INFOPLOTPHOTOS
Swara / ස්වර
[ Colour Digital ]
Film No : 1374
Released Date : 2023-12-01
60.203756765361
60% |   3141  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

නර්මදා තමාගේ ජීවිතය බවට පත්කර ගත්තේ සංගීතයයි. සංගීතයේ මියුරු ස්වර අතර ඈ ළෙණ්ගතුව කාලය ගෙවුවාය. වරෙක මිමිණෙන ගීතයක, තවත් විටෙක වැයෙන තනුවක ඉමිහිරියාව අතරේ ඈ ජීවිතය ගෙවමින් උන්නේ නිස්කලංකවය. එක් වරම ඒ මියුරු හදවත කැඩී බිඳී ගියේය. තමා එච්. අයි. වී ආබාධිතයකු බව දැනගත් මොහොතේ මෙලොවම ගුගුරා හැලෙන බවක් ඇයට දැනුණාය.
 
ඇය නිවෙසට පැමිණියේ ලැජ්ජාව, කනස්සල්ල, මෙන්ම කෝපය ද පිට කරමිනි. නිවෙසේ බිත්ති හතර ගිණිගෙන දැවෙන බවක් ඇයට දැනුණි. අවලමේ ගිය ගැහැනියක සේ සමාජයේ හංවඩු ගැසෙද්දී නර්මදා සියල්ල දරා ගනිමින් ජීවිතය වින්දාය. ‘මෙවන් විපතක් කිසිම කෙනෙකුට අත් නොවේවා’ නර්මදා පිවිතුරු හැඟුමෙන් දෙවියන් යැද්දාය. තමා නිවැරැදි බව ඈ දැන උන්නාය. නර්මදාට මේ දුක දුන්නේ කවුරුන්ද? ඈ සියල්ල ඉවසා වදාරමින් යැද්දාය.
 
නර්මදා තවත් කිසි අයකුට මේ දුක උරුම නොවේවා යයි දෙවියන්ට කන්නලව් කළ ද ඈ මෙන් දුක්විඳින තවත් බොහෝ දෙනකු විසිරී සිටින බව ඈ නොදත්තාය.
 
විහාරා ද නර්මදා මෙන්ම ජීවිතය හඹා ගියාය. පියවරෙන් පියවර සුපිරි නිරූපිකාවක වූ විහාරා ජීවිතයේ අවුල් වියවුල් යායක පැටලී උන්නාය. දිනෙන් දින නොවිසඳුණු ප්‍රශ්න හමුවේ ඈ තමා විසින්ම උත්තරයක් තනා ගත්තාය. මේ සියල්ලටම විසඳුම මත් ද්‍රව්‍ය බව ඈ ස්ථිරවම තීරණය කළාය. මතින් ගත අප්‍රාණික වූ කල්හි මුලු ලොවම මිහිරි යයි ඇයට දැනුණි. නමුත් එක් මොහොතක ඇගේ ජීවිතයම කඩා වැටුණේ මත් ද්‍රව්‍ය එන්නත් කටුව මත් ද්‍රව්‍ය සමඟ ඇගේ ගතට එච්. අයි. වී වෛරසය ද එන්නත් කළ බව දැන ගැනීමත් සමඟය.
 
මේ අතරතුරදී ඇය සිඟිති දියණියකට අම්මා වූවාය. උත්තරීතර මව් පදවියත්, පාපතර එච්. අයි. වී වෛරසයත් අතර ජීවිතය සමඟ පොර බැදුවාය. දෑස අහිමිව ලොව දිනන්නට වෙර දරන සිඟිති දියණී අංජලීට මෙලොව සොඳුරු දේ පෙන්වීම වෙනුවෙන් ජීවත් විය යුතු යයි විහාරා සිතුවාය. කිසිදු දෙයක් නොදත් කිරිකැටි දියණිය අංජලී සමාජය විසින් පිළිකුල් කොට කොන් කර දැමුවේ ඇයට ඉගෙනීමට පාසලක් පවා අහිමි කරමිනි.
 
අංජලීගේ ජීවිතය වෙනුවෙන් නර්මදා ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ජීවිතවලට තම තමන්ගේ සිතේ ජවය ආරෝපණය කරගත් ඔවුන් එච්. අයි. වී වෛරසය පැරදවීමට වඩා සමාජ මත බිඳීමට පොර බැදුවෝය.
 
පද්මා ද මේ කණ්ඩායමට එල්ලවන පොදු ප්‍රශ්න රාමුවේ තනි වූවාය. ඈ කලකට ඉහත විදෙස් රැකියාවක් පතා ගියේ දරුවන්ගේ අරමුණු දිනවන්නටය. නමුදු ඈ නැවත ගෙපැලට ගොඩ වූයේ එච්. අයි. වී ආසාධිතයකු ලෙසිනි. සියලු දෙයින් ශක්තිමත් වූ පද්මා ජීවිතයෙන් පලා යාම වෙනුවට තවත් පිරිසකට දිරියෙන් ජීවිතය දිනවන්නට කැපවීමට ඉටා ගත්තාය.
 
තැන තැන ජීවත්වන එකම ප්‍රශ්නයෙන් දැවෙන පිරිස අතර ජෝ ද තමාගේ පැතුම් ගොන්න ගුලි කොට විසි කළේ තමා එච්. අයි. වී ආසාධිතයකු බව දැනගත් මොහොතේය. කුඩා කල සිටම පිරිමියකු ද ගැහැනියකු ද වග නොදත් ජෝ අවසන තමා ගැහැනියක බව වටහා ගත්තාය. බෙලහීනතාවය ඔච්චමට ලක්වෙමින් සොච්චමට විකිණෙන බව ඔහු දැන උන්නේය. තමා මිය යා යුතු යයි ඈ සිතුවාය. නමුදු ලොවෙහි තමා ගේ ජීවිතය තීරණය විය යුතු ආකාරයක් ඇතැයි ජෝ කල්පනා කළාය.
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS