Laddy Ranasinghe

Laddy Ranasinghe

Born 23 Mar 1913 Died 26 May 1983

23 Mar 1913 - 26 May 1983

60% · 1,598 votes
Rate this artist

Summary

NameLaddy Ranasinghe
Born23 Mar 1913
Died26 May 1983

Biography

සිංහල සිනමාවේ මුල් යුගයේ වැඩිම මුදලක් අය කළ නළුවා. 1983 මැයි 26 මියගිය සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ඨ රංගන ශිල්පීයේක් වූ ලැඩී රණසිංහ 1913 මාර්තු 23 වෙනිදා ජාඇළ , තුඩැල්ලේ උපත ලැබු ලැඩිස්ලෝ පෙරේරා රණසිංහ සමුගෙන අදට වසර 36 යි .වේදිකාව , සිනමාව හා ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම ගුවන් විදුලි නාට්‍ය නිර්මාණ කරමින් කලාවට යොමු විය .

ලැඩී රණසිංහගේ මුල්ම චිත්‍රපටය 1953 තිරගත වූ ප්‍රේමතරගය වේ . වරද කගේද , රදළ පිලිරුව , දුදුප්පතාගේ දුක , සුරයා , සුකුමලී , වීර විජය , මංගලිකා , ළා දලු , සැගවුනු මැණික , දෙවියනි ඔබ කොහිද ඇතුළු චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක විය . ලැඩී රණසිංහ යනු ප්‍රතිපත්ති ගරුක නළුවෙකී

ලැඩී රණසිංහ නම් දක්ෂ, ආඩම්බරකාර නළුවා පිළිබඳව වර්තමානයේ බොහෝ පිරිස් නොදන්නවා විය හැකිය. ඊට හේතුව වන්නේ ඔහුගේ සිනමා ජීවිතයේම ඔහු රඟපා ඇත්තේ චිත්‍රපට 12ක පමණක් වීම නිසාය.

ඔහුගේ අවසන් රඟපෑම අපට දක්නට ලැබුණේ 1977 දී තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වූ “දෙවියනි ඔබ කොහිද?” තුළින්ය. එහි බිෂොප්වරයාගේ චරිතය රඟපෑවේ ලැඩීය.

මුල් යුගයේ සුප්‍රකට තාරකාවක් වූ අරුණශාන්ති විසින් අධ්‍යක්ෂණය කරන ලද “දෙවියනි ඔබ කොහිද?” චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ගාමිණී ෆොන්සේකා හා මාලනී ෆොන්සේකාය.

මිනිසුන් වෙනුවෙන් කැපවූ පියතුමෙකු වටා ගෙතී ඇති දෙවියනි ඔබ කොහිද? චිත්‍රපටයේ එන වික්ටර් රත්නායක හා සුජාතා අත්තනායක ගයන ආදර පූජාසනේ නම් ගීතය තවමත් ඔබට මතක ඇතිවාට සැකයක් නැත.

“දෙවියනි ඔබ කොහිද?” චිත්‍රපටයෙන් පසුව ලැඩී අපට සිනමා තිරයෙන් දක්නට ලැබුණේ නැත.

එකල මීගමුව පැත්තට යද්දී පාර අද්දරට දැකිය හැකි සුවිශේෂ නිවසක් විය. ඒ එය මහල් කීපයකින්ම යුතු හෝ සුඛෝපභෝගී පන්නයේ නිවසක් නිසා නොවේ. රතු පැහැයට හුරු වර්ණයකින් නිවසේ සුණු පිරියම් කර ඇති නිසාය. ඒ ලැඩී රණසිංහගේ නිවසය. නිවස පිහිටා තිබුණේ ජා ඇල තුඩැල්ලේ පාර අද්දරමය. මට ලැඩී රණසිංහයන් හමුවී ඇති වාර ගණන ඉතා ස්වල්පය. 1980 සැප්තැම්බර් මාසයේ දිනෙක ඔහු හමුවීමට ගියේ කලින් දැන්වීමකින් තොරවය. ඔහු එවෙලේ සිටියේ හාන්සි පුටුවක වැතිරගෙනය. ඔහුගේ මුළු ඇඟ පුරාම තෙල් ගල්වා තිබිණ. ඔහු කතාකරගෙන යද්දී වරින්වර අපහසුතා ඇති විය. එය වෙහෙසකර කටයුත්තක් බව පෙනිණි. එහෙත් ඔහු කතා කරගෙන යන්නට අකමැති නොවීය.

මේ දවස්වල මගේ හිසරදයක් තියෙනවා. දිගට කතාකරගෙන යනකොට හිසරදේ වැඩිවෙනවා. ඔය වගේ හිසරදයක් මීට අවුරුදු 25කට ඉස්සරවෙලත් හැදුණා. එතකොට දොස්තරලා කීවේ ඒක පිළිකාවක් කියලයි. ඒක පිළිකාවක් වුණා නම් අද මගේ ඇටකටුවත් ඉතුරු වෙන්න විදියක් නෑ කී ලැඩී හිසට අත තබාගෙන මදක් විවේක ගන්නට විය.

එදින ඔහු මා සමග කීවේ ඔහුගේ වයස අවුරුදු 70ක් බවය. ජාඇල තුඩැල්ලේදි උපන් ලැඩිස්ලස් පෙරේරා රණසිංහ තුඩැල්ල රෝමානු කතෝලික විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත් අතර කොළඹ ශාන්ත ජෝසප් විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. ඔහු සමඟ එකට උගත් පන්ති මිතුරා වූයේ මාක් සමරනායකය. වරක් ලැඩී ශාන්ත ඇ​ලෝසියස් සෙමනරියට ඇතුළත් වූයේ පියතුමකු වන්නටය. එහෙත් ඉන් ඉවත්ව ඉන්පසු පොලිසියට බැඳුණේය.

යළි ඉන් ඉවත්ව හලාවත ඉංග්‍රීසි විදුහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන කතෝලික පල්ලියේ පරිවර්තකයකු වශයෙන් කටයුතු කළේය. ඒ අතරතුර ඔහු බවර් සමාගමේ රැකියාවකටද යොමු විය. පාසල් කාලයේදීම කලාවට ඇළුම් කළ ලැඩී පසුව තුඩැල්ලේම පදිංචිව සිටි ජෝසප් පෙරේරා නම් කලාකරුවාගේ මාර්ගයෙන් ස්ටීවන් සිල්වා හමු විය. ස්ටීවන් සිල්වා “මතභේදය” නම් වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය ලැඩීට පිරිනැමීය. ඉන් ජනප්‍රියත්වයට පත්වූ ලැඩී “කුරිසියේ ලකුණ” නම් නාට්‍යයේ රඟපෑවේය. ඉන්පසුව ඔහු හියුගෝ ප්‍රනාන්දු සමග නාට්‍යයක් නිෂ්පාදනය කෙළේය. 1939 දී ලැඩී මිනර්වා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ විය. ලැඩී රණසිංහ නමින් ඔහුගේ නම වෙනස් වුණේ මේ කාලයේදීය. ලැඩී ඉන්පසු ආර්කේඩියන් නාට්‍ය කණ්ඩායම නමින් තමන්ගේම නාට්‍ය කණ්ඩායමක් ආරම්භ කළේය.

ඒ අතරතුර එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියකු, නිවේදකයකු ලෙසත් කටයුතු කරන්නට විය. ඔහුට ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබිණ.

“ආධුනික පැයෙන් පටන්ගෙන අවුරුදු තුනක් ඇතුළත මට වෙළෙඳ සේවයේ වැඩ සටහන් 32ක් ගුවන්ගත කරන්නට තරම් දියුණුවක් ලබාගත හැකි වුණා. ඒ කාලේ ලියන්නාගේ, ටයිපිස්ට්ගේ, පියන්ගේ ඔක්කොම රාජකාරි කළේ මමයි. එක දිගට පැය 18ක් වැඩ කළා. වැඩසටහන්වල ශිල්පීන්ට ගෙවන්න මම මගේ පඩිය පවා පරිත්‍යාග කළා.”

“1940 ගණන්වලදී “හැම්ලට්” නාට්‍යය ගුවන් විදුලියේ රඟ දක්වද්දී චරිත කීපයක් වෙනුවෙන්ම මම කටහඬ දුන්නා. දවසක් ගුවන් විදුලියට ආ විද්ශිකයන් පිරිසක් නාට්‍යය අහගෙන ඉඳලා ශිල්පීන් හොයනවා. මම කීවා ඒ චරිත සේරටම කටහඬ දුන්නේ මම කියලා. විදේශිකයන්ට පුදුමයි.” “කාලයත් සමඟ වෙළෙඳ අංශය ඉංග්‍රීසි අංශය අභිබවාගෙන දියුණු වුණා.”

“මම හැදූ ගුවන්විදුලියේ වෙළෙඳ සේවය අද දියුණු වෙලා තියන හැටි දැක්කම මට හරිම සතුටුයි. ඒත් මට ගුවන්විදුලියෙන් පරිතෝෂිත දීමනාවක් පවා ලබා ගන්න අමාරු වුණා. කොටින්ම වෙළෙඳ අංශයේ ආදි කර්තෘ වන මට කිසිම සැලකිල්ලක් නෑ. එදා ඔහු මා සමග කීවේය. ලැඩීගේ ප්‍රථම චිත්‍රපටය “අවුට්කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්” නම් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. එහෙත් ඔහුගේ මුල්ම සිංහල චිත්‍රපටය ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කළ “ප්‍රේමතරගය” යි. ලැඩී එහි රඟපෑවේ අහිංසක ලිපිකරුවෙකුගේ චරිතයයි. එමෙන්ම ඒ ලිපිකරුවා ඉතා කාරුණික හදවතක් ඇති සැමියකු විය.

හියුගෝ ප්‍රනාන්දු කැපී පෙනෙන චරිතයක් රඟපාමින් සිනමාවට ආවේද “ප්‍රේමතරගය” චිත්‍රපටයෙනි. ලැඩී රණසිංහත් අරුණ ශාන්තිත් කුලී නොදීම නිසා ගෙදරින් එලවන “වල්පොළ මුදලාලිගේ” චරිතය රඟපෑවේ හියුගෝය. හියුගෝ ගේ දෙවැනි චිත්‍රපටය ප්‍රේමතරගය විය.

සුප්‍රකට සිනමා විචාරක ජයවිලාල් ලැඩී රණසිංහගේ රඟපෑම් ගැන ලියුවේ අද්විතීය රංගනයක් ලෙසටය. “මගේ මුල්ම චිත්‍රපටයේ රඟපෑමට මම රුපියල් 30,000ක් ඉල්ලුවා මට දෙනවා කීවේ රුපියල් 500 යි. මම පසුව “ප්‍රේමතරගය” රඟපෑවේ රුපියල් 10,000 කටයි. මම “ප්‍රේමතරගයේ” රඟපෑවේ අරුණ ශාන්තිගේ පියා හැටියටයි.”

“මට දැන් අවුරුදු 70ක් වෙනවා. ඔය මුළු ජීවිත කාලයටම මම රඟපාලා තියෙන්නේ චිත්‍රපට 12යි. මම නම තියා ගත්තේ ඔය චිත්‍රපට 12 රඟපාලයි. මම තුට්ටු දෙකට රඟපෑවේ නෑ සිංහල නළුවන්ගේ තත්ත්වය තියා ගන්න ඕන නිසා. ඒ කාලේ ඉන්දියානු චිත්‍රපටවලට දෙබස් කවද්දී මට මගේ කටහඬ පාවිච්චි කරන්න දුන්නේ නෑ. සිංහල දෙබස් කවන එක් චිත්‍රපටයකට මට රුපියල් 60,000ක් දෙන්න පොරොන්දු වුණා. මම කෙළින්ම බෑ කිව්වා. ඒ කාලේ එක ජනප්‍රිය නිළියකට රඟපෑම සඳහා මුළු මාසයේම ගෙව්වේ රුපියල් 75යි. කසල ශෝධකයෝ ඊට වැඩිය පඩි ගන්නවා.” ඔහු එදා කීවේ සුපුරුදු ආඩම්බරයෙනි.

ප්‍රේමතරගයෙන් පටන්ගත් ලැඩීගේ සිනමා රඟපෑම් “රම්‍යලතා”, “වරද කාගේද?”, “රදළ පිළිරුව”, “දුප්පතාගේ දුක” ආදී චිත්‍රපට 12කින් දැක ගත හැකි වූ අතර ජාත්‍යන්තර ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑ ප්‍රථම සිංහල නළුවා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක්වෙයි.

ඒ සර් කැරොල් රීඩ් නම් සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක් වූ “අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්” විය. 1952 දී තිරගත වූ චිත්‍රපටයකි. ඔහු එහි රඟපෑමට අමතරව පරිවර්තකයකු ලෙසද කටයුතු කෙළේය. ඒ නිසා ලැඩී රඟපෑ ප්‍රථම සිංහල චිත්‍රපටය ප්‍රේමතරගය වුවද ඔහුගේ ප්‍රථම සිනමා රඟපෑම එන්නේ “අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්” චිත්‍රපටයේය. ලැඩී කාලයක් සංචාරක ආයතනයක ප්‍රචාරක නිලධාරියකු වශයෙන්ද සේවය කර ඇත.

වෘත්තිය ගරුත්වය පිළිබඳව නිරතුරුව සිතූ ලැඩී තම මුදල් හරිහැටි ගෙවන්නට නොහැකි යැයි කියූ චිත්‍රපට අත්හරින්නට මැලි නොවීය. ඒ නිසා ඔහු ජනප්‍රිය වූ චිත්‍රපට කීපයක්ම අතහැරියේය.

ඔහුගේ හොඳම රඟපෑම් රැගත් චිත්‍රපට හැටියට නම් කෙරෙන්නේ “රදල පිළිරුව” හි රෆායල් බාස්, “දුප්පතාගේ දුක” බලදේව, “සූරයා” හි සුරඹා “සුකුමලී” හි වල්හාමු ආදී චරිතය.

ඔහු හොඳම නළුවා ලෙස දුප්පතාගේ දුක චිත්‍රපටයේ රඟ පෑ චරිතය වෙනුවෙන් ‘දීප ශිඛා’ සම්මානයෙන් පිදුම් ලද්දේය.

“මගේ දැනුම් තේරුම් අනුව ලංකාවේ ඉන්නේ මොන නළුවෝද කියලා හිතෙනවා. අපේ බොහෝ දෙනා කරන්නේ නළු නිළියන්ගේ රඟපෑම් අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමයි. චරිත නිරූපනය බොහොම අමාරු කාර්යයක්. ඒ සඳහා සහජ හැකියාවක් තිබිය යුතුයි. අපේ අය චරිත නිරූපනය කියලා මහා ප්‍රෝඩාවක් ගෙනියන්නේ.” “රුක්මණී දේවි උපන් නිළියක්, ටෝනි හොඳ නළුවෙක්, ජෝ බැබළෙන නළුවෙක්, ඇඟපත හා රඟපෑමේ අත්දැකීම නිසා ගාමිණි ප්‍රසිද්ධියට පත් වුණා. විජයගේ රඟපෑම් වල මුල් යුගයට වඩා විශාල දියුණවක් දකින්නට තියෙනවා.”

“මම කාලෙකින් සිංහල චිත්‍රපටයක් බැලුවේ නෑ. බලන්න ගියොත් අපේ අයගේ රඟපෑම් දැකලා මට නැගිටලා එන්න හිතෙනවා. දැන් ඉන්න නළුවන්ගේවත් චිත්‍රපටවලත් වීරත්වය කියන එක ගෑවිලා නෑ.” ඔහු එදා කීවේය. “ලෙස්ටර් තමයි ලංකාවේ ඉන්න දක්ෂම අධ්‍යක්ෂවරයා. ඔහු ජාත්‍යන්තර මට්ටමේ සිනමාකරුවෙක්. ලෙස්ටර්ගේ “රේඛාව” ඒ කාලේ දින තුනකට වැඩිය පෙන්න ගන්න බැරි වුණා. ඒ කාලේ මම පත්තරේට ලිව්වා, රේඛාව සාර්ථක නිර්මාණයක් ඇයි ජනතාව මේ වගේ චිත්‍රපටියක් බලන්න එන්නේ නැත්තේ කියලා. ඒ ලිපිය කියවපු අය මට කුණුහරුපෙන් බැනලා පුද්ගලිකව ලියුම් එවන්න පටන් ගත්තා.” ඔහු මා සමග කීවේය. ඔහු පැරණි නළුවකු වුවද ඒ කාලයේදී ඔහුගේ හැඟීම් කොතරම් නැවුම්ව තිබුණාදැයි මේ කතාබහෙන් පැහැදිලි වෙයි.

බොහෝ විචාරකයන් සඳහන් කරන්නේ ගාමිණී ෆොන්සේකාට පෙර තම රඟපෑම් වෙනුවෙන් උපරිම මුදලක් අය කළ එමෙන්ම වෘත්තිය ගරුත්වය වෙනුවෙන් කතා කළ ආඩම්බරකාර නළුවා ලැඩී රණසිංහ බවය. එදා ඔහු මා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සඳහන් කළ මේ අදහස් ලැඩීගේ ස්වභාවය මනාව පැහැදිලි කරවන්නකි.

“චිත්‍රපට ක්ෂේත්‍රයේ අද හැමෝම කියන්නේ බොරු. ඇත්ත කියන මිනිහට කෙළින් කතා කරන මිනිහට අද තැනක් නෑ. විවේචනය කළොත් අඩුපාඩුවක් පෙන්නුවොත් ඉවරයි. එක අතකට පත්තරවල මේවා කීවම ඒකෙන් මට සිද්ධවෙන්නේ තවත් හතර පස් දෙනෙක්වත් තරහ වෙන එකයි. ඒකෙන් ලැබෙන්න තියෙන අවස්ථාවත් නැතිව යනවා.

අපි නාකි වුණාම කවුරුවත් අපිව ගණන් ගන්නේ නෑ. දැන් වුණත් මට අවස්ථාවක් ලැබුණොත් රඟ නොපාන්නේ රඟපාන්න බැරිව නොවෙයි. “දෙවියනි ඔබ කොහිද” චිත්‍රපටයෙන් පස්සේ මට කිසිම චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඔහු කීවේය.

වරක් පර්ල් වසුදේවි නම් සුප්‍රකට රංගන ශිල්පිනිය මා සමඟ කීවේ වසර 12ක් පමණ සිනමාවෙන් ඉවත් වී සිටි ඇයට රඟපෑමට අවස්ථාව ලැබුණේ ලැඩී රණසිංහ නිසා බවයි. කටකාර ගැහැණුන්ගේ චරිත තුළට පර්ල් යළි තිරයට ආවේ “සැකය” චිත්‍රපටයෙන් බව ඇය එදා පැවසුවාය.

ලැඩී රණසිංහ අභාවප්‍රාප්ත වූයේ 1983 මැයි 26 වැනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ ගණනකි. ලැඩී රණසිංහ සිනමාව පමණක් නොව ගුවන් විදුලි ඉතිහාසය දෙස යළි හැරී බලන විට අමතක නොවන නොමැරෙන නමකි.

රොඩ්නි විදානපතිරණ

Awards

National Awards

1 " Deepashika" Apecial Award 4th Deepashika Award Ceremony 1974 - 1974
2 Best Actor Duppathage Duka - 1956 2nd Deepashika Award Ceremony 1957 - 1957

As a Cast

#Film NoYearFilm RoleDirector
1 161953 Prema Tharangaya ප්‍රේම තරඟය Actor A.B. Raj
2 211954 Warada Kageda වරද කාගේද Actor T.R. Sundaram, G.R. Rabo
3 251954 Radala Piliruwa රදල පිළිරුව Main Actor T.R. Sundaram
4 361956 Duppathage Duka දුප්පතාගේ දුක Main Actor Mithradas, T.R. Sundaram
5 431957 Suraya සූරයා Main Actor Krishna Rao, T.R. Sundaram
6 461957 Sukumali සුකුමලී Main Actor M.K.Swami, M. Masthan
7 731960 Weera Wijaya වීර විජය Actor K.S. Setumathawan
8 881963 Mangalika මංගලිකා Actor B.A.W. Jayamanne
9 1141965 La dalu ලා දළු Actor S. Ramanadhan
10 1521967 Sengavuna Manika සැඟවුණු මැණික Actor Dudley Wanaguru
11 3561977 Deviyani Oba Kohida දෙවියනි ඔබ කොහිද Actor Aruna Shanthi
12 3561977 Deviyani Oba Kohida දෙවියනි ඔබ කොහිද Actor Aruna Shanthi