Anusha Sonali

Anusha Sonali

අනූෂා සොනාලි

Born 8 April 1975 Died 28 April 2022

8 April 1975 - 28 April 2022

60.38% · 3,051 votes
Rate this artist

Summary

NameAnusha Sonali
Sinhala Nameඅනූෂා සොනාලි
Born8 April 1975
Died28 April 2022

Biography

අනූව දශකයේ මුල අනූෂා සොනාලි රංගනයට පිවිසෙන්නේ සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තය හරහාය. ඇය එච්. ඩී. ප්‍රේමරත්නගේ වීසි දැල චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නවක නිළියට හිමි සරසවිය සම්මානය ද දිනා ගත්තාය. එවර ලේක්හවුස් දින දර්ශනය සැරසුවේ ද ඇගේ රුවිනි.

හඬන කිංකිණි, ලොකු දුව, වීසිදැල, බවසසර, සුන්දර වරද, දරු උපත, මමත් ගැහැනියක්, ගිනිගත් හෝරාව, සළුපට අහසට 2 ආදී චිත්‍රපට රැිසක රංගනයේ නියැළි අනූෂා පසු කලෙක කෂේත්‍රයේ පතල වූයේ පුවත් මවන්නියක හැටියටය.

ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබමින් කල් ගෙවූ අනූෂා කලක පටන් කලා නිර්මාණයන් තුළින් දක්නට නොලැබීමට හේතුවක් වූයේ ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම නිසාය. තම අසනීප තත්ත්වය නිසාවෙන් අද වන විට රෝද පුටුවට සීමා වී ඇති ඇගේ ජීවිතය ගැන තොරතුරු සොයා අපි ගියේ ඈ පදිංචි ඩී/150, නිවාසිපුර, කොටුගොඩ, ඒකල නිවහන සොයාගෙනය. අප යන විටත් ඇය නිවසේ ඇඳ මත වැතිර සිටියේ ඊට කලින් දින ඇයගේ රෝග තත්ත්වය සොයා ගැනීමට කළ ශල්‍යකර්මයක් නිසාවෙන් රෝද පුටුව මත ඉඳ ගැනීමටවත් නොහැකි හෙයිනි.

රෝගී බව නිසාත් ශල්‍යකර්මයේ අපහසුතාත් නිසාවෙන් ඇඳ මත වැතිර සිටි අනූෂා මොහොතක් අප වෙත හැරුණේ ඇගේ රෝගී බව ගැන අප සමඟ පවසා සිටින්නටය.

මීට අවුරුදු දහයකට කලින් ඉඳලා හිටපු ගමන් මගේ කකුල් පණ නැති වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. කොහොම හරි මීට අවුරුදු හතරකට වගේ උඩදී හදිසියේම මගේ වම් කකුල පණ නැති වෙලා මාව ඇදගෙන වැටුණා. ඒ වැටීමේදී මගේ දකුණු කකුල කැඩිල ගියා. ඒ කකුලට මම ප්ලේට් එකක් දාලා තියෙන්නේ. එතැන් පටන් මගේ ඇඟ දුර්වල වෙන්න පටන් ගත්තා. වෛද්‍ය උපදෙස් පරිදි නොයෙක් පරීක්ෂණ සිදු කළා. අවසානයේ වෛද්‍යවරු නිගමනය කළා මට වැලඳිලා තියෙන්නේ මයෝපති කියන රෝගය කියලා.

* ස්ථිර වශයෙන්ම රෝගය හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවයක් ලබන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවාද?

ඒ ගැන නම් වෛද්‍යවරු ස්ථිර වචනයක් දීලා නැහැ. තවමත් පරීක්ෂණ කරගෙන යනවා ලංකා හොස්පිට්ල් එකේ. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නිලුපුල් පෙරේරා, රාගම පුනරුත්ථාපන රෝහලේ විශේෂඥ වෛද්‍ය දුමින්ද මුනිදාස මහත්වරු තමයි මට ප්‍රතිකාර කරන්නේ. මගේ මේ වම් කකුලේ අභ්‍යන්තරයෙන් කොටස් අරන් (බයොප්සි) පරීක්ෂණයක් පවා සිද්ධ කළා. ඒකේ ප්‍රතිඵල එන්න තව දින කීපයක් යන බවත් කිව්වා. ඒ අනුව අවශ්‍ය කරන බෙහෙත් මොනවද කියලා දැනගන්නත් පුළුවන් කියලයි වෛද්‍යවරු කිව්වේ. තවම ස්ථිර නිගමනයකට වුණත් වෛද්‍යවරු ඇවිත් නැහැ. මම දන්නේ නැහැ මේ කළ පරීක්ෂණයේ ප්‍රතිඵල කොහොම වෙයි ද කියලා.

