිෂ්පාදනයක් ලෙස එළි දැකීමට ඔවුන්ගෙන් ඉටු විය යුතු සේවාවක් ලෙස සැලකූ නිසාය. මේ හැරෙන්නට තවත් බොහෝ දෙනා තිරය පිටුපස සිට ද උදවු කළ බව කිව යුතුමය. සිනමාපටය රූගත කිරීම සඳහා නූතන පරිගණක දෙකක් (Modern Capture Camara සහ ආරෝපණ කොටස් කැමරා සහ පාට්ස් යොදා ගැනීම (Render Parts) මෙහි සුවිශේෂ ලක්ෂණයකි. මේ සියල්ල ලක්මාල් කන්නන්ගර නිසා චානකට මේ වසර අට තුළ කළ හැකි වූ බවයි වැඩිදුරටත් සඳහන් කළේ. චානකටත් ලක්මාල්ටත් මේ කාර්යයට උරදුන් අන් සියලු දෙනා ආධුනික ත්‍රිමාණකරණය අධ්‍යයනය කරන්නන් විය.

චානක වැඩිදුරටත් සඳහන් කළේ ලක්මාල් නොසිටිය නම් ඔහුට මෙය එළිදැක්විමට නොහැකි බවයි. ඒ සමඟම ඕස්ට්‍රේලියවේ ඔහු අධ්‍යාපනය හැදෑරූ ස්වින්බර්ග් විශ්ව විද්‍යාලයේ ඔහුගේ සගයන් ද ඔහුගේ සහායට ආ බව සඳහන් කළ යුතුමයි. රුපියල් මිලියන 75 කට අධික මුදලක් වැය කර නිම වූ සිනමාපටයක් ලෙස මෙය සඳහන් කළ හැක. පැයයි විනාඩි හතළිහක කාල පරාසයක් සිනමා සිත්තම දිග හැරේ. මෙම සිනමාපටය ත්‍රිමාණ හා ද්විමාණ ලෙස නැරඹීමට පහසුකම් සතුව අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කර ඇත. මෙහි අපූර්වත්වය විඳ ගන්නට සැබැවින්ම ප්‍රේක්ෂකයන්ට හැකි වන්නේ ත්‍රිමාණ නිර්මාණය තුළයි. එහෙත් අන් සිනමා රසිකයන්ට ත්‍රිමාණ සජීවිකරණ නොමැති චිත්‍රපට ශාලාවල ද්විමාණ සජීවිකරණය රස විඳීමට හැකි වනු ඇත.

ලංකාවේ සිනමාකරණයේ නැවම් අත්දැකීමක් ගෙන එන එකල දේශපාලනය හා වර්තමාන දේශපාලනයේ සිද්ධි දාමයන් චානක දිග හරින්නේ ද සතුට, විනෝදය, කතුහලය, ජුගුස්සාව, ව්‍යංග්‍යය තුළිනි. කුඩා ළමුන්ගේ සිට තාරුණ්‍යය මෙම නිර්මාණය වැළඳ ගැනීමත් අනිවාර්යයෙන් සිදු වනු ඇතැයි චානක සඳහන් කළේය. ත්‍රිමාණ සජිවිකරණය අධ්‍යයනය කරන සියලුදෙනා මෙම නිර්මාණය එනතුරු බලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නව්‍යකරණය සොයා යන සියලු නිර්මාණවේදීන්ට චානක පෙරේරා වැනි තරුණ නිර්මාණවේදියකුගේ නිර්මාණ දක්ෂතාවය වටිනා බව කිව යුතුමයි. ඔහුගේ මෙම ගමනට යෝධ ශක්තියක් වූ තම දෙමවුපිය දෙදෙනා සහ යහළුවන් සියලු දෙනා අමතක නොකිරීම ද නිර්මාණවේදියකුගේ නිහතමානී ගති ලක්ෂණයකි. ඔබට කැමිලස්ගේ එදා සරසවිය පුවත්පතේ කිය වූ ගජමෑන් මේ වසරේ අග භාගයේ සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මස තිරගතවීමට නියමිතයි. චානකගේ නවතම නිර්මාණය මීලඟට ගෙන ඒමට ද ඔහු ලහි ලහියේ සූදානම් වන බව ද කිව යුතුයි. ග්‍රැෆික් හෙවි බොලිවුඩ් ආදර කතාවක් සහ සැබෑ නළු නිළියන් යොදා නිර්මාණය වන ඉතිහාස කතාවක් ඒ අතර වේ. ඔබ තවමත් ගජමෑන් පූර්වපටය නැරඹුවේ නැත්නම් youtube හරහා අදම නැරඹීම ද අවස්ථාවක් උදා කර ගන්න. නව්‍යකරණය අලුත්ම පැතිකඩ සොයා යන චානක පෙරේරාගේ ගජමෑන් මෙලෙස ඉදිරියේ ඔබට නැරඹීමට හැකි වේ.

සටහන හා සේයාරූ - නිශ්ශංක විජේරත්න

Cast

Crew