DESCRIPTION
අද අපි මේ සමරන්නේ අපේ රටට නිදහස ලැබී ගෙවන 70 වැනි වසරයි. අපේ රටට නිදහස දිනාගැනීමේ සටනේ ඉදිරියෙන්ම කියැවෙන නාමයක් ලෙස මෙරට ප්‍රථම අගමැති පදවිය හෙබවූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් හැඳින්විය හැකිය. මෙරට ප්‍රභූවරයකු ලෙස ඉපිද පොදු ජනතාව වෙනුවෙන් දේශපාලනයට පැමිණ එතුමන් අපේ රටට කළ සේවය පිළිබඳව යුගයෙන් යුගයට කතාබහට ලක්විය යුතු අතර නිරන්තරයෙන් ගෞරව බහුමානයට පාත්‍රවිය යුතුය. ඩී. එස්. සේනානායකයන් පිළිබඳව එතුමන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවුණු ‘නිදහසේ පියා ඩී එස්‘ චිත්‍රපටය පිළිබඳව 70 වැනි නිදහස් දිනය සමරද්දී කතාකරන්නට අප සිතුවේ එය මේ අඩුව පුරවන්නක් වන බැවිනි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ මෙරට තරුණ නිර්මාණ ශිල්පියකු වන සුනෙත් මාලිංග ලොකුහේවායි. සුනෙත් මීට පෙර ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් වූ ‘සිංහාව ලෝකනය‘ සහ‘ස්පන්ධන‘ යන නිර්මාණ මෙරට සිනමාවට තිළිණ කර තිබේ.
මේ නිදහසේ පියා ඩී එස් චිත්‍රපටය පිළිබඳව සුනෙත් සමඟ කළ සංවාදයයි.
‘‘ දැනට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා තිබෙන්නේ. මූලිකවම අපි සැලසුම් කරල වැඩකටයුතු කළේ 70 වැනි නිදහස් සැමරුම යෙදෙන අද දින මෙය තිරගත කරන්නයි. නමුත් අපේ රටේ චිත්‍රපට පෝලිමක් තිබෙනවා. අපිට ඒ පෝලිම පනින්න බැහැ. අපි ඒකත් සැලකිල්ලට අරගෙන 2018 අවුරුද්ද ඒ කියන්නේ නිදහසේ 70 සමරණ මේ අවුරුද්ද ඇතුළත මෙම නිදහසේ පියා ඩී එස් චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තු ෙවනවා. ඒ අනුව මෙහි පූර්ව ප්‍රචාරක පටය සහ ගීත ළඟදීම එළි දකීවි. ‘‘
මෙය අපේ රටේ යුග පුරුෂයකුගේ ජීවිත කතාව වටා ගෙතුණු නිර්මාණයක්. මෙය ලොකු අභියෝගයක්.
‘‘ඇත්තටම මෙය අපි දැනගෙන තමයි මේ නිර්මාණය කරන්නට පටන් ගත්තෙ. මෙහි පිටපත ලියන මොහොතේ සිටම අපි දැනගෙන හිටියා මෙය අභියෝගාත්මක නිර්මාණයක් කියන එක. ඒ නිසා අපිට සිද්ධවුණා ගොඩක් දෙනෙක්ගේ උදව් ගන්න මේ සත්‍ය තොරතුරු එකතු කර ගන්න. ඩී එස් සේනානායක මහත්මයා සම්බන්ධයෙන් තිබෙන පොත්පත් අපි පරිශීලනය කළා. රුක්මන් සේනානායක, වසන්ත සේනානායක මැතිතුමන්ලාගෙන් තොරතුරු ලබාගත්තා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමකට මෙහි එන විවිධ චරිත බාරදීලා ඒ චරිත පිළිබඳව අධ්‍යයනය කරලා තොරතුරු ලබාගත්තා. ඩී එස් සේනානායකයන් හැරුණු විට බණ්ඩාරනායක, ඩී. බී. ජයතිලක, සර් ජේම්ස් පීරිස්, පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම්, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන වැනි මේ සියලු චරිත තියෙන නිසා මේ චරිත වෙන වෙනම බාරදිලා ඔවුන් ගැන හොයන්න අපි කටයුතු කළා. ඒ සාමූහික තොරතුරු අනුව තමයි මේ තිරපිටපත ලියලා තියෙන්නේ. මේ තිරපිටපත ඇතුළේ මනකල්පිත ලෙස අපි ගොඩනගපු චරිත කිහිපයක් තිබෙනවා චිත්‍රපටයේ නාටකීය ගුණය රැකගන්න. ඒ හැරුණාම මෙය අපේ රටේ සැබෑ ඉතිහාසයේ සිදුවුණු සැබෑ දත්ත සමඟ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
අපට ආව මූලික අභියෝගයක් තමයි කතාව අපි සකස්කරගත්තාට පස්සේ රංගන ශිල්පීන් තෝරාගැනීමේදී මෙහි චරිත වල මුහුණුවරට සමාන සහ රඟපෑමට හැකි අයම තෝරාගන්න. ඉතින් අපේ නිෂ්පාදන කණ්ඩායම ගොඩක් මහන්සි වුණා බොහෝදුරට ඒ ඒ චරිත වල මුහුණු වරට සමාන පිරිසක්ම තෝරාගන්නට. ඒ වගේම ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමේදීත් ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. සම්පූර්ණ ඇඳුම් මහලා තිබෙනවා දෙදාහකට වඩා. ෆුල් සූට්ම තුන්සිය පනහක් පමණ මහන්න වුණා.
