Suhada Pathuma

Suhada Pathuma

සුහද පැතුම

Black & White 35mm

Film No: 258  ·  Released: 23 Feb 1973

58.42% · 2,521 votes
Rate this film

Summary

NameSuhada Pathuma / සුහද පැතුම
Film No258
Released Date23 Feb 1973
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Tissa Wijesundara Main Actress: Malani Fonseka Director: Kingsly Rajapaksha Producer: Camilus Perera

Description

විගේෂ සටහන්

1971 - නිල් රුපසිංහගේ “හතර දෙනාම සුරයෝ” චිත්‍රපටයෙන් පසු මරදාන ගාමිණි සිනමාහලේ දින 100 ක් ප්‍රදර්ශනය වූ චිත්‍රපටය වීම.

හැත්තෑව දශකයේ ඒ වන විට ජනප්‍රියතම නළු නිළි යුගල වශයෙන් සැලකුණු ගාමිණි,මාලනී හා විජය, මාලනී අතරට මෙම චිත්‍රපටියෙන් තිස්ස, මාලනී යුගලය එක් වීම.

මෙම චිත්‍රපටයට සමගාමිව මරදාන එල්ෆිනිස්ටන් සිනමාහලේ විජය, මාලනී ප්‍රධාන චරිත රඟපෑ යසපාලිත නානායක්කාරගේ “තුෂාරා” චිත්‍රපටයද 100 කට වැඩි දින ගණනක් ප්‍රදර්ශනය වූ අතර මෙම චිත්‍රපට දෙකම එක සේ ජනප්‍රිය විය.

තරුණයන් කිහිප දෙනෙකු පාළු ප්‍රදේශයකදී පාරේ යන තරුණියක් එන තුරු බලා සිටිති. මෙම තරුණියගේ නම ලලිතාය. ( රීටා රත්නායක ) මින් එක තරුණයෙකු ( ගාමිණි අබේසිංහ ) ඇයගේ ආදරය අයැද සිටියි. ඇය ඔහුට කැමැත්තක් නැති බැව් පෙනේ. මේ අවස්ථාවේ එතනට ඇගේ බාල සොහොයුරා චන්දන ( තිස්ස විජේසුරේන්ද්‍ර ) පැමිණෙයි. මෙහිදී චන්දන හා තරුණයන් අතර ඇතිවන සටනක් අතරතුර පිහි ඇනුමකින් ලලිතාගේ ආදරය බලාපොරොත්තුවෙන් ඇයට හිරිහැර කිරීමට තැත්කළ තරුණයා මිය යයි. මේ හේතුවෙන් චන්දන පොලිස් අත්අඩංගුවට පත් වෙයි.

නඩු තීන්දුවෙන් අනතුරුව සිපිරිගෙය උරුම වන චන්දන තම සිර ගතව සිටි කාලය යහපත් කල් ක්‍රියාවෙන් ගත කිරීම හේතුවෙන් ඔහුට නියමිත දිනට කලින් නිදහස උදා වෙයි. ඔහු මෙසේ සිරෙන් නිදහස් වන දින එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු ( ඩේවිඩ් ධර්මකීර්ති ) ඔහුට හිතවත් අයුරෙන් අවවාද කරයි.

සිරෙන් නිදහස් වී එන චන්දන ගමේ යාම පිණිස රෙදි ගැනීම සඳහා සාප්පුවකට පැමිනෙයි. තරුණියන් කිහිප දෙනෙකු රෙදි ගැනීම සඳහා එම අවස්ථාවේ එම සාප්පුවටම පැමිනෙති. ඒ අතර කැපී පෙනෙන තරුණිය චමිලාය. (මාලනී ෆොන්සේකා ), ( ඇගේ යෙහෙලියන් ලෙස පෙනී සිටිනුයේ සුමනා අමරසිංහ හා ශ්‍රීයානි පොන්සේකාය.)

කෙසේ හෝ වෙළඳ සැල් සේවකයා ( ජයසේකර අපොන්සු ) අතින් චමිලා හා චන්දන මිලදී ගන්නා ඇදුම් පාර්සල් දෙක මාරු වෙයි. කෙසේ නමුත් වෙළඳ සැල් සේවකයා චමිලා හා යෙහෙලියන් සිටින ස්ථානයට චන්දන කැඳවා ගෙන ගොස් මාරු වී ඇති රෙදි පිළි පාර්සල් දෙකේ අවුල ලිහා දෙයි.

චන්දන දුම්රියෙන් තම ගම බලා පිටත් වෙයි. එම දුම්රියේම චමිලාගේ විභාගය අවසන් වීම නිසා ඇය හා ඇගේ මවද ( රුක්මනී දෙවි ) දුම්රියෙන් ගමේ යමින් සිටිති. මේ අවස්ථාවේ සොරෙකු ( ඇලෙක්සන්ඩර් ප්‍රනාන්දු ) පැමිණ මවගේ ගෙල බැඳි මාලය කඩා ගැනීමට තැත් කරයි. මෙහිදී පිහිටට එන්නේ චන්දනය. ඔහු සොරා හා සටන් වැද සොරාව මෙල්ල කරයි.

මෙම හේතුව නිසා චන්දන සමග චමිලා හා ඇගේ මව හිතවත් කමත් ඇති කර ගන්නා අතර ඔහු නුවර පිහිටා ඇති තම සොහොයුරියගේ නිවසට යන බැව් පවසයි. තමන් පදිංචිව සිටිනුයේ ගම්පොල බවත් තම සොහොයුරියක් නුවර චන්දනගේ සොහොයුරියගේ නිවස පිහිටා ඇති ආසන්නයේ සිටින බැව් චමිලාගේ මව පවසයි. එමෙන්ම ඔවුහු ඔහුට තම නිවසට එන ලෙසට ඇරයුම් කරති.

දුම්රියෙන් බැස ගත් චන්දන සිය සොයුරියගේ නිවසට යයි. සොයුරිය ලලිතා මේ වන විට විවාහකය. ඇයට කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින අතර ලලිතාගේ හා චන්දනගේ නැගනිය ( ජෙනිටා සමරවීර ) පදිංචිව සිටින්නේ ද එම නිවසේමය. ලලිතාගේ සැමියා ( අශෝක පොන්නම්පෙරුම ) ප්‍රදේශයේ යම් තත්වයක් ඇතිව ජිවත් වන අයෙකි. ලලිතා ඔහුට පවසා ඇත්තේ චන්දන විදේශයක සිට පැමිණි බවය. චන්දන තම සොයුරිය මෙසේ තම සැමියා හට අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන නමුත් තම සොයුරිය වෙනුවෙන් තමා විදේශයක සිට පැමිණි බැව් ලලිතාගේ සැමියා හට ඇඟ වීමට ඔහුට සිදුවෙයි.

චමිලා හා මව නුවර පිහිටි මවගේ සොහොයුරියගේ නිවසට යන අවස්ථාවේ ඔවුනට චන්දන මුණ ගැසෙයි.ඔවුන් ඔහුටද තමන් සමග එන ලෙස පවසයි. මේ අනුව ඔහුටද චමිලාගේ මවගේ සොයුරිය හඳුනා ගැනීමට අවස්තාව ලැබෙයි.

චමිලා ටික දිනකට තම සොයුරියගේ නිවසේ නතර කර ඇගේ මව නැවතත් තම ගම බලා යයි. මේ නිසා චමිලාට හා චන්දනට වඩ වඩාත් ළංවීමට අවස්ථාව උදා වෙයි.

ලලිතාගේ නැගණිය විවාහ කර දීම සඳහා ඇගේ සැමියා කටයුතු සුදානම් කරන අතර මංගල උත්සවය සඳහා චමිලාද ආරාධනා ලැබ පැමිණ සිටින්නීය. මේ අවස්ථාවේ මනාලයාගේ පාර්ශවයෙන් පැමිනෙන ඥාතියෙකු ( ලයනල් දැරණියගල ) චන්දනව දකියි. ඔහු මීට පෙර චන්දනට එරෙහිව තිබු මිනීමැරුම් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයය. ඔහු මේ අවස්ථාවේ සියල්ල හෙළි කරයි. මෙහි ප්‍රතිපලය වන්නේ නැගණියගේ විවාහය කඩා කඩාකප්පල් වීම මෙන්ම චන්දනේගේ රහස හෙළිවිමත්ය.

තමා හට එල්ල වු අවනම්බුව සම්බන්ධයෙන් කෝපයට පත් වන ලලිතාගේ සැමියා මේ අවස්ථාවේ ලලිතා හට තදින් දොස් පවරා චන්දනද නිවසින් පිට කරයි.

මෙහිදී සියලු අපේක්ෂා භංගත්වයට පත් වන චන්දන යා යුතු මගක් නොදැන දිවි තොර කර ගැනීමේ අදහසින් දුම්රියට පනින නමුත් යම් අයෙකු දුම්රියේ ගැටීමට පෙර ඔහු බේරා ගනී. හැරී බලන ඔහු දකින්නේ තමා බේරා ගත් චමිලාය.

යා යුතු මගක් නොමැති චන්දන ද කැටිව චමිලා තම ගම බලා යයි. මේ අනුව ඔහුට ඇගේ නිවසේ නතර වීමට අවස්ථාව ලැබෙයි.

චමිලාගේ හා චන්දනගේ ඇසුර දැන ගන්නා චමිලාගේ මව දෙදෙනාගේ එක් වීමට කැමැත්ත පළ කර ඔවුන් දෙදෙනා විවාහ කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි.

මේ අනුව චන්දන තමා චමිලා හා විවාහ වන බැව් තම සොහොයුරියටද දන්වා යවයි.

විවාහයට පෙර දින සවස ඇවිදීමට යන චන්දන හා චමිලා වර්ෂාවකට හසුවෙති. වර්ෂාවෙන් ආරක්ෂා වීම පිණිස යන ඔවුන් එක්තරා නිවසකට දිව යන අතර එම නිවස හිමියා මුලින්ම චන්දන සිරෙන් නිදහස් වී එන දින ඔහුට අවවාද අනුශාසනා ලබා දුන් බන්ධනාගාර නිලධාරියාය. නමින් සිරිවර්ධන වන ඔහු හා චන්දන මෙහිදී එකිනෙකා අඳුනා ගනී. සිරිවර්ධන සමග ඔහුගේ පුත්‍රයාද එම ස්ථානයේ සිටින මෙම අවස්ථාවේ පසුදින විවාහයේ තමන් වෙනුවෙන් සාක්ෂියට අත්සන් කිරීමට එන ලෙස චන්දන සිරිවර්ධන හට ආරාධනා කරයි.

එදින රාත්‍රියේ චන්දන නිවසේ උඩුමහලට යන්නේ වර්ෂාව නිසා සෙලවෙන ජනේලයක් වැසිමටය. එවිට ඔහු උඩුමහලේ ඇති ඡායාරුපයක් එක් වරම දැක තැති ගැනීමට පත් වෙයි. එම ඡායාරුපයේ සිටින්නේ මහින්දය නැතහොත් ආරම්භයේදීම් චන්දන සමග දබරයට මැදි වී මිය යන පුද්ගලයාය. ඒ චමිලාගේ සොහොයුරා බැව් චන්දන, චමිලා හා ඇගේ මවගෙන් දැන ගන්නා අතර ඇගේ මව තවමත් අකාලයේ මිය ගිය තම පුත්‍රයා සම්බන්ධයෙන් ශෝකයෙන් පසුවන බව මෙහිදී මවගේ විස්තරය අසා සිටින ඔහුට අනාවරණය වෙයි.

පසු දිනට නැති නම් චමිලාගේ හා චන්දනගේ විවාහ දිනට හිරු උදා වෙයි. චමිලාගේ යෙහෙළියන් පැමිණ ඇයට සහාය වන අතර ඇය පසු වන්නේ මහත් ප්‍රිතියෙනි. නමුත් චන්දනගේ සිතෙහි කිසිදු ප්‍රීතියක සේයාවක් හෝ නැත. තමා සමග දබර වී මිය යන මහින්ද චමිලාගේ සොහොයුරා යැයි දැන ගැනීමත් සමග ඔහු පත්වී ඇත්තේ දැඩි කම්පනයකවය. තමා හට මේ තරම් කරුණාවෙන් සලකන චමිලාගේ මවගේ එකම පුත්‍රයා තමා විසින් මරා නොදැමුවද ඔහු මිය ගියේ තමා හා දබරයක පැටලීමෙන් බැව් චමිලා හා ඇගේ මවට සැගවිමෙන් තමා කරනුයේ බලවත් වරදක් බවත් ඔහුට සිතෙයි.

සියලු සිදුවීම් චමිලා හට හා ඇගේ මවට පවසන්නේද නොපවසන්නේද යන්න මත දෝලනය වෙමින් සිටින චන්දන අවසානයේ සියල්ල චමිලාගේ මවට හෙළි කරයි. චමිලා ද මෙය අසා සිටින අතර චන්දනගේ කතාව අසා කෝපයට පත් වන මව තම පුතාගේ මිනීමරුවා බවට ඔහුට චෝදනා කරයි. තමා ඇගේ පුතා නොමැරු බවත් තමා ඊට වැරදි කරුවෙකු වී දඬුවම් වින්දේ නිකරුනේ බවත් ඔහු පැවසුවද ඇය එය නොපිළිගනියි.

මේ නිසා චන්දන එතනින් පිටවී යයි. ඒ සමගම තම පුත්‍රයාද සමගින් විවාහ මංගල්‍යට සහභාගී වීම සඳහා පැමිනෙන බන්ධනාගාර නිලධාරි සිරිවර්ධන චමිලාගේ මවට ඇගේ පුත්‍රයා මිය ගිය ආකාරය විස්තර කරයි. ඔහුගේ විස්තරයට අනුව මහින්ද මිය යන්නේ චන්දන සමග පොර බදන අවස්ථාවේ චන්දනට ඇනීමට යොදා ගන්නා පිහිය බිම වැටී ඔහු ඒ මත වැටීමෙනි.

චන්දන මිනීමරුවෙකු නොවන බැව් දැන ගන්නා චමිලා මංගල ඇදුමෙන් ඔහු සොයා දිව යයි. මේ වන විට චන්දනගේ සොයුරියන් දෙදෙනා, මස්සිනා ඇතුලු පිරිසද මංගල උත්සවය සඳහා පැමිණෙති.

චන්දන පසු පස දිව යන චමිලා ඔහුට කතා කරන නමුත් ඔහු පසු පස හැරී නොබලයි. මේ අවස්ථාවේ කන්දක් උඩ සිටින ඇය එකවරම ලිස්සා ඇද වැටෙන්නේ ගංගාවකටය. මොවුන් දෙදෙනා පසු පස දිව එමින් සිටින චමිලාගේ මව ඇතුලු පිරිස දකින්නේ දිය රකුසා සමග පොර බදන චමිලාය. කෙසේ නමුත් චන්දන වහාම දියට පැන ඇය බේරා ගෙන ගොඩට ගෙන එයි. අවසානයේ චමිලාගේ මවද චන්දන නිදොස් බැව් පිළිගෙන ඔහුගේ හා චමිලාගේ විවාහයට ආශිර්වාද කරන අතර සිරිවර්ධන තම පුතා චන්දනගේ බාල සොයුරියට යෝජනා කරයි.

විස්තර හා කතා සාරංශය ඉදිරිපත් කිරීම

ක්‍රීඩා හා සිනමා මාධ්‍ය වේදී

අනිල් වීරසිංහ

0716358123

Email : anilweerasinghesl@gmail.com

සිංහල පිටපත ටයිප් කිරීම : රොහාන් මධුෂංක පෙරේරා

Cast

Crew