SUMMARY
Sandun Fernando
සඳුන් ප‍්‍රනාන්දු
59.111111111111
59% |   675  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Sandun Fernando සඳුන් ප‍්‍රනාන්දු
Sandun Fernando
NATIONAL AWARDS

1Best Stunt Coordination
3rd Hiru Golden Film Awards 2018
Aloko Udapadi
 
FILMOGRAPHY


AS CREW MEMBER

1Aloko Udapadi
Fight Director
2017
BIOGRAPHY

පොඩි කාලේ සිටම කොලූ‍ ගැටවු ගහගන්නට රුසියෝය. සඳුන් ප‍්‍රනාන්දුට ද ඒ රුචිය දැඩිව තිබුණි. පාසල් සමයේ ඇති වූ ඒ ආශාව සමඟ කාලය ගෙවී යද්දී ඔහුට අංගම්පොර ගැන අහම්බෙන් මෙන් අහන්නට ලැබිණ. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මෙන්ම මොරටු පුරවරයෙන් ලද දේශීයත්වය පිළිබඳ හැඟීමත් සමඟ ගැළපුණු මේ ආරංචිය ඔහු අංගම් කලාව වෙත යොමු කළේය. රාජසිංහ රජුගේ සිංහාසනය නිර්මාණය කිරීම නිමිත්තෙන් මුතු කුඩයත්, ආභරණයක් ලෙස අසිපතක් භාවිත කළ හැකි මෙන්ම මොරටුව නින්දගමට හිමිකම් කී රදලයකු වූ ‘වන්නගි‘ නැමැත්තාගේ පරපුරෙන් පැවතෙන ඔහු ටවර් හෝල් යුගයේ ඇරැඹුණු අංගම්පොර ගෝදාවේ මුලාසනය හෙබැවූ මහාවීර දොස්තර හරමානීස් පීරිස් ගුරුතුමාගෙන් ඇරඹි පරපුරේ පස්වැනි පුරුකයි. තමන් උගත් සටන් කලාව සිනමාවේත්, ටෙලි නාට්‍ය කලාවේත් සටන් ජවනිකා සඳහා නව මුහුණුවරක් ලබා දීමට යොදාගත් ඔහු ඒ වෙනුවෙන් සම්මානයටද පාත‍්‍ර විය. එසේම අංගම් පිළිබඳ ගවේෂණයෙන් ලද සිය දැනුම අන් අයට බෙදා දීම වෙනුවෙන් ඔහු ගොයුම් සෙවණැල්ලේ රණශූරයා - තීව‍්‍ර ගවේෂණයක ප‍්‍රතිඵලය වූ පහත රට අංගම්- කෘතිය රචනා කළේය. සරසවිය අද මේ ඉඩහසර වෙන් කරන්නේ අතීතයේ හෙළ බිම රැකි අංගම්පොර සටන් කලාව, එහි වත්මන් භාවිතය සහ අනාගතය පිළිබඳ අංගම් සටන් උපදේශක සඳුන් ප‍්‍රනාන්දුගෙන් විමසීමටය.
 
අපි ඔබේ කුඩා අවධියෙන් සිහිපත් කරමින් කතාව අරඹමු?
 
මම රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්වයෙන් තමයි කොළඹ ආනන්ද විද්‍යාලයට තෙරුණේ. ආනන්දයෙන් ඉවත් වූ පසුව තමයි වැටහුණේ පාසල් මාතාවගෙන් අපට ලැබුණ දේවල් මොනවාද කියලා.
 
මෙතෝදිස්ත විද්‍යාලයේදීත් ගහගන්න ගියාද?
 
දැනට වුණත් මම ඥාතීන්ට, හිතවතුන්ට හරිම අහිංසකයි. කවුරුහරි මට ඔහොම හිටගෙන ඉන්න කීවොත් ඒ කෙනා ආපසු වෙනස් කරන තුරු එතැනම හිටගෙන ඉන්න තරම් අනෙක් අයගේ මතයට ගරු කරන කෙනෙක් මම. හැබැයි යාළුවන් අතරේ තමයි අපේ කතා බහ ගොඩනැඟු‍ණේ. මට මිතුරන් ගොඩාක් ඉන්නවා. කොලූ‍ කමට කරන දේවල්, ජව සම්පන්නව ක‍්‍රීඩාවලින් දිනන්න තිබෙන ආශාව වගේ දේවල් සමඟ තමයි සටන් කලාවටත් යොමු වුණේ. මොරටුවේ නිසා එය ප‍්‍රවේණියෙන් එන්නත් ඇති. ඊටත් වඩා මම නම් හිතන්නේ මෙය සසර පුරුද්දක් වන්න ඇති කියලා.
 
දැන් මම විවාහකයි. මගේ බිරිඳ රදීෂා ප‍්‍රනාන්දු ගෘහිණියක්. ලොකු පුතා සමිතු ප‍්‍රනාන්දුත් මම වගේ ශිෂ්‍යත්වයෙන් ආනන්දයට ගිය කෙනෙක්. ඔහු හය වසරේ දරුවකු ලෙස මෙරට පළමු වතාවට විද්‍යා විෂයන් සඳහා ඔලිම්පියා රන් පදක්කම ලංකාවට ගෙනෙන්න සමත් වුණා. චූටි පුතා දමිතු ප‍්‍රනාන්දු. අභී ලෙසයි ඔහු බොහෝ දෙනා හඳුනන්නේ. මොරටුව වේල්ස් කුමර විදුහලේ ඉගෙන ගන්නේ. ළමා රංගශිල්පියකු ලෙස කටයුතු කරනවා. මගේ තාත්තා වඩු කාර්මිකයෙක්. අම්මා ගෘහිණියක්. සිතුම් ප‍්‍රනාන්දු මගේ මල්ලිත් සටන් කලාවට සම්බන්ධයි. මා යටතේ ඇති සුරක්නා කියන සටන් කණ්ඩායමේ ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. අපේ පරම්පරාවේ වෙන කවුරුත් සටන් කලාවට සම්බන්ධ නැහැ.
 
