Ananda Jayarathna

Ananda Jayarathna

Born 7 April 1930 Died 28

7 April 1930 - 28

58.96% · 1,940 votes
Rate this artist

Summary

NameAnanda Jayarathna
Born7 April 1930
Died28

Biography

බොරැල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන ට්‍රොලි බස් රියකි. බටහිර චිත්‍රපට නළුවකු බඳු කඩවසම් තරුණයෙක් බසයේ සිටී. තලතුනා පෙනුමකින් යුත් මහත්මයෙක් මේ තරුණයා දෙස තරමක ඕනෑකමකින් බලයි.

‘ඉලන්දාරියා බෑරක්ද?’

තලතුනා මහත්මයා අසයි.

‘මම කොටුවට යනවා’

තරුණයා පිළිතුරු දෙයි.

‘ඔයා හරියට හොලිවුඩ් නළුවෙක් වගෙයිනේ’

මැදි වියේ මහතා කියයි.

‘බොහෝම ස්තූ®තියි’

මන්දස්මිතයක් නඟන තරුණයා ඊට කෘතඥතාව පළ කරයි.

‘ඇත්තටම චිත්‍රපටයක රඟපාන්න කැමැතිද?’

තලතුනා මහත්මයාගෙන් තවත් ප්‍රශ්නයකි.

‘කවුද අපිට චිත්‍රපට දෙන්නේ?’

තරුණයා ඕනෑවට එපාවට මෙන් කියයි. කතාව මේ අයුරින් දිග්ගැස්සී යයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මැදිවියේ මහතා මේ තරුණයාට ලිපිනයක් දීමයි. ඒ මරදාන නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ පිහිටි සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් කාර්යාලයයි.

පසුදා කාර්යාලයට එන තරුණයාට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබේ. තරුණයා

ආනන්ද ජයරත්නය. මැදි වියේ මහතා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නය. දැන් ඉතිං චිත්‍රපටයේ නමද ඔබට නොකියා නොහැකිය. චිත්‍රපටය ’සුරතලී’ය. ආනන්ද ජයරත්නගේ සිනමා ප්‍රවිෂ්ටය සිදු වුණේ එවන් අහඹු ආකාරයටය.

1930 දී මාතර නූපේ උපන් ආනන්ද මූලික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල සීවලී විදුහලෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහලෙනි.

ආනන්ද වෘත්තියෙන් ගුරුවරයෙක් වූයේය. හිටපු කතානායක, සබරගමු ආණ්ඩුකාර වි. ජ. මු. ලොකු බණ්ඩාර සහ හිටපු ඇමැති සමරවීර වීරවන්නි යන දෙදෙනා ආනන්දගේ ශිෂ්‍යයෝ වෙති. එසේම ආනන්ද විනෝදාංශයක් වශයෙන් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් කටයුතු කළේය. එපමණක් ද නොවේ. ඔහු ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයකු ලෙස ද කැපී පෙනුණේය.

සිරිල් පී. අබේරත්න ට්‍රොලි බස් රියේදී හමු වූයේ පාපන්දු තරගයක් සඳහා ආනන්ද කොළඹ පැමිණි අවස්ථාවකදීය.

‘සුරතලී’ ආනන්ද පමණක් නොව එච්. ආර්. ජෝතිපාල සිනමාවට ප්‍රවිෂ්ට වූ චිත්‍රපටයකි. ජෝතිපාල මේ චිත්‍රපටයට ගැයූ ‘සිරියාමේ සාරා’ ගීතය වෙනුවෙන් චිත්‍රපටයේ පෙනී සිටියේ ආනන්දය. එසේම විකට නළු ඇල්. ඇම්. පෙරේරා රඟපෑ මුල්ම චිත්‍රපටය ද මෙය වන්නේය.

‘සුරතලී’ට පාදක වූයේ රාජ් කපූර්ගේ අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘බර්සාත්’ ය. එහි ප්‍රේම්නාත් රඟපෑ චරිතයයි මෙහි ආනන්ද රඟපෑවේ.

