Kele Handa

Kele Handa

කැලැ හඳ

Black & White & Colour 35mm

Film No: 18  ·  Released: 27 May 1953

60.88% · 2,532 votes
Rate this film
Special Message

ඩබ්.ඒ. සිල්වාගේ "කැලෑ හඳ " නවකතාවෙන් නිර්මාණය කරන ලදී.

Summary

NameKele Handa / කැලැ හඳ
Film No18
Released Date27 May 1953
ColorimeterBlack & White & Colour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyMinarwa Films
StudioStudio Citadel - Madras
Main Actor: B.A.W. Jayamanne Main Actress: Rukmani Devi Main Actress: Rita Rathnayake Director: B.A.W. Jayamanne Producer: B.A.W. Jayamanne Producer: Rukmani Devi Producer: Eddy Jayamanna

National Awards

For The Film

1 Favourite Film [1st] Dinamina Ranga Madala 1956 - 1956

For Artists

1 Best Actor 1st Deepashika Award Ceremony 1956 - 1956 B.A.W. Jayamanne

Description

මරදාන ටවර් නෘත්‍ය ශාලාවේ ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යය නරඹමින් සිටි චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අසල අසුනේ තවත් මහත්මයෙක් වාඩි වී සිටියේය. විවේක කාලයේදී මීට ඉහත ජයමාන්න නොහඳුනන මේ මහතා ඔහු හා මිත්‍ර වී කතාවකට මුලපිරී ය.

“ජයමාන්න මහත්තයා චිත්‍රපටගත කරන්නේ ඔබ ලියූ මිනර්වා නාට්‍ය පමණ ද?” “නැහැ මහත්මයා, මගේ අලුත් චිත්‍රපටය සඳහා අවශ්‍ය කතාවක් ගැන මම විපරමින් සිටින්නේ. චිත්‍රපටයකට නඟන්න හොඳ නවකතාවක් ඉල්ලලා මම කමර්ෂල් රේඩියෝ එකේ (ගුවන්විදුලියේ වෙළෙඳ සේවයට) මම දැන්වීමකුත් දැම්මා. පොත් හුඟාක් ආවා. වැදගම්මකට නැහැ.”

“ඇයි, ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගේ හොඳ නවකතා තියෙන්නේ? ‘කැලෑ හඳ’ වගේ කතාවක් හොඳ නැද්ද?”

“කැලෑ හඳ පංකාදු නවකතාවක් නොවැ. මේ දවස්වල සිංහල ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයටත් නියමිත නේ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සිල්වා මහත්තයා හරියට බර්නාඩ් ෂෝ වගේලු. කිව්වොත් කිව්වමලු. වචන දෙකක් නැහැ.” “ජයමාන්න මහත්තයා ඔය තරම්ම ‘කැලෑ හඳ’ට කැමැති නම් මට පුළුවනි උපකාර කරන්න. සිල්වා මහත්තයා මගේ මිත්‍රයෙක්.”

එදා 1951 වසරේ අගභාගයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට හමු වූ මේ අමුත්තාගේ නම මාතර කේ. එච්. ඒ. ධර්මසේකර ය. පසු කලෙක ‘කතා රජ කතාව’ නම් ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ අපදාන කතාව ලියා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ඔහු ය.

එදා කතා කරගත් ආකාරයට ධර්මසේකර කපුකම කිරීමට බාර ගත්තේය. සිල්වා සූරීන් හා ජයමාන්න අතර ලිපි හුවමාරු විය.

“කැලෑ හඳ නවකතාව මට පවරා දෙන්නේ නම් මෙතෙක් සිංහල සිනමාවට ආ චිත්‍රපට සියල්ල පරදවන චිත්‍රපටයක් නිපදවන්නම්.”

ජයමාන්න සිල්වා සූරීන්ට ලියූ අවසාන ලිපියේ සඳහන් කළේය.

සියල්ල නිසි ලෙස සිදු විය. කැලෑ හඳ නවකතාව සිනමාවට නැඟීමට ‍තීරණය විය. මේ සියලු කටයුතුවල ‘නිශ්ශබ්ද වීරයා’ වූයේ ධර්මසේකරයන් ය. සිල්වා සූරීන්ගේ ඇරියුම පරිදි ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි හා ධර්මසේකර සිල්වා සූරීන් පදිංචිව සිටි දියතලාවේ ‘ද නූක්’ නිවෙසට ගිය ගමන ධර්මසේකරයන් තමා ලියූ ‘කතා රජ කතාව’ කෘතියේ එදා තිබූ භෝජන සංග්‍රහය ගැන විස්තර වන්නේ මෙසේය.

“එළු මස්, කුකුළු මස්, හරක් මස්, ඌරු මස් යන සිව් වැදෑරුම් ගොඩ මසින් ද, තෝර මාළු, බල මාළු, මූදු ඉස්සන් යන තෙවැදෑරුම් දිය මසින් ද, ගෝවා, බෝංචි, කැරට්, මුරුංගා යන සිව් වැදෑරුම් එළවළු යෙන් ද, සීනි සම්බෝලයකින් හා ලූනු මිරිස් අච්චාරුවකින් ද, පලතුරු සලාදයකින් ද සමන්විත වූ විසිතුරු කෑම මේසය මුළුමනින් ම අප කතානායක (සිල්වා මහතා) අතින් පිළියෙල වූයේය. කුඩා කොල්ලකුගේ උදව් පමණක් ඇතිව මේ සියලු රසමසවුළු ඔහුගේ ම දෙඅතින් ඉවුම් පිහුම් කෙරුණු කාරණය ඉතාම පුදුමයකි.”

“මම මගේ දියණියකට වගේ කැලෑ හඳට ආ‍දරෙයි. අද ඔබට ඇය විවාහ කර දෙනවා” යි සිල්වා සූරීන් භෝජන සංග්‍රහය අවසානයේ සියල්ලන් හිනස්සමින් කියා ඇත. කැලෑ හඳ සිනමාවට නැඟීමට පෙර එහි ප්‍රධාන චරිතය වූ මාලිනි ලෙස රඟපෑ රුක්මණී දේවියට සිල්වා ශූරීන් උපදෙස්දී ඇත චිත්‍රපට ගත කිරීම් කළ මදුරාසියේ සිටිඩ්‍රල් චිත්‍රාගාරයට ද ඔහු ගොස් රූපගත කිරීම් නිරීක්ෂණය කර ඇත. අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තමා ඊට පෙර නිෂ්පාදන අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට වඩා රුපියල් ලක්ෂ 1 1/2 ක් වැඩිපුර වියදම් කර නිපදවූ කැලෑ හඳ චිත්‍රපටයේ එන ඇ‍ඩා ජයපාල නිතර හිඳ සිටින කළුවර ලීයෙන් තැනූ නාග පුටුව ගැන සිල්වා සූරීන් විශේෂයෙන් සැලකිලිමත් වී ඇත.

මේ නාග පුටුව සෑදීමට කලා අධ්‍යක්ෂ කේ. ප්‍රභාකර්ට මාස එකහමාරක් ගත වූ බව වාර්තා වේ.

චිත්‍රපටයේ නන්දරාල ලෙස රඟපෑ අධ්‍යක්ෂ ජයමාන්න චිත්‍රපටයේ කැපී පෙනෙන නළුවා වූ අතර ඔහු 1956 මුල්වරට පැවැත්වූ දීපශිකා සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස ද, මාලිනී ලෙස රඟපෑ රුක්මණී දේවි ජනප්‍රිය චිත්‍රපට නිළිය ලෙස දිනමිණ චිත්‍රපට තරගයෙන් සම්මාන දිනා ගත්හ. ජෝන් ජයපාලගේ චරිතයට වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි ස්ටැන්ලි පෙරේරා තෝරාගත් අතර, ඇඩා ජයපාලගේ චරිතයට මිලී කහඳවල හා ඩේසි අත්තනායකගේ චරිතයට රීටා රත්නායක ද රඟපෑමට බී. ඒ. ඩබ්ලිව්. තෝරා ගත්තේය. මේ නළු නිළියන් නවක අය වීම තවත් විශේෂයකි.

කැලෑ හ‍ඳේ එඩී ජයමාන්නට සුදුසු චරිතයක් නොවීය. මේ නිසා කනස්සල්ලට පත් එඩී, සුපුරුදු විකට යුවල බී. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපටයක නැති වීම වාණිජ අතින් අසාර්ථක වීමට හැකි යයි තර්ක කර ඇත. බී. ඒ. ඩබ්ලිව් මේ බව සිල්වා සූරීන්ට සැලකර විට ඔහු කෝපයට පත් විය.

“ඔය අදහසට මම කොහෙත්ම කැමැති නෑ. එහෙම කළොත් මගේ කතාවට වන්නේ බලවත් හානියක්” සිල්වා ශූරීන් කියා ඇත.

“අපි කතාවට හානියක් නොවන ලෙස අන්ද්‍රා හා මිසීගේ චරිතය යොදා ගමු.”

අධ්‍යක්ෂවරයාගේ හඬට ඇහුම්කන් දුන් සිල්වා සූරීන් අන්ද්‍ර හා මිසීගේ චරිතය උචිත දෙබස් ‍ටික් ලියාදී ඇත. මිසී ලෙස රඟපෑවේ මේබල් බ්ලයිත් ය. චිත්‍රපටයේ එන සංගිලි පාලම ලංකාවේ අරණායකදීම රූපගත කළ යුතු බවට සිල්වා ශූරීන් කොන්දේසියක් පනවා තිබිණි. එය එසේම සිදු විය. අරණායක, මීගමුව, කටාන, මා ඔය ගඟ ඇත්ගාල යන ප්‍රදේශවල දර්ශන රූගත කිරීමට ද්‍රවිඩ කාර්මික පිරිස ලංකාවට පැමිණ ඇත.

1933 වසරේ සිල්වා සූරීන් රචනා කළ ‘කැලෑ හඳ’ නවකතාව 1953 වසරේ තිරගත විය. චිත්‍රපටයේ ගීත අතිශයින්ම ජනප්‍රිය වීය. විශේෂයෙන් රුක්මණි දේවිත්, මොහිදින් බෙග් ගැයූ ගීත එදා සිනමා රසිකයන්ගේ තුඩ තුඩ රැව් දුන් බව එදා සිටි වැඩිහිටියන් කියන කතාවලින් මොනවට පැහැදිලි වේ. ‘මැවිලා පෙනේවි රූපේ’, ‘දෙවා ගිනි මවා දුක්’, ‘අන්න සුදෝ අර පාට වලා’, ‘මගෙය ප්‍රේම මාලිනි’, ‘පෙම් අමධාරා’ මේ ගීත අතර ප්‍රධාන ය. හින්දි ගීත තනු ඇසුරෙන් හර්බට් එම්. සෙනෙවිරත්න ලියූ ගීත එස්. එස්. වේදා සංගීතවත් කර තිබිණි.

‘කැලෑ හඳ’ චිත්‍රපටය අතිශයින් ජනප්‍රියව ආදායම් උපදවමින් තිරගත වුවද විචාරකයන්ගේ දැඩි විචාරයට ලක්වී ඇත. ‘සංස්කෘති’ සඟරාවට විචාරයක් ලියූ ගණනාථ ඔබේසේකර ‘කැලෑ හඳ’ නරක චිත්‍රපටයක් ‍බවත්, තමා දුටු පහත් නිෂ්පාදනයක් බවත් කියා තිබිණි. ගුණදාස අමරසේකර පසු කලෙක සරසවිය සිනමා වාර්ෂිකයට (1964) පවසා තිබුණේ මෙසේය.

“සිංහල චිත්‍රපටි අතරින් මා දැක ඇත්තේ ඉතා සුළු ගණනක් පමණි. ‘කැලෑ හඳ’ චිත්‍රපටය බැලීමට යෑමෙන් පසු මම ජනමාන්නලාගේ චිත්‍රපට බැලීමට නොගියෙමි.”

විමල් අභයසුන්දරයන් කියා තිබුණේ වෙනස් මතයකි.

“දෙතුන් වතාවක්ම ‘කැලෑ හඳ’ කියවා මා ‘කැලෑ හඳ’ චිත්‍රපටය නැරඹුවේ අපූර්ව චමත්කාරයක් ලබමිනි. ග්‍රන්ථ රූපයේ රස නිෂ්පාදනය චිත්‍ර රූපයේ රස නිෂ්පාදනයට වඩා උසස් යැයි මට සිතිණි. කියැවීමෙන් ලැබූ ආහ්ලාදය මගේ සංවේදිතයෙහි තරයේ බැඳී සිටි හෙයිනැයි හිතමි.”

සිල්වා සූරීන් නවකතා ලියූවේ සිනමාවට නැඟීම උචිත ලෙස බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. ඔහුගේ නවකතා කිහිපයක්ම සිනමාවට නැඟී ඇත. ‘කැලෑ හඳ’, ‘රදල පිළිරුව’, ‘දෙයියන්නෙ රටේ’, ‘දෛවයෝගය’, ‘සිරියලතා’, ‘හඳපාන’, ‘හිඟන කොල්ලා’ හා ළඟදි තිරගත වන ‘විජයබා කොල්ලය’ ද මේ අතර කැපී පෙනෙයි.

එදිරිවීර සරච්චන්ද්‍රයන් 1951 ලියූ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ ග්‍රන්ථයේ මුල්වරට සිල්වා සූරීන්ගේ කෘතිවල ඇති සිනමාත්මක ලක්ෂණ ගැන ඉඟියක් කර තිබිණි.

“කැලෑ හඳ සිල්වා මහතාගේ නොවටනාම කෘතියයි හැ‍ඟේ. කතා නායිකාව වන මාලිනීගේ චරිතය නිරූපණය කරමින් ආරම්භ කරන ලද මේ කතාව ඉක්මනින් හොලිවුඩ් චිත්‍රපට හෑල්ලක තත්ත්වයට පිරිහෙයි. මේ කතාව අභව්‍ය සිදුවීම්වලින් හා දෛවයෝගවලින් ද අනූන ය.”

විචාරකයන් අභව්‍ය සිදුවීම්වලින් ගහන බව කියද්දී පණ්ඩිත ගුණපාල සේනාධීරයන් ‘කැලෑ හඳ’ හිදී මාලිනි ලවා සිය පණ නසාගන්නට සැලැස්වීම මැයකොට ගනිමින් එකල පුවත්පත් මඟින් පැවැත්වුණු වාදයක් ගැන ආවර්ජනය කර ඇත. එහිදී එක පක්ෂයක් ‘කැලෑ හඳ’ කතුවරයා මාලිනියට එබඳු ඉරණමක් අත්කැරදීම බලවත් වරදෙකැයි කියා ඇති අතර දිනෙක මේ පිළිබඳ වැ සිල්වා සූරීන්ගේ අදහස ගුණපාල සේනාධීරයන්ගේ අදහස විමසා ඇත.

“වෙන මොනවද අයිසේ, ඒකිට කරන්න තිබුණෙ? එහෙන් අර උද්ධච්ච අම්මණ්ඩි (ජයපාල මැතිනිය) පුතාගේ (ජෝන් ජයපාල) මහන්තත්තේ පරිස්සම් කර දෙන්ඩ ඒකව කන්න හදනවා. මෙහෙන් මේ සෙවෙලයා (ජෝන්) ඇගේ පස්සෙන් එලවනවා. බේරුමක් නෑ. ඒ සේරටම වැඩිය අර වලව්කාරි (ජයපාල මැතිනිය) ඇවිත් මේකිට කරපු කන්නලව්ව කොච්චර බරපතළ එකක් ද, මාලිනි වගේ ගමක ලැජ්ජා බය ඇතිව හැදුණු ගෑනියකුට? ගෑනියෙක් තවත් ගෑනියකට ඒ වගෙ ඉල්ලීමක් කළාම මොන හැදිච්ච ගෑනිට ද ඒක තකන්නෙ නැතිව ඉන්ඩ පුළුවන් වෙන්නෙ? මේ වගේ කරුණුවලදී අපට අහසින් වැටිච්ච මිනිස්සු වගේ යමක් දිහාව බලන්න බෑ. මේක බලන්න ඕනෑ මාලිනිගෙ අච්චුවෙ ගෑනියකගේ තත්ත්වෙ ඉඳගෙන. අන්තිමට වුණේ අල්ලපු ‍අත්තත්, පය ගහපු අත්තත් කියන දෙකම නැති වුණ එක. සැනසිල්ලේ ජීවත් වෙන්න තියා මැරෙන්නවත් ඈට නිදහසක් තිබුණ ද?”

“‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය රඟපෑ රුක්මණී දේවි ගැන ද ගුණපාල සේනාධීරයෝ මෙසේ කියා තිබිණි. එය රංගනයට පිවිසෙන, පිවිසි නිළියන්ට අපූරු උපදෙසකැයි අපට සිතිණි.

“මේ පුවත මට ‘ඩබ්. ඒ.’ ගෙන් දැනගන්නට ලැබුණේ ‘කැලෑ හඳ’ චිත්‍රපටය පිළිබඳ ‘මුහුර්ත මංගල්‍යය’ සිදුවීම පිළිබඳ පුවත, පත් මඟින් දැනගන්නට ලැබුණු අලුත දිනෙකය. එදින සිල්වමියරයෙහි ඩබ්. ඒ. හමු වූ මම මේ පිළිබඳ එක්තරා තොරතුරු එතුමාගෙන් විමැසීමි. මුහුරත් මංගල්‍යයෙන් පසු විවේක නිකේතනයක සාදයක් චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම විසින් පවත්වන්නට යෙදිණ. මේ හමුවෙහිදී රුක්මණී දේවිය තමා ඉදිරියට අවුත් දණින් වැටී තම දෙපා වැඳි බව කීයේ දුක්බර සිතිනි. එහිදී ‘ඩබ්. ඒ.’ මතුකර කීයේ ඇගේ ගුණවත් බව ය. නළුකම වැනි රැකියාවකට පිවිසුණ ද ඇය යහපත් මව්පියන් ඇසුරෙහි හැදුණු වැඩුණු ආචාරශීලි කාන්තාවක බව තමාට එදා වැටහුණු බව ‘ඩබ්. ඒ.’ සඳහන් කළේය.”

අවසාන වශයෙන් කරුණාසේන ජයලත් කී මේ ප්‍රකාශයෙන් ලිපිය අවසන් කරමි.

“ඩබ්ලිව්. ඒ. සිල්වාගෙන් සිංහල සිනමාවට සිදු වූ සේවාව මීට වඩා පුළුල් ලෙසත්, ක්‍රමවත් ලෙසත් සාකච්ඡාවට භාජන විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි.”

ඒ.ඩී. රන්ජිත් කුමාර

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Love story of Malini, a village girl who goes to town to see the Vel festival and falls in love with a rich gentleman John Jayapala who pretends to be of low class.

Cast

Crew