අංගම් හැර වෙනත් සටන් කලා පිළිබඳවත් ඔබ හදාරා තිබෙනවාද?
 
පාසල් යන කාලේ හය වසරෙදි පමණ කරාතේ ටික කාලයක් ඉගෙන ගත්තා. මට එය එතරම් හිත ගිය සටන් කලාවක් නොවුණ නිසා මිතුරන් සමඟ නොයෙක් සටන් කලාවන් පිළිබඳ හොයන්න ගත්තා. ඒ අතර තමයි මොරටුව ඉඳිබැද්දේ කේ. සුනිමල් ප‍්‍රනාන්දු ගුරුතුමන් මට මුණ ගැසුණේ. ඉන් පසු මොරටුවේ ගේ‍්‍රෂන් ප‍්‍රනාන්දු ගුරුතුමාගෙන් ආයුධ සටන් ඉගෙන ගත්තා. පසුව සටන් කලාවේ ඔප මට්ටම් කිරීම් උපේක්ෂක වීරදැරණියගල ගුරුතුමන්ගෙන් ඉගෙන ගත්තා.
 
කරාතේවල වර්ණ පටි වගේ ශ්‍රේණිගත කිරීමක් අංගම්වලත් තිබෙනවාද?
 
මෙහි එය නම් කරන්නේ ශිල්ප ක‍්‍රම යනුවෙන්. ජ්‍යෙෂ්ඨත්වය හිමි වන්නේ ශිල්පීය ක‍්‍රම අනුව. ඒ වගේම තමන් කෙතරම් ඉහළට ඉගෙන ගත්තත් තමන්ට පෙර විෂයය ඉගෙනගත් අයගේ ජ්‍යෙෂ්ඨත්වයට ගරු කළ යුතුයි.
 
හෙළ සටන් කලාව ගැන ඔබේ අර්ථකථනය ?
 
අපේ කම රකින්න අතීතයේ සිට පැවැති සටන් ක‍්‍රමයක්. අපි හඳුනාගෙන තිබෙන ක‍්‍රමය අංගම්පොර ලෙස නම් කරනවා. මෙහි කියා තිබෙනවා සිංහල බෞද්ධයකුට හැර ඒ කලාව උගන්වන්න එපා කියලා. එයට හේතුව අපේ රටට ආක‍්‍රමණයක් ඇති වුවහොත් එයින් දෙස බස රැස රැකගන්න යොදා ගත් සටන් කලාවක් ලෙස මෙය පිළිගැනීමයි. මෙය සිංහල බෞද්ධ සටන් කලාවක් ලෙස නම් පටබැඳී තිබීම නිසයි ගුරුවරුන් පිටස්තරයකුට මෙය උගන්වන්න එපා කියන්න හේතුව වන්නේ.
 
 මෙහි ගුරුකුල තිබෙනවා?
 
ඔව්. අනෙක යමෙකුට අහන්න පුළුවන් මෙය බුදු දහම ලංකාවට පැමිණීමට පෙර තිබුණෙ නැද්ද කියලා. ඇත්තටම අංගම් පොර පැවතෙන්නේ ඊට බොහොම ඈත අතීතයක සිටයි. මේ සටන් කලාවේ පියා ලෙස සලකන්නේ රාවණ රජු ලෙසයි පැවසෙන්නේ. එතුමා විවිධ ශක්තීන් උපයෝගී කරගෙන මෙය විධිමත් කළ බවටයි කතා පවතින්නේ. ඒ වගේම මන්ත‍්‍ර තන්ත‍්‍ර ජ්‍යෝතිෂ වැනි මෙයට අදාළ අනෙක් කොටස් දේව සංකල්පය සමඟත් බැඳී පවතිනවා. සමහරු කතරගම දෙවියන් රණ ශූරයකු නිසා වැඳුම් පිදුම් කරනවා. මේ සටන් කලාව පවතින ක‍්‍රම දෙකක් තිබෙනවා. එකක් ගුරු පරම්පරාව. ඒ කියන්නේ ගුරුවරයා තමන්ගේ හොඳම ගෝලයාට ගුරුමුෂ්ටියකින් තොරව සටන් ඉගැන්වීම. අනෙක ලේ පරම්පරාව. එය තාත්තාගෙන් පුතාට හෝ දුවට යන ක‍්‍රමය ලෙසයි ගැනෙන්නේ. ලේ පරම්පරාව බොහෝ විට නැතිව යන්න හේතු වන්නේ දරුවන් යහපත් ලෙස නොහිටියොත් සටන් ක‍්‍රමය උගන්වන්නේ නැති වීම සහ ¥ දරුවන් මේ ක‍්‍රමය පියාගෙන් පසු පවත්වා නොගෙන වෙනත් රැකියාවල නිරත වීමයි. මම එන්නෙත් ගුරු පරම්පරාවකින්. ඒ වගේම මෑත කාලීනව අහන්න ලැබුණු නුවර යුගයේ ගුරු කුල දෙකක් ලෙස සුදලිය සහ මරුවල්ලිය ගුරුකුල දක්වන්න පුළුවන්. ප‍්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේ කතාවන්නේත් මේ කුල දෙක පමණයි. ඒත් ඊට පෙර යුගවල සිට රට පුරා සිටි සටන්කරුවන්ගෙන් පැවතෙන විවිධ ගුරු කුල අදටත් තිබෙනවා.
 
 ඒ ඒ ගුරුකුලවල සටන් ක‍්‍රම වෙනස්ද?
 
ඉගැන්වෙන ක‍්‍රමයේ වෙනස්කම් තිබෙන්න පුළුවන්. සුද්දා මේ සටන් ක‍්‍රමය තහනම් කළ පසු ඇතැම් අය මෙය නැටුමක් ලෙස උගන්වන්න වුණා. සමහරු ආයුධ පමණක් යොදාගෙන ගිනිබෝල, පොලූ‍ කැරකැවීම් ඇසුරෙන් මෙය පවත්වා ගත්තා. තවත් අය වෙනත් නම්වලිනුත් කරගෙන ගියා. ඒ ආකාරයෙන් මෙහි කොටස් විශේෂීකරණයට ලක් වුණා. ගෝලයා ගුරුවරයා අනුකරණය කරන නිසා ගුරුවරයාගේ හැඩයටම ඒ දේවල් කරන්න උත්සාහ කළා. එවිටත් වෙනස්කම් සිදු වුණා. ඕනෑම මිනිසකු සටන් සඳහා යොදාගන්නේ අත් පා සහ හිසයි. ඒ නිසා පහර දෙන ක‍්‍රමය සමාන වුණත් හැඩතල වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ චලන සහ භාවිත වන ක‍්‍රම වෙනස්. ගුරුකුලවල වෙනසත් ඇති වන්නේ මේ ඔස්සේයි. මෙහි තිබෙනවා ශිල්ප කියා දෙයක්. කරාතේවල කාතාස් සහ කුංෆුවල ලෙසන්ස් කියනවා වගේ මෙහි ඇත්තේ පාඩම්. ඒ පාඩම් සකසා ඇත්තේ සටන් කලාව ඉගැන්විය යුත්තේ මේ ආකාරයෙන් කියා දැක්වීමටයි. වූෂූවල මංකි ස්ටයිල් කීවාම ලොව පුරා එකම ක‍්‍රමය උගන්වනවා වගේ ශිල්ප ක‍්‍රමවලත් ශෛලීන් තිබෙනවා. අපේ ගුරුකුලයට අදාළව ගතහොත් ශිල්පය ඉගෙන ගන්නා අතර ප‍්‍රතිවාදියාගේ සටන් ක‍්‍රමයත් ඉගැන්වෙනවා. එය හඳුන්වන්නේ තට්ටුව නමින්. ඒ පාඩම් හා තට්ටු නිතර අභ්‍යාස කරන විට ශරීරය හුරු වෙලා නිසගයෙන් පහරවලට අතපය හැසිරවෙනවා.
 
 මේ සටන් කලාවේදීත් අනෙක් ක‍්‍රමවල මෙන් ප‍්‍රධාන වන්නේ හැකිතරම් සටනට නොයා සිටීමද?
 
අපේ රටේ ඇති වූ තත්ත්වයන් නිසා සහ කටකතාවලින් පැතිරුණු දේවල් නිසා බොහෝ අය හිතන්නේ අංගම්පොර කියන්නේ ගහගන්නම තිබෙන දෙයක් කියලායි. ‘අංගම්පොර කරන අය අඩිපහක් හයක් උඩින් යන්නේ‘ වගේ සිතිවිලිත් සමහරුන්ට තිබෙනවා. (සිනාසී) එහෙම දෙයක් නෑ. අංගම් පොර කරන කෙනා නිරන්තරයෙන් නිවුණු කෙනෙක් වෙන්නම ඕනෙ. මොකද ඒ පුද්ගලයා දහම රකින්න ඉන්නවා නම් දහම ඇසුරු කරන්න අවශ්‍යයි. අප නිතර කියන කතාවක් වන්නේ අංගම්පොර සටන්කරු යනු වෙන කෙනකුගේ නිවන වෙනුවෙන් පාර හදන්න කැපවූවෙකු යන්නයි. එතරම් අවබෝධයක් ඇති අයකු වෙන කෙනකුට ලේසියෙන් පහර දෙන්නේ නෑ. එක්කෝ මඟ හැර යනවා. නැත්නම් තමාගේ මට්ටමට ගන්නවා. ඉස්සර අංගම්පොර උගන්වන්න කියන්නේ හොඳ අය බලලා. මිනිසුන්ගේ හොඳ කොහොමද තෝරාගන්නේ? හොඳ අය සොයන්න ගියොත් මේ කලාව උගන්වන්න කෙනෙක් නැතිව යන්නත් පුළුවන්. ඒ නිසා අප කරන්නේ අංගම්පොර ඉගෙන ගන්න එන අය අපට හැකි තරම් හොඳ අය බවට පරිවර්තනය කරන එකයි. ඒ වගේ කාලයත් සමඟ සමහර දේවල් වෙනස් වෙලා තිබෙනවා. එනිසා මේ සටන් කලාව ඉගෙනීම නිසා කිසි කෙනෙක් තවත් කෙනෙකුට පහර දෙන්නෙක් බවට පත් වන්නේ නෑ.
 
 පුද්ගලයකු හොඳ කරන්න පුළුවන්ද එහෙම?
 
සම්පූර්ණයෙන් බැහැ. ඒත් අපේ කණ්ඩායමේ විවිධ වැඩසටහන් ඔස්සේ, ධාර්මික හැසිරීම්, ප‍්‍රතිපත්ති, උපාය උපක‍්‍රම තිබෙනවා. ගුරුකුලයේ ඉගෙන ගන්නවා නම් ඒවාට අවනත විය යුතුයි. දිගින් දිගටම නොගැළපෙන දේවල් කරනවා නම් විවිධ ක‍්‍රම ඔස්සේ ඒ පුද්ගලයාටම වැරැදි අවබෝධ වෙන්න සලස්වනවා. බැරිම තැනක් ආවොත් අනෙක් පිරිස වෙනුවෙන් අදාළ පුද්ගලයා ඉවත් කරන්න සිදුවෙනවා. හැබැයි මේ සටන් කලාවේදි කාලයක් යද්දි අපට තේරෙනවා පුද්ගලයා කොයි වගේද කියලා. ශිල්පය සමඟ තට්ටුවක් කියා දෙයකුත් තිබෙනවා කීවානේ. ඒවා පුහුණු කිරීමේදී පුද්ගල ස්වභාවයන් හඳුනාගන්න පුළුවන්. ප‍්‍රතිවාදියාගේ කොටස කරන විට අනෙකා අබිබවා යනවාද, නායකත්වය ගන්න හදනවාද, වෛරී හෝ කෝපවන ස්වරූපයක් තිබෙනවාද යන ගති ලක්ෂණ ඇවිස්සී එනවා. ගුරුවරයාට එය අවබෝධ වෙනවා. අපි විවිධ ව්‍යාපෘති කරන්නේත් ඒ වෙනුවෙන්. ලිච්ඡුවීන් කළා වගේ නිතර එක් වීම, එකට කතාබහ කිරීම ආදිය මඟින් ගන්නා සාමූහික තීරණවලදි කණ්ඩායමේ අයගේ ස්වභාවයන් අනුව වගකීම් පවරා ඔවුන් ගුරුකුල රාමුවට අනුගත කරගන්නවා. අවවාදයට වඩා ආදර්ශය තමයි අපේ ක‍්‍රමවේදය වන්නෙ.
 
අංගම්පොර ගුරුවරයකු වීම දක්වා සුදුසුකම් ලබන්නට ඔබේ ගමන්මඟ සැකසුණේ කෙසේද?
 
ආධුනිකයාගේ සිට ගුරුවරයකු වීම දක්වා අපේ ක‍්‍රමවේදයක් තිබෙනවා. මේ කලාව අංගම්, ඉලංගම්, මායාංගම් ලෙස කොටස් තුනකින් සමන්විතයි. මේ සියල්ල පිළිබඳ ශිල්පියාට අවබෝධයක් තිබිය යුතුයි. සමාජය, ධර්මය පිළිබඳ යම් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ සියල්ල සමඟයි ගුරුවරයා තම ගෝලයාට ගුරුවරයකු වීමට සුදුසුකම් ඇති බව ප‍්‍රකාශ කරන්නේ. එසේ පූර්ණ අවබෝධයකින් තොරව ගුරුවරයකු වන්නෙකුට පැවැත්මක් නැහැ.
 
අංගම් ඉලංගම් සහ මායා අංගම් ගැනත් කතාකරමු?
 
අංගම් කියන්නේ ආයුධයක් නැතිව කරන සටන්. එයත් ගැට, පොර, පූට්ටු, ශිල්ප, පැනුම්, පිනුම් ආදි වශයෙන් කොටස්වලට බෙදෙනවා. ඉලංගම් කියන්නේ ආයුධ සහිත සටන් ක‍්‍රමයයි. විවිධ කඩු, පොලූ‍, මුගුරු, වේලායුධ, යෂ්ටි ආදි ආයුධ රැසක් මෙහිදී යොදා ගන්නවා. මායා අංගම් පිළිබඳ වැඩිය කතා කරන්නෙ නැත්තේ එය අදෘශ්‍යමාන බලවේග සම්බන්ධ නිසයි. මන්ත‍්‍ර, යන්ත‍්‍ර, තන්ත‍්‍ර, ආදිය සමඟ බැඳුණු ක‍්‍රම එයට අදාළයි. මගේ නිර්වචනය අනුව අපට නොපෙනෙන දේ අදෘශ්‍යමාන නිසා ඒවා නැතැයි කීම අපහසුයි. හරියට කම්බියක් දිගේ යන විදුලිය අපට නොපෙනෙන නිසා නෑ කියන්න බෑ වගේ. මන්ත‍්‍රවලින් කරන්නේ ශබ්ද තරංග මඟින් හොඳට හෝ නරකට යම් යම් දේ කිරීම. වර්තමානයේ ඒ දේවල් පිළිබඳ විශ්වාසය බිඳී ඇත්තේ නිසි දැනුමක් නැතිව ඒ දේවල් කරන්න යෑමෙන් විෂයය හෑල්ලූ‍ වීම නිසයි. මෙහි උපරිමය භාවනාව ඔස්සේ අවදිවන කුණ්ඩලීනී ශක්තිය මඟින් යම් යම් දේ කිරීම ලෙසයි සැලකෙන්නේ. කුණ්ඩලීනී යෝගයේත් විවිධ කොටස් තිබෙනවා. රෝග සුව කිරීම ආදිය එහි ප‍්‍රචලිත කොටස්.
 
අංගම්පොර ශිල්පයේ අවසාන අරමුණ කුමක්ද?
 
හරි අංගම්පොර ශිල්පය හදාරන්නකුගේ අවසන් අරමුණ වන්නේ නිර්වාණයයි. ඔහු හෝ ඇය මේ ශිල්පය හදාරන්නේ තව කෙනකුගේ නිර්වාණ මාර්ගය සැකසීම නිසා ඒ වගකීම ඉෂ්ට වූ පසු ශිල්පියාත් නියත වශයෙන් ඒ මාර්ගයට එළැඹෙන්න ඕනෙ. අප සැම විටම සටන් කළ යුත්තේ තමන් වෙනුවෙන්. හොඳම සටන් ශිල්පියා වන්නේ තමාව පරදා තමා දිනන කෙනායි.
 
සිසුවකුට වෙනස් ගුරුකුලවලට යෑම තහංචිද?
 
එහෙම කරන්න පුළුවන් වන්නේ තමන්ගේ මුල් ගුරුකුලයේ ගුරුවරයාගේ කැමැත්ත මෙන්ම දෙවැනුව ඉගෙන ගන්නා ගුරුකුලයේ ගුරුවරයාගේ ද කැමැත්ත තිබේ නම් පමණයි. වර්තමානයේ ගුරුකුල අතර ඇති යම් යම් ප‍්‍රශ්න නිසා ඒ දේ සිදුවන්නේ නෑ. අපි දන්න විදිහට ඉස්සර මේ සටන් කලාව ඉගෙන ගත්තෙත් ඉගැන්නුවේත් ඒ වෙනුවෙන්ම කැප වුණු ඍෂිවරුන් ආදීන් විසිනුයි. එහිදී ගුරුවරයාගේ සියලූ‍ කටයුතු කර දෙන්නේ ගෝලයන් විසින්. ඒත් වත්මනේ ජීවත් වීමේ ක‍්‍රමවේදයක් සකසා ගත යුතු නිසා ඉගෙන ගන්නා අය මෙන්ම උගන්වන අයත් වෙනත් රාජකාරීවල යෙදෙමින් තමයි මෙහි යෙදෙන්නේ. එවිට අපට ඒ යුගයේ ඍෂිවරුන්ට මෙන් පරිපූර්ණ වෙන්න අමාරුයි.
 
අංගම්පොර නිසා ඔබ සිනමාවටත් ටෙලි නාට්‍ය කලාවටත් යොමු වෙනවා?
 
ඔව්. මට මුලින්ම හමුවන්නේ සමන්ත මායාදුන්න මහත්මයාවයි. ඔහු අප කරන දේ සම්මුඛ පරීක්ෂණයකට මෙන් නැරඹුවා. ඉන්පසු අපට ටෙලි නාට්‍ය හා චිත‍්‍රපටවල සටන් ජවනිකා සඳහා සම්බන්ධ වන්න අවස්ථාව දුන්නා. ඉන්පසු සනත් අබේසේකර මහත්මයා මහින්දාගමනය චිත‍්‍රපටයේ සටන් අධ්‍යක්ෂණයට සම්බන්ධ වන ලෙස ආරාධනා කළා. එය මගේ පළමු සිනමා සටන් අධ්‍යක්ෂණය. ඉන්පසු සිරි දළදාගමනය, ආලෝකෝ උදපාදි චිත‍්‍රපට ආදියටත් වීදිය බණ්ඩාර, භවචක‍්‍ර ආදි ටෙලි නාට්‍ය කීපයකටත් සටන් අධ්‍යක්ෂණයෙන් සහභාගී වුණා. මේ දිනවල රැල්ල වෙරළට ආදරෙයි නමින් හිරු නාලිකාවේ විකාශය වන නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කළෙත් මමයි. එය නම් අංගම්පොර ඇසුරෙන් නෙවෙයි නිර්මාණය වුණේ.
 
සිනමා නිර්මාණවලදි ඔබ අංගම්, ඉලංගම් ආදි සියලූ‍ ශිල්ප භාවිත කළාද?
 
මහින්දාගමනය, සිරිදළදාගමනය සහ ආලෝකෝ උදපාදි චිත‍්‍රපට සියල්ල රජසමයේ කතා. ඒ නිසා රජුන්ගේ සේනාවට රාජ්‍යත්වයේ ඇති සංකේතය ලෙස අංගම් කලාව යොදා ගන්න වෙනවා. ඒත් වර්තමානයේ වාණිජත්වය සමඟ බැඳුණු නිර්මාණවලදි අපි තරමක් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද වෙනස් කර ඒවා ඇසුරෙන් නව නිර්මාණය කර ගන්නවා.
 
නළු නිළියන් පුහුණු කිරීම්වලදී ඔබේ අත්දැකීම් කෙසේද?
 
වත්මන් නිර්මාණ සැලකුවහොත් සටන් අධ්‍යක්ෂවරුන්ට ඉතාම සුළු කාලයක් පමණයි නළු නිළියන් පුහුණු කිරීමට ලබා දෙන්නේ. වෙන රටවල සටන් ජවනිකාවක් සඳහා දින හයක් පමණ ගත කරනවා. ඉන්දියාවේ වුණත් ඒ ආකාරයි. ඒත් අපට ඇතැම්විට ලැබෙන්නේ කැමරා කෝණ සකස් කරගන්න අතරතුර කාලය පමණයි. ඇතැම් දක්ෂ නළු නිළියන්ට යමක් කීවාම වහා අවබෝධ වනවා. සමහර ටෙලි නාට්‍ය හා චිත‍්‍රපටවල අධ්‍යක්ෂවරු වැඩමුළුවක් පවත්වා නළු නිළියන්ට මේ ක‍්‍රමවේද හදාරන්න අවස්ථාව දෙන අවස්ථා තිබෙනවා.
 
ඔබ සටන් අධ්‍යක්ෂවරයකු වගේම සටන් නළුවෙක්?
 
