BIOGRAPHY
1928 'වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේ 'ෂයිලොක්ගේ' චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් එවක පෙට් ෂූස් නම් විදේශීය විනිශ්චයකාරවරයා වෙතින් පිරිනමන ලද රන් පදක්කම, 1928 පියදාස සිරිසේන ශූරින්ගේ 'සිංහල කොඩිය' නාට්‍යයේ 'විල්බාවේ හිමියන්ගේ' චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් ලද රන් පදක්කම, 1927 'රෝමියෝ ජුලියට්' නාට්‍යයේ චරිත නිරූපණය සඳහා එවක අග්‍ර විනිශ්චයකාර සර් සිඩ්නි ආබ‍්‍රහම්ගෙන් ලද රන් පදක්කම, 1931 'ධර්මාශෝක' නාට්‍යයේ කුණාලගේ චරිත නිරූපණය වෙනුවෙන් රාජ්‍ය නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංකගේ අතින් ලද රන් පදක්කම, 'වෙස්සන්තර' නාට්‍යයේ ජූතක බමුණාගේ චරිත නිරුපණය වෙනුවෙන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිඳුන්ගෙන් ලද පවුම් දෙකහමාරක් බරැති රන් පදක්කම, 1934 'විධුර' නාට්‍යයේ පූර්ණක යක්ෂයාගේ චරිත නිරූපණය වෙනුවෙන් ඩී. එස්. සේනානායක මැතිඳුන්ගෙන් ලද රන් පදක්කම, 1936 'මහා කලු සිංහලයා' ප්‍රධාන චරිත නිරූපණය වෙනුවෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් වෙතින් ටවර් හෝල්හිදී ලද රන් පදක්කම, 1968 'ශ්‍රී වික්‍රම' නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ජාතික රඟහලේදී (රාජකීය විදුහලට යාව පැවති රඟහල) එවක අධ්‍යාපන හා සංස්කෘතිත අමාත්‍ය අයි. ආර්. එම්. ඒ. ඊරියගොල්ල මැතිඳුන්ගෙන් ලද සම්මානය ආදී වශයෙන් ටවර්හෝල් අම්බරයේ පෑයූ සුපිරි තරුවක් ලෙස රොම්ලස් මාස්ටර් පිදුම් ලැබූ හැත්තෑ පහකට අධික රන් පදක්කම් ප්‍රමාණයත්, 400 කට නොඅඩු කුසලාන ප්‍රමාණයත්, ගිනිය නොහැකි තිළිණ ප්‍රමාණයක් මතින් එතුමන්ගේ දක්ෂතාව සහ ජනප්‍රියතාව පිළිබඳ පාඨකයාට තක්සේරුවකට පැමිණිය හැකිය.
අනතුරුව සිරිසේන විමලවීර ශූරීන් නිර්මාණය කළ 'අම්මා', 'පිටිසර කෙල්ල' ඕගන් රුද්‍රිගූගේ 'බලගතු කාසිය', 'දුෂ්ට නීතිඥයා' මෙන්ම 'ශ්‍රියාලතා', 'අවිවාහක පියා' ආදී සමාජ නාට්‍යවලද රඟපෑවේය. 1947 කථානාද චිත්‍රපට රඟදැක්වීමත් සමඟ විශාල අර්බුදයයකට මුහුණ දුන් ටවර් හෝල් නාට්‍ය, ප්‍රාදේශීයව රඟ දක්වන්නට යෙදුණි. නාට්‍ය රංගනයට නිෂ්පාදනයට පමණක් සීමා නොවූ රොම්ලස් මාස්ටර් 'රම්‍යලතා', 'හතර මහා නිධානය', 'රේඛාව', 'ලොකුම හිනාව', 'සාරවිට ආදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ කේ. ඒ. ඩබ්ලිව් යන අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට කිහිපයකම රඟපෑවේය.
1972 දී පල්ලේකැලේ සී. ස. පෝට්මන් නිෂ්පාදන වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැමිණි ජේම්ස් ටී. ගැට්වර්ඩ් නිෂ්පාදනය කළ 'එලිෆන්ට් බෝයි' නම් ජාත්‍යන්තර තලයේ ටෙලි නාට්‍ය මාලාවේ බහාදූර් නමැති ගම්මුලෑදෑනියාගේ චරිතය රඟපෑ රොම්ලස් මාස්ටර් එහි 'දන්මෝ බුදුන්ගේ' ගීතය ද ගායනා කළේය. ස්ටැන්ලි සිල්වා ද එහි චන්ද්‍රා නම් ඇත්ගොව්වාගේ චරිතය නිරූපණය කළේය.
1969 ටවර්හෝල් නාට්‍ය සංගමයේ ප්‍රථම සභාපති ධූරය දැරුවේ මගේ පියා රොම්ලස් මාස්ටර්ය. එහි ප්‍රධාන අනුශාසකවරුන් ලෙස නිල දැරුවේ ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා සහ රජයේ සංගීත විදුහලේ අධිපතිව සිටි ලයනල් එදිරිසිංහ යන අයයි. ටවර්හෝල් නාට්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස මමත් කටයුතු කළා. ටවර් රඟහල රජයට පවරා ගන්නා ලෙස 1977 දක්වාම අප අරගලයක් ගෙන ගියා. ටවර්හෝල් ශිල්පීන් ලෙස සංගමයේ සාමාජිකත්වය ලැබ සිටි රොම්ලස් සිල්වා, ඇනී බොතේජු, ලක්ෂ්මී බායි, සෝමා කාන්තා, බෙන්ජමින් ප්‍රනාන්දු, විමලා කාන්තා, සෙබස්තියන් පීරිස් ආදීන් සහභාගි වුණා. ටවර් රඟහල ඒ වන විට තිබුණේ ගරා වැටී ඉතා අබලන් තතත්වයකයි. වවුලන් රජ කරගෙන සිටි අම්බලමක තත්ත්වයකට පත්ව තිබුණා. කිසිවකුට ඇතුල්වීමටවත් සුදුසු තත්ත්වයක් තිබුණේ නැහැ. කලාකරුවන් පත් වී සිට අසීරු තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරමින් සිටි එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් 1977 ඡන්දය දිනුවහොත් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ටවර් රඟහල පොදු ජන ස්ථානයක් ලෙස ස්ථාපිත කරන බව අපට සහතික වුණා.
ඒ කියුූ ආකාරයටම 1977 නවරජය පිහිටුවීමත් සමඟ කිසිදු මුදලක් නෙගෙවාම ටවර් රඟහල පමණක් නොව, එල්ෆින්ස්ටන් රඟහල ද රජයට පවරා ගත්තා. ඒවා අග්‍රාමාත්‍ය ධූරයට යටත් කොට පාර්ලිමේන්තු පනතක් සම්මත කළා. බොහෝ ව්‍යාපාරික මහතුන් සිය කැමැත්තෙන් ලබාදුන් ආධාර අරභයා අරමුදලක් පිහිටුවා රජයේ මූලික මැදහත්වීම මත ටවර් රඟහල නැවත ඉදි කිරීම ඇරඹුවා. ප්‍රේමදාස මැතිඳුන්ගේ මෙහෙයවීම යටතේ ටවර් රඟහලත් එල්ෆින්ස්ටන් රඟහලත් (පසුව රුක්මණී දේවි සමරු රඟහලත්) ටවර් රඟහල් පදනමට යටත් කොට අරමුදලක් පිහිටුවා එය බැංකුවේ තැන්පත් කොට ඊට ලැබෙන පොලියෙන් ශිල්පීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් ද සකස් කළා.
පැරැණි ශිල්පින්ට ගම්උදා වේදිකාවේ අගමැතිතුමන් ඉදිරිපිටදීම තම තමන්ගේ ශිල්ප පෙන්වන්නට අවස්ථාව ලැබුණා. කෙතරම් කාර්යබහුල වුණත් අගමැතිතුමා ටවර් ශිල්පීන්ගේ රැඟුම් බලන්නට කෙසේ හෝ සහභාගි වුණා. එම පැරැණි නළු නිළියන්ට නවාතැන් සඳහා සෑම නගරයකම ඇති ඉතාම සැප පහසු හෝටල් සහ ආහාරපානවලින් සංග්‍රහ කිරීමට ප්‍රේමදාස මැතිතුමා කටයුතු කළ ආකාරය පැසසුම් කළ යුතුය. 1978 වසරේ ටවර් රඟහල නැවත ඉදිකර ජනතාව සන්තක කිරීමෙන් පසු මුලින්ම ප්‍රදර්ශනය කිරීමට තෝරා ගත් නාට්‍ය 3 අතරින් ඩී. වී. සෙනෙවිරත්නගේ 'සමුද්‍ර දේවි' නාට්‍යය නිෂ්පාදනය කිරීමට ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මාස්ටර්ටත්, ජෝන් ද සිල්වා ශූරින්ගේ 'සිරි සඟබෝ' නාට්‍ය නිෂ්පාදනය කිරීමට හෙන්රි ජයසේන මැතිතුමාටත්, ජෝන් ද සිල්වා ශූරින්ගේ 'ශ්‍රී වික්‍රම' නාට්‍යය නිෂ්පාදනය කිරීමට ප්‍රේම රංජිත් තිලකරත්නටත් භාර දුන්නා. එහිදී හෙන්රි ජයසේනයන් අධ්‍යක්ෂණය කළ 'සිරිසඟබෝ' නාට්‍යයේ සියලු ගීත පුහුණුවීම් කරවන ලද්දේ රොම්ලස් මාස්ටර් විසිනි.
ගම්උදා චාරිකාව සහභාගීි වූ ටවර් ශිල්පීන් අතර එන්. රොමියුලස් ද සිල්වා, ලක්ෂ්මී බායි, ලතීෆ් බායි, සරලා බායි, ඒ. ජේ. කරීම්, ලිලියන් එදිරිසිංහ, දොන් සිරිසේන, එඩී ජූනියර්, ෆ්ලෝරි දේවි, දේවි සකුන්තලා ආදී විශාල පිරිසක් වූහ. එම ගම් උදා චාරිකාවේදී ජීවිතයේ සැඳෑ සමය ගත කළ රොම්ලස් මාස්ටර් සහ ලක්ෂ්මී බායි යුවළ එදා ඔවුන්ගේ ස්වර්ණමය ටවර්හෝල් යුගය යළි සිහිගන්වමින් 'සිවම්මා ධනපාල' නාට්‍යයේ එන 'සාලිය කුමරු' සහ 'අශෝකමාලා' දෙදෙනා ගායනා කරන 'හරිමි රජ සැපා' ගීතය ගයමින් රැඟූ අයුරු දුටු දනන් හදවත් සොම්නසින් ඉපිල ගියහ. චමත්කාරයෙන් ඇළලී ගියහ. 1981 මාර්තු මස 27 දින වැල්ලවායේ පැවැත්වීමට නියමිතව තිබූ ගම්උදා වැඩ සටහනට සහභාගී වීම පිණිස යන අතුරතුර රාත්‍රී කතරගම සංචාරක සමාගම් තානායමේ ටවර්හෝල් ශිල්පීන් පිරිස ලැගුම් ගත්හ. එදින එහි රාත්‍රිය ගත කළේ නාට්‍ය ශිල්පීන් පමණක් නොවේ.
ගම්උදා සන්දර්ශනය නැරඹීමත් ඊට සහභාගිවීමටත් එහි යමින් සිටි එවක අගමැති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් සහ ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි ඒ. ජේ. රණසිංහ මැතිතුමන් ද වූහ. රාත්‍රියේ සතුටින් ඉපිල සිටි පිරිස ගීත ගායනා කරමින් රැඟුම් දක්වමින් විනෝද වූහ. අගමැතිතුමන් තමන් දෙස බලා සිටින බව ඉඟි වැටුණු කල්හි වඩාත් උවමනාවෙන් පසු දින ගයන්නට යෙදී ඇති ගීත උස් හඬින් ගැයූහ. රොම්ලස් මාස්ටර් එහි ප්‍රමුඛයා විය. මධ්‍යම රාත්‍රිය වූ විට අගමැතිතුමන් පැමිණ 'රෑ වුණා. දැන් නිදාගන්න. හෙට ෂෝ එකත් තියෙනවානේ' කී පසු සියල්ලෝම තම තමන්ගේ කාමරවලට ගිය අතර සරලා බායි, ලතීෆ් බායි සහ රොම්ලස් මාස්ටර් එක්ව පන්සිල් ගෙන එකම කාමරයක නින්දට ගියහ. 28 දින පාන්දර තානායමේ වේටර්වරයකු තේ රැගෙන එන විටත් 'රොම්ලස් මාස්ටර්' නම් වූ ඒ අග්‍රගණ්‍ය ටවර්හෝල් නාට්‍ය ශිල්පියා අවසන් සුසුම් පොද ද වායු ගෝලයට එක්කර හමාරය.
රොම්ලස් මාස්ටර්ගේ මේ වියෝව සියල්ලන්ටම අසීමිත වේදනාවක් ගෙන දුන්නේය. එවක එම කතරගම ප්‍රදේශය භාරව පොලිස් අධිකාරිවරයාව කටයුතු කළ රොම්ලස් මාස්ටර්ගේම බාල පුත් නෝර්ටන් ද සිල්වා වහා එහි ළඟා විය. සියලු රාජ්‍ය ගෞරව මධ්‍යයේ අගමැති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ඇමතිවරුන් මෙන්ම කලාකරුවන් රාශියක් මධ්‍යයේ සම්මානලාභී, රන් පදක්කම්ලාභී, ජනතා සම්මානලාභී රටක් සැනහූ, නැළ වූ, අති දක්ෂ, ප්‍රවිණ එන්. රොමියුලස් ද සිල්වා හෙවත් රොම්ලස් මාස්ටර් නම් වූ සුපිරි ටවර්හෝල් තරුව, ශ්‍රී ලංකා නාට්‍ය අම්බරයේ නිවී ගියේ කලා ලොවේ වර්තමානයට පමණක් නොව, ඉතිහාසයටත් අනාගතයටත් සුවිශේෂ මෙහෙවරක් කරමිනි.
Copied