* රෝග තත්ත්වය ආරම්භයේදීම ප්‍රතිකාර ගන්න ඔබ උත්සාහ කළේ නැද්ද?

නැතුවම නෙවෙයි. මම දඹුල්ලේ යාපාගම වෙද මහත්තයාගෙන් පවා වෙද හෙදකම් ලබා ගත්තා. ඒ ප්‍රතිකාර ලබා ගන්නත් ඒ අවටින් නැවතිලා ඉන්න සිද්ධ වුණා. ඒ සඳහා මට මුදල් අවශ්‍ය වුණා. එක පැත්තකින් ගෙයක් අරන් මාස කීපයක් එහේ නැවතිලා ඉන්නව කියන එකත් ලේසි වුණේ නැහැ. එහෙම හිටියොත් මේ ගෙදර වැඩ කවුරු බලා කියා ගන්නද. හැම දේටම ඉන්න එකම කෙනා මමයි. මගේ අම්මත් අද රෝද පුටුවට සීමා වෙච්ච ජීවිතයක් තමයි ගෙවන්නේ.

* අම්මට තියෙන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද?

එයාට තියෙන්නෙත් මගේ රෝග තත්ත්වයම තමයි. අම්මව කවුරු හරි උස්සල තමයි රෝද පුටුවට වුණත් අරන් තියන්න ඕනේ. මට නම් තවම මොනව හරි දෙයක් අල්ලගෙන හරි රෝද පුටුවෙන් වාඩිවෙන්න හරි පුළුවන්. තුනටියෙන් පල්ලෙහා පණ නැති වෙලා. මාංශ පේශි අක්‍රීයවීමක් තමයි මේ රෝගයේ තියෙන්නේ. අම්මට මේ තත්ත්වය දරුණු ලෙසම තියෙනවා. මමත් දැන් ඒ තත්ත්වයට පත් වෙලයි ඉන්නේ.

* එතකොට ඔබේ දරුවා?

පුතා රෙහාන් දීලක. ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පුතා අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉගෙන ගන්නත් දක්ෂයි. ඒත් පුතා මගෙත් අම්මගෙත් වැඩ කරන්න කියලා ඉස්කෝලේ යන එක නවත්තලා අපිව බලාගන්න ගෙදර නැවතුණා. මට වුණත් ආදායමක් නැති නිසා දරුවගේ පාසලේ වියදම් දරන්නත් බෑ. පුතා දැන් මේ අපි පදිංචි අවටින් රැකියාවක් කරන්න තමයි හොය හොයා ඉන්නේ.

* කාත් කවුරුත් නැතුව මේ වගේ අසනීප තත්ත්වයෙන් පසුවන ඔබ ජීවත් වෙන්න ලොකු අරගලයක නියැලෙනවා ඇතිනේද?

මම ළඟ කියලා ඉතිරි වෙච්ච දෙයක් නැහැ. අද මම ජීවත්වෙන මේ ගෙදරත් මගේ ගෙයක් නොවෙයි. මම මේ ඉන්නෙත් කුලී ගේක. මේ ගෙදරට විතරක් මාසික කුලිය රුපියල් පහළොස් දහසක්. ලයිට් බිල්, වතුර බිල් එහෙම එනකොට තව රුපියල් හාර පන්දහසක් යනවා. බේත්හේත් වලට ලෙඩේට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණවලට තව කොච්චර නම් මුදලක් යනවද. අද වෙන කොට මට ආදායම් මාර්ගයක් කියලා කිසිවක් නැහැ. මට කියලා හිටියේ මල්ලි කෙනෙක් විතරයි. එයත් පුළුවන් හැටියට මම ගැන බැලුවා. අද වෙන කොට එයත් හෘද රෝගියෙක්. මට වගේම එයාටත් දැන් මේ රෝගයේ ලක්ෂණ එන්න පටන් අරන්. අද වෙන කොට මගේ යාළුවෝ තමයි මගේ වියපැහැදම් බලන්නේ. එයාලා පුළුවන් හැටියට මට මුදලින් ආධාර කරනවා. මාසේ අන්තිමට ගෙයි කුලිය ගෙවා ගන්න මම නොගන්න උත්සාහයක් නැහැ. මොකද මෙතන නැති වුණොත් මට යන්න වෙන්නේ මහ පාරට. වේලක් හරි වේලක් කාලා බීලා හරි මම ලැබෙන මුදලක් ඉතිරි කරගෙන මාසේ අන්තිමට ගෙවල් කුලිය ගෙවනවා.

* ගෙදර ඉහුම් පිහුම් කටයුතු කොහොමද කර ගන්නේ?

අමාරුවෙන් හරි මම ඇඳ ළඟට රෝද පටුව අරන් ඒකට ගොඩ වෙලා ඒකේ ඉඳගෙන තමයි උයා පිහා ගන්නේ. මේ දවස්වල නම් මගේ සහෝදරියක් වගේ ඉන්න ෂෙහාරා කියලා මිතුරියක් මගේ අත් උදව්වට මට පිහිට වෙනවා.

* වෛද්‍ය පරික්ෂණවලටත් ලොකු මුදලක් වැයවෙනවා ඇති?

මට ඒ සඳහා මුදල් නැතිකමින්ම මම වෛද්‍ය පරීක්ෂණ කරන්නේ නැතුව මාසය දෙක තුන නොකර හිටියා. රෝගය උත්සන්න වෙන කොට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්න ඒ දේවල් නැතුව බෑ කිව්වා. ඒ නිසාම මම දන්න කියන යාළුවන් කීප දෙනෙකුටම මම මේ බව කිව්වහම ඒ අය මට උදවු කළා මගේ වෛද්‍ය පරීක්ෂණයේ රෝහල් බිල ගෙවා දමන්න.

* ඔබත් සමඟ එකට කලා ක්ෂේත්‍රයේ හිටිය යහළු යෙහෙළියන්ගෙන් මේ වෙලාවේ පිළිසරණක් නැද්ද?

සමෝජා බිබිලේ, විනෝජා නිලන්ති, කැලුම් විජේසූරිය, ප්‍රියන්ත විජේකෝන් තමයි එදා මගේ සැපේදී හිටිය මිතුරු මිතුරියන් අතරින් අද මම ගැන හොයලා මට උපකාර කරන කීප දෙනා. වෙන කිසිම කෙනෙක් මම ගැන හොයලා බැලීමක් කලෙත් නැහැ. දිල්හානි අශෝකමාලා මම අසනීපව ඉන්නවා කියලා පත්තරේක දැකලා මට කතා කළා. සුනිල් ටී., ජයන්ත ධර්මදාස, රන්ජන් රාමනායක මහත්වරු මට යම් මුදලකින් ආධාරයක් කළා. ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගෙන් වතුර වීදුරුවක දෙයක් නෑ.ද ඇයි එහෙම කියන්නේ, පදනම් එහෙමත් තියෙනවනේ?

තියෙනවා කියන දේ මමත් දන්නවා. හැබැයි අපි වගේ අයට ඒවායේ පිහිටක් නැහැ. මොකද මේ කලා ක්ෂේත්‍රයේ තරම් කල්ලිවාදය තියෙන වෙන ක්ෂේත්‍රයක් නැහැ. ඉතින් එක එක කල්ලිවල උදවිය දරන මත වෙනස්.

* ඔබේ අසනීප තත්ත්වය මේ වෙන කොට ක්ෂේත්‍රය පුරා පැතිර ගොසින්නේ?

ඇත්ත. සමහර නිළියෝ ඒ කාලේ මාත් එක්ක එකට රඟපෑ මාත් සමඟ එකට පාටි දාපු අය. අද ෆේස් බුක් එකෙන් මගේ දුක සැප අහනවා, එදා කාපු බීපු හැටි මට මතක් කරලා දෙනවා. ඔන්න මගේ සහෝදරියෝ කියන නිළියන්ගේ ඇත්ත කතාව.

* ඔබ ගැන ඒ කාලයේ තිබුණු ආකල්ප මේ විදියට ඔබව දුරස් කරන්න හේතු වෙලා කියලා ඔබ හිතන්නේ නැද්ද?

හැබැයි මට ඇඟිල්ල දික් කරන ඔය අයගෙන් මම අහනවා වැරැදි නොකරපු කෙනෙක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවාද කියලා. හැබැයි කට්ටිය කතා කරන්නේ හරියට ඇඟේ මැස්සෙක්වත් වහලා නෑ වගේ. ඔය කියන උදවියගේ ඇඟේ කොහොමද මැස්සො වැහුවේ කියලා තම තමන්ම හිතා ගත්තා නම් හොඳයි.

* අද ඔබ මේ ඉන්න අසරණභාවය තුළ එදා ඔබේ ජීවිතය ගෙවුණු ආකාරය ගැන මොකද හිතෙන්නේ?

දැන් මට තියෙන මොළේ එදා තිබුණා නම් කියලා හිතෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආවහම මට ක්ෂේත්‍රය ගැන වැටහීමක් තිබුණේ නැහැ. මගේ අවංකකම හින්දා ඒ දේ මට සිද්ධ වුණා. මම කෙනෙක්ගෙන් ගත්ත දෙයක් නැහැ. මගෙන් දෙයක් දුන්නා මිසක්. මම කාවවත් සූරගෙන කෑවේ නැහැ. එදා මම හිටිය තත්ත්වය එක්ක එහෙම මම කළා නම් අද මම තට්ටු දහයක ගෙයක් වුණත් තියෙන සුපිරි ජීවිතයක් ගෙවන අනුෂා කෙනෙක්.

* දැන් ඔබ ගෙවුණු ජීවිතය ගැන පසුතැවෙනවාද?

අද මම පසුතැවිලා වැඩක් නැහැ. මේ මම ලබා උපන් හැටි. මම අදටත් තව කෙනකුට කියන්නේ මාව ආදර්ශයට අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. මගේ ජීවිතයෙන් යම් දෙයක් ඉගෙන ගන්න කියලා.

* කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ එදා ජනප්‍රිය තලයේ වැජඹුණු අනූෂා හම්බ කරපු මිල මුදල්වලට මොනවද කලේ කියලා?

මම රඟපෑ එක ඇත්ත. එත් මට ලැබුණු මුදල් ගැන නම් කතා කරල වැඩක් නැහැ. මගේ අවංකකමට චාටු බස්වලට රැවටිලා මම රඟපෑ අවස්ථා තිබුණා. සමහරු අදටත් මට ණයයි රඟපාපු ඒවට. ඒ දවස්වල රඟපෑමට ලැබුණු මුදල දාස් ගණන් මිසක් ලක්ෂ ගණන් නොවෙයි.

* ලැබුණු මුදලින්වත් ඉතිරියක් කරගෙන තමන්ගේම කියලා ගෙයක් දොරක් හදා ගත්තා නම් අද මේ වගේ වෙලාවක ලොකු සහනයක්නේ?

ඒ දවස්වලත් මට ඉතිරියක් කරන්න තරම් මුදලක් ලැබුණෙත් නැහැ.

* ඔබ රඟපෑ චිත්‍රපට දෙකක් තවම තිරගත වෙන්නත් තියෙනවා?

සංගිලි චිත්‍රපටය, කුපාඩියා චිත්‍රපට දෙක තවම තිරගත වුණේ නැහැ. ඒ දෙකේම මම හොඳ චරිතාංග රංගනයක් කළා.

* ටෙලි නාට්‍යයක් නිෂ්පාදනයටත් ඔබ දායක වුණා නොවේද?

මම ළඟ තිබුණු මුදල් ටික දාලා 2005 දී දෙවැනි බවය කියලා ටෙලි නාට්‍යයක් කළා කොටස් දාහතක. සනත් අබේසේකර තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. ජීවන් කුමාරතුංග, හයිසින්ත් විජේරත්න, රෙක්ස් කොඩිප්පිලි, ඩී. බී. ගංගොඩතැන්න, නිරෝෂා හේරත්, රංගන ප්‍රේමරත්න වගේ ප්‍රවීණයෝ ජ්‍යෙෂ්ඨයෝ තමයි එහි රඟපෑවේ. ඒත් දෙවැනි බවය රූපවාහිනී නාලිකාවලට ඉදිරිපත් කළාම ඒ ආයතනවලින් ප්‍රතික්ෂේප කළා. මම දන්නේ නැහැ ඇයි කියලා. අදත් ඒක මම ළඟ තියෙනවා. මේ වෙලාවේ කුමන හෝ නාලිකාවක් මේ ටෙලි නාට්‍ය රාත්‍රී කාලයේ බැරි නම් දවල් කාලයේදී හරි පෙන්නලා මට කීයක් හරි හොයාගන්න ක්‍රමයක් හදල දෙනවා නම් මේ වෙලාවේ මට කරන ලොකු උපකාරයක්.

* ඔබේ පුතා රෙහාන් දීලක රඟපෑමට යොමු කරන්න එහෙම ඔබේ අදහසක් නැද්ද?

පුතා පුංචි සංදියේ මායා ඇවැනිවු, වගේම වෙළෙඳ දැන්වීම් කීපයකත් රඟපෑවා. කවුරු හරි පුතාට රඟපෑමට අවස්ථාවක් ලබා දෙනවා නම් එයත් කැමැතියි රඟපාන්න. පුතාට දැන් අවුරුදු දහනමයයි.

* ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් ඔබට උදවු කරන්න අවශ්‍ය අයකුටත් ඔබ වෙනුවෙන් යමක් කරන්න හැකි නම් ඔබ බලාපොරොත්තු වන්නේ මොන වගේ දෙයක්ද?

මං අද වෙන කොට මුදල් අතින් වගේම ගෙයක් නොමැතිකමින් ගොඩක් අසරණ වෙලයි ඉන්නේ. මට දැන් ඉක්මනින්ම අවශ්‍යවෙලා තියෙන්නේ මට කියලා පුංචි ගේ පොඩ්ඩක්. එහෙම වුණොත් මම මාසෙකට ගෙවන ගෙවල් කුලිය මට ඉතිරි කරගන්න පුළුවන්. මේ දවස්වල මගේ ජීවිතය ගැට ගහගන්න මට මුදලින් උදවු කරන බහරේන්වල, ඊශ්‍රායලයේ, ඔස්ට්‍රේලියාවේ ඉන්න මගේ රසිකයින් කීප දෙනෙක් මගේ ගිණුමට හැකි අයුරින් මුදලක් ලැබෙන්න සලස්වනවා. දන්න කියන අයට මගේ අමාරුකම් කිව්වහම හැකි අයුරින් කීයක් හරි මගේ බැංකු ගිණුමට දානවා. එහෙම තමයි මම ජීවත් වෙන්නේ. ඒකල කොමාර්ෂල් බැංකුවේ ඩී. ඒ. එස්. ද සිල්වා නමින් 8710029204 ගිණුම් අංකයට තමයි මම වෙනුවෙන් ලබා දෙන මුදල් ආධාරයක් ලබෙන්න සලස්වන්නත් පුළුවන්. මගේ පුද්ගලික ආයාචනය හොයලා බැලුවොත් මගේ එකම හීනය සැබෑ වෙයි. නැත්නම් වෙන්නේ වහ ටිකක් කාලා මැරෙන එක තමයි.

චන්දන දයාසිරිවර්ධන

Awards

National Awards

1 Best Upcoming Actress Handana Kinkini - 1994 23rd Sarasaviya Awards - 1995 - 1995

As a Cast

#Film NoYearFilm RoleDirector
1 7861994 Handana Kinkini හඬන කිංකිනි Actress Mario Jayathunga
2 8391996 Hiru Sandu Hamuwe හිරු සඳු හමුවේ Main Actress Hemasiri Sellapperuma
3 8401996 Loku Duwa ලොකු දුව Actress Sumithra Peiris
4 8661997 Wisidela විසිදැල Main Actress H.D. Premarathna
5 9182000 Salupata Ahasata 2 සළුපට අහසට 2 Actress Mario Jayathunga
6 9392001 Wasanthe Kunatuwa වසන්තේ කුණාටුව Actress Ranga Wijendra
7 9452001 Sundara Warada සුන්දර වරද Main Actress Louie Vanderstraeten
8 9462001 Daru Upatha දරු උපත Main Actress Sudesh Wasantha Pieris
9 9522002 Mamath Geheniyak මමත් ගැහැනියක් Main Actress Sudesh Wasantha Pieris
10 10112004 Ginigath Horaawa ගිනිගත් හෝරාව Main Actress Louie Vanderstraeten
11 11422011 Putha Mage Sooraya පුතා මගේ සූරයා Main Actress Ranjith Jayasinghe

Upcoming Films

#Film RoleDirector
1 Kupadiya කුපාඩියා Actress Mario Jayathunga