ඔව්. එහෙම කරන්න හේතුවක් තිබෙනවා. අපේ පෙනුම එක්ක කවදාවත් අපට තිරයේ වීරයෝ වෙන්න බෑ. (සිනාසී) දුෂ්ටයා තමයි වුණොත් වෙන්න පුළුවන්. අපේ රටේ ඕනෑම චිත‍්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක වීරයා සටන් වදින විට ඔහුගේ වීරත්වය පෙන්වන්න බලපාන්නේ අපගේ ගුටිකෑමයි. මේ සටන් නැතහොත් ත‍්‍රාසජනක ජවනිකා හැමෝටම කරන්නත් බැහැ. එය උපරිමයෙන් කළොත් පමණයි ප‍්‍රධාන නළුවාගේ පහරවල් සහ වීරත්වය පෙනෙන්නේ. ඒ වෙනුවෙන් තමයි රඟපෑම කරන්නේ. නැත්නම් මගේ කාර්යබහුලත්වය සමඟ රංගනයට ඇති ඉඩකඩ හරි අඩුයි. මම අංගම්පොර ශිල්පියෙක්, සටන් අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක් වගේම පියෙක් සහ ගෘහමූලිකයෙක් වැනි භූමිකා රැසක් සමඟ ඇඟලූ‍ම් ක්ෂේත‍්‍රයේ මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා.
 
ඒ රැකියාවට යොමු වුණේ කෙසේද?
 
මම පොඩි කාලේ ඉඳන් චිත‍්‍ර අඳින්න ආසයි. ඒ නිසා උසස් පෙළ නිම වූ ගමන් පාඨමාලාවක් සොයාගෙන යනවා චිත‍්‍ර ශිල්පයට. එහෙත් මම ගිය තැන තිබුණේ චිත‍්‍ර අඳින්න නොවේ මෝස්තර නිර්මාණ පිළිබඳ ඉගෙන ගන්න. වෙන කරන්න දෙයක් නැති නිසා එය ඉගෙන ගත්තා. එහෙත් මේ වෙද්දි අන්තර්ජාතික මට්ටමින් පිළිගත් ආයතන ඇතුළු ස්ථාන අටක සේවය කර වසර 20ක පළපුරුද්ද සහිත මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරනවා. ලොව පිළිගන්නා සන්නාම රැසක් මගේ අතින් නිමැවී තිබෙනවා.
 
මේ වන විට කලා ක්ෂේත‍්‍රයේ සටන් ශිල්පීන්ට ලැබෙන ස්ථානය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවාද?
 
ලංකාවේ සටන් ශිල්පීන් බොහෝ දෙනා හඳුන්වන්නේ අතිරේක ශිල්පීන් ලෙස. එය වෙනස් විය යුතුයි. හේතුව සටන් ශිල්පියා යනු තමන් සමඟ සටන් කරන අනෙක් ප‍්‍රධාන ශිල්පියා හා සටන් කිරීමේදී ඒ නළුවා හෝ නිළියගේ ආරක්ෂාව පිළිබඳවත් වගකියන්න ඕනෙ පුද්ගලයා. විශේෂිත පුහුණු සටන්කරුවකු ලෙස මෙන්ම රඟපෑමත් ඔහු කළ යුතුයි. එනිසා මේ වන විට ඒ පිළිගැනීමේ යම් වෙනසක් අප ඇති කර තිබුණත් මම හිතනවා කලා ක්ෂේත‍්‍රයේ සමස්තයක් ලෙස යම් වෙනසක් සිදු විය යුතුයි සටන් ශිල්පීන් පිළිබඳ දක්වන ආකල්පයේ.
 
අංගම්පොර සඳහා තිබූ තහනම පනතකින් වෙනස් කළා. එය ශිල්පීන්ට බලපෑවේ කෙසේද?
 
 පනතේ තහනම අපට එතරම් බලපෑමක් තිබුණේ නෑ. අංගම් පොර සුද්දා තහනම් කළා වුණත් මෙතුවක් කල් චිත‍්‍රපටවල, ටෙලි නාට්‍යවල, වැඩමුළුවල එය අපි කළා. අමතරව ආරක්ෂක සේවාවල අයට අංගම් උගන්වනවා. ඒ නිසා පනත තිබුණා නැතා කියලා මට නම් වෙනසක් නෑ.
 
අපේ රටේ ක‍්‍රියාදාම චිත‍්‍රපට හැදෙනවා හරි අඩුයි?
 