මේ චිත්‍රපටය ඉලක්ක කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවද?
කොහොමද ඩී එස් සේනානායක මැතිතුමා සියලු ජාතීන්ගේ උදව් අරගෙන සියලු බලවේග ඒකරාශී කරගෙන සුදු ජාතිකයන්ට විරුද්ධව නිදහස ලබාගත්තෙ කියන එක මේකෙන් අපි පෙන්වනවා. මේ කාලය වනකොට නිදහස ලබාගැනීමට එහා ගිහිල්ල නිදහස පවත්වා ගැනීමට එතුමාට තිබුණු සැලැස්ම මොකක්ද? මින්නේරිය, මිනිපේ වැනි ගොවි ජනපද ඇතිකර කෘෂිකර්මය නගාසිටුවීම තුළින් ලබාගත් නිදහස පවත්වාගෙන යන්නට එතුමා තුළ තිබූ සැලැස්ම අපි මේ චිත්‍රපටය තුළින් පෙන්වනවා.
විශේෂයෙන් අපි මේ චිත්‍රපටය ඉලක්ක කරන්නේ පාසල් දරුවන්. අපි දන්නවා අද වයස අවුරුදු 40 ට වඩා වැඩුමල් අය මේ චිත්‍රපටය බලයි ඒ ගොල්ලො දන්න තොරතුරු මෙහි තිබෙනවද කියලා බලන්න. පාසල් දරුවන්ට මෙහි අධ්‍යාපනික වටිනාකමක් තිබෙනවා මොකද මේ චිත්‍රපටයේ තිබෙන තොරතුරු ටික ඉස්කෝලේ පොතකින් ඉගෙන ගන්න බැහැ. ඒ එක්කම අපේ රට නිදහස ගත්තෙ මෙන්න මේ ආකාරයෙන් මේ මේ වගේ චරිත නිදහස ලබාගන්න සම්බන්ධ වුණා කියන තොරතුරු ඔවුනට දැනගන්න පුළුවන්.
වසර 70 කට පෙර පරිසරය නොවේ අද තිබෙන්නේ කොහොමද මේ අභියෝගය ජයගත්තේ
අපිට දර්ශන තල සකස් කරන්න සිදුවුණා. ඒ වගේම විශේෂ ප්‍රයෝග භාවිතා කරන්න සිදුවුණා. මේ චිත්‍රපටයේ සෑම ඩිපාට්මන්ට් එකකටම දැවැන්ත අභියෝගයක් තිබුණා.
මේ නිර්මාණයට විශාල රංගන ශිල්පීන් පිරිසක් දායක වනවා.