සුසිල් එම චරිතයේ නමය. සුසිල් සෙල්ලක්කාර තරුණයෙකි. මීට ඉහත එබඳු සෙල්ලක්කාර තරුණයකුගේ චරිතයක් රඟපා තිබුණේ ඩොමී ජයවර්ධනය. ඒ ‘සුජාතා’ චිත්‍රපටයේය. එහෙත් ආනන්ද ‘සුරතලී’ චිත්‍රපටයේ ප්‍රේම්නාත් හෝ ඩොමී අනුකරණය නොකර තමන්ටම ආවේණික වූ රංග ශෛලියකින් එකී චරිතය නිරූපණය කළේය. ඒ රංග භාවිතාව බොහෝ දුරට බටහිර නළුවන්ගේ් රංග ශෛලිියට සමාන වූයේය.

තමා මාලන් බ්‍රැන්ඩෝ, රිචඩ් බර්ටන්, ඇන්තනි ක්වීන්, සර් ලෝරන්ස් ඔලිවියර්, බර්ට් ලැන්කැස්ටර් වැනි බටහිර නළුවන් ප්‍රිය කරන බව ආනන්ද වරක් කියා තිබිණි. ඩොමීගෙන් පසු සිංහල සිනමාවේ බිහි වූ වඩාත්ම සරාගීපුරුෂ සංඥාර්ථය ආනන්ද වූයේය.

‘සුරතලී’ චිත්‍රපටයේ රූ ගැන්වීම් සිදු කෙරුණේ ඉන්දියාවේදීය. ඒ සඳහා ආනන්ද දෙමසක නිවාඩුවක් ඉල්ලා සිටියත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. චිත්‍රපටය තිරගත වන විට ආනන්ද ගුරු වෘත්තියෙන් ඉවත් කරනු ලැබ තිබිණි. ‘ සුරතලී’ මංගල දර්ශනය දා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතාය. චිත්‍රපටය නිම වූ පසු ආනන්ද හමු වූ දහනායක මහතා ඔහුට සුබ පැතුවේය.

‘බොහෝම හොඳ රඟපෑමක්’

‘රඟපෑම් නම් හොඳයි. ඒත් රඟපාන්න ගිහිල්ලා මගේ රස්සාව නැති වෙලයි තියෙන්නේ ඇමැතිතුමා’

ආනන්ද කීවේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ දහනායක මහතා ආනන්දට නැවතත් රැකියාව ලබා දුන්නේය.

‘සුරතලී’ චිත්‍රපටයේ රංගන සාර්ථකත්වයත් සමඟම ආනන්දට චිත්‍රපට ගලාගෙන ආවේය. කොටින්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවැනි චිත්‍රපටය වූ ‘සංදේශය’ ප්‍රධාන චරිතය (බණ්ඩාර) පවා ලැබුණේ ආනන්දටය. එහෙත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පසු කලෙක කීවේ එය තමාගේ වැරදි තීරණයක් බවය. ඇතැම් විට ආනන්ද අභිබවා චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා ඉස්මතු වීම ඊට හේතු වූවා විය හැකිය. ‘සංදේශය’ විවේචනය කළ ප්‍රවීණ සිනමා විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩ ආනන්ද ගැන කියමින් ඔහු වරදක් නැතත් ලැබී ඇති කොටසින් නියම ප්‍රයෝජන ගෙන නොමැති බව කියා සිටියේය. එය සත්‍යයකි.

‘සෙහොයුරෝ’, ‘අදට වැඩිය හෙට හොඳයි’ ‘සුන්දර බිරිඳ’, ‘වීර විජය’, ‘උඩරට මැණිකේ’, ‘කළ කළ දේ පල පල දේ’, ‘පටාචාරා’, සුජාගේ රහස’ ‘සැපත සොයා’, ‘යටගිය දවස’, ‘හතර මහ නිධානය’, ‘දෙහදක දුක’, ‘මී මැස්සෝ’, ‘දැන් මතකද?’ ආනන්ද රඟපෑ තවත් චිත්‍රපට කීපයකි. ඒවායින් ‘මී මැස්සෝ’ චිත්‍රපටයේ ආනන්ද කළ රංගනය වඩාත් කැපී පෙනිණි.

ආනන්ද ශ්‍රීී ලංකා - ජර්මන් හවුල් නිපැයුමක් වූ ‘ත්‍රී යෙලෝ කැට්ස්’ (කහ බළල්ලු) චිත්‍රපටයේද චරිතයක් රඟපෑවේය. ඒ රහස් පරීක්ෂකවරයකු ලෙසිනි.

හැත්තෑව දශකයේ දී ආනන්ද රඟපෑවේ චිත්‍රපට තුන හතරක පමණි. ඒවායින් වඩාත් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළේ ‘ඉහත ආත්මය’ චිත්‍රපටයේ යැයි මම සිතමි. මව්පියන්ගේ දුරාචාරවත් විවාහ ජීවිතයක් හේතු කොට ගෙන මානසිකව පීඩාවන්ට ලක් වී ජීවිතය අඳුරු කර ගන්නා තරුණයකු (සනී) ලෙස ආනන්ද එහි මාහැඟි රංගනයක් ඉදිරිපත් කළේය. ඒ හැරුණු කොට ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටයේ ආනන්දගේ රඟපෑම් (විජේසේකර මුහන්දිරම්) වුව ප්‍රමාණවත්ය.

ආනන්ද අවසන් වරට රඟපෑවේ ‘නෙළුම් සහ සමන්මලී’ චිත්‍රපටයේය.

ආනන්ද දක්ෂ චරිතාංග නළුවකු වුවත් ඔහුගේ ප්‍රතිභාවෙන් සිංහල සිනමාව නිසි ප්‍රයෝජන ගත්තේ නැතැයි යන හැඟීම මා තුළ පවතී.

ඔහු කිසිදා සම්මානයකට පාත්‍ර නොවූ නළුවෙකි. සිංහල සිනමාව ආනන්දගේ ප්‍රතිභාවෙන් නිසි ප්‍රයෝජනයක් නොගත්තේ් ඇයි? ඊට හේතුව ඔහුගේ පැවැත්මේම තිබූ දුර්වලතාද? ආනන්ද කරදරකාරයෙක්ය යන ආකල්පයක් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු තුළ තිබූ බවක් පෙනේ. ඒ සම්බන්ධයෙන් ආනන්ද පවා අදහස් දැක් වූ අවස්ථා තිබේ.

‘මම කරදරකාරයෙක් හැටියට දැන් හුඟක් අය හඳුන්වනවා. ඇත්ත මම කරදරකාරයෙක්.

හැබැයි ඒ කරදරකාරයෙක් වුණේ එහෙම කියන ඒ අයත් මට කරදරයක් වුණු නිසා. ඇත්ත කිව්වම මිනිසුන්ගේ මුහුණු ඇකිළෙනවා. ඇත්ත පෙනි පෙනී බොරුව කරන්න මං ඉගෙන ගෙන නැහැ’ (සරසවිය 1972 ඔක්තෝබර් 13).

කරදරකාරයකු වීම කෙසේ වෙතත් ආනන්ද කිසිවකුට යටත් නොවූ පුද්ගලයකු බව නම් පැහැදිලිය. වරක් චිත්‍රපටයක රූගත කිරීමකට ඉන්දියාවට ගිය අවස්ථාවක දෙමළ සිනමාවේ සුපිරි නළු සිවාජි ගනේෂන් ආනන්ද සිටි චිත්‍රගාරයට පැමිණියේය. ඒ මොහොතේ ආනන්ද සිටියේ කකුළක් පිට කකුළක් දමා පත්‍රයක් බලමිනි. ආනන්ද වෙත පැමිණි කිසිවෙක් කකුළ පහළට දමන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.

‘ඒ ඇයි’

ආනන්ද ඇසුවේය.

‘සිවාජි ගනේ්ෂන් ඇවිල්ලා’

‘ඉතිං මට මෙකෝ? එයා මං ගැන ඇහැව්වොත් තමුසේ කියනවා, ඒ තමයි ලංකාවේ මහ නළුවා ආනන්ද ජයරත්න කියලා’

කෝපයෙන් යුතුව පිළිතුරු දුන් ආනන්ද තමා එතෙක් සිටි ඉරියව්වෙන්ම පත්‍රය බලන්නට පටන් ගත්තේය.

කෙසේ වෙතත් ආනන්ද දර්ශන තලයේ රඟපාද්දී ඇතැම් දෙමළ නළුවන් ඔහුගේ රඟපෑම් බැලීමට පැමිණුනු බව ද මම අසා ඇත්තෙමි.

ආනන්ද එකම එක චිත්‍රපටයක් පමණක් අධ්‍යක්ෂණය කර ඇත. ඒ ‘ආදරයයි කරුණාවයි’ නම් වූ චිත්‍රපටයයි. ආනන්ද නළුවකු වුණත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහු තෝරා ගත්තේ ගාමිණී ෆොන්සේකාය.

ආනන්ද පසු කලෙක ලීල් ගුණසේකරගේ ‘පෙත්සම’ නවකතාව චිත්‍රපට ගත කිරීමට අදහස් කරගෙන සිටියත් ඔහුගේ මරණය නිසා එය ව්‍යර්ථ වී ගියේය.

ආනන්ද 1966 බිහි වූ හෙළ චිත්‍රපට නළු නිළි සංගමයේ (නළු නිළි හවුලේ) සම ලේකම් වශයෙන් කටයුතු කළේය. රුසියාවේ මහා ලේඛක මැක්සිම් ගෝර්කිගේ කියුමක් ආනන්ද නිතරම සිහිපත් කළේය. ඒ මෙපරිදිය.

‘ජීවිතේ කියන්නේ තමන් විතරයි. තමන් නැතිවට අනෙක් මිනිස්සු ජීවත් වෙනවා’

ආනන්ද තවත් උද්ධෘතයක් නිතර ගෙනහැර පෑවේය.

‘ජීවිතය අදට පමණක් සීමා වූවක්. ඊයේ සිහිනයක්, හෙට මායාවක්.

ගාමිණී ෆොන්සේකා වැනි නළුවකුට පමණක් දෙවැනි විය හැකිව තිබූ රංග ප්‍රතිභාවක් විශද කළා වූ මේ විශිෂ්ට ගණයේ චරිතාංග නළුවා 1984 දී සිරුරට ගිනි තබාගෙන අකාලයේ ජීවිතක්ෂයට පත් වූයේය.

- සුනිල් මිහිඳුකුල

As a Cast

#Film NoYearFilm RoleDirector
1 371956 Surathali සුරතලී Actor Cyril P. Abeyratne
2 501958 Sohoyuro සොහොයුරෝ Actor L.S. Ramachandran, A.B. Raj
3 661960 Sandeshaya සංදේශය Main Actor Dr. Lester James Peries
4 681960 Sundara Birinda සුන්දර බිරිඳ Actor D. Yoganadan
5 731960 Weera Wijaya වීර විජය Actor K.S. Setumathawan
6 851963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Main Actor M. Masthan
7 891963 Udarata Manike උඩරට මැණිකේ Main Actor M. Masthan
8 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Main Actor Shanthi Kumar Seneviratne
9 1021964 Patachara පටාචාරා Main Actor Wimalanath Dissanayaka
10 1071964 Sujage Rahasa සුජාගේ රහස Actor P. Neelakantan
11 1081965 Sepatha Soya සැපත සොයා Main Actor B. Nandasena Cooray
12 1151965 Yatagiya Dawasa යටගිය දවස Actor W.M.S. Mahendran
13 1171965 Hathara Maha Nidhanaya හතර මහා නිධානය Actor L.M. Perera
14 1181965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Actor Ananda Jayarathna
15 1841968 Dehadaka Duka දෙහදක දුක Actor Robin Tampoe
16 1961969 Mee Masso මී මැස්සෝ Main Actor Dharma Sri Kaldera
17 2101970 Den Mathakada දැන් මතකද Main Actor Neil Rupasinghe
18 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Main Actor K.A.W. Perera
19 3061975 Lassana Kella ලස්සන කෙල්ල Actor Neil Rupasinghe
20 3311976 Vaanarayo වානරයෝ Cameo Appearance Sarathchandra Herath
21 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actor Neil Rupasinghe
22 4131979 Anusha අනුෂා Actor Dayananda Rodrigo
23 7661993 Nelum Ha Samanmalee නෙළුම් හා සමන්මලී Actor Chandrarathna Mapitigama
24 7841994 Ahas Maliga අහස් මාලිගා Actor Sunil Ariyaratne

As a Crew

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 2451972 Athithayen Kathawak අතීතයෙන් කතාවක් Assistant Director R.B.Adikari

Director

#Film NoYearFilm RoleDirector
1 1181965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Director Ananda Jayarathna