මම සටන් අධ්‍යක්ෂවරයකු ලෙස බොහෝ නිර්මාණ කෙරෙන ස්ථානවලට ගියපසු අවබෝධ වුණ දේ තමයි ඒ නිර්මාණවල රචකයාට හෝ අධ්‍යක්ෂවරයාට හෝ අදාළ නිර්මාණකරුවන්ට සටන්ක‍්‍රම සහ සටන් අධ්‍යක්ෂණය පිළිබඳ අවබෝධය අඩු බව. මට දැනෙන විදිහට, ඔවුන්ට ඒ අවබෝධය තිබුණා නම් අදාළ නිර්මාණවලට යොදා ගන්නා සටන් ජවනිකා පවා ඉතා හොඳට කරන්න පුළුවන්. අනෙක සටන් අධ්‍යක්ෂවරයකුගේ සේවය ලබා ගන්නේ සටන හරියට දක්වන්න නිසා ඒ කටයුත්තට ඉඩ දිය යුතුයි. ඇතැම් අය මෙය අවබෝධ කරගෙන හිටියත් සමහරු තමන්ට ඕනෙ විදිහට සටන් ජවනිකා කරන්න ගියාම සටන අසාර්ථක ලෙස පේ‍්‍රක්ෂකයාට පෙනෙනවා. ඇත්තෙන්ම පිටරටවල නම් සටනේදි කැමරා කෝණ පවා යෝජනා කරන්න සටන් අධ්‍යක්ෂවරයාට අවස්ථාව තිබෙනවා. උදාහරණයකට උඩපැනලා වැලමිටෙන් පහර දෙනවා නම් එය රූගත කළ යුත්තේ කැමරාව පහළ කෝණයකින් තබාගෙනයි. ඒ පහරේ බර රූප රාමුවෙන් දැනෙන්නේ එවිටයි. ඒ නිදහස තිබෙනවා නම් මීට වඩා හොඳ ක‍්‍රියාදාම චිත‍්‍රපට හැදෙන්න පුළුවන්. ලෝකෙ චිත‍්‍රපට සහ ලංකාවේ චිත‍්‍රපට සසඳද්දි පිරිවැය පිළිබඳ ගැටලූ‍වක් එනවා. ඒ වගේම අපේ සිටින කුඩා පේ‍්‍රක්ෂාගාරයෙන් විශාල ආදායමක් බලාපොරොත්තු වන්න බැරි නිසා අඩු පිරිවැය චිත‍්‍රපට තමයි වැඩිපුර තැනෙන්නේ. එවිට නිර්මාණයේ කොටසක් වන සටන්වලටත් එය දැඩිව බලපානවා. උදාහරණයක් ලෙස හොඳ සටනකදි කේබල් ආදිය භාවිත කරන්න වෙනවා. ඒ වගේම ශිල්පීන්ට කරන ගෙවීම් පවා වැඩියි. අනෙක නළු නිළියන් සටන්වලට පුහුණු මදි නම් ඒ සඳහා ආදේශ ශිල්පීන් යොදන්න විදෙස් චිත‍්‍රපට කටයුතු කරනවා. එවිට වියදම වැඩි වෙනවා. තවත් විශේෂ කරුණක් වන්නේ විදෙස් ශිල්පීන් විෂයයක් විදිහටම සටන් කලාව ප‍්‍රගුණ කරනවා. එහෙත් අපේ එවන් හැදෑරීමක් කරන්නේ ශිල්පීන් අතළොස්සක් පමණයි. අනෙක් අය චිත‍්‍රපටයට හෝ ටෙලි නාට්‍යයට අදාළ කොටස පමණයි රඟපාන්නේ. නිර්මාණයක් වෙනුවෙන් ශරීරය වෙනස් කරගන්න, විෂයයක් අධ්‍යයනය කරන්න අපේ කලාකරුවන්ට පුළුවන් කමක් නෑ. අපේ බොහෝ කලාකරුවන් තම ආර්ථිකය වෙනුවෙන් වෙනත් වෘත්තීන්වලත් යෙදෙන නිසායි එසේ වන්නේ. වෘත්තීය නළු නිළියන් ලෙස ක්ෂේත‍්‍රයේ රැඳෙමින් හොඳ ආර්ථිකයකුත් ගොඩනඟාගන්න අවස්ථාව තිබෙනවා නම් මේ තත්ත්වය වෙනස් වෙයි.
 
ඕනෑම කෙනකු අංගම්පොර වැනි ශිල්පයක් ප‍්‍රගුණ කිරීම හොඳද?
 
සෑම කෙනකුම කුමක් හෝ ක‍්‍රීඩාවක් කිරීම ශරීර සෞඛ්‍යයට හොඳයි. අංගම් ක‍්‍රම ප‍්‍රගුණ කිරීම වඩාත් හොඳ වන්නේ එය ධර්මානුකූල පැවැත්මකට පුද්ගලයා යොමු කරවන නිසයි. ගුරුකුලයක් ලෙස අප භාවනා වැඩසටහන්, පැළ සිටුවීම්, ලේ දන්දීම්, වැඩිහිටි නිවාසවලට උදවු කිරීම් ආදි බොහෝ ක‍්‍රියාකාරකම්වල යෙදෙනවා. ඇත්තෙන්ම අංගම් ශිල්පියා කියන්නෙ මහ පොළොවෙ පයගසා ජීවත් වන කෙනෙකු විය යුතුයි. ඒ වගේම පෞද්ගලිකව තමන්ගේ ශරීරයට කෙරෙන ව්‍යායාම නිසා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න හැකි වනවා.
 
පොදුවේ ගත්තාම අංගම්වලට බයක් දැනෙනවා පුහුණුවීම්වලදි නිලවලට පහර වදී වගේ දේවල් නිසා?
 
එහෙම දෙයක් සිදු වන්නේ නෑ. ඒ විදිහට බැලූ‍වොත් රගර් වැනි සෙල්ලම්වලදි කෙතරම් පොර බදනවාද? ඒ සියලූ‍ දෙනා නිලවලට පහර කෑම් නිසා ජීවිත හානි වෙන්න එපැයි. (සිනාසී) අංගම්වලදීත් කාලයක් පුහුණුවීම් කළ පසුවයි ගුරුවරයා කියන්නේ ඔබ මෙතෙක් කල් හැදෑරුවේ අදාළ නිලවලට පහර දීම පිළිබඳව කියලා. ඇතැම් සිසුවන්ට හොඳ ඉවක් තිබෙනවා උපතින්ම තමන් කරන්නේ මේ දේ වෙන්න ඇති කියලා හිතන්න. ඒ නැතත් අද වන විට අන්තර්ජාලය ඔස්සේ වෙනත් සටන් ක‍්‍රමවලදි හෝ මේ දේවල් පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකි නිසා බොහෝ දේවල් වසන් කරන්න අමාරුයි.
 
මෑතක් වනතුරු අංගම් ශිල්පය පැවතියේ සංස්කෘතික උරුමයක් ලෙසයි. එහෙත් මෑතකදි 56වැනි ක‍්‍රීඩාව ලෙස එය ලියාපදිංචි වුණා. එහි පළමු සභාපතිධුරය දැරුවේ මමයි. ඒ යුගයේ අපට ගුරුකුල කීපයක් එකතු කරගන්න හැකි වුවත් ශිල්පීය ක‍්‍රම පොදුවේ බෙදාගන්න නම් බොහෝ ගුරුකුල කැමැති වුණේ නැහැ. මේ වනවිට මම එහි උපසභාපතිවරයකු ලෙස කටයුතු කරනවා. එහි ප‍්‍රධාන නිල දරන්නේ යුද හමුදාවයි.
 
අංගම්පොර ශිල්පයේ අනාගතය ඔබ දකින්නේ කෙසේද?
 
මෙය ක‍්‍රීඩාවක් ලෙස ඉදිරියට ගෙනයන්න අපහසුයි. ක‍්‍රීඩාවක් බවට පත් කළොත් අත්වැසුම් යොදාගන්න, පෑඞ් වැනි ආරක්ෂක ඇඳුම් අඳින්න වගේම පහර නොදිය යුතු තැන් පිළිබඳ නීති රීති ඇති වනවා. එවිට මෙය තවත් බොක්සිං ක‍්‍රීඩාවක් වගේ වනවා. එහෙත් අපට පුළුවන් ශිල්පය පෙන්වීම වෙනමත් පහර දීම් වෙනමත් ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා ගුරුකුල සියල්ලේ එකඟතාව අවශ්‍යයි. අනෙක මෙය සෞඛ්‍යය සඳහා හෝ ව්‍යායාම සඳහා කරනවා විනා ශිල්පය ඉදිරියට ගෙනයෑමේ පරමාර්ථයෙන් ඉගෙන ගන්න එන පිරිස අඩුයි. හේතුව ඒ වෙනුවෙන්ම කැප වන්න ඔවුන්ට ඇති අපහසුතාවයි.
 
ඔබ මේගාස්ත‍්‍ර නමින් ප‍්‍රසංගයක් පැවැත්වුවා?
 
ඔව්. ලංකාවෙන් පිටත අංගම් ශිල්පය පිළිබඳ ප‍්‍රසංග කරන්න හැකියාව ලැබුණේ මට විතරයි. යුරෝපීය රටවල, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක අපට ඒ ප‍්‍රසංග ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. අප එහිදී කළේ අංගම් මඩුවත්, දියාග මඩුවත් එක් කරන අපේ කම කියන සංකල්පය යටතේ බලි තොවිල්, ශාන්තිකර්ම සමඟ එකට කළ ඉදිරිපත් කිරීමක්. ඒ අවස්ථාව සැලසීම වෙනුවෙන් නදිත සොයිසා සහ හර්ෂණ කාරියවසම් මෙන්ම නෙදර්ලන්තයේ ක‍්‍රිෂ්ණ ගෝපාල් මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ රටවල ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මේ දේවල් දකින්න කැමැතියි.
 
සිංහල බෞද්ධයන්ට පමණක් සීමා වූ බව කියූ මෙය විදේශිකයන්ට දැක්වීම සුදුසුද?
 
එහි පැති දෙකක් තිබෙනවා. ජපන් රටේ කොඩිය යටතේ ඒ භාෂාවේ වචන භාවිත කරමින් කරාතේ උගන්වනවා වගේ අපේ කොඩිය යටතේ අපේ චාරිත‍්‍රවලට අනුගතව අපේ භාෂාවෙන් ඕනෑම රටක කෙනකුට අංගම්පොර උගන්වන්නත් පුළුවන්. හැබැයි අපේ රහස් ටික නොදී. මොකද ඒ දේවල් පිටට යවා ශිල්පය පාවාදීමක් කරන්න බෑ කිසිම විටෙක.
 
ඔබ සටන් කලාව වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණා? අංගම් ගැන පොතක් ලීවා.?
 
2018 හිරු ගෝල්ඩන් අවෝඞ්ස්වලදි හොඳම සටන් ශිල්පියා ලෙස ආලෝකෝ උදපාදි චිත‍්‍රපටය වෙනුවෙන් සුමුදු අමල්ක සමඟ සම සම්මාන දිනා ගන්න අවස්ථාව මට ලැබුණා. ගොයුම් සෙවණැල්ලේ රණශූරයා - තීව‍්‍ර ගවේෂණයක ප‍්‍රතිඵලය වූ පහත රට අංගම්- පොත ලීවේ නම් 2013 වසරේ. එහි දැක්වෙන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව අහිංසාවාදීව ආත්මාරක්ෂාව සපයා ගන්න හැකි අංගම් ක‍්‍රමයේ ඉතිහාසය ඇතුළු ශිල්ප ක‍්‍රම පිළිබඳවයි. දැන් තිබෙන්නේ එහි දෙවැනි මුද්‍රණයයි. සටනකදී ශක්තියට වඩා පුහුණුවත් පුහුණුවට වඩා ශක්තියත් වැදගත් වන අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් අපේ ජීවිතයේ ලොකුම සටන තිබිය යුත්තේ තමන් සමඟමයි. සමාජයේ පවතින වැරැදි, ¥ෂිත ක‍්‍රියාවලට කාටවත් දොස් පවරමින් සිටනවාට වඩා අපේ දොස්, අඩුපාඩු මොනවාද යන්න පළමුව අවබෝධ කරගෙන ඒවා පවුල් සංස්ථාවෙන් නිවැරැදි කරගෙන සමාජගත කරවන්න පුළුවන් නම් එයයි වැදගත් වන්නේ. ඒ වගේම අංගම් පොර ශිල්පයෙන් තමන්ගේ ආරක්ෂාව, ආත්ම වර්ධනය, ශක්ති වර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනය සහිත මිනිසකු බිහි කළ හැක්කේ කෙසේද යන්න එහි පැහැදිලි කරනවා.අද සමාජයට අවශ්‍ය වන්නේත් එවන් පිරිපුන් මිනිසුන් තමයි.
 
අරුණි මුතුමලී
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS