විස්තරය
ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් එල්ෆින්ස්ටන්, රොක්සි (වැල්ලවත්ත), ආසෝකමාලා (මීගමුව), රීගල් (මහනුවර)
තුම්පනේ බණ්ඩා හා කොළඹ අප්පුහාමි නාට්‍යය ඇසුරිනි
1952 වසරේදී සිංහල චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කෙරින. ඒ බංඩා නගරයට පැමිණීම, උමතු විශ්වාසය සහ සිරිසඟබෝය.සිංහල සිනමාවේ 12 වෙනි චිත්‍රපටය ලෙස සඳහන් වන බංඩා නගරයට පැමිණීම මරදානේ එල්පිනිස්ටන්, වැල්ලවත්තේ රොක්සි ඇතුළු මීගමුවේ අශෝකමාලා සහ මහනුවර රීගල් යන සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරඹුනේ 1952 මැයි මස 04 වෙනිදාය.එහෙත් මෙම සිනමාහල් වල බංඩා තිරගත වී ඇත්තේ දින පහක කාල සීමාවක් තුළ පමණි.ඉන්පසුව එය මරදානේ ටවර් සහ කැපිටෝල් යන සිනමාශාලා වලට මාරුකර වෙනත් ප්‍රාදේශීය සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරින.
තම ප්‍රථම චිත්‍රපටය කඩවුන පොරොන්දුව නිෂ්පාදනය කිරීමෙන් පසුව එස්.එම්.නායගම්ගේ අභිලාෂය වූයේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලංකාවේම චිත්‍රාගාරයක් ගොඩනැංවීමටය.ඒ වනවිට ඔහු කඳානේ රාණි සඳුන් සබන් නිපදවන ස්වදේශීය කර්මාන්ත ශාලාවේද හිමිකරුය.සුන්දර සවුන්ඩ් නමින් කඳානේ ඉදිකල එම චිත්‍රාගාරයේ ප්‍රථම ප්‍රථම නිෂ්පාදනය වූයේ බංඩා නගරයට පැමිණීමය.චිත්‍රපට සමාගම ශ්‍රී මුරුගන් නව කලායන නමින් හැඳින්වින.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා කලින් තෝරාගන්නා ලද්දේ රාජා වහාබ් කාශ්මීර් නමැති කාශ්මීර් ජාතිකයෙකි.එහෙත් පසුව ඔහුව ඉවත්කර ඒ කාර්යය ඒ.බාස්කර් රාජ්ට පැවරින.මෙම චිත්‍රපටයේ කතාව සකස්කර ඇත්තේ ටී.ඩී.පියදාසගේ ථුම්පනේ බංඩා සහ කොළඹ අප්පුහාමි යන නාට්‍ය ඇසුරෙනි.චිත්‍රපටයේ දෙබස් සකස්කරන ලද්දේ කේ.හියුගෝ ප්‍රනාන්දු විසිනි.කැමරා ශිල්පියා බී.එස්.මානියම් වූ අතර එම්.ඩී.සුමනසේකර ඔහුට සහාය විය. ශබ්ද පරිපාලනය කේ.බී.එස්.මානි සහ කලා අධ්‍යක්ෂණය එස්.රාමමූර්ති වෙතින් ඉටු කෙරින.නිශ්චල ඡායාරූප මාටින් පෙරේරාගෙනි.පසුව ඔහු නිශ්චල මාටින් නමින් යනුවෙන්ද හැඳින්වින.මෙම චිත්‍රපටයේ සියළුම රසායනාගාර කටයුතු කෙරුනේද සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය තුළදීය.
බංඩා හි සංගීත අධ්‍යක්ෂණය නාරායන් අයියර්ගෙනි.ආර්.මුත්තුසාමි සහාය සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය.ගීත ප්‍රබන්ධය කරන ලද්දේ හියුගෝ ප්‍රනාන්දු සහ යූ.ඩී.පෙරේරා විසිනි.පසුබිම් ගායනා සඳහා යොදාගනු ලැබුවේ වසන්තා සන්දනායක, ජිනදාස ගුණසේකර, රුද්‍රානි ලියනගේ වැනි එවකට ප්‍රකටව සිටි ගායක ගායිකාවන්ය.එහෙත් මෙම චිත්‍රපටයට ඇතුළත්වූ ගීත දහයෙන් එකම ගීතයක්වත් ජනප්‍රිය නොවූ අතර එම ගීත වෙළඳ තැටි වලටද නොනැගින.
කලාභූෂන-වැළිහිඳ මුනිරත්න