Banda Nagarayata Pemineema

Banda Nagarayata Pemineema

බණ්ඩා නගරයට පැමිණීම

Black & White 35mm

Film No: 12  ·  Released: 04 May 1952

58.34% · 2,081 votes
Rate this film
Special Message

තුම්පනේ බණ්ඩා හා කොළඹ අප්පුහාමි නාට්‍යය ඇසුරිනි

Summary

NameBanda Nagarayata Pemineema / බණ්ඩා නගරයට පැමිණීම
Film No12
Released Date04 May 1952
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
StudioSundara Sound - Kandana
Main Actor: W.M.Bernad Perera Main Actress: Nanda Shamali Lilanayaka Producer: K.D.Sebestian Director: A.B. Raj Producer: S.M. Nayagam Director: Raja Wahab Kashmeer

Description

ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් එල්ෆින්ස්ටන්, රොක්සි (වැල්ලවත්ත), ආසෝකමාලා (මීගමුව), රීගල් (මහනුවර)

තුම්පනේ බණ්ඩා හා කොළඹ අප්පුහාමි නාට්‍යය ඇසුරිනි

1952 වසරේදී සිංහල චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කෙරින. ඒ බංඩා නගරයට පැමිණීම, උමතු විශ්වාසය සහ සිරිසඟබෝය.සිංහල සිනමාවේ 12 වෙනි චිත්‍රපටය ලෙස සඳහන් වන බංඩා නගරයට පැමිණීම මරදානේ එල්පිනිස්ටන්, වැල්ලවත්තේ රොක්සි ඇතුළු මීගමුවේ අශෝකමාලා සහ මහනුවර රීගල් යන සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරඹුනේ 1952 මැයි මස 04 වෙනිදාය.එහෙත් මෙම සිනමාහල් වල බංඩා තිරගත වී ඇත්තේ දින පහක කාල සීමාවක් තුළ පමණි.ඉන්පසුව එය මරදානේ ටවර් සහ කැපිටෝල් යන සිනමාශාලා වලට මාරුකර වෙනත් ප්‍රාදේශීය සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරින.

තම ප්‍රථම චිත්‍රපටය කඩවුන පොරොන්දුව නිෂ්පාදනය කිරීමෙන් පසුව එස්.එම්.නායගම්ගේ අභිලාෂය වූයේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලංකාවේම චිත්‍රාගාරයක් ගොඩනැංවීමටය.ඒ වනවිට ඔහු කඳානේ රාණි සඳුන් සබන් නිපදවන ස්වදේශීය කර්මාන්ත ශාලාවේද හිමිකරුය.සුන්දර සවුන්ඩ් නමින් කඳානේ ඉදිකල එම චිත්‍රාගාරයේ ප්‍රථම ප්‍රථම නිෂ්පාදනය වූයේ බංඩා නගරයට පැමිණීමය.චිත්‍රපට සමාගම ශ්‍රී මුරුගන් නව කලායන නමින් හැඳින්වින.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා කලින් තෝරාගන්නා ලද්දේ රාජා වහාබ් කාශ්මීර් නමැති කාශ්මීර් ජාතිකයෙකි.එහෙත් පසුව ඔහුව ඉවත්කර ඒ කාර්යය ඒ.බාස්කර් රාජ්ට පැවරින.මෙම චිත්‍රපටයේ කතාව සකස්කර ඇත්තේ ටී.ඩී.පියදාසගේ ථුම්පනේ බංඩා සහ කොළඹ අප්පුහාමි යන නාට්‍ය ඇසුරෙනි.චිත්‍රපටයේ දෙබස් සකස්කරන ලද්දේ කේ.හියුගෝ ප්‍රනාන්දු විසිනි.කැමරා ශිල්පියා බී.එස්.මානියම් වූ අතර එම්.ඩී.සුමනසේකර ඔහුට සහාය විය. ශබ්ද පරිපාලනය කේ.බී.එස්.මානි සහ කලා අධ්‍යක්ෂණය එස්.රාමමූර්ති වෙතින් ඉටු කෙරින.නිශ්චල ඡායාරූප මාටින් පෙරේරාගෙනි.පසුව ඔහු නිශ්චල මාටින් නමින් යනුවෙන්ද හැඳින්වින.මෙම චිත්‍රපටයේ සියළුම රසායනාගාර කටයුතු කෙරුනේද සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය තුළදීය.

බංඩා හි සංගීත අධ්‍යක්ෂණය නාරායන් අයියර්ගෙනි.ආර්.මුත්තුසාමි සහාය සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය.ගීත ප්‍රබන්ධය කරන ලද්දේ හියුගෝ ප්‍රනාන්දු සහ යූ.ඩී.පෙරේරා විසිනි.පසුබිම් ගායනා සඳහා යොදාගනු ලැබුවේ වසන්තා සන්දනායක, ජිනදාස ගුණසේකර, රුද්‍රානි ලියනගේ වැනි එවකට ප්‍රකටව සිටි ගායක ගායිකාවන්ය.එහෙත් මෙම චිත්‍රපටයට ඇතුළත්වූ ගීත දහයෙන් එකම ගීතයක්වත් ජනප්‍රිය නොවූ අතර එම ගීත වෙළඳ තැටි වලටද නොනැගින.

කලාභූෂන-වැළිහිඳ මුනිරත්න

තුම්පනේ නමැති ග්‍රාමයේ උඩරට පෙළපතකින් පැවත එන සෑහෙන පොහොසතෙකු වූ නිළමේගේ බිරිඳ වැදගත් පවුලක කාන්තාවකි.මෙම අඹුසැමි දෙපළගේ එකම පුත්‍රයා වූයේ තරුණ වියේ පසුවන බංඩාය.බංඩාට මෙන්ම නිළමේටද කොළඹ නගරයේ සිරි නැරඹීමේ ආශාවක් ඇතිවිය.ඒ අනුව නිළමේ, මැණිකේ සහ බංඩා අගනුවරට සේන්දු වූහ.තම ගමේදී නොදකින බොහෝ දේවල් කොළඹදී දැකීම තුළින් ඔවුන් මහත් ප්‍රීතියට පත්වින.

කොළඹ නගරයේ ගැටකපන්නෙකු නොහොත් පික්පොකට් කප්පිත්තෙකු වන අප්පුහාමිගේ දෙනෙතට මෙම තිදෙනා ලක්වීම තුළින් තමාට සුදුසු ගොදුරක් ලැබීමේ වාසනාව උදාවන වග සිය අත්දැකීමෙන් වටහාගත් අප්පුහාමිට ඔවුන් හා කුළුපඟ වීමට එතරම් කාලයක් ගතකිරීමට අවශ්‍ය නොවින.මෙම ගොඩේ පිරිසගේ සකල සබ්බ මනාවම සූරාගැනීමේ පරමාර්ථයෙන් නිළමේ සමඟ කුළුපඟ වූ අප්පුහාමි ඊට සුදුසු අවස්ථාවක් බලා සිට නිළමේගේ මුදල් පසුම්බිය සොරාගත්තේය.

තම මුදල් පසුම්බිය නොමැති බව දැනගත් නිළමේට දවල් තරු පෙනිනි.කෙසේ නම් ගමට යාමට වියදම් සොයා ගනිම්ද යන සිතුවිලි වලින් නිළමේ පීඩාවට පත්ව සිටියදී අප්පුහාමි තම බොරු හිතෛෂිවන්තකම් පෙන්වමින් ගමට යාම සඳහා තමා මුදල් දෙන බවට සහතික වීමෙන් නිළමේ ඉන් සෑහීමට පත්විය.අප්පුහාමි තමා සොරාගත් නිළමේගේ මුදල් වලින් කොටසක් ඔහුට දෙන ලද්දේ මහා පරිත්‍යාගයක් ලෙසටය.අප්පුහාමිගේ එම උදව්වට මුව නොසෑහෙන සේ ස්තූතිය පළකල නිළමේ ආපසු ගම්බිම් බලා පිටත්වූයේ තුම්පනේ තම නිවසට පැමිණෙන ලෙසට ආරාධනයක්ද කරමිනි.

තම බඩ වඩා ගැනීමට මීට වඩා සුදුසු පුද්ගලයෙකු තවත් නැතැයි තේරුම්ගත් කපටි අප්පුහාමි දින කිහිපයකට පසු තුම්පනේ බලා ගියේය.කොළඹදී අමාරුවේ වැටී සිටි අවස්ථාවේදෙ තමාට බෙහෙවින් උදව්කළ අප්පුහාමි කෙරෙහි පැහැදී සිටි නිළමේ ඔහුව මහත් ආදරයෙන් පිළිගෙන අහාරපානාඅදියෙන් සංග්‍රහ කරනු ලැබීය.

මෙහිදී නිළමේ විසින් පැවසුවේ තම පුත් බංඩා යළිත් වරක් කොළඹ යාමට නිතරම ඇවටිලි කරන බවයි.මීට වඩා ඉල්ලමක් කිසිදා හදාගත නොහැකි බව වටහාගත් අප්පුහාමි බංඩාව කොළඹ කැටුව ගොස් ඉංග්‍රීසි බස, සිරිත් විරිත් ගතිපැවතුම් පුරුදු පුහුණු කරවා තුම්පනේ ග්‍රාමයේ උගත් වැදගතෙකු කරන බව පැවසූයෙන් නිළමේ සහ මැණිකේ ඊට කැමැත්ත දෙනු ලැබුවේ තම පුත් බංඩා එවන් උසස් පුද්ගලයෙකු බවට පත්වීම ගැන සතුට පළකරමිනි.

බංඩා කැටුව කොළඹ පැමිණි අප්පුහාමි තම හිතවතෙකු වූ නෝබට් නැමැත්ත කැඳවා බංඩාට ගති සිරිත්, කතා බහ පුරුදු කරන ලෙසට උපදෙස් දුන්නේය.තම පුත්‍රයාගේ ඉගෙනීමේ කටයුතු සඳහා අවශ්‍ය වියදම් සපයන බව නිළමේ පොරොන්දු වීම නිසා එතැන් පටන් අප්පුහාමි වරින් වර විශාල වශයෙන් නිළමේගෙන් මුදල් ගෙන්වා ගත්තේය.එයිනුදු සෑහීමකට පත්නොවුනු අප්පුහාමි එකවරම නිළමේගෙන් විශාල මුදලක් ලැබගැනීමේ අටියෙන් බංඩාට උසස් පවුලක් තරුණියක වූ මාලිනිව ජෝඩු කරවීමට කටයුතු කළේය.හිසෙහි එකුදු හිස කෙසක් නොමැති ඇය තට්ට ගැහැණියකි.ඒ බව දැනගත් ඇගේ කලින් පෙම්වතාද ඇයව අතහෑ දැමුවේය.මේ කිසිවක් නොදත් බංඩා, මාලිනිගේ බාහිර රූපයට රැවටී ඇයව විවාහ කරගැනීමට තීරණය කරගත්තේ ඇය බොරු කොණ්ඩයකින් සැරසී සිටින වග නොදැනය.

කොළඹ අප්පුහාමිගේ විවිධ උප්පරවැට්ටි සඳහා උදව්පදව් කරන බ්‍රෝකර් කෙනෙකු වූ සිල්වා, අප්පුහාමිට බෙහෙවින් ප්‍රයෝජනවත් වූවෙකි.ඔහු අප්පුහාමිගේ බිරිඳ වූ මිසෝ සමඟ ද අයුතු යාළුකම් පවත්වමින් ඇයව රහසින් ගෙනයෑමට සැළසුම් කරන බව දැනගත් අප්පුහාමි කෝපයෙන් යුතුව සිල්වා පන්නා දමනු ලැබීය.මේ නිසා අප්පුහාමි කෙරෙහි සිල්වා තුළ දැඩි වෛරයක් ඇතිවිය.ඔහු කවදා හෝ අප්පුහාමිගෙන් පළිගැනීමේ චේතනාවෙන් පසුවිය.

මාලිනි කෙරෙහි බංඩාගේ සිත බිඳිය නොහැකි තරමට දැඩි වූ කල්හි ඔවුන්ගේ විවාහ මංගල්‍ය කඩිනමින් කිරීමට අප්පුහාමි විසින් කටයුතු සූදානම් කරන බව දැනගත් සිල්වා අප්පුහාමිගෙන් පැරණි කෝන්තරය පිරිමසාගැනීමේ අදිටනින් විවාහය පිළිබඳ සියළු විස්තර නිළමේට දැන්වූ කල්හි තම පුතුගේ විවාහය නිසා සිය පරම්පරාවේ ගෞරවයට කැළලක් ඇති කල අප්පුහාමිගෙන් පළිගැනීමේ අදහසින් නිළමේ මැණිකේත වහා කොළඹ පැමිනි නමුත් ඒ වනවිට බංඩාගේ සහ මාලිනිගේ විවාහය සිදුකර අවසාන වී තිබින.

මෙතෙක් කාලයක්ම මාලිනි බොරු කොණ්ඩයකින් සඟවාගෙන සිටි තට්ට හිස දුටු බංඩා ඒ සියල්ල අමතක කර තම සිත හදාගනිමින් මව්පියන් දෙදෙනාද සමාකරවාගෙන ජීවිතය සතුටින් සාමයෙන් ගෙවීමට තීරණය කරගත්තේය.විවාහය සිදුකෙරෙන අවස්ථාවේදී හදිසියේම එතැනට පැමිණෛ පොළිස් නිළධාරින් විසින් අප්පුහාමි සිරභාරයට ගනු ලැබුවේ ඔහු ඔරලෝසුව සහිත වටින රන් මාලයක් සොරකම් කිරීමේ චෝදනාව මතය.සෑමදාකම කපටි කමින් ජීවත්විය නොහැකි බව ඒ අවස්ථාවේදි අප්පුහාමිටා පසක්වූවාට සැකයක් නොමැත.

කලාභූෂන-වැළිහිඳ මුනිරත්න

Film No: 12 - Year: 1952

Cast

Crew