Nela

Nela

නෙලා

Colour

Film No: 1271  ·  Released: 21 Feb 2018

58.51% · 1,890 votes
Rate this film

Summary

NameNela / නෙලා
Film No1271
Released Date21 Feb 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryRomance
Main Actor: Udara Ratnayake Main Actress: Shalani Tharaka Producer: Samanmalee Hewamanna Director: Bennett Ratnayake

Trailer

Description

අපේ රටේ ආදර කතාවලට පොදු ආකෘතියක් තියෙනවා

ජෝර්ජ්ගේ ආදර හිත උතුරවන්න ආදර වැහි වැට්ටෙව්වේ ‘නෙලා’. ඇස් නොපෙනුණ ජෝර්ජ් ලෝකයේ සුන්දරත්වය දැක්කේ නෙලාගේ ඇස් දෙකින්. සිනිඳු මල් පෙතිවල පාට, සුළං රැල්ලක සිසිල, දිය කඳුකර අසිරිය ජෝර්ජ් වින්දේ නෙලාගේ අසීමිත ආදරයට මැදිව. ජෝර්ජ්ගේ අඳුරු ලෝකය තුළ ‘නෙලා’ සුරූපී රැජිනක්. අඳුර තුළ මවාගත් නෙලාගේ සැබෑ රූපය දකින්න ජෝර්ජ් පෙරුම් පිරුවා. ඒත් ඒ දිනය උදා වෙනකොට විරූපී නෙලා ජෝර්ජ්ගේ ඇස් මානෙන් හුඟක් දුරට ගිහිල්ලා. එතකොට ජෝර්ජ්ගේ ආදරය . . . නෙලාගේ ආදරේ . . . ඒක සදාකාලිකයි. මේ කතාව අපට කිව්වේ මේ දිනවල රීගල් ඇතුළු සිනමා ශාලාවල තිරගත වන බෙනට් රත්නායකගේ ‘නෙලා’ චිත්‍රපටය. ආදරය දැනෙන හදවත් දෙකක ආදරණීයම කතාවක් රැගෙන එන බෙනට් රත්නායක අපි හමු වුණේ ‘නෙලා’ ගැන අහන්න.

‘නෙලා’ ඔබ අධ්‍යක්ෂණය කරන්නේ වසර ගණනාවක නිහැඬියාවකට පස්සේ. අපි ‘නෙලා’ ගැන කතා කරමු.

මම අන්තිමට චිත්‍රපටයක් කළේ 2010 දී. තිරගත වූ ‘ඉර හඳ යට’ චිත්‍රපටය. අවුරුදු 8 කට පස්සේ තමයි ‘නෙලා’ චිත්‍රපටය කළේ. නෙලා චිත්‍රපටය හැදුවේ 2016 දී. ගෙවුණු පහුගිය කාලවකවානුව මගේ පවුලේ යුතුකම් වගකීම් හා බැඳුණු ජීවිතයකට ගත වෙලා ගියා. මගේ දරුවෝ විවාහ වුණා. මගේ අම්මා තාත්තා මිය ගියා. මම රැකියාවෙන් විශ්‍රාම ගත්තා. ඔය අතර කාලය දන්නෙම නැතුව ගෙවිල ගියා.

වසර 8 - 10 ක් කියන්නේ දීර්ඝ කාලයක්?

ඔව්. දීර්ඝ කාලයක් තමයි. මේ අතරතුර 2013 දී මම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වුණා. ප්‍රබල රාජ්‍ය නිලධාරියෙක් කේන්ද්‍ර කරගෙන තමයි මේ චිත්‍රපටයේ පසුබිම සැකසුණේ.

ඒ චිත්‍රපටයට මොකද වුණේ?

ඒ චිත්‍රපටය කරන්න මට පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය අවශ්‍ය වුණා. නමුත් ඔවුන් ඒ චිත්‍රපටයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අපහාසයට පත් වෙනවා කියා සහාය ලබාදීම ප්‍රතික්ෂේප කළා. මේ චිත්‍රපටය කරන්න මම සියල්ල සූදානම් කරගෙන හිටියේ. තිර නාටකය ලියලා නළු නිළියන් තෝරගෙන ලොකේෂන් බලලා සෙට් හදලා ඔක්කොම සුදානම් කරගෙන ඉන්න කොට තමයි පොලිස් දෙපාර්තමේන්තුව බාධා කළේ. ඒක නිස මම මානසික පසුබෑමකට වගේම ආර්ථික පසුබෑමකටත් ලක් වුණා. ඊට පස්සේ තමයි මම 2016 දී ‘නෙලා’ හදන්න පෙලඹෙන්නේ.

ඔබ ‘නෙලා’ ට පසුබිම් කර ගන්නේ සාහිත්‍ය කෘතියක් නේද?

ඔව්. ස්පාඤ්ඤයේ ගල් අඟුරු ආකරයක් පසුබිම් කරගෙන ගොඩ නැඟුණු නවකතාවක්. 1898 දී ස්පාඤ්ඤයේ සම්භාව්‍ය නවකතාකරුවකු වන බෙනිටෝ පෙරෝස් මේ නවකතාව ලියලා තියෙන්නේ. බේබදු පියෙක් සහ මවක් තමයි ඒ කතාවේ ඉන්නේ. මේක අපේ රටේ 20 වැනි සියවසේ මුල් භාගයට ගැළපෙන විදියට මම නිර්මාණය කළා.

ඔබේ හිත ගියේ මෙහි සිංහල පරිවර්තනයටද?

මේ නවකතාව ස්පාඤ්ඤ බසින් ලියවුණත් ඒක සිංහලට පරිවර්තනය කර තිබුණේ ඉන්ද්‍රාණි රත්නසේකර මහත්මිය විසින්. මා දන්නා හැටියට ඇය ස්පාඤ්ඤයේ සේවය කළ ස්පාඤ්ඤ බස දන්නා තැනැත්තියක්. සිංහල පරිවර්තනය ප්‍රකාශයට පත්වන්නට ඉස්සර මට කියවන්න ලැබුණේ පරිවර්තන සටහනයි. ඒ පරිවර්තන සටහනට තමයි මගේ හිත ගියේ.

එහි තිබුණ විශේෂ ලක්ෂණය මොකක්ද?

මගේ හිත වැඩිපුරම ආශක්ත වුණේ මේ කතාව ඇතුළේ තිබෙන සුන්දර ආදරයට. සිනමා නිර්මාණකරුවෙක් විදියට මගේ නිර්මාණයකට ‘ආදරය’ මට වස්තු බීජය කරගන්න බැරි වුණ මාතෘකාවක්. මගේ පළමුවැනි සිනමා අත්දැකීමට මම පසුබිම් කර ගත්තේ තණ්හාව. දෙවැනි සිනමා නිර්මාණය වූ ‘සුළඟ’ට මාතෘකා කර ගත්තේ සමාජ ස්ථර හතරක ජීවත්වන ගැහැනිය. මගේ තුන්වෙනි නිර්මාණය වූ ‘ඉර හඳ යට’ චිත්‍රපටයෙන් මම සාකච්ඡා කළේ අපේ රටේ ජනවාර්ගික අර්බුදයයි. මේ පාර මට හිතුණා ආදරය පසුබිම් කරගන්න. බෙනට් රත්නායකටත් ආදරය දැනෙනවා. මමත් ආදරය කළ කෙනෙක්. තවමත් ආදරය විඳින කෙනෙක්. අපි හැමෝටම පොදු ඒ ආදරය තමයි ‘නෙලා’ තුළින් අරගෙන ආවේ.

ආදරය පසුබිම් වුණු දේශීය විදේශීිය චිත්‍රපට ඕන තරම් තිබෙනවා. අපේ රට තුළත් ආදර කතාවලට වෙනම ආකෘතියක් තියෙනවා. ‘නෙලා’ ඉන් වෙනස් වෙන්නේ කොහොමද?

අපේ රටේ ආදර කතාවලට පොදු ආකෘතියක් තියෙනවානේ. ප්‍රේමවන්තයෙක් ඉන්නවා. ප්‍රේමවන්තියක් ඉන්නවා. දුෂ්ටයෙක් ඉන්නවා. සින්දු කියනවා. නැටුම් තියෙනවා. ඔය ආකාරයෙන් ‘නෙලා’ මේ ආකෘතියෙන් සම්පූර්ණයෙන් බැහැර වෙනවා. මේක ඉතාම සංවේදී වන ආදරේ ගැන වෙන විදියකට අර්ථ දක්වන කතාවක්. මමත් ලංකාවේ හදන හැම ආදර කතාවක්ම බලනවානේ. ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ආදරේ ප්‍රේක්ෂකයන්ට දැනෙනවාද කියලා ප්‍රේ්ක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ.

සිනමාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාම වර්තමානය වන විට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මේක තමයි සියලුම සිනමාකරුවන්ට තිබෙන ප්‍රශ්නය. මේක පොදු ප්‍රශ්නයක් විදියට අපේම අය තවමත් අවබෝධ කරගෙන නෑ. මම අයින් වෙනකම් බලාගෙන ඉන්නවා තව කෙනෙක් එන්න. එයා ආවම එයත් පරාදයි. ඊළඟට එන කෙනා බලන් ඉන්නවා එන්න. නමුත් එයා ආවම එයත් පරාදයි. හැමෝම දිනන්න බලන් හිටියට ආවමයි දන්නේ පරාද වන බව. මේ තත්ත්වය අවබෝධ කරගෙන හැම දෙනාම එකතු වුණේ නැත්නම් අපේ රටේ දේශීය සිනමාවක් නැති වේවි . වාණිජමය අගයෙන් ඉහළ ප්‍රචාරය සඳහා විශාල මුදලක් වියදම් කළ හැකි ඉඳහිට කෙනෙක් විතරයි යම් තරමක හරි ජයග්‍රහණයක් ලබා ගන්නේ. චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න සිනමා ශාලාවල තිබෙන ඒකාධිකාරියත් එක්ක කරන්නේ කොහොමද? ‘නෙලා’ තිරගත වෙලා තවම සතියයි. පසුගිය සති අන්තයේ සමහර සිනමා ශාලාවල 10.30 දර්ශනයට ඉංග්‍රීසි චිත්‍රපටයක් පෙන්නනවා. මේ මම ඉතාම ළඟදී ලබපු අත්දැකීම. ශාලා හිමියන්ගේ ඒකාධිකාරයත් එක්ක අපිට නැගිටින්න අමාරුයි.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු. චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයෙත් ඔබ සාමාජිකයෙක්. මේ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යෝජනා කරන්න බැරිද?

ඩික්සන් නිලවීර වාර්තාව වලංගු නැති ලියවිල්ලක්. ජාතික චිත්‍රපට සංස්ථාව ඒ කියන්නේ දැන් තියෙන එක නොවෙයි මුලින්ම පටන් ගත් බලය තිබෙන චිත්‍රපට සංස්ථාව මේ ගැන සලකලා ප්‍රතිසංස්කරණ ගෙනැල්ලා බෙදා හැරීමට විවධිමත් ක්‍රියා පරිපාටියක් හැදුවේ නැත්නම් දේශීය සිනමාව නැත්තටම නැති වෙනවා. සමහර සිනමා ශාලා හිමියෝ අපි සිනමා ශාලා හැදුවේ අපිට ඕන දේවල් කරන්න කියන අවස්ථා තිබෙනවා. අපි සිනමා ශාලා හිමියන්ගේ කීමට යටත් වෙන්න වෙලා තියෙනවා. මම වගේ සිනමාවේ යම් අත්දැකීමක් තියෙන කෙනෙකුටත් එහෙමනම් අලුතින් එන කෙනෙකුට කොහොම වෙයිද?

චිත්‍රපට සංස්ථාවට බලපෑමක් කරන්න බැරිද ඔබට?

චිත්‍රපට සංස්ථාවට මේක පැහැදිලි කරලා ඔවුන්ට යෝජනා ඉදිරිපත් කළත් ඒවත් පිළිගන්නේ නැති තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. මා හිතනවා කවුරුන් හෝ මේ වෙන අසාධාරණය, අවිධිමත්භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට යන්න වෙනවා. කොමිටි වාර්තා තිබුණට වැඩක් නෑ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. කොමිටි වාර්තා නැතුව හරි කමක් නෑ සාධාරණ නිසි ක්‍රමවේදයක් හැදෙනවා නම්. මමත් චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස මසකට වරක් ගොස් අපේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒක මහා බලයක් තිබෙන තනතුරක් නොවෙයි. අපි ප්‍රකාශ කරපු අදහසුත් සමහර අවස්ථාවල ඊළඟ මාසේ යනකොට ක්‍රියාත්මක වෙලා නෑ. චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න බොහෝ දෙනාට උවමනාවක් තියෙනවා වැඩ කරන්න. සභාපතිතුමාටත් උවමනාවක් තියෙනවා. නමුත් මම දන්නේ නෑ වැඩ වෙන්නැති හේතුව මොකක්ද කියලා. සංස්ථාවේ සභාපතිතුමාගෙනුත් මම නිතරම ඉල්ලන්නේ තමන්ගේ බලය පාවිච්චි කරන්න කියලා. අපි නිවැරැදි දේ කරනවා නම් නිවැරැදි තීරණ ගන්නවා නම් බලය පාවිච්චි කරන්න භය ඇයි? නමුත් අද රටේ නිවැරැදි තීරණ ගන්නත් භයයි. හැම තැනම තියෙන්නේ ජරා ජීර්ණ වෙච්ච, අසංවර, විනයක් නැති ක්‍රමවේදයක්.

‘නෙලා’ හරහා ඔබ සිනමාවට අරන් ඇවිත් තියෙන්නේ ටෙලි නාට්‍ය තුළ ස්ථාපිත වෙච්ච රංගන ප්‍රතිරූප ටිකක්. මේ නළු නිළි තෝරා ගැනීම ගැන මොකද හිතෙන්නේ?

සිනමාවේ ‘තරු’ මම හෙව්වේ නෑ. මගේ චරිතයට උපරිම සාධාරණත්වය දෙන්න පුළුවන්, දක්ෂතාවය තිබෙන, මට විශ්වාස කරන්න පුළුවන් චරිත මම තෝරා ගත්තේ. මේ චරිත ලියවෙන කොට මගේ හිත තුළත් මැවෙන රූප තිබෙනවා. මගේ ඒ කල්පිතයට ළඟ චරිත මම තෝරා ගත්තා. මගේ ප්‍රධාන නිළියට තිබෙන්නේ විශාල අභියෝගයක්. චිත්‍රපටය නරඹන කාටත් ඒ ඉන්නේ ශලනි තාරකා කියලා එකපාරටම අඳුර ගන්න අමාරුයි. මම හැම වෙලේම විශ්වාස කරනවා හොඳ රංගනයක් ‘තරු’ අබිබවා යනවා කියලා.

ප්‍රධාන චරිතය ඔබේ පුතණුවන්?

මේ චිත්‍රපටයේ ජෝර්ජ් ඔහු. නෙලා මුල් කෘතියේ සඳහන් වන්නේත් ජෝර්ජ් උස මහත කඩවසම් තරුණයෙක් ලෙසට. ඒ ලක්ෂණ උදාරට තියෙනවා. මේක මගේ ආත්ම ප්‍රකාශනය. මගේ හිතෙයි මේ චරිත මැවෙන්නේ. මගේ චිත්‍රපටයේ නළු නිළියන් තෝරන්නේ මම. මගේ සමහර චරිත කවමදාවත් කැමරාවක් ඉදිරියේ රඟපු චරිත නොවෙයි. ඒක මගේ නිගමනය.

ඔබ නිෂ්පාදනය පැත්තෙනුත් නෙලාට දායක වෙනවා නේද?

නිෂ්පාදකවරු පස් දෙනෙක් ඉන්නවා. මා වෙනුවෙන් සමන්මලී හේවාමාන්න, එච්. ඩී. ප්‍රේමසිරි, චරිත් නාගොඩවිතාන, අතුල මහවලගේ, දිලාන් ප්‍රනාන්දු තමයි නෙලා නිෂ්පාදනය කළේ.

දැන් ඊළඟට මොකද කරන්නේ?

මේ දූෂණයට එරෙහිව මම කතා කරන්නේ. හැම තැනකම තියෙන දූෂණය, නාස්තිය, අක්‍රමිකතාවය තමයි මගේ ඊළඟ නිර්මාණයෙන් කතා කරන්නේ. මම හිතනවා ඒක මගේ යුතුකමක් කියලා.

ඔබ ටෙලි නාට්‍ය කලාව අත්හැරලම දැම්මා නේද?

ටෙලි නාට්‍ය කලාව විදේශීය ටෙලි නාට්‍ය ගෙන්වලා විනාශ කරලා දැම්මනේ. ටෙලි නාට්‍යයක් කරලා අර්ථවත් මුදලක් ගන්න පුළුවන් එකම ආයතනයයි තියෙන්නේ. ඒ ස්වාධීන රූපවාහිනි ආයතනය. නමුත් ඔවුන්ගේ ටෙලි නාට්‍ය තෝරා ගැනිමේ ක්‍රමවේදයට මම එකඟ නෑ. ඒක ඉතාම රහසිගත ටීම් එකක් කරන්නේ. රහසිගත විනිශ්චයක විනිවිදභාවයක් නෑ කියලයි මම විශ්වාස කරන්නේ. ෂරියා ලෝ එකේවත් රහසිගතභාවයක් නෑ. ඒ නිසා මම ටෙලි නාට්‍ය කලාවට ආයුබෝවන් කිව්වා. මගේ ආයතනයෙන් නැවත ටෙලි නාට්‍ය හදන්න බලාපොරොත්තුවක් නෑ.

‘නෙලා’ පවුලේ සැමටද?

ඔව්. පවුලේ සැමට ආදරයෙන් නැරැඹිය හැකි චිත්‍රපටයක්. අපේ ප්‍රේක්ෂකයෝ සියලු දෙනාටම මං ආරාධනා කරනවා නෙලා නරඹන්න කියලා. ඔවුන් චිත්‍රපට නැරැඹුවොත් තමයි තවත් චිත්‍රපටයක් කරන්න අපිට ශක්තියක් වෙන්නේ.

- හේමාලි විජේරත්න

ඡායා - නිශ්ශංක විජේරත්න

20 වන ශත වර්ෂය මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ කළුතර පරිසරයකදී අපට හමුවන ජෝර්ජ් සහ නෙලා අහිංසක පෙම් යුවළක්. හදිසියේම ඔවුන් අතරට එන ආගන්තුකයෙක්. ඒ ටියුඩර්, වෛද්‍යවරයෙක්. ටියුඩර්ගේ ආගමනය නිසා වෙනස් වන නෙලාගේ ජීවිතය අපට කියා දෙන්නේ ආධ්‍යාත්මික ආදරය පිළිබඳව අපූර්වතම අත්දැකීමක්.

Cast

Crew

Other Crew