ඔව්. මෙහි ඉතා විශාල රංගන ශිල්පීන් පිරිසක් සිටිනවා. මෙහි සමහර පොඩි චරිත වලට පවා, පොඩි කියල අදහස් කළේ පොඩි වෙලාවක් පමණක් චිත්‍රපටය තුළ ඉන්න චරිත වලට පවා ප්‍රවීණ නළු නිළියන්ව භාවිතා කළා. සමහර ප්‍රවීණ නළු නිළියන් මේ චිත්‍රපටය තුළ රඟපානවා එක දෙබසක් වත් නැතුව. නමුත් අපි ඒකට ඒ අයම තෝරාගත්තා ඒකට හේතුව අපිට අවශ්‍යවුණා රංගන ශිල්පීන්ගේ වටිනාකම මේ චිත්‍රපටය තුළට ගේන්න. එතකොට මේ නිර්මාණයට කාස්ට් වැලිව් එකක් එනවා. මේ දැවැන්ත රංගන ශිල්පීන් සහභාගිවීම තුළින් චිත්‍රපටයට වටිනාකමක් ලැබෙනවා. ඒක දර්ශන තල හදනවා වගේම ඇඳුම් මහනවා වගේම පාවිච්චිකරන කැමරා වගේම වැදගත් දෙයක් . නම් වශයෙන් කිව්වොත් දහ දෙනෙක්වත් ඉතුරුවෙලා නැති තරමට අපේ රටේ ප්‍රවීණ දක්ෂ නළු නිළියන් සියල්ලම පාහේ මෙහි රංගනයෙන් දායක වනවා.
ඩී.එස්.මැතිතුමාගේ ජීවිත කතාවට බෝතලේ වළව්ව සෘජුවම සම්බන්ධයි. කොහොමද මේ සැබෑ ස්ථාන චිත්‍රපටයට යොදා ගත්තෙ.
බෝතලේ වළව්ව රූගත කිරීම් වලට යොදා ගන්නවා කියන තීරණයේ තමයි අපි මුලින් හිටියේ. නමුත් අපිට චිත්‍රපටය ආරම්භයේදී ඩීඑස් අනුස්මරණ කමිටුවෙන් පොඩි චෝදනාවක් ආවා අපි මේ චිත්‍රපටයේ මුල් නම වෙනස් කළා කියලා. ඒකෙදි බෝතලේ වළව්ව ලබා ගැනීමේදී යම් බාධාවක් සිදුවුණා. අපි ඒ නිසා වෙනත්ද දර්ශන තලයක තමයි රූගත කළේ. කොහොම වුණත් බෝතලේ වළව්ව ඇතුළේ රූගත කිරීම ප්‍රායෝගිකවත් අපහසු දෙයක්. මොකද අද ඒක ඩී එස් සේනානායක මැතිතුමාගේ කෞතුකාගාරයක් ලෙස තමයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපි ඊට සමාන වෙනත් වළව්වක් මේ සඳහා යොදාගත්තා.
ලංකාවේ මොන මොන ප්‍රදේශ වලද රූගත කිරීම් සිදුකළේ
මීරිගම ප්‍රදේශයේ දවස් 14 ක්, රන්මිණිතැන්නේ දවස් 8 ක්, නුවර දවස් 10 ක්, අනුරාධපුරේ දවස් 5 ක් සහ කොළඹ දවස් 10 ක් ලෙස තමයි මෙහි රූගත කිරීම් සිදුකළේ.
මේ සඳහා ගතවුණු කාලය සහ වැයවුණු මුදල කොපමණද?
තිරපිටපත ලියන තැන සිට රූගත කිරීම දක්වා මෙහි පෙර නිෂ්පාදන කටයුතු සඳහා අපට අවුරුද්දක පමණ කාලයක් ගතවුණා. රූගත කිරීම් කරලා තිබෙනවා දවස් 60 ක්. ඉන්පස්සේ පසු නිෂ්පාදන කටයුතු සඳහා මාස හයක පමණ කාලයක් ගතවෙලා තිබෙනවා ඒ හඬ කැවීම් සඳහා ප්‍රධාන ශිල්පීන් සියයක් සහ අතිරේක ශිල්පීන් දෙසියයක විතර පිරිසක් සම්බන්ධවුණු දැවැන්ත කාර්යයක් . ඒ වගේම රූගත කිරීමෙන් පස්සේ සම්පූර්ණ පිටපත පැය තුනහාමාරක් . අපි එය පැය දෙකහමාරකට සංස්කරණය කරලා චිත්‍රපටය නිම කරලා තිබෙනවා. ළඟදීම අපි මෙය සෙන්සර් බෝඩ් එකට බාරදෙනවා. මේ නිර්මාණය නිම කිරීම සඳහා වියදම රුපියල් ලක්ෂ නමසියයක්.
www.silumina.lk/2018